අරුණි ශපීරෝ‍ වෙතින්

යුරෝපීය සමාජවාදය සහ සෝවියට් කොමියුනිස්ට්වාදය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 10, 2017

සමාජවාදයේ ඉතිහාසය ගැන මෙම අඩවියේ බොහෝ විස්තර සඳහන් කර ඇත.

ඒ ගොන්නට තවත් සටහනක් එකතු කරන්නේ ඊ ළඟට ලියන සටහන් සඳහා මෙය උපකාරී වේ යැයි සිතන බැවිනි. වැරදියට අර්ථ කථනය කළ අර්ථ ශාස්ත්‍රය, ඉතිහාසය සහ දේශපාලනය ගිලින ලද අයට මේවා දිරවා ගැනීම අසීරුයි. මේ සටහන් මා එකතු කරන්නේ ඒ යල්පැන ගිය අදහස් වලින් කුරුවල් නොවූ තරුණ පිරිස උදෙසායි. සියල්ලන්ගේම ජීවිත සමෘද්ධිමත් කරන සැබෑ ධනවාදය ඉල්ලන වැඩි ජනතාවක් බිහිවෙන දවසක් අනාගතයේ යම්කිසි දවසක ලංකාවේ උදාවේවා යැයි පතමිනි.

19 වැනි සියවසේ දී යුරෝපය පුරා සමාජවාදය යන්න ජනප්‍රිය රැල්ලක් වන්නට පටන් ගැනුණි. සමාජවාදය යන්න විවිධාකාර ලෙසින් නිර්වචනය වූ අතර ඒවා හැඳින්වූ පද වහර තුලින් ඒ ඒ වෙනස්කම් මොනවාදැයි පැහැදිලිව හඳුනාගන්නට නොහැකියාවක් ද පැවතිණ. සමාජවාදී චින්තකයන් ඔවුන්ගේ කැමැත්ත අනුව සමාජවාදය යන වචනය යෙදූහ.

කාල් මාක්ස් ද එසේම සමාජවාදය යන වචනය භාවිතා කරන ලද්දෙක් යැයි ලුඩ්විග් වොන් මීසස් පෙන්වා දෙයි: ” 1875 දී, ජර්මන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ගෝතා වැඩ සටහන විවේචනය කරද්දී මාක්ස් අනාගත කොමියුනිස්ට්වාදී සමාජයේ ඉහළ (කළින් වූ) සහ පහළ (පසුව වූ) අවධි වෙන්කර හඳුන්වයි. ඒත් ඔහු ඒ ඉහළ තත්වය පමණක් කොමියුනිස්ට් යැයි හැඳින්වූයේ නැත, එසේම පහළ තත්වය කොමියුනිස්ට්වාදයෙන් වෙනස් වූ සමාජවාදයක් යැයි හැඳින්වූයේ ද නැත.”*

කාල් මාක්ස්ගේ සියල්ල ඒ කී ලෙසින්ම සිද්ධ වෙන ඉතිහාස න්‍යායට අනුව සමාජවාදය අනිවාර්යෙන්ම එයි. සෑම රටක්ම වැඩවසම් සමාජයෙන් යන්නේ ධනවාදයටයි. රාජසිංහ රජ්ජුරුවන්ට සිහසුන අහිමි වී වසර 200 ක් ඉක්ම ගියත්, කොමියුනිස්ට්වාදයේ ශතකයක් පිරුණත්, ලංකාව තවමත් ඒ වැඩවසම් ක්‍රමයට පස්සෙ එනවයි කියපු ධනවාදයට පිවිස නැතිවීම අපි පොඩ්ඩක් පැත්තකින් තියමු. 😀 මාක්ස් කියන අනිවාර්යෙන්ම ඇතිවන ප්‍රගතිය අනුව සමාජවාදය එන්නේ ධනවාදයෙන් පසුවයි.

ජර්මනියේ නාට්සීන්ට තිබුණේ ධනවාදයක් යැයි බොහෝ අයගේ විශ්වාසයකි. නාට්සීන් සමාජවාදීන් යැයි කියා ඔවුන්ගේ පක්ෂයේ නම, “ජාතික සමාජවාදී ජර්මන් ශ්‍රමික පක්ෂය”, පෙන්නුවාම ඊට උපහාසයෙන් හිනා වෙන අය සිටිති. හරියට ලංකාව සමාජවාදී යැයි කියා රටේ නම, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය පෙන්නුවාම උපහාසයෙන් හිනාවෙන ප්‍රතිචාර දැක්වීම වැනියි.

ජර්මනියේ “රාජ්‍ය සමාජවාදය” බෙදන්නට පටන් ගත් මුල් අය බිහිවූයේ කාල් මාක්ස්ට ඩිංගක් කළින්. යොහාන් කාල් රොඩ්බෙයර්ටස්, මාක්ස් ලෙසින්ම ඊට කළින් පැවති සමාජවාදී න්‍යාය සියල්ලම ක්‍රියාවට නැංවිය නොහැකි යැයි කියමින් ප්‍රතික්ෂේප කළ අයෙකි. නිෂ්පාදනය සහ බෙදාහැරීම යන දෙකම පාලනය කළ යුතු යැයි කියන්නට මුලින්ම පෙනී සිටිය සමාජවාදී චින්තකයා ඔහුයි. ඉතින් එසේ ඒ දෙක පාලනය කරන්නට රජය යොදා ගත යුතු යැයි ඔහු කියා සිටියි. ඔහුගේ ඒ අදහස් ප්‍රසිද්ධ කරන්නට බෙහෙවින් සහාය වූ ෆර්ඩිනැන්ඩ් ලසාල් නිසා “ජර්මන් විලාසයේ සමාජවාදය” (මෙය මීසස් යොදන වහරක්) විශාල වශයෙන් ජනප්‍රියව පැතිර යන ලදි.

නිෂ්පාදනයට, ව්‍යවසායකත්වයට සහ වෙළඳපොල භාණ්ඩ හුවමාරුවට ඉඩක් තිබුණු ලෙසකින් නාට්සි ජර්මනියේ සමාජවාදය පෙනී ගිය ද එය පිටතින් පෙනුනු ආකාරය පමණි. ජර්මනියේ සම්පූර්ණ ආර්ථිකය නාට්සීන්ගේ මැදිහත්වීම් සහ නියාමන මත සිද්ධ වූහ. සෝවියට් දේශයේ මෙන්ම, නාට්සි ජර්මනියේ ද සාමාන්‍යයෙන් වෙළඳපොලක දී ව්‍යවසායකයන් ගන්නා සමපේක්ෂණයන් කරන ලද්දේ රජයයි.

නාට්සි ජර්මනියේ කඩ අයිතිකාරයා හැඳින්වුනේ කඩ කළමනාකරු (Betriebsfürher)
හැටියටයි. කෙසේ නිෂ්පාදනය කළ යුතුදැයි ද, මොන මිල ගණන් වලට ද, කාගෙන් මිල දී ගත යුතු ද, කාට විකුණනවා ද යනාදිය ව්‍යවසායකයන් මෙන් පෙනී සිටින අයට නියම කරන්නේ රජයයි. කොපමණ වේතනයකට ශ්‍රමය වෙහෙසිය යුතුදැයි කියා රජය තීන්දු කරයි. ධනවාදීන් සිය මූලධනය කාට කුමන පදනමක් යටතේ බාරදිය යුතුදැයි තීන්දු කරයි. වෙළඳපොල යනු මුලාවක් පමණි. සියළු මිල ගණන්, වේතන, සහ පොලී මට්ටම් රජය තීරණය කර තිබීම නිසා ඒ මිල ගණන්, වේතන සහ පොලී මට්ටම් හුදු මවා පෑම් පමණි. සෑම පුරවැසියෙකුගේම වේතන, පරිභෝජනය සහ ජීවන මට්ටම රජය විසින් තීරණය කරයි. නිෂ්පාදනය හසුරුවන්නේ පාරිභෝගිකයන් නොව රජයයි. සියළු පුරවැසියන් රජයේ සේවකයන් ලෙස ක්‍රියා කරති.

පිටින් ධනවාදය ලෙස පෙනුන ද, (ලංකාවේ ධනේශ්වර ආර්ථිකයක් ඇතැයි සමහරු අල්ලාගෙන සිටින්නේ ද මේ නිසයි), මෙය සමාජවාදයයි.

තමන් සමාජවාදීන් කියා සඟවන්නට නාට්සීන් උත්සාහ නොකළහ. ඔවුන් සමාජවාදය ක්‍රියාත්මක කළේ සෝවියට් දේශයට වඩා වෙනස් විදියකට වූවා පමණි.

යුරෝපයෙන් ආ සමාජවාදය නිසා රුසියාවේ විවිධ කල්ලි ගණනාවක් තිබිණ. 1912 දී ව්ලැඩමියර් ලෙනින් කොමියුනිස්ට් පක්ෂය හැදුවේ එහි සාමාජිකයන් වූ බොල්ෂෙවික් පක්ෂයේ අය දැන් අනෙකුත් සමාජවාදී කණ්ඩායම් වලින් වෙනස් යැයි දක්වන්නටයි. “එක්සත් සෝවියට් සමාජවාදී ජනරජ” යන නිල නාමයෙන් යුතු සෝවියට් දේශයේ ද සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය මාරුවෙන් මාරුවට භාවිතා විණ. ඒත්, ලෙනින් විසින් කොමියුනිස්ට් පක්ෂය යැයි සිය කල්ලිය හඳුන්වන්නට පටන් ගැනීම නිසා, “සත්‍ය සමාජවාදියා” යනු ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් යැයි අර්ථ දැක්විණ.

කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ වැඩ සටහන් තුලින් සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය යැයි වෙනසක් දැක්වීම පටන් ගැනුනේ 1928 දී යැයි මීසස් පැහැදිලි කරයි. එසේම එය කොමියුනිස්ට් සහ සමාජවාදය අතර පමණක් වෙනස දැක්වීමක් නොවිණ. මාක්ස්වාදී න්‍යාය අනුව ධනවාදය සහ කොමියුනිස්ට්වාදය අතර මැද පවතින්නේ සමාජවාදය යැයි එහි දී කියන්නට පටන් ගැනිණ. සෝවියට් දේශය සිටින්නේ එහි යැයි කියැවිණ.

මුලින් මාක්ස් සිය න්‍යායෙන් කියා සිටියේ මුල් සහ පසු කාලීන කොමියුනිස්ට්වාදී තත්වයන් අතර වෙනස ගැනයි. සැබෑ සමානාත්මතාවය භුක්ති විඳින්නට ලැබෙන්නේ, ඔහුගේ ප්‍රතිපත්ති සියල්ල අනුගමනය කළ පසුව සහ මිනිසුන් සිය ‘පංති සවිඥානය’ ඉක්මවා පරිනාමය වූ පසුව එන කොමියුනිස්ට්වාදයේ අවසන් අවස්ථාවේ දී කියායි. ඒත් ලෙනින් ගෙනෙන නව න්‍යාය තුල, “සමාජවාදය” යනු මාක්ස් කියන මුල් අවධියේ කොමියුනිස්ට්වාදයයි. ඒ නිසා, සෝවියට් දේශය සමාජවාදී පමණක් යැයි කියැවිණ. පක්ෂ සාමාජිකයන් කොමියුනිස්ට් වූයේ අවසන් ඉලක්කය වූ කොමියුනිස්ට්වාදයට යන්න කැප වූ සත්‍ය අවබෝධ කරගත් අල්පය ඔවුන් වූ බැවිනි.

නාට්සීන් සමාජවාදීන් වූහ. ආර්ථික මැදිහත්වීම් කළහ. නාට්සි ජර්මනියේ ආර්ථික අසමානතා පැවතියේ සෝවියට් දේශයේ පැවති ආකාරයෙන්මයි. ඒත් මේ නාට්සීන් ධනවාදීන් කියන මුලාව පැතිර යැවීමට ඒ සත්‍ය බැහැරකට දැමුණි. නාට්සීන් සෝවියට් දේශය ආක්‍රමණය කළ විට, ඔවුන් ධනවාදයේ නරකම අවස්ථාවේ සිටින අය ධනවාදීන් යැයි හැඳින්විණ.

යුරෝපයේ විද්වතුන් බොහොමයක් සෝවියට් දේශයට දැඩි සෙනෙහසක් දැක්වූ යුගයක දී, මේ නාට්සීන් යනු ධනවාදීන් යන විස්තර කිරීම සියල්ලන් සතුටින් පිළිගත් බොරුවකි. නාට්සි ජර්මනියේ නාමික වශයෙන් පෞද්ගලික දේපල අයිතියක් වූවාට ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මකව තිබුණේ නැත. බොරු අර්ථ කථනය තවමත් යහතින් පැවතේ.

*ලුඩ්විග් වොන් මීසස් ලියූ “සැලසුම්ගත වියවුල” -Ludwig Von Mises, Planned Chaos, 1951.

මීසස් ආයතනයේ ‘ද ඔස්ට්‍රියන්’ Vol.3, No.5 සඟරාවට Chris Calton ලියූ “The Myth of “Nazi Capitalism” ලිපිය ඇසුරිනි.

Advertisements

18 Responses

Subscribe to comments with RSS.

  1. Transylvania said, on ඔක්තෝබර් 10, 2017 at 4:13 ප.ව.

    සමහර වම්මුන් ධනේෂ්වරය ධනේෂ්වරය කියා මැතිරුවද ලංකාවේ තිබෙන්නේ ධනවාදී ක්‍රමයක් නොව වැඩවසම් යුගයේ ශේෂයන් සහිතව විකෘති ධනවාදී ක්‍රමයකි. සමාජවාදී ජීවන ක්‍රමය උඩ දමන අපේ මැට්ටන් සමාජවාදය කියා සිතන්නේ

    1) තුන්වේල කන එකාට ඉරිසියා කිරීම
    2) යම් සාධාර​ණ ව්‍යාපාරයක් කරගෙන කීප දෙනෙකුට රැකියා දී තිබෙන අයෙකුගේ ව්‍යාපාර සමතලා කිරීම
    3) කෙනෙකුට මුදල් ගෙවා හෝ ඉගෙන ගැනීමට තිබෙන අයිතිය නැති කිරීම
    4) කියුබාවක් හෝ උතුරු කොරියාවක් සෑදීම
    5) සෑම දෙයක්ම ජන සතු කොට රජය මූලික සූරාකන්නා කිරීම
    6) පක්‍ෂයේ නායකයන් වන්දනාව
    7) සිතීම පවා පක්‍ෂයේ නායකයන්ට පැවරීම
    8) බස් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබීම
    9) ද්‍රෝහියන් කියා කොටසක් නිර්මාණය කර ගැනීම​
    10 ගල් කටස් වලින් මේ ද්‍රෝහියන් ඝාතනය කිරීම
    11) සියල්ලම (රැකියා / ඉඩම් / නිවාස​) රජයෙන් නොමිලේ ලබා දිය යුතු බව
    12) සෑම දෙනාගේම වැටුප එක සමාන විය යුතු බව
    13) වෙළඳ වියාපාර යනු ආනන්තරීය පාපකර්ම බව

    • Anonymous said, on ඔක්තෝබර් 11, 2017 at 7:34 ප.ව.

      14) තම පක්ෂයේ ප්‍රචාරක මධ්‍යස්ථාන රජයේ වියදමින් ‘විශ්ව විද්යාල නමින් පැවැත්වීම.
      15.) (වෙල්ලා හැලියට නැගි බල්ලා සේ තමන් ඉගෙන ගන්නෙත් නැතිව ඉගෙන ගන්න එකෙකුට ඉගෙන ගන්නත් නොදි) අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන සියලු කටයුතු ‘තග’ දමා නැවැත්වීම

  2. mppgunasinghe said, on ඔක්තෝබර් 10, 2017 at 9:12 ප.ව.

    ලංකා සමාජ ආකල්ප වැඩවසම් සමාජයෙනුත් ආපස්සට යන බවට හොඳම උදාහරණ ලැබෙන්නෙ මූනූ පොතේ බෙදාහදාගන්න සිංහල පෝස්ටු වලින්

  3. Ajith Dharma said, on ඔක්තෝබර් 12, 2017 at 4:20 ප.ව.

    ඒ ලිපියේ තව ගොඩක් තිබෙනවා නේද? මම මේ අදහසට එකඟයි. ජර්මනියේ තිබ්බේ නාසි සමාජවාදය කියන එක. හැබැයි මේ ලිපිය ලියු තැනැත්තා නොකිය තිබෙන්නේ නාසි සමාජවාදීන් හා ජමනියේ කොමියුනිස්ට්වාදීන් එකිනෙක මරා ගත් ආකාරය. ඒ කියනෙන් නාසි සමාජවාදය මාක්ස්වාදය අනුගමනය කලේ නැහැ. මගේ බිරිඳගේ (එයා ජර්මන් ) සීයා සහ අත්තම්මා (දැන් මැරිලා ) මට කීවේ ඔය ගැන කතා කරද්දී හිට්ලර්ගේ ප්‍රතිපත්ති වලින් ජර්මනිය දියුණු වුණා කියල. යුදෙව් සංහාරය නොකලානම් හා අනිකුත් මිනිසුන් නොමැරුව නම් , ජර්මන් ජාතිවාදය නොගෙනාව නම් අදත් වඩා දියුණු රටක් කියල. ජර්මනියේ මෝටර්වේස් හැදුවෙත් හිට්ලර්. සෝවියට් දේශයේ වගේම වැඩ කරන කමකු මිනිසුන්ට යන්න නිවාඩු නිකේතන හිට්ලරුත් හදල තිබුන. 1930 න් පස්සේ ඇතිවුන ආර්ථික අවපාතයෙන් ජර්මනිය බේරාගත්තේ හිට්ලර්. නමුත් බලයෙන් මත්වුනු හැම එකෙක්ම වගේ ඔහුත් විනාශ වුණා. සමාජවාදීන් බලය ලැබුනම ජාතිවාදීන් වෙනවද කියන එක මම නිතර කල්පනා කරන ප්‍රශ්නයක්.

    • arunishapiro said, on ඔක්තෝබර් 13, 2017 at 10:24 පෙ.ව.

      Ajith Dharma,

      පොතක් හෝ ලිපියක් ඇසුරු කරගෙන ලියන සටහනකට ගන්නෙ අදාල කොටස විතරයිනෙ. කොමියුනිස්ට්/සමාජවාදය අත්හදා බලපු සෑම රටකම වාමාංශික පාර්ශව එකිනෙකා මරාගත්ත එක බොල්ෂෙවික් විප්ලවයේ පටන් සාමාන්‍යයක් බව නිතර මේ සටහන් පේලියේ කියන නිසා ඒ ගැන ඒ ලිපිය ලියූ තැනැත්තා නොකිව්වාට, මගේ සටහන් කියවන පාඨකයාට කෙරෙන අඩුපාඩුවක් නෙවෙයි.

      නාට්සි සමාජවාදය මාක්ස්වාදය අනුගමනය කළා. පෞද්ගලික දේපල නාමිකව අයිතියක් තිබුණාට ඒවායෙන් මොනවා කුමන මිලකට නිෂ්පාදනය කරනවා ද සහ කාට කෙසේ බෙදාහරිනවා ද ගැන ස්වාධීන තීන්දු ගන්නට නොහැකියාව එහෙනම් ඇඩම් ස්මිත් ඉදිරිපත් කළ අදහසක් ද? රස්සාවල් හදන්න කියා රජයේ සේවයට බඳවා ගැනීම එහෙනම් ෆෙඩරික් බැස්ටියාට් කියා දුන්නා ද? වාහන පැදවීමේ පුහුණුව බදු මුදලින් ගෙනියන හමුදාවට බඳවා ලබා දීමට එහෙනම් මිල්ටන් ෆ්‍රීඩ්මන් පෙනී සිටියා ද? රජය මඟින් යටිතල පහසුකම් දියුණු කරනවා යැයි කියා ජනතාවගේ බදු මුදල් වලින් වාහන දුවන්න පාරවල් හදන රස්සාවල් නිර්මාණය එහෙනම් ලුඩ්විග් වොන් මීසස් පැහැදිලි කරන ලද්දක් ද? නැත්නම් මේ ආර්ථික මැදිහත්වීම් සියල්ලම මාක්ස්වාදී සමාජවාදය අනුගමනය කරන රටවල දකින්නට ලැබෙන ලක්ෂණ ද?

      හිට්ලර්ගේ ප්‍රතිපත්ති වලින් ජර්මනිය දියුණු වුනේ නැහැ. පළමු ලෝක යුද්ධයෙන් පසුව පැනවූ වන්දි ගෙවීම් බරපැන දරාගත නොහැකිව අඩපණව තිබූ ආර්ථිකය තුල වේතන පාලනය, වෘත්තීය සමිති බලය අයින් කිරීම සහ ස්වයං පෝෂිත ක්‍රමයක් හදන්න යද්දී දියුණුවෙන බවක් පෙනීම ෆෙඩරික් බැස්ටියාට් 1850 දී කියූ ‘නොදකින දේ” ගැන හිතන්නට නොහැකි අයට නම් පුදුම දියුණුවක් හැටියට පේනව. ජෝන් මේනාඩ් කේන්ස් පවා එයින් ලෝකය රවටන්න සමත් වූවා. දියුණුවක් නැතිබව පෙනෙද්දී ගේන “හතර අවුරුදු සැලස්ම” හරි නොයද්දී, අනුන්ගේ රටවල් අල්ලාගෙන ඒවායේ සම්පත් උදුරාගන්න බ්ලිට්ස්ක්‍රීග් සහ අනතුරුව සම්පූර්ණ යුද තත්වයකට යන්න වෙන්නෙ ජර්මන් කර්මාන්තවලට ප්‍රාග්ධනය තියා අමුද්‍රව්‍ය පවා නැතිව යද්දී. අන්තිමේ දී ජර්මනිය පැරදෙන බව දකිද්දී හිට්ලර් සැබෑ මාක්ස්වාදියෙක් විදියට සියළු කාර්මික උපකරණ, කර්මාන්තශාලා සහ බඩු තොග වලට ගිනි තියන්න අණ දුන්න. දෙවැනි ලෝක යුද්ධයෙන් පැරදෙන ජර්මන් ජාතිකයා පණ බේරාගත්තෙ මාක්ස්වාදය නිර්දේශ කරන රාජ්‍ය මැදිහත්වීම් නිසා සෑම විටම අනිවාර්යෙන් ඇතිවෙන කළු කඩයකට පිහිට වෙන්න.

      සෝවියට් දේශයේ වගේම ශ්‍රමිකයන්ට යන නිවාඩු නිකේතන තිබුණේ පක්ෂයේ “රෙදි හෝදන” ඉතාමත් සුලු පිරිසකට පමණයි. අද උතුරු කොරියාවෙත් එහෙම ඒවා තියෙනවාලු.

      යුදෙව් සංහාරය නොකළත්, සමාජවාදය දිගටම ගෙනිච්ච නම් ජර්මනිය දියුණු රටක් වෙන්නේ නැහැ. ආර්ථික ගණනය (economic calculation) කුමක්දැයි වටහාගන්න උත්සාහයක් ගත්තොත් එය ඕන අයෙකුට පැහැදිලි වෙනව. ජර්මනිය දියුණු වෙන්නේ සමාජයේ ප්‍රසාදයෙන් පිහිටුවන ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා නොවේ. ප්‍රසිද්ධියේම මාක්ස්වාදී පිළිවෙත් සඳහා පෙනී සිටින සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දේශපාලනිකව විරෝධය දක්වන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී යුනියනය පිහිටුවා සියළු මාක්ස්වාදි සමාජවාදී විරෝධීන්ව එකට එකතු කරල විමධ්‍යගතකරණය පටන් ගෙන වෙළඳ ආර්ථිකයක් ගෙනාවට පසුවයි.

      //1930 න් පස්සේ ඇතිවුන ආර්ථික අවපාතයෙන් ජර්මනිය බේරාගත්තේ හිට්ලර්.// ඒ වගේමයි, FDR ආර්ථික අවපාතයෙන් ඇමෙරිකාව බේරාගත්ත කියලත් ඇමෙරිකන් අය ඇතුළු ලෝකයේ බොහෝ දෙනෙක් තාම විශ්වාස කරනව. අර්ථ ශාස්ත්‍රය ගැන කතා කරන්න මෙම සටහනෙන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

      සමාජවාදීන් බලය ලැබුණම ජාතීවාදීන් වෙන්නේ ඇයි යන්න පහදා ගන්න එෆ්. ඒ. අයෙක් ලියූ දාස භාවයට යන පාර කියවන්න.

      • Ajith Dharma said, on ඔක්තෝබර් 14, 2017 at 4:54 ප.ව.

        //නාට්සි සමාජවාදය මාක්ස්වාදය අනුගමනය කළා. පෞද්ගලික දේපල නාමිකව අයිතියක් තිබුණාට ඒවායෙන් මොනවා කුමන මිලකට නිෂ්පාදනය කරනවා ද සහ කාට කෙසේ බෙදාහරිනවා ද ගැන ස්වාධීන තීන්දු ගන්නට නොහැකියාව එහෙනම් ඇඩම් ස්මිත් ඉදිරිපත් කළ අදහසක් ද? රස්සාවල් හදන්න කියා රජයේ සේවයට බඳවා ගැනීම එහෙනම් ෆෙඩරික් බැස්ටියාට් කියා දුන්නා ද? වාහන පැදවීමේ පුහුණුව බදු මුදලින් ගෙනියන හමුදාවට බඳවා ලබා දීමට එහෙනම් මිල්ටන් ෆ්‍රීඩ්මන් පෙනී සිටියා ද? රජය මඟින් යටිතල පහසුකම් දියුණු කරනවා යැයි කියා ජනතාවගේ බදු මුදල් වලින් වාහන දුවන්න පාරවල් හදන රස්සාවල් නිර්මාණය එහෙනම් ලුඩ්විග් වොන් මීසස් පැහැදිලි කරන ලද්දක් ද? නැත්නම් මේ ආර්ථික මැදිහත්වීම් සියල්ලම මාක්ස්වාදී සමාජවාදය අනුගමනය කරන රටවල දකින්නට ලැබෙන ලක්ෂණ ද?//

        නාසීන් සමාජවාදය කියන වචනය පාවිච්හි කලේ මාක්ස්වාදී අර්ත්යන්ම නොවේ. ඔය ඔබ කියන //පෞද්ගලික දේපල නාමිකව අයිතියක් තිබුණාට ඒවායෙන් මොනවා කුමන මිලකට නිෂ්පාදනය කරනවා ද සහ කාට කෙසේ බෙදාහරිනවා ද ගැන ස්වාධීන තීන්දු ගන්නට නොහැකියාව // අදහසට තියෙන සාක්ෂි නැහැ. එහනම් ඉතින් LTTE එකත් සමජවදියි. හැමෝම දන්නවා ඒක ජාතිවාදී ව්‍යාපාරයක් කියල. ඒකාධිපති නායකයෙක්. අනිත් හැම විරුද්ධවාදියම ( වාමන්ශිකයන් ඇතුළුව මැරුව ) තමන්ගේ සල්ලි ආයෝජනය කලා , මිනිසුන්ට දුන්න ආයෝජනය කරලා සංවිධානයට ගෙවන්න. නාසි ජර්මනියේ පෞද්ගලික දේපල අයිතිය තහනම් කළේ නැහැ. තමන්ට විරුද්ධ අයගේ ඒවා ගත්ත. ඒක අනිත රටවලත් කලා. සීමන් , බෙන්ස් බිඑම්ඩබ්ලිව් කර හදන සමාගම් එහෙමං තිබුන. ඒ අතර නාසි පාටිය සම්බන්ධ ව්‍යාපාරත් තිබුන.
        අර ශින්ද්ලර්ස් ලිස්ට් එකේ ඔස්කාර් ස්චින්ඩ්ල්ර එයාගේ කොම්පන්ය් වල අයිතිය තිබ්බේ නැත්ද? එයා ලාභ ලැබුවේ නැත්ද? මිනිහට අයිති නිසා තමයි යුදෙව්වෝ බෙර ගන්න පුළුවන් වුනේ. වොන් මිසිඅ ගැන මේ ලිපිය ලියපු කෙනා හරියට හොයල නැහැ. නැත්නම් ඕන කමින් තමන්ගේ මතය ඔප්පු කරන්න කරුණු වහනවා.

        යුද්ධ කලෙකදී පෞද්ගලික දේපල සමහරක් රජයට ගැනීම ධනවාදී රටවල් කරන දෙයක්. බ්‍රිතාන්‍යයේ කරා . ඇමෙරික එක්සත් ජනපදයේ කලා. එහම් කලා කියල ඒ ගොල්ල සමාජවාදී කියල කවුරුත් කියනවද? එක්සත් ජනපදය බිලියන් ගන්නක ව්‍යාපාර අරන් තියනවා රජයට. නාසීන් ඒක කලා බලහත්කාරයෙන්. එහෙම කලා කියල ඔවුන් සමාජවාදීන් වෙන්නේ නැහැ.

        • Ajith Dharma said, on ඔක්තෝබර් 14, 2017 at 5:01 ප.ව.

          //හිට්ලර්ගේ ප්‍රතිපත්ති වලින් ජර්මනිය දියුණු වුනේ නැහැ. පළමු ලෝක යුද්ධයෙන් පසුව පැනවූ වන්දි ගෙවීම් බරපැන දරාගත නොහැකිව අඩපණව තිබූ ආර්ථිකය තුල වේතන පාලනය, වෘත්තීය සමිති බලය අයින් කිරීම සහ ස්වයං පෝෂිත ක්‍රමයක් හදන්න යද්දී දියුණුවෙන බවක් පෙනීම ෆෙඩරික් බැස්ටියාට් 1850 දී කියූ ‘නොදකින දේ” ගැන හිතන්නට නොහැකි අයට නම් පුදුම දියුණුවක් හැටියට පේනව. ජෝන් මේනාඩ් කේන්ස් පවා එයින් ලෝකය රවටන්න සමත් වූවා. දියුණුවක් නැතිබව පෙනෙද්දී ගේන “හතර අවුරුදු සැලස්ම” හරි නොයද්දී, අනුන්ගේ රටවල් අල්ලාගෙන ඒවායේ සම්පත් උදුරාගන්න බ්ලිට්ස්ක්‍රීග් සහ අනතුරුව සම්පූර්ණ යුද තත්වයකට යන්න වෙන්නෙ ජර්මන් කර්මාන්තවලට ප්‍රාග්ධනය තියා අමුද්‍රව්‍ය පවා නැතිව යද්දී. අන්තිමේ දී ජර්මනිය පැරදෙන බව දකිද්දී හිට්ලර් සැබෑ මාක්ස්වාදියෙක් විදියට සියළු කාර්මික උපකරණ, කර්මාන්තශාලා සහ බඩු තොග වලට ගිනි තියන්න අණ දුන්න. දෙවැනි ලෝක යුද්ධයෙන් පැරදෙන ජර්මන් ජාතිකයා පණ බේරාගත්තෙ මාක්ස්වාදය නිර්දේශ කරන රාජ්‍ය මැදිහත්වීම් නිසා සෑම විටම අනිවාර්යෙන් ඇතිවෙන කළු කඩයකට පිහිට වෙන්න.// වරදවා වටහා ගන්න එපා මම හිට්ලර්ගේ පැත්තට කතා කලේ නැහැ. දැන් මහින්ද අලංකාවේ යුද්ධේ ඉවර කරලා මහා පාරවල් දෙක තුනක් හැදුව. ලොකු ගොඩනැගිලි හැදුව. දියුණුව ඒකයි කියල කියන කට්ටිය ඉන්නව. ඔය මගේ බිරිඳගේ අත්තම්ම හා සීයා කතා කලෙත් ඒ වගේ. හිට්ලර් ගේ කාලේ ගොඩක් ගොඩනැගිලි හැදුව. පාරවල් හැදුව. හැදුවේ නයටද නැත්ද කියන එක සාමාන්‍ය මිනිහට අදාල නැහැ. ඔවුන් දකින්නේ කරන දේවල්. ඔවුන්ට පෙන්නේ රස්සා ලැබෙනවා. රටේ දේවල් හැදෙනවා. . සරලයි. ස්ටාලින් ගේ කලේ උක්රයිනය මිනිස්සු මැරෙද්දි මොස්කව් වල ලොකු ගොඩනැගිලි හැදුව. අදත් ඒවා විරජමානයි. ගමක හිටිය ඔවුන්ට දන්නේ එපමණයි. පස්සේ සීයා ව බලෙන් අරන් යවනවා යුද්දෙට. එය සප්ලයි යුනිට් එක්ක ඉදිරි හමුදාවේ පිටුපස හිටි නිසා ජර්සි වෙනකන් ඇවිත් බේරෙනවා. එය රටට අපහු ගිහින් අවුරුද්දකටත් පස්සෙයි යුදෙව් මිනිසුන් හෙම මරපුව දන්නේ. ඒකයි තත්වේ.

          • Ajith Dharma said, on ඔක්තෝබර් 14, 2017 at 5:10 ප.ව.

            //ජර්මනිය පැරදෙන බව දකිද්දී හිට්ලර් සැබෑ මාක්ස්වාදියෙක් විදියට සියළු කාර්මික උපකරණ, කර්මාන්තශාලා සහ බඩු තොග වලට ගිනි තියන්න අණ දුන්න//

            මේ කතාවට නම් ඇත්තටම හිනා යනවා. ඕකට කියන්නේ Scorched earth policy කියලනේ. ඕක ඉස්සෙල්ලම ගේනවා කියන්න නැ පෝලි යන්ට ගහපු වෙලේ රුසියානු ජෙනරාල් කුතුසොව්.1812 ද කොහෙද. මොස්කව් ඔක්කොම ධාන්‍ය ගෙවල් ගිනි තියල පසු බැස්ස. සර් ගේ ජෙන්රල්ලුත් ඔයාගේ තර්කයට අනුව මාක්ස්වාදියෙක්. ඊළඟට සුද්ද 1818 වෙල්ලසේ කැරැල්ලෙන් පස්සේ පළාතම ගිනි තිබ්බ. උනුත් මාක්ස්වාදියෝ වෙන්න ඕනේ. ස්ටාලින් පහු බහින කොට ගිනි තියල විනාශ කරගෙන පසු බැස්සේ. මිනිහ මාක්ස්වාදිය කියලනේ කියන්නේ. ප් නැගෙනහිර ෆ්රන්ට් එකෙන් පසු බහිද්දී තමයි හිට්ලර් එන දුන්නේ කර්මාන්තශාලා ඔක්කොම ගිනි තියාගෙන පසු බහින්න කියල. ජර්මනියේදී එක කරන්න බැරිවුනා එතකොට ජර්මනිය විනාශ වෙලා ඉවරයි බෝම්බ වලින්ම. ඩන්කර්ක් පහු බහිමේදී සමහර දේපල විනාශ කරගෙන තම මිත්‍ර හමුදා පසු බස තිබෙන්නේ. ඔය ස්කොර්ච් අර්ත් පොලිසි එක තහනම් කලේ 1977 ජිනීවා කොන්වෙන්ෂන් එකකින්. ඕක මාක්ස්වාදී කියන කටහ්වම සාවද්‍යයි.

            • Ajith Dharma said, on ඔක්තෝබර් 14, 2017 at 5:13 ප.ව.

              //සෝවියට් දේශයේ වගේම ශ්‍රමිකයන්ට යන නිවාඩු නිකේතන තිබුණේ පක්ෂයේ “රෙදි හෝදන” ඉතාමත් සුලු පිරිසකට පමණයි. අද උතුරු කොරියාවෙත් එහෙම ඒවා තියෙනවාලු.// තරමක් දුරට සත්‍යයක්. නමුත් සම්පුර්ණයෙන්ම නොවේ. උතුරු කොරියාව ගැන නම් දන්නේ නැහැ. වෙන්න පුළුවන්. සෝවියට් දේශයේ කළු මුහුදේ හෙම තිබුන ඇතැම් නිවාඩු නිකේතන වලට මම ගිහින් තියනවා. පක්ෂ වල උසස් අය යන ඒවා වෙනම තියනවා. සාමාන්ය් මිනිසුන්ට යන ඒවා වෙනම තියනවා. හොඳට වැඩ කරපු කම්කරුවනට යන් පුළුවන් ඒවාට . ඔය තරු ගහපු. හැබැයි සමනය නගර සල තියන ඒවාට අවට වැසියන්ට එන්න පුළුවන්. මම එහම එකකට (පෙන්සියනත් කියල කියන්නේ) 1985 ගියා . ඒකට අහල පහල හිටි තරුණ තරුණියෝ හා වැඩිහිටි අය ඇවිත් හිටිය. අපිව අරන් ගියෙත් විශ්ව විද්‍යාලයෙන්. හැම ළමයෙක්ම අරන් ගියා වෙනසක් නැතිව.

            • arunishapiro said, on ඔක්තෝබර් 16, 2017 at 11:55 පෙ.ව.

              Ajith Dharma,

              දේපල අයිතිය ආරක්ෂා කිරීම කුමක්දැයි නොදන්නාකම නිසා මාක්ස්වාදීන් දේපලට ගිනි තැබීම, බොල්ෂෙවික් විප්ලවයේ පටන් මාක්ස්වාදය ක්‍රියාත්මක වූ සෑම රටකම දකින්නට ලැබෙන දෙයක්. හැබැයි ඒක මාක්ස්වාදී කීම විතරක් සාවද්‍යයයි!!!

          • arunishapiro said, on ඔක්තෝබර් 16, 2017 at 11:52 පෙ.ව.

            Ajith Dharma,

            ඔව් හරි පුදුමයි, නාට්සි ජර්මනියේ විසූ ජර්මන් බහුතරය යුදෙව්වන් ලක්ෂ 20 ක් මරා දැම්ම එක ගැන හාංකාවිසියක් දැනන් සිටියේ නෑ.

            • Ajith Dharma said, on ඔක්තෝබර් 16, 2017 at 3:54 ප.ව.

              ඔයා අහල බලන්න හුඟක් ජර්මන් කට්ටිය ගෙන් ඒ කාලේ හිටිය. අන්තර්ජාලය තිබ්බේ නැහැ. පත්තරවල රේඩියෝ වල කිව්වේ එක දෙයක් ගැන විතරයි. නාසි ප්‍රචාරණය විතරයි. ඒවා ගැන දන්නා ජර්මන් මිනිස්සු ටික දෙනෙක් යුදෙව්වන්ට උදව් කලා, කොටින්ම යුදෙව්වන් පවා විශ්වාස කලේ නැහැ වධකාගාර වලට ගෙනියනකන්. ලංකාවේ මිනිස්සු තවම විශ්වාස කරනවද 2009 මරපුව. පින්තුර තිබ්බත්. අනික ඔය grandparents ල හිටි ඈත ගම්වල යුදෙව්වෝ තියා වෙන රටක වැසියෙක් හිටියේ නැහැ. මම විශ්වාස කරනවා ඒ කථාව. මගේ බිරිඳගේ දෙමාපියන් අදත් ඇතැම් කොම්පැනි වල ජරම්න් කාරෙකක් ගන්නේ නැහැ. යුද්ධ කාලේ යුදෙව් සිරකරුවන්ගෙන් වැඩ ගත්ත කියල. (හැමෝම කරන්නේ නැහැ හැබැයි) මම හිතන්නේ ඔවුන් දැන් හුඟක් ලිබරල් වෙලා තියෙන්නත් සිරියන් අනාථයන් ගන්නෙත් ඒකයි.
              ඕක ඉතින් සෝවියට් දේශයේත් එහෙමනේ ස්ටාලින්ගේ කාලයේ සිට. පස්සෙනේ ටිකක් හරි විවෘත වුනේ.

        • arunishapiro said, on ඔක්තෝබර් 16, 2017 at 11:50 පෙ.ව.

          Ajith Dharma,

          අපි දෙන්නට දෙකක් කියන්න හැකියි. ඒත් මෙයින් එකක් පමණයි සත්‍යය. නාට්සීන් සමාජවාදය භාවිතා කළේ මාක්ස්වාදී අර්ථයෙන් නෙමෙයි යැයි ඔබ කියනව. නාට්සී ආර්ථික ප්‍රතිපත්ති මාක්ස්වාදී කියාගත් රටවල සේ ම දිග හැරුණු බවත්, ඔවුන්ගේ සමාජ ප්‍රතිපත්ති ද එවැනිම ආකාරයෙන් දිග හැරුණු බවත් සාක්ෂි දරන්නේ ඉතිහාසයයි.

          නාට්සි ජර්මනියේ ක්‍රියාත්මක වූ සමාජවාදය සහ සෝවියේ දේශයේ පැවති මාක්ස්වාදී-ලෙනින්වාදී සමාජවාදය අතර පැවති එකම වෙනස නාමික දේපල අයිතිය. එය පෙන්වා දුන්නේ ලුඩ්විග් වොන් මීසස්.

          සාක්ෂි නැහැයි කියන ඔබ, ඉදිරිපත් කළ උදාහරණය වන ඔස්කා ශින්ඩ්ලර්, මේ වාදයේ මම පෙන්වූ සාධක ඔප්පු කරන මගේ පැත්තට වැටෙන සාක්ෂියකි. නාට්සි ජර්මනියේ කිසිම ව්‍යාපාරිකයෙකුට තමන් කැමති නිෂ්පාදනයක යෙදෙන්නට අවසර තිබුනේ නැහැ. දේපල අයිතිය යනු ඒවා කුමන ලෙසකින් ආයෝජන කරනවාදැයි තීරණයට හැකියාවයි. තමන්ට විරුද්ධ අයගේ දේපල රජයට පවර ගනිද්දී එවැනි රටක පෞද්ගලික දේපල අයිතියක් ඇතැයි කීම යනු දේපල අයිතිය කුමක්දැයි කැමති ආකාරයකින් නිර්වචනය කරගැනීමට හැකියාව ලැබෙන විහිළුවකි. පෞද්ගලික දේපල අයිතිය ආරක්ෂා නොවන්නේ නම් එහි දී ධනවාදී ආර්ථික ක්‍රමයට පැවැත්මක් නැතැයි වටහා ගැනීමට හැකියාවක් නැතිකම මෙවැනි 1984 පොතේ ලෙසින් නිව්ස්පීක් පවතින ලෝකයක පුදුමයක් නොවේ. රජය ගෙනෙන ආරක්ෂණවාදයෙන් ධනවත් වෙන්නට හැකියාව ලබන ශින්ඩ්ලර්, සව්සිරි මුදලාලි සහ ධම්මික පෙරේරා වැනි අය සිටීම දේපල අයිතිය රකින, වෙළඳපොල තරඟය පවතින ධනවාදී ආර්ථික හා සමාජ වාතාවරණයක් යැයි සිතීම තරම් දුර්මතයක් ලොව වෙන නැහැ.

          ඔව්, එල්ටීටියත් සමාජවාදීයි, මාක්ස්වාදී-ලෙනින්වාදීයි. හැබැයි එහෙම කියන්නෙ මම නෙමෙයි. සිලෝන් කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ මහලේකම්. එයා මාඕවාදියෙක්. මාඕ ද මුලින් මාක්ස්වාදියෙක්. මාක්ස්වාදය වැරදෙන හැම අවස්ථාවක දී ම, එය ක්‍රියාත්මක කළවුන් මාක්ස්වාදය හරියට හදාරල නැහැයි අහන්න ලැබෙනව!!!!
          “It is true that, for pragmatic reasons they first resorted to armed struggle and thereafter went in search of an ideology that would justify such action. Naturally they found it in Marxisim-Leninism. There is nothing wrong in this except the most of the Tamil militant groups did not seem to have studied Marxism-Leninism sufficiently and deeply …” – N. Sanmugathasan.

          ලාබ ඉපැයීම නොමැතිව ව්‍යාපාරයක් කරගෙන යා නොහැකි බව සෝවියට් දේශය ආරම්භයේම පෙන්වා දුන්නේ ද වෙන කවුරුත් නෙමෙයි, ලුඩ්විග් වොන් මීසස්. ලෙනින් විසින් නව ආර්ථික ප්‍රතිපත්ති ගෙනැවිත් කළුකඩයට පාර හදා දුන්නේ නාට්සීන් ශින්ඩ්ලර්ට ලාබ හොයන්න ඉඩ දුන්න විදියටමයි. අනිත් අය දන්නෑ හෝ අන්‍යයන් තම මතය ඔප්පු කරන්න කරුණු වහනවා කියන්න කළින් ඔබ සත්‍යය ඉතිහාසය ගැන මීට වඩා දැනුවත් විය යුතුයි.

          ඔව්, රටේ නීතිය විපර්යාස කරමින් සමහර පෞද්ගලික දේපල රජයට පවරා ගැනීම ධනවාදී රටවල ද සිද්ධ වූවා. වර්තමානයේ බරක් ඔබාමා ද කොංග්‍රසයේ අනුමැතිය නොමැතිව රටේ නීතිය උල්ලංඝණය කරමින් එයා ගෙනාපු සෞඛ්‍ය රක්ෂණය බේරාගන්න බදු මුදල් භාවිතා කරල තියනව. සමාජවාදීන්ගේ ප්‍රියතම චරිතයක් වූ ඒබ්‍රහැම් ලින්කන් ඊට ගජ හපනෙක් වුවා. ඔබාමා සහ ලින්කන් වගේ අය සමාජවාදීන් යැයි කියන බොහෝ අය ලින්කන්ගේ පාලන කාලයේ මෙන්ම වර්තමානයේ ද ඉන්නව.

          • Ajith Dharma said, on ඔක්තෝබර් 16, 2017 at 3:57 ප.ව.

            ශන්මුගදාසන් ගේ පක්ෂයට තමයි විජේවීර මුලින් බැඳුනේ මාඕ වාදී නිසා. ටෙලෝ, EPRLF හෙම මාක්ස්වාදී ලෙනින්වාදී තමයි. ඒක ඇත්ත. ෂන්මුගදාසන් ගේ සම්බන්ධකම් තිබුනේ ඔවුන් එක්ක. උමා මහේෂ්වරන් නුත් වාමාංශික. ප්‍රභාකරන් විසින් ඔය ඔක්කොම මරලානේ ජාතිවාදයට හෙවත් ජාතික සමාජවාදය (national socialism) ට ගියේ. ටෙලෝ එක 700ක් යාපනයේදී මැරුව. ඕව අපි එකඟ නොවෙන්න එකඟ වෙමු. පිළිතුරට ස්තූතියි.

  4. Ajith Dharma said, on ඔක්තෝබර් 14, 2017 at 5:17 ප.ව.

    යුදෙව් සංහාරය නොකළත්, සමාජවාදය දිගටම ගෙනිච්ච නම් ජර්මනිය දියුණු රටක් වෙන්නේ නැහැ. ආර්ථික ගණනය (economic calculation) කුමක්දැයි වටහාගන්න උත්සාහයක් ගත්තොත් එය ඕන අයෙකුට පැහැදිලි වෙනව. ජර්මනිය දියුණු වෙන්නේ සමාජයේ ප්‍රසාදයෙන් පිහිටුවන ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති නිසා නොවේ. ප්‍රසිද්ධියේම මාක්ස්වාදී පිළිවෙත් සඳහා පෙනී සිටින සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දේශපාලනිකව විරෝධය දක්වන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී යුනියනය පිහිටුවා සියළු මාක්ස්වාදි සමාජවාදීන් එකතු කරල විමධ්‍යගතකරණය පටන් ගෙන වෙළඳ ආර්ථිකයක් ගෙනාවට පසුවයි.

    එකඟ වෙන්න පුළුවන්ස්ටාලින් ව අයින් කලාට පස්සේ. කෘෂෙව් ප්‍රතිසංස්කරණ ගේනවා. ඉන් සෝවියට් දේශය දියුණු වුණා . ඔන්න ඔතන මට ප්‍රශ්නයක් තිබෙනවා. ස්පුට්නික් එක ඇරියේ , රේල් පාරවල් ගොඩක් හැදුනේ මේ කාලේ . ගෙවල් වලට විදුලිය දුන්න තට්ටු නිවස හදුනා. ඒක දියුණුව කියල කියනවා නම. මිනිස්සු වැඩ කලා. ආයේ බ්රෙශ්නෙව් කාලේදී මිනිස්සු වැඩ කිරමෙන් මග අරින්න ගත්ත. ආර්ථිකය එක තැන පල්වුනා . ඒක වුනේ කොහොමද කියන එකත් හිතන්නේ ඕනේ. බවෙර්ක් ගේ හෝ මිසස් ගේ ලිපි වල ඒවා ගැන කියවෙන්නේ නැහැ. අපි ගිය සෝවියට් දේශය සාපේක්ෂව දියුණු රටක්. ඒක වුනේ කොහොමද? ඒකත් ප්‍රශ්නයක්.

    • arunishapiro said, on ඔක්තෝබර් 16, 2017 at 12:04 ප.ව.

      ස්පුට්නික් යැවීම සහ බොල්ෂෙවික් විප්ලවයේ දී කඩා බිඳ දමන ලද රේල් පාරවල් ගොඩක් පසුව හදන්නට සිද්ධ වීම දියුණුවක් විදියට දකින එක කණගාටුවට කාරණයක්. ආර්ථිකය එකතැන පල්වෙන්න පටන් ගත්තේ ශ්‍රම කඳවුරු අයින් කිරීම නිසා නෙමෙයි. රජයේ මධ්‍යම පාලන ක්‍රමයෙන් ගෙන එන්න පුළුවන් “දියුණුව” කියන එක යා හැකි දුර අවසන් වීම නිසයි. සෝවියට් දේශය පටන් ගත් කාලයේ දී ම තිරසාර දියුණුව ඇතිවෙන්නේ මාක්ස්වාදී ක්‍රමයෙන් නොවේ කියා ඉතා පැහැදිලිව සහ විස්තරාත්මකව ඉයුජින් බොයිම් වොන් බවර්ක් සහ ලුඩ්විග් වොන් මීසස් පෙන්වලා දුන්න. ඔවුන්ගේ ලිපිවල ඒවා ගැන කියැවෙන්නෙ නැහැයි ඔබ කියූ පමණින් එය සත්‍යයක් නොවන බව ඔවුන් දෙදෙනා ලියූ පොත් සහ ලිපි කියවන ඕන කෙනෙකුට සොයාගත හැකියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: