අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රයෝජනවත් මෝඩයින් සහ අප්‍රිකාවේ කොමියුනිස්ට්වාදය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 11, 2017

දේශපාලන පද වහරට එකතු වූ “ප්‍රයෝජනවත් මෝඩයා” යන්නෙන් හැඳින්වෙන්නේ හරි හැටියකට නොදැන යම් දේශපාලන ව්‍යාපාරයකට ඇප කැප වෙමින් එහි ප්‍රොපගැන්ඩා කටයුතුවල යෙදෙන අයෙකි. සෝවියට් දේශය විසින් සාර්ථකව හසුරවන ලද කොමියුනිස්ට් ගුණ්ඩුව ගිල්ල අය ගැන සඳහන් කරද්දී මෙය අහන්නට ලැබෙයි. මුලින්ම මෙම පද වහර යොදන ලද්දේ වෙන කිසිවෙක් නොව ව්ලැඩමියර් ලෙනින් විසිනි.

රත්තරන් වෙරළේ ප්‍රයෝජනවත් මෝඩයා ගැන මා කළින් ලියූ සටහනක් මෙතැනින් කියැවිය හැකියි. අප්‍රිකාවේ කොමියුනිස්ට්වාදය ගැන ලියන මේ ඇතුළු ඊ ළඟ සටහන් කිහිපය ද කොමියුනිස්ට්වාදයේ කළු පොතේ, ඊව් සාන්තාමරියා (Yves Santamaria) ලියූ අප්‍රිකාවේ කොමියුනිස්ට්වාදය: ඉතියෝපියාව, ඇන්ගෝලාව, සහ මොසැම්බික් යන පරිච්ඡේදය ඇසුරිනි.

සීතල යුද්ධය යන්න මුළුමනින් පටන් ගන්නට පෙර, යටත්විජිත විරෝධී අරගල සහ කොමියුනිස්ට් ව්‍යාපාරය එකිනෙක හා සම්බන්ධ කරන්නට වෑයමක් ගන්නා ලද්දේ ප්‍රංශයයි. විදේශයන්හි පැවති යටත්විජිත පාලන අත්හරින්නට යැයි ප්‍රංශයට එවක දී ඇමෙරිකාවෙන් බලපෑම් එල්ල වී තිබිණ. ප්‍රංශ හතරවැනි ජනරජයට උවමනා වූයේ යටත්විජිතයන් හි හටගෙන තිබූ ජාතික ව්‍යාපාරයන්ට ඒ දේශ ආපහු බාර දුන්නොත් අනිවාර්යෙන්ම මොස්කව් වලට ඒවා නතු වෙනු ඇතැයි පෙන්වන්නටයි. “පෙරදිගෙන් පැරීසියට යන පාර වැටී ඇත්තේ ඇල්ජීරියාව හරහා,” යන ලෙනින් කියූ පරණ කියමනක් මේ දැක්ම හඟිස්සවන්නට නිතර පාහේ උපුටා දැක්විණ.

බර්ලින් තාප්පය කඩා දමා වැඩි කල් ඉක්ම නොගිය 1989 වසරේ, රුවන්ඩාවේ දේශප්‍රේමී පෙරමුණේ අයව “කළු කේමර්” යැයි හැඳින්වෙන්නට පටන් ගති. ඔවුන් පොල් පොට් හිතවාදීන් යැයි සැලකුණි. ඒ අස්සේ, ඇමෙරිකාවේ අධ්‍යාපනය ලද ඔවුන්ගේ නායකයා, පෝල් කගාමෙ, ප්‍රංශය විසින් ‘ඇමෙරිකන්’ යැයි හැඳින්වූහ.

අප්‍රිකාවේ කොමියුනිස්ට් වෑයම් දිග හැරුනේ ද මෙතෙක් මේ සටහන් මාලාවෙන් කියාගෙන ආ සෙසු රටවල එය සිද්ධ වූ ලෙසින්මයි. නැගෙනහිර ජර්මනියේ කොමියුනිස්ට්වාදය කඩා වැටෙද්දී, “මාක්ස්වාදයේ ඉතිහාසය තුලින් අපිට දැඩි ගැටළු හටගන්නට පටන් ගෙන,” යැයි මොසැම්බික් ජනාධිපති වූ ජුවාකිම් චිසානෝ පිළිගත්තේය.

උග්‍ර මාක්ස්වාදීන් සහ විශේෂයෙන්ම ට්‍රොට්ස්කිවාදීන්, ජෝසප් ස්ටාලින්ව කොමියුනිස්ට්වාදියෙක් හැටියට හඳුන්වන්නේ නැති ආකාරයෙන්ම, ඉතියෝපියාවේ නායකත්වය 1977 සිට 1991 දක්වා අල්ලාගෙන සිටි හයිලෙ මාරියම් මෙන්ගිස්ටු ද කොමියුනිස්ට් යැයි නොකියති. 1977 සිට 1987 දක්වා ඉතියෝපියාව පාලනය කළ මෙන්ගිස්ටු සභාපතිව සිටියේ කොමියුනිස්ට් මිලිටරි ජුන්ටාවේ බව මේ අය බැහැරකට දමති.

1974 සිට 1991 දක්වා කාලය තුල අප්‍රිකාවේ රටවල පැතිර ගිය ජාතික ව්‍යාපාර විසින් කාල් මාක්ස්, බොල්ෂෙවික්වාදය සහ සෝවියට් දේශය කරපින්නා ගත්හ. සෝවියට් දේශය තුල සහ කොමියුනිස්ට් ජාත්‍යන්තරය තුල ඔවුන්ට සහාය ලබාදෙන අය සිටියහ. ඒත් අනික් සෑම කොමියුනිස්ට් පාලනයන් අල්ලා ගත් රටවල් සේ ම, මුල් කාලයේ දී මේ අප්‍රිකාවේ රටවල කොමියුනිස්ට් පක්ෂ සංවිධානයන්හි සැබැවින්ම සාමාජිකයන් සිටියේ අල්පයකි. 1939 දී මුළු අප්‍රිකාව පුරාම කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් සිටියේ පන්දාහක් පමණ යැයි සෝවියට් ඇස්තමේන්තු දක්වයි. ඒත් 1970 ගණන් ආරම්භයේ ඒ සංඛ්‍යාව හැටදහසක් බවට පත්විය. අලුත් නායකයන් බලය අල්ලා ගත් වහාම ඔවුන් ඔවුන් භූමිය බෙදා එතෙක් අප්‍රිකාවේ පැවති පරණ සමාජවාදයෙන් ඈත්වූහ.

1950 සහ 60 ගණන් වල දී අප්‍රිකාවේ ජාතික ව්‍යාපාර තුලින් ගොඩනැඟූ “අප්‍රිකානු සමාජවාදය” අත්හැර දැමීමට හේතුව ටැන්සානියාවේ උජාමා වැනි සාමූහික කෘෂිකාර්මික උත්සාහයන් ඒ වෙද්දී අසාර්ථක ප්‍රතිඵල ගෙන දී තිබීමයි. සාමූහික වෑයම් අසාර්ථකවීමේ හේතුව හැටියට මොසැම්බික් ජාතික නිදහස් පෙරමුණේ ෆ්‍රෙලිමෝ සහ ඉතියෝපියන් විශේෂඥයන් පෙන්වා දුන්නේ ටැන්ගැන්යිකා අප්‍රිකානු ජාතික යුනියනය/ඇෆ්‍රො ෂිරාසි පක්ෂය ප්‍රමාණවත් තරමට මාක්ස්වාදී-ලෙනින්වාදී නොවූ නිසායි කියාය.

“විද්‍යාත්මක සමාජවාදියා” යන අලුත් වහර භාවිතය පටන් ගැනීමෙන් අත්විඳි අසාර්ථකත්වයෙන් අයින් වන්නට හැකියාව ඔවුන් පාදා ගත්හ. ගම්බද වැසියන් අතර සම්ප්‍රදායීව පවතින එකමුතුබව ඔවුන්ගේ රටවල් මුහුණ පාන ප්‍රධාන අනතුරක් යැයි ඔවුන් කියා සිටියහ. එය ගෝත්‍රිකවාදයේ අවදානමක් හැටියට දැක්වූහ.

රජයේ කාර්ය භාරය ජාතිය ගොඩනැඟීම යැයි ඔවුන් කල් තියාම පිළිගත්හ. මේ රට නංවාලීමේ භූමිකාව බාර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමනට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබේවි යැයි අප්‍රිකා මහා ද්වීපයේ මාක්ස්වාදී නායකයන් සිතූහ.

මොසැම්බික් හි අගනුවර වන මාපුටෝ ගුවන්තොටුපොළ වෙතට යන අයෙකුට එහි ගසා ඇති “මානුෂික නිදහස් කලාපය” යැයි කියැවෙන දැවැන්ත පුවරුවක් මඟ හැරිය නොහැකි විය. එයින් පෙන්නුම් කළේ කොමියුනිස්ට් ව්‍යාපෘතියේ පැතිකඩ දෙකකි. වර්ගවාදී දකුණු අප්‍රිකාවට එරෙහි අධිරාජ්‍ය විරෝධය ඉන් එකකි. අනෙක අනිකුත් සමාජවාදී දේශයන් සමඟ කොමියුනිස්ට් ලෝක පිළිවෙතට ප්‍රවේශ වූ බව පෙන්වීමයි.

මොසැම්බික් ලෙසින් ඇන්ගෝලා සහ ඉතියෝපියාව සමාජවාදී ප්‍රවේශයෙන් යුතු රටවලට එකතු වූහ. කියුබාව සහ වියට්නාමය මෙන් නොව ධනවාදය අත්හැර දමා මේ අලුතින් එක්කාසු වෙන රටවලට “සමාජවාදී” යැයි කියන්නට නොහැකි නිසා සෝවියට් විශ්ලේෂකයන් ඊට අලුත් පද වහරක් සෙවූහ.

සමාජවාදී යන ලේබලය එවක දී සෝවියට් දේශයෙන් ආර්ථික ආධාර සහතික වූ ලේබලයකි. ඒත් අප්‍රිකාවේ රටවලට ආධාර ගලා ආවේ නැත. සමාජවාදී යැයි කියාගත්තාට, ඔවුනට සිය සංවර්ධන සඳහා බටහිරෙන් මුල්‍යාධාර සොයා ගන්නට හෝ තමන්ගේ සම්පත් වලින් මුල්‍ය හොයා ගන්නට සිද්ධ විණ.

සමාජවාදී යැයි කියාගත් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ලංකාවට ද ඒ පාලන සමයේ දී ආර්ථිකය අන්තිමට බහිද්දී වැඩියෙන්ම විදේශ ආධාර එවා ඇත්තේ ඇමෙරිකාව යැයි ජෝන් රිචඩ්සන් ලියූ Paradise Poisoned (2005) පොතේ සඳහන්.

“රතු අධිරාජ්‍යවාදය” සඳහා අන්තර්ජාතික ශ්‍රමිකයන්ට හමුදාමය සහයෝගය සැපයීම කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ මුල් කාලයේ පටන් පරම වගකීමක් යැයි සැලකෙන ලද සම්ප්‍රදායකි. සෝවියට් අවි අප්‍රිකාවේ බොහෝ රටවල් වලට සපයන ලද වුවත්, මෙහි දී අවධානයට යොමුවන රටවල් තුන, මොසැම්බික්, ඇන්ගෝලා සහ ඉතියෝපියාව යනු සෝවියට් මිලිටරි ආධාර ලැබූ ප්‍රධාන රටවල් තුනයි.

ඒ හැරෙන්නට අප්‍රිකා මහා ද්වීපය පුරා සෝවියට් උපදේශකයන් 8,850 ක් විසිර සිටියහ. 1980 ගණන් මැද සිට අවසානය දක්වා කියුබන් වැසියන් 53,900 ක් ද, නැගෙනහිර ජර්මනියෙන් පැමිණි විශේෂඥයන් විශාල පිරිසක් ද අප්‍රිකාවේ බොහෝ රටවල දකින්නට ලැබුණි. කියුබන් සහ නැගෙනහිර ජර්මන් අය දේශීය ආරක්ෂ සේවා සපයන්නට සහාය දුන් විශේෂඥයන් වූහ.

මේ සටහන “කොමියුනිස්ට්වාදයේ කළුපොත” ඇසුරිනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: