අරුණි ශපීරෝ‍ වෙතින්

නිදහස යැයි රවටා දාස භාවය අලෙවි කිරීම

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 12, 2017

වෙළඳ භාණ්ඩ අලෙවිකරණයේ දී ව්‍යාපාරිකයන් ගැන මහත් සැකයෙන් බලන්නට හුරු වී සිටින පාරිභෝගිකයා, තමන්ගේ වියදමට පමණක් නොව මහත් වෙහෙසෙන් උපයන ලද ආදායමට ද ඍජු බලපෑමක් කරන්නට සමත් දේශපාලන ව්‍යාපාරිකයන්ට ඉතා පහසුවෙන් රැවටෙති. ඉංග්‍රීසි දැනුම, මූලික අර්ථ ශාස්ත්‍ර දැනුම, ලෝක ඉතිහාස දැනුම මඳ බැවින්, මේ අය ඉතිහාසය පුරාම යළි යළිත් අසාර්ථක වූ ප්‍රතිපත්ති තමන් කැමති දේශපාලනඥයාට නුදුරු අනාගතයක දී කෙසේ හෝ සාර්ථක කරගත හැකි යැයි විශ්වාසයේ එල්බ සිටිති.

වෙළෙන්ඳෙක් භාණ්ඩයක් අලෙවි කරගන්නට “ලෝකයේ උසස්ම තත්වයේ ….” කියද්දී රැවටෙන්නේ නැති පුද්ගලයා “නිර්ධන පංතියේ ජයග්‍රහණය උදෙසා වු …. වාමාංශික පෙරමුණ” යැයි කියද්දී එය සාක්ෂාත් වූ කිසිම අවස්ථාවක් ලොව කොතැනකින් හෝ සොයාගන්නට නැති වූවත්, ඊට රැවටෙන්නේ ඇයි? ලෙනින්ට, ස්ටාලින්ට, හිට්ලර්ට, මාඕට, කැස්ත්‍රෝට, චෑවේස්ට බැරි වූවාට ඒ මාර්ගයම යොදාගන්නා වෙන අයෙක් නිර්ධන පංතිය කබලෙන් ලිපට නොවැටී බේරාගන්නේ කෙසේදැයි පැහැදිලි කරනවා ද?

නිදහස කියා ගෙනෙන ලද පිළිවෙත් තුලින් වැඩිපුරම ආදායම් මාර්ග පමණක් නොව ජීවිතය ද අහිමි වූයේ නිර්ධන පංතියේ (proletarian) අයටමයි. අද දියුණු රටවල “නිල් කරපටි” රස්සා බොහොමයක් තාක්ෂණය තුලින් පහසු කරවන ලද බව යල්පැන ගිය අදහස්වලට පමණක් කොටු වී සිටින නිර්ධන පංතියව දිගින් දිගටම රවටන අය නොකියති. ඒ තාක්ෂණය හැමදාම දුප්පත් රටවලට නොඑන්නේ “අධිරාජ්‍යවාදී අතපෙවීම්” නිසා යැයි ජනතාව රවටන අය, තිබූ තාක්ෂණික යන්ත්‍ර සූත්‍ර ඇබිත්තත් කඩා දමා ගිනිබත් කළ අයයි. තාක්ෂණය දියුණු වෙන්නේ කෙසේදැයි නොදන්නා ඔවුන් ඒ ගැන කතා කිරීම බැහැරලා, ඒ ගැන වෙන අයෙකුට සංවාද කිරීමට ද ඉඩ නොදෙති.

මාක්ස්වාදී-ලෙනින්වාදී වාග් ව්‍යවහාරය ඇන්ගෝලාවේ MPLA විසින් යොදා ගැනුණු බව පැහැදිලිවම දකින්නට ඇත. පෘතුගීසී යටත්විජිතයක්ව සිටි නිසා පෘතුගීසි බසින් Movimento Popular de Libertação de Angola (MPLA) හෙවත් ඇන්ගෝලාවේ නිදහස උදෙසා වූ මහජනතාවගේ ව්‍යාපාරය මේ වදන් මාලා ලබාගන්නේ මොසැම්බික් හි ෆ්‍රෙලීමෝ වෙතිනි. එසේම ඉතියෝපියාවේ ඩර්ග් (ඉතියෝපියාවේ කම්කරු පක්ෂය) වෙතිනි.

පුරාතනයේ වූ ක්‍රියාවලියක් “අනුවර්තනය” වෙන ආකාරය අනුව පැවැත්ම ආරක්ෂා කරගැනීමේ හැකියාව ලබා ගනියි. සමහර විට ඉතිහාසය කියැව්වේ නැති වුවත් ඔබ “සූර පප්පා” යන නාමයෙන් ප්‍රචලිත වූ ඇස්ටරික්ස් කාටූන් පොත් කියවා ඇති. එහි කියැවෙන පුරාතනයේ ගෝල් අය ඇදහූ මිථ්‍යා දෘශ්ටික දෙවියන් රෝම සමය තුල දී “අනුවර්තනය” වෙමින් පැවැත්ම ආරක්ෂා කරගත්හ.

ජනතාවගේ හිත සුව පිණිස යොදා ගන්නා සියළු බලය ඔටුන්න සතුව ඇතැයි යන්න අවිවාදයෙන් පිළිගත් ජනතාවකට මධ්‍යම පාලනයකින් සියල්ල සාක්ෂාත් වෙන කොමියුනිස්ට් මොඩලය දිරවා ගැනීම ඉතා පහසු වූවකි.

නිර්ධන පංතිය නඟාලන වෑයමේ මුලින්ම ගමන් කරන අය ඉන්නේ සැබෑ පාලන බලයේ ඉන්න පක්ෂය පමණකි යන්න මේ නිසා අප්‍රිකාවේ බොහෝ රටවල ජනතාව පිළිගත්හ. එසේම ඒ නිසාම, විවිධ දේශපාලන පක්ෂ පැවතිය යුතු යැයි යන්න ද එම රටවල බහුතරය ප්‍රතික්ෂේප කළහ.

ඒත්, “විප්ලවීය න්‍යාය අනුගමනය කරන පෙරටුගාමී පක්ෂය” හැටියට සෝවියට් දේශය විසින් හඳුන්වන ලද්දේ ඇන්ගෝලාවේ MPLA, මොසැම්බික් හි ෆ්‍රෙලිමෝ, සහ ඉතියෝපියාවේ කම්කරු පක්ෂයයි.

රාජ්‍ය මැදිහත්වීම් ගැන නොසලකා ජීවිත සමෘද්ධිමත් කරගන්නට හැකියාව ලැබෙන “නිදහස් වෙළඳපොල” වාතාවරණයක් නොතිබූ අප්‍රිකාවේ රටවල මැද පංතියක් දකින්නට නොවීය.

ස්වභාව ධර්මය නිසා ඇති වූ සාගත ලොවෙන් තුරන්ව යද්දී, දේශපාලනය නිසා ඇති වන ආහාර හිඟයන් ලොව පැතිර ගියහ. “කුසගිනි නිවන දේශපාලනය” නමින් හැඳින්වෙන්නේ මෙහි දී ව්‍යාපාරිකයා ආහාර මිල පහළ යවන්නට නොදත්තාට සමස්ත මහජනතාවට ආහාර බෙදන්න රජය දන්නවා කියාගන්නා දේශපාලනයයි. ආහාර සුලබ, මෑත ඉතිහාසයේ ඔටුනු පැළඳි අයටත් නොලැබුණු ආහාර අද යාචකයන්ට පවා බුදින්නට ඉඩ ලැබෙන රටවල් ගැන අහන්නට නොලැබෙන මහජනතාව තමන්ට නිර්ධන පංතියෙන් ගැලවෙන්නට හැකියාව ඇත්තේ රජය මාර්ගයෙන් පමණක් යැයි තරයේ අල්ලා ගෙන සිටිති.

නියාමන සියල්ල කරන තනතුරු රාජ්‍ය බාරයේ පැවතීම අප්‍රිකාවේ රටවලට පමණක් සීමා වූ සාධකයක් නොවේ. ඒත් ඇන්ගෝලාව, මොසැම්බික් සහ ඉතියෝපියාව යන අප්‍රිකාවේ මේ රටවල් තුන එකා මෙන් වෑයම් කළේ “නව මිනිසෙක්” නිර්මාණයටයි. පාරම්පරික ජනශ්‍රැතියෙන් කුමන දේවල් පමණක් පවත්වා ගන්නවා ද, කුමන දේවල් සහමුලින් ඉවත් කරනවා ද යන්න තීරණය කිරීමේ බලය ඔවුන් රජයට පවරා ගත්හ.

20 වැනි සියවසේ තිබූ බහුවිධ දැක්ම අතරින් අප්‍රිකාවේ රටවල් මාක්ස්වාදී-ලෙනින්වාදය ළං කර ගත්තේ ඇයි යන්න ගැටළුවකි. අධිරාජ්‍යවාදී යටත්විජිතයන් වූ නිසා අප්‍රිකාවේ ජනතාව සමාජවාදයට හේත්තු වූවා යන්න වාමාංශිකයා ගෙනෙන රැවටිල්ලයි. යුරෝපීය රටවල 1914 සිට 1945 අතර කාලය සලකා බලද්දී ඒවායේ ආඥාදායකවාදය සහ “යුද සංස්කෘති” අතර සම්බන්ධයක් දැකිය හැකියි. අප්‍රිකාවේ දීර්ඝ කාලීනව පැවති ප්‍රචණ්ඩත්ව ඉතිහාසය සලකමින්, එය හා කොමියුනිස්ට් යුගය අතර සම්බන්ධය විමර්ශනය මෑතක දී පටන් ගන්නා ලද්දකි. ම්ලේච්ඡවාදයට එරෙහි යටත්විජිත යුගයට පෙර තිබූ සුසංවාදය, යටත්විජිතවාදයට එරෙහි ප්‍රජාපීඩකවාදය, පශ්චාත් යටත්විජිතවාදයේ සීමාවන් ඉක්මවා යෑමට එරෙහි නිදහස යනාදිය සොයා බැලීම ගැන විස්තර හෙළිවන්නට පටන්ගෙන තිබෙන්නේ දැනුයි.

මිනිසාට සහ ඔහුගේ පෞද්ගලික දේපලට ඇති අයිතිය පිළිබඳව ලංකා ඉතිහාසය පීරා සොයන්නෙකුට ඒ ගැන කතාබහක් සිද්ධ වී ඇත්තේ කොතරම් සොච්චමක්දැයි වහාම වැටහී යනු ඇත.

අප්‍රිකා මහා ද්වීපයේ ප්‍රචණ්ඩත්වය පැතිර තිබුණේ කොමියුනිස්ට් අප්‍රිකාවේ පමණක් නොවේ. නයිජීරියාවේ බියාෆ්‍රා සිවිල් යුද්ධය සහ රුවන්ඩාවේ හුටු සමූල ඝාතනය මෙහි දී සඳහන් කළ යුතුයි. ඒත් ඔවුනටම විශේෂ වූ ලක්ෂණ වලින් ඇන්ගෝලාව, මොසැම්බික් සහ ඉතියෝපියාව යන කොමියුනිස්ට් රටවල ප්‍රචණ්ඩත්වය දිග හැරුණි. ඒවායේ සමාජ නව ආකාරයකින් හැඩ ගසන්නට පිළිවෙත් ක්‍රියාත්මක විණ. සාම්ප්‍රදායික ගම්බද සඳහා බලහත්කාරයෙන් “ගම්කරණය” යෙදවිණ. රජයේ ප්‍රතිපත්තියක් හැටියට කුසගින්න යොදා ගැනිණ. පක්ෂ ශුද්ධ කිරීම්, ජාතික වේවා, වාමාංශික වේවා, ආගමික වේවා, වර්ගවාදී නායකයන් වේවා සියළුම ප්‍රතිවාදීන් තුරන් කිරීම යනාදිය සිද්ධ විය.

කොමියුනිස්ට්වාදයේ ඉතිහාසය නිරීක්ෂණය කරද්දී මෙවැනි කූටෝපායන් අප්‍රිකාවට පමණක් විශේෂ නොවූ සාධකයක් යැයි පසක් වේ.

සටහන කොමියුනිස්ට්වාදයේ කළු පොත ඇසුරිනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: