අරුණි ශපීරෝ‍ වෙතින්

මේ වහල් සේවය ගැන වාමාංශිකයන් නිහඬ වෙති

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 6, 2017

තනතුර, වේතනය, පහසුකම් යනාදිය සලකා බලා කැමති රස්සාවක නියැළීම සඳහා පුද්ගලයෙකුට හැකියාව ලැබුනේ මිනිස් ඉතිහාසයේ ඉතා මෑතක දී ය. වෙන අයෙක් තීන්දු කරන වෘත්තියක නියැළීම පෙර සිරිත විය. වේතන සහ තනතුර පිළිබඳව ශ්‍රමය වෙහෙසන පුද්ගලයාට ගතහැකි වූ පියවර වූයේ ඉතා ස්වල්පයක් පමණි. තමන් කැමති දිනයක නිවාඩුවක් ගැනීමට හැකියාව තිබුනේ එහෙමත් අයෙකුට පමණි.

තරඟකාරී වෙළඳපොල බිහිවීමත් සමඟ තමන් කැමති දවසක නිවාඩුවක් ගන්නට ලොව බහුතරයට හැකියාව පෑදුණි. තරඟකාරී වෙළඳපොලක් යාන්තමින් හෝ ඇති රටවල අයට වර්තමානයේ තමන් කරන රස්සාවෙන් ඕනෑම විටෙක කැමැත්තෙන් අයින් විය හැකියාව ද පවතී.

තරඟකාරී ලෝකය ගැන කන්කෙඳිරි ගාන අය, මේ කරුණු නොසලකා හරිති. එසේම පෙර වූ සිරිත සහ තරඟකාරී වෙළඳපොලට ගෙනෙන ලද විකල්ප වල දී බහුතරයට සිද්ධ වූයේ කුමක්දැයි කියාත් සොයා නොබලති.

තරඟකාරී වෙළඳපොල වෙනුවට ගෙනෙන ලද විකල්ප වෑයම් සියල්ලේම “ශ්‍රම කඳවුරු” දකින්නට හැකිවුණි. පෙරූ රටේ ද, “ජනතාවගේ බලයට” පිටුපාන ඕනෑම අයෙක්ට දඬුවම් කරනු පිණිස “දීප්තිමත් මාර්ගය” විසින් ඇමසෝනියාවේ ශ්‍රම කඳවුරු පටන් ගත්හ. 1983 දී සිට “දීප්තිමත් මාර්ගයේ” උවමනාවන් සපුරා ගනු පිණිස බලහත්කාරයෙන් වැඩ ගැනීමෙන් දාස භාවයට නියම වූ රටවැසියන්, කොකෝ වතු යායන් වලින් හෙරෙන් පලා යන්නට පටන් ගත්හ.

ඉහළ කඳුකරයේ “දීප්තිමත් මාර්ගයේ” අණසක තිබි ප්‍රදේශයන්හි ඉපදුන බොහෝ දරුවන් වැඩි කාලයක් ජීවතුන් අතර නොසිට එහි දී ම මිය ගියහ. පළා යන අයෙක් අසූ වූයේ නම් එවැන්නෙක්ව එතැනම ඝාතනය කරන ලදි. බලහත්කාරයෙන් වැඩනොගන්නා අවස්ථාවල දී මේ ශ්‍රමික කඳවුරු වල විසූ අයට අබිමායෙල් ගුස්මාන්ගේ වාමාංශික ලියැවිලි හදාරන්නට සිද්ධ විණ. කොන්වෙන්සියොන් ප්‍රදේශයේ රැඳවුම්කරුවන් 500 ක් පමණ හාමතයේ සිටියහ. 1987 දෙසැම්බරයේ දී, හාමතෙන් පෙළුණු ගැහැණු, පිරිමි, හා දරුවන් 300 ක් “පෙරූවියන් ගුලාග්” වලින් ගැලවී වනාන්තර මායිමේ පිහිටි බෙලෙම් වෙතට එන්නට සමත් වූහ.

තමන්ගේ තත්වය කිසිත් ලෙසකින් දියුණු කරන්නට මේ “දීප්තිමත් මාර්ගය” කියාගත් ගරිල්ලා කල්ලිය අසමත් යැයි ගම්බද වැසියන්ට ක්‍රමයෙන් ඔප්පු වී යද්දී ඔවුන් බහුතරය විප්ලවය අත්හැර දැමූහ.

“දීප්තිමත් මාර්ගයට” පැවති පතල් කම්කරුවන්ගේ වැනි වෘත්තීය සමිති ඇතුලට රිංගා ගත නොහැකි වුණි. ජනතාව ඔවුන්ගේ කුරිරු ක්‍රියා කටයුතු ගැන අප්‍රසාදය පළකරන බව පෙනී යද්දී, වෘත්තීය සමිති අල්ලාගෙන සිටි “එක්සත් වම” ඔවුන් හා තරඟ කරන්නට පටන් ගෙන තිබිණ. සියළු මාක්ස්වාදී සංවිධාන තුරන් කර දමන්නට “දීප්තිමත් මාර්ගය” වෑයම් කළහ. එහෙත් ඔවුනට එය නොහැකි විණ. ටුපැක් අමරූ (MRTA) නම් ත්‍රස්තවාදී කල්ලිය හා ගැටුණ විට, සිවිල් වැසියන් 1,584 ක් සහ ගරිල්ලා භටයන් 1,543 ක් මිය ගියහ.

ඒ අතරතුරේ දී “දීප්තිමත් මාර්ගය” ඇතුලත අර්බූදයක් හටගෙන තිබුණි. “බුර්ජුවාසී වෙන්නට ගිය ද්‍රෝහීන්” යැයි කියා එහි ඉහළ නායකයන් කිහිප දෙනෙක් ඝාතනය වූහ.

1983 සැප්තැම්බර් හි දී, පෙරූ පොලීසියට ඔවුන්ගේ ප්‍රථම ජයග්‍රහණය අත්විය. ගුස්මාන් හා සමීපව කටයුතු කළ කාලොස් මෙසිච් යන විප්ලවකරුවාව අත් අඩංගුවට ගැනිණ. ඒත් “දීප්තිමත් මාර්ගයේ” නායකත්වය ඉවත් කර දමන්නට පෙරූ රජයට තවත් දශකයක් ගතවිණ.

1992 සැප්තැම්බර් 12 සහ 13 වැනිදා ගුස්මාන් සහ ඔහුගේ සහායිකාව වූ එලෙනා ඉපැරගුවයර් අත් අඩංගුවට ගන්නා ලදි. තවත් සතියකට පසුව සංවිධානයේ තෙවැන්නා වූ ඔස්කා ඇල්බට් රමියෙරෙස් ද පොලීසිය විසින් අල්ලා ගන්නා ලදි. ක්‍රමයෙන් ඒ ගරිල්ලා කල්ලියේ තව තවත් අය අත් අඩංගුවට ගැනුන ද, යුද්ධ යනු රටේ ආර්ථිකය දියුණු කරන්නක් නොව එය බංකොළොත් කරන්නක් බව පැහැදිලි කරමින්, 1990 ගණන් මැද වෙද්දී පෙරූ රට ආර්ථික අර්බූදයකට මුහුණ පා සිටියහ. “දීප්තිමත් මාර්ගය” සංවිධානයේ සාමාජිකයන් 25,000 ක් පමණ රටේ සිටියහ. ඔවුන් අතුරින් තුන්දාහක සිට පන්දාහක ප්‍රමාණයක් එහි ස්ථිර සටන්කාමීන් වූහ.

විප්ලවය නිසා රටට ගෙවන්නට සිද්ධ වූ වැය ඩොලර් බිලියන 20 ක් පමණ යැයි සැලකේ. “දීප්තිමත් මාර්ගය” 25,000 ත් 30,000 ත් අතර මරණ සංඛ්‍යාවකට වගකිව යුතු යැයි කියැවේ. ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය නිසා කඳුකරයේ විසූ දරුවන් 1980 සහ 1991 අතර කාලයේ දී දාහක් මිය ගියා යැයි ද, තුන්දාහක් ඉතා දරුණු ලෙස තුවාල ලැබුවා යැයි ද සැලකේ. සටන් හේතුවෙන් දෙමව්පියන් අතින් අතරමං වූ සහ දෙමව්පියන් මිය යාමෙන් අනාථ දරුවන් පනස්දහසක් පමණ වේ.

2003 වෙද්දී “දීප්තිමත් මාර්ගය” සංවිධානයේ සාමාජිකත්වය පහළ බැස ගියත්, “ඉදිරියටම” නමින් සටන්කාමී කල්ලියක් ක්‍රියාකාරීව සිටිති. 2002 මාර්තු 21 වැනිදා ජෝර්ජ් ඩබ්. බුෂ් සංචාරයකට යන්නට පෙර, ලීමා හි ඇමෙරිකන් තානාපති කාර්යාලයට පිටතින් වාහන බෝම්බයක් පුපුරා යන ලදි. නම දෙනෙක් මිය ගොස් තිස් දෙනෙකුට තුවාල සිද්ධ විණ. ආර්ජන්ටීනා කොම්පැණියක සේවකයන් 60 ගණනක් පැහැරගෙන යෑමත් අනතුරුව කප්පම් මුදල් ගෙවූ පසු ඔවුන් නිදහස් කරන ලදි.

2003 දී, “දීප්තිමත් මාර්ගය” විසින් වහල් භාවයේ රඳවාගෙන සිටි ස්වදේශීන් 100 දෙනෙකු නිදහස් කරන්නට පෙරූ පොලීසිය සමත් විය. 2017 මාර්තු 18 වැනිදා “දීප්තිමත් මාර්ගයේ” ස්නයිපර් ගරිල්ලන් විසින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් මරා දමන්නට සමත් වූහ.

බෝම්බ තැබීම, කප්පම් සඳහා සේවකයන් පැහැරගෙන යෑම, යටිතල පහසුකම් විනාශ කරන ප්‍රහාරයන් හි නිරත වීම තවමත් ඔවුන් විසින් කරගෙන යති.

පෙරූ රට ගැන “කොමියුනිස්ට්වාදයේ කළු පොත” දී ඇති මූලාශ්‍රය මෙසේය: Hertoghe, Alain, and Alain Labrousse. Le senator lumineux: Un novel intégrisme dans le Tiers-Monde. Paris: La Découverte, 1989.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: