අරුණි ශපීරෝ‍ වෙතින්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ “පිවිතුරු විප්ලවය”

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 4, 2017

පෙරූ රට පුරා පැතිර යන පරිදි “ජනතා සාමූහිකත්ව” ගොඩනැඟීම පිණිස “දීප්තිමත් මාර්ගය” නමින් තමන්ව හඳුන්වාගත් මාඕවාදී ගරිල්ලා කණ්ඩායම එරට යටිතල පහසුකම් විනාශයේ සහ යන්ත්‍ර ගිනි තැබීමේ යෙදුනා පමණක් නොව සතුන්ව ද මරා දමන ලදි. ඇල්පාකා, ලාමා සහ ගුආනාකො නම් වූ ඔටු වර්ගයේ සත්තු පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයකට 1982 අගෝස්තුවේ දී ගිනි තැබූ ඔව්හු එහි විසූ සියළු සතුන්ව ගින්නෙන් දවාලූහ.

“ධනවාදී දූෂණය” ගෙනෙන “රෝග වාහකයන්” යැයි හඳුන්වමින් පෙරූ රටේ සියළු ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන්ව ද ඔවුන් ඝාතනය කරන ලදි. දකුණු ඇමෙරිකාවට ආවේනික එම ඔටු වර්ගයේ සත්වයන් පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධානියා වූ ටීනෝ ඇලන්සායාව මරා ඔහුගේ මළසිරුරට ඩයිනමට් තැබිණ. එම ක්‍රියාව සාධනීය කරන්නට, ඔහු “වැඩවසම් ක්‍රමයේ සහ නිලධාරිවාදී රාජ්‍යයේ ඒජන්තවරයෙක්” යැයි “දීප්තිමත් මාර්ගය” කියා සිටියහ. ඊ ළඟ වසර 8 තුල දී, ගම්බද පළාත්වල ඉංජිනේරුවන් 60 දෙනෙකු මරා දැමිණ.

පෙරූ රටේ ජනගහණය මිලියන 19 ක් ව සිටිය දී, “විප්ලවයේ ජයග්‍රහණය සඳහා මිලියනයක ජීවිත අහිමි වේවි,” යැයි ගුස්මාන් කියා සිටියේය.

1982 ජනවාරි මාසයේ දී, සිසුන් ඉදිරියේ ගුරුවරුන් දෙදෙනෙකුට වෙඩි තබා මරා දැමිණ. මාස කිහිපයකට පසුව, “ද්‍රෝහීන්” 67 දෙනෙක්, මහජනතාව ඉදිරියේ මරා දමන ලද්දේ එය “ජනතාවගේ තීන්දුව” යැයි ප්‍රකාශ කරමිනි.

රාජ්‍ය නොවන සංවිධානවල අයව ද ඝාතනය වූහ. 1988 දී USAID හි සේවය කළ කොන්ස්ටන්ටින් ග්‍රෙගරි නැමැත්තාව ද, තවත් ප්‍රංශ ජාතික සහනාධාර බෙදූ සේවකයන් 2 ක් ද “දීප්තිමත් මාර්ගය” ඝාතනය කළහ.

“දීප්තිමත් මාර්ගය” ඝාතන පටන් ගත් මුල් කාලයේ දී, ඉඩම් හිමියෙක් දෙන්නෙක් නැත්නම් රජයේ නිලධාරියෙක් දෙන්නෙක් ඝාතනය කරද්දී, (ණය මට්ටම් සේ ම බදු ද ඉතා ඉහළ මට්ටමක පැවතීම නිසා), පෙරූ වැසියන් ඊට එතරම් සැලකිල්ලක් නොදැක්වූහ. ඒත් මධ්‍යම පාංතිකයන්ව ඝාතනය වෙද්දී, ගම්බද වැසියන්ට දරාගත හැකි මට්ටම් වලින් ණය ලබාගැනීමේ හැකියාව, රක්ෂා සහ විවිධාකාර ආධාර නැති වී යද්දී, ඒ ගැන අප්‍රසාදයක් මතු විය.

“පිවිතුරු විප්ලවයක්” වෙනුවෙන් කියමින් “දීප්තිමත් මාර්ගයේ” ගරිල්ලා සටන්කරුවන් කඳුකර පෙදෙස්වල විසූ හරක් හොරු කණ්ඩායම් වලට පහර දෙන්නට පටන් ගත්හ. මෙය රටවැසියන් නොමඟ යවන්නට කරන ලද්දක් පමණි. 1983 සිට “දීප්තිමත් මාර්ගය” හුවානුකෝ හි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා කටයුතු කරති.

වර්ගවාදී අර්බූද ඇති පළාත් තුල ඔවුන් හැකි තරමින් ලීමා පිහිටි මධ්‍යම ආණ්ඩුව ගැන ද්වේෂය වැඩිකරන කටයුතු සියල්ලේම නියැළුනහ. එරට ස්වදේශීන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි “දීප්තිමත් මාර්ගය” කියා සිටියේ, හරියට අන්කෝර් රාජ්‍ය සමයේ වූ ආකාරයෙන් කේමර් පිවිතුරු බව පවත්වා ගැනීමට කියමින් පොල් පොට් කටයුතු කළ ආකාරයටමයි. ඒ නිසා, මුල් කාලයේ දී ගරිල්ලා කණ්ඩායමට ස්වදේශී ගෝත්‍රික කණ්ඩායම් කිහිපයක සහාය ලැබිණි. ඒත්, “දීප්තිමත් මාර්ගයේ” කුරිරු ප්‍රචණ්ඩත්වය කුමක්දැයි කියා අවබෝධ වන්නට ස්වදේශීන්ට සහ ගම්බද නායකයන්ට වැඩි කල් නොගියේය. ඉහළ ඇමසෝනියාවේ වනාන්තරයේ ජීවත් වූ 25,000 ක පමණ ආශානින්කා ගෝත්‍රිකයන්ව බලහත්කාරයෙන් ගරිල්ලා කණ්ඩායමට බඳවා ගැනුණි.

1980 ගණන් අග වෙද්දී අයාචූචෝ ප්‍රදේශය තනිකරම “දීප්තිමත් මාර්ගයේ” අණසකට නතු වී තිබිණ. ගණිකාවන්ට හිසකෙස් බූ ගා දමන්නට නියම විණ. බේබදු සහ හොර සබඳතා පැවත්වූ සැමියන්ට කස පහර දෙන ලදි. කිසියම් ලෙසකින් ඔවුනට විරුද්ධත්වයක් පෙන්වූ අයෙක් සිටියේ ද, එයාගේ හිසකෙස් දෑකැත්තක සහ මිටියක රූපයක් පෙනෙන පරිදි බූ ගා දමන ලදි.

“අයහපත්” යැයි “දීප්තිමත් මාර්ගය” සලකන ලද කිසිම උත්සවයකට අවසරයක් නොලැබිණ. හරියට මේ දිනවල කැළණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ‘විද්‍යා 2017’ ට සහභාගි විය යුත්තේ හා නැත්තේ කවුදැයි කියා මහා ශිෂ්‍ය සංගමය තීන්දු කිරීම වැනියි!!!!

ජනතා කමිටු වලින් වාසස්ථාන පාලනය විය. එම කමිටු “දේශපාලන කොමිස්සාර්වරුන්” පස් දෙනෙක් විසින් මෙහෙයවූහ. ඔවුන් “දීප්තිමත් මාර්ගයට” වාර්තා කරන ලදහ. අණ නියමයන්ට එකඟ නොවන හා ඊට පිටතින් යන කටයුතු කළේ නම් එවැන්නෙකුට ලැබුනේ මරණ දඬුවමයි.

“දීප්තිමත් මාර්ගයට” උවමනා වූයේ ගම්බද පළාත් එකිනෙකා සමඟ එකතු වී ඔවුනට එරෙහි ප්‍රතිවිප්ලවයක් නැඟ එන්නට නොහැකිවන සේ ඈත් කර තබන්නටයි. ඒ නිසා ඔවුන් ගමකින් ගමකට යා නොහැකි සේ පාලම් පුපුරුවා හැරීමේ දිගටම නියැළුනහ. මේ ගැන ගම්බද වැසියන් අමනාප වූවද ඒ වෙද්දී ඔවුනට ඒ ගැන කිසිත් කරකියාගත නොහැකි තත්වයකට ඇද වැටී සිටියහ. නිරතුරුවම ඔවුන් ජනතාව මෙල්ල කරගන්නට දරුවන්ව ගරිල්ලා කණ්ඩායමට බලහත්කාරයෙන් බඳවා ගත්හ.

පෙරූ ආණ්ඩුව සින්චිස් නම් විශේෂ කමාන්ඩෝ බලඇණිය සහ මරීන් භටයන් එව්ව ද, ඔවුන් ගරිල්ලා කණ්ඩායම පරාජයට අසමත් වූහ. 1983 වසරේ සහ 1984 වසරේ දී, ‘ජනතාවගේ යුද්ධය” තීව්‍ර විය. 1983 අප්‍රේල් මාසයේ දී, “දීප්තිමත් මාර්ගයේ” ගරිල්ලා භටයන් 50 දෙනෙක් ලුකොනාමාන්කා අල්ලා ගත්හ. පිහි සහ පොරව යොදාගෙන “ද්‍රෝහීන්” 32 ක් කපා කොටා ඝාතනය කළහ. එම කළබැගෑනියේ දී පැන දුවන අයට ද පහර දෙන්නට පටන් ගැනීම නිසා දරුවන් 4 ක් ඇතුළු 67 දෙනෙකු මිය ගියහ. “දීප්තිමත් මාර්ගය” මෙය කරන ලද්දේ තමන්ට කිසිත් අනුකම්පාවක් නැතැයි ආණ්ඩුවට පෙන්වන්නටයි.

1983 නොවැම්බර් මාසයේ දී, පතල් ප්‍රදේශයක් වූ සෙරෝ ඩ පෙස්කො හි නගරාධිපතිවරයාව ඝාතනය කරන ලදි. බේරාගන්නට රජයට ද නොහැකි යැයි අවබෝධ වෙද්දී නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන් තනතුරු වලින් ඉල්ලා අස්වූහ. පූජකවරුන් ද පළා ගියහ.

1982 යුද්ධයේ 200 ක් මිය ගිය අතර, 1983 දී 2000 ක් මිය ගියහ. 1984 දී ත්‍රස්තවාදී ක්‍රියා 2,600 කට වඩා සිද්ධ විණ. පොලිස් නිලධාරීන් සහ සොල්දාදුවන් 400 කට වඩා මිය ගියහ. 1985 දී, පෙරූ රජය තුල වැඩි නියෝජනයක් තිබුණ ඇමෙරිකන් විප්ලවීය ජනප්‍රිය සන්ධානයේ (APRA) 7 දෙනෙකු ඝාතනය කරන ලද්දේ ඔවුන්ගේ කන්, දිව සහ ඇස් ඉවත් කර දමමිනි. කුස්කෝ සහ අරෙකිපා යන විදුලි බලාගාර මධ්‍යස්ථාන පුපුරවා හරින ලදි. 1984 දී ඔවුන් ඊයම් සාන්ද්‍ර ප්‍රවාහනය කළ දුම්රියක් ද, අනතුරුව තඹ ප්‍රවාහනය කළ දුම්රියක් ද පීලි පැන්නවූහ.

හමුදාව තවත් දැඩි ලෙසින් ඔවුන් හා යුද වැදුනහ. 1984 දී පෙරූ රටේ ප්‍රාන්ත 146 න් 10 ක් හදිසි නීතිය යටතේ පැවතිණ. මරණ හැම 60 කම 3 ක් ගරිල්ලා සිටියේ නම් ඒ සමූල ඝාතන යුක්ති සහගත යැයි පෙරූ හමුදාව කියා සිටියහ. අයාචූචෝ හි ගම්වැසියන් හමුදාව අතින් මහා විශාල සංඛ්‍යා වලින් ඝාතනයට ලක් වූහ. ඔවුන් “දීප්තිමත් මාර්ගය” පැත්තට ඇදෙන්නට පටන් ගත්හ.

1990 ගණන් මුල දී, ගම්වැසියන් හතුරන් නොව හවුල්කරුවන් යැයි පෙරූ රජය කියා සිටියේය. හමුදාවේ උසස් නිලධාරීන් මාරු කරන ලදි. ගම්වැසියන් හා එකතුව වැඩ කරන ක්‍රම වලට රජය පිවිසිණ. “දීප්තිමත් මාර්ගය” ද ඔවුන්ගේ උපක්‍රම ද වෙනස් කළහ. ඔවුන්ගේ තෙවැනි සම්මන්ත්‍රණයේ දී, ඔවුන් ගරිල්ලා යුද්ධ, කඩාකප්පල් අංශය, ත්‍රස්තවාදය සහ මානසික යුද ක්‍රමෝපාය යනුවෙන් ස්වෛරී අංශ කිහිපයකට බෙදී ගියහ.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. kasunmathotage said, on ඔක්තෝබර් 4, 2017 at 8:06 පෙ.ව.

    What happen after 1990s ?

    • arunishapiro said, on ඔක්තෝබර් 4, 2017 at 8:40 පෙ.ව.

      kasunmathotage,

      ඉල්ලන වෙනස මොකක්දැයි නොදැන, අපේක්ෂා කරන සාමය හෝ සශ්‍රීකත්වය ලැබෙන්නේ කුමන වෙනසක් තුලින්දැයි නොදැන වෙනසක් ඉල්ලා සිටීම මිනිස් ඉතිහාසයේ නිරතුරුවම දකින්නට ලැබෙනව. ඉතින් වෙනසක් ඉල්ලූ පෙරූ ජනතාවට 1990 ගණන් වල දී ලැබුනේ ඇල්බෙයර්ටෝ ෆුජිමෝරි ෆුජිමෝරි. ගුස්මාන් වගේම එයත් අද සිරබන්ධනයේ.

  2. mppgunasinghe said, on ඔක්තෝබර් 4, 2017 at 9:04 පෙ.ව.

    “ඉල්ලන වෙනස මොකක්දැයි නොදැන, අපේක්ෂා කරන සාමය හෝ සශ්‍රීකත්වය ලැබෙන්නේ කුමන වෙනසක් තුලින්දැයි නොදැන වෙනසක් ඉල්ලා සිටීම මිනිස් ඉතිහාසයේ නිරතුරුවම දකින්නට ලැබෙනව.” මේ තත්වය විශේෂයෙන් ලංකාව වැනි දියුණු වන රටවල මෙහෙමම බව පෙනී යන්නක්

    • arunishapiro said, on ඔක්තෝබර් 4, 2017 at 9:28 පෙ.ව.

      mppgunasinghe,

      කොමියුනිස්ට් අත්හදා බැලීම් සියල්ලම අසාර්ථකයි කියල ඔප්පු වෙලා තිබුණත්, “හැමදාම දියුණුවෙන රටවල” ඉන්න මහජනතාව සමාජවාදය පැත්තකට දාන්න කැමති නෑ. නොමිලේ බෙදන අනිවාර්ය අධ්‍යාපනය නිසා දැනුම සමව බෙදී යනවා කියල විශ්වාස කරන සමාජයක බහුතර වැසියන්ට, දුප්පතාට සාධාරණයක් වෙන්නෙ සමාජවාදයෙන් කියන මිථ්‍යාව අත්හරින එක ඉතා දුෂ්කරයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: