අරුණි ශපීරෝ‍ වෙතින්

විප්ලවය සහ මෙන්ගිස්ටු හයිලෙ මාරියම්ගේ නැඟීම

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 13, 2017

1974 සැප්තැම්බර් 12 වැනිදා 82 වියැති පළමු හයිලෙ සෙලාස්සී විසින් පාලනය කළ අධිරාජ්‍යය හදිසියේම කඩා වැටුණි. ඔහුගේ අනුප්‍රාප්තිකයා කවුදැයි නොදැන සිටීම, ලෝක තෙල් අර්බුදයක් ඊට කළින් වසරේ පැවතීම, මායිම් යුද්ධ, ආහාර හිඟයන්, නූතනකරණයේ ප්‍රතිඵලයක් ලෙසින් මැද පංතිය අසතුටට පත්වී සිටීම යනාදී වශයෙන් ඊට ඉදිරිපත් කරන ලද හේතු ඉතා පැහැදිලි යැයි සැලකෙන ලදි. කිසිත් විරෝධයක් නොදක්වමින් රෙජිමය අතුරුදහන්ව යන ලදි.

1936-1941 ගණන්වල දී බෙනීටෝ මුසොලීනීගේ ෆැසිස්ට් ඉතාලිය විසින් යටත්විජිතයක් හැටියට යළි අල්ලා ගන්නට ඉතියෝපියාවට කඩා වදිද්දී, ඔවුන් පරාජයට උතුරු පළාතට ගිය හයිලෙ සෙලාස්සී එහි දී විශේෂ හමුදාවක් නිර්මාණය කළේය. ඔවුන් තම රට ඉතාලි ආක්‍රමණිකයන් වෙතින් බේරාගන්නට අසමත් වූහ. වර්තමාන එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ඊට පෙරතුව වූ ජාතීන්ගේ සංගමය ද ආක්‍රමණිකයන් වෙතින් රටවල් බේරාගන්නට අපොහොසත් වූවකි. ඔවුන් නිල වශයෙන් යොදා ගත් ප්‍රංශ භාෂාව මනාව හසුරුවන්නට දැන සිටිය ද හයිලෙ එම සභාව ඇමතුවේ සිය අම්හරික් නමැති ස්වභාෂාවෙනි. ඉතාලියෙන් ඉතියෝපියාව බේරාගන්නා සම්බාධක සඳහා හයිලෙට ජාතීන්ගේ සංගමය වෙතින් කිසිදු සහායක් නොලැබිණ. හයිලෙ ඉතියෝපියාවෙන් පිටමං වී බ්‍රිතාන්‍යයේ සිට ඉතාලි ආක්‍රමණිකයන් පළවා හරින යුද හමුදාවක් නිර්මාණය කළේය. මේ යුධ හමුදාව 1950 දී ඇමෙරිකන් හමුදා සමඟ කොරියාවේ යුද්ධයට ගියහ. හයිලෙ ආණ්ඩුව කඩා වැටීමත් සමඟ මේ යුද හමුදාව ඉතියෝපියාවේ පාලන බලය අල්ලා ගත්හ.

නව ආණ්ඩුව හැඳින්වුනේ “තාවකාලික හමුදා පරිපාලන කමිටුව” හෙවත් ඩර්ග් නමිනි. එහි නිලධාරීන් 108 ක් වූහ. “පළමුව ඉතියෝපියාව” යන සටන් පාඨයෙන් ඔවුන් එක්ව සිටි නිසා ඒ මුල් කාලයේ දී ඔවුන් අතර පැවති විවිධාකාර අයිඩියලොජි විසංවාද එතරම් සැලකිල්ලට පාත්‍ර නොවිණ. නමුත් ඒ කාලය ඉතා කෙටි විය.

ඒරට්‍රියන් සම්භවයෙන් යුතු වූ සෝමාලියාව හා කළ යුද්ධයේ දී වීරයෙක් හැටියට සුපතල වූ ජෙනරල් අමාන් ඇන්ඩම් ඉතියෝපියාවේ වැඩ බලන රටේ නායකයා බවට පත්වූයේය. ඩර්ග් සමඟ හේ ඇති කරගත් විරසකයක් නිසා, 1974 නොවැම්බර් 22-23 රාත්‍රියේ අත් අඩංගුවට ගන්නට යද්දී ඔහුව මරා දමන ලදි. ඊ ළඟ පැය කිහිපයේ දී තවත් 59 දෙනෙක් ඝාතනය කරන ලදහ.

අනෙක් කොමියුනිස්ට් රටවල දී සේ ම, කතාව දිග හැරෙන්නට පටන් ගැනිණ. කළින් රෙජිමයට පක්ෂපාතී වූ සාම්ප්‍රදායිකයන්ව සහ ලිබරල් අදහස් තිබූ දේශපාලනඥයන්ව මුලින්ම ඝාතනය වූහ. 1974 ජූලි මාසයේ දී ඩර්ග් හි පළමු උප සභාපති හැටියට මෙන්ගිස්ටු හයිලෙ මේරියම් පත්වී තිබිණ. එතැන් පටන් ඩර්ග් කළ කී කටයුතු ඔහුගේ අණසක යටතේ සිදුවිණ. 1974 දෙසැම්බර් 21 වැනිදා පටන් ඉතියෝපියාව සමාජවාදී රෙජිමයක් යැයි මෙන්ගිස්ටු හයිලෙ මේරියම් නිවේදනය කළේය.

සමාජයෙන් පැත්තකට දැමූ අයෙක් හැටියට තමන්ව උලුප්පා දක්වමින්, ඒ සඳහා සිය කළු හම සහ කොට සිරුර වැඩියෙන් හුවා දක්වමින් (ඔහු උස වැඩි කරගන්නට ඒත් ප්ලැට්ෆෝම් සපත්තු ඇන්ඳේය), එතෙක් පාලනයේ වූ රජ පවුල පැවත ආ අම්හරා වාර්ගිකයන්ට අයිති නොවන සුළු ජාතිකයෙක් ලෙසින් පෙනී සිටිමින්, වහලෙක් හැටියට ඉතියෝපියන් ජනතාවට තමන්ව හඳුන්වා දුන්නේය. ඒත් ඔහු, සැබෑවටම රදළ පංතිය නියෝජනය කළ මව් පාර්ශවයෙන් වරප්‍රසාද ලත් අය හා සබඳතා පැවැත්වූවෙකි. සෙලාස්සී පාලනයේ දී මාමා කෙනෙක් මාර්ගයෙන් හමුදාවට ඇතුල් වූ ඔහු කිසිත් සුදුසුකම් නොමැතිව හමුදා ඇකඩමියට රිංගන්නට සමත් වූයෙකි. ඔහුට අයිඩියලොජි දැක්මක් නොතිබිණ. එහෙත් බලයට දැඩි කෑදරයෙක් වූයේය.

විප්ලවයෙන් පසුව වසර 3 ක දී ඔහු සිය ප්‍රතිවාදීන් සියල්ලන්වම මැඬලන්නට සමත් විය. 1976 ජූලි මාසයේ දක්ෂිණාංශ ප්‍රවණතා ඇතැයි කියා හේ මේජර් ජේමර් සිසේ හබටේ ඝාතනය කළේය. ජෙනරල් ටෙෆෙරි බන්ටෙ ඇතුළු මධ්‍යස්ථ කල්ලිය සමඟ ඇති කරගත් ගැටුමකින් පසුව හේ සිය ආරක්ෂක හමුදාවට ඩර්ග් කමිටු රැස්වීමකට වෙඩි පහර එල්ල කරන්න යැයි නියෝග කළේය. 1977 පෙබරවාරි 3 වැනිදා බන්ටෙ ඇතුළු ඔහුට සහයෝගය දුන් 7 ක් එසේ මිය ගියහ. අනතුරුව මෙන්ගිස්ටු තමන්ගේ සිවිල් ප්‍රතිවාදීන්ව අයින් කිරීම ඇරඹීය.

1975 ජනවාරියේ දී, තාවකාලික පාලන කමිටුව විසින් “ඉතියෝපියන් මාවත” දියත් කළහ. ඩර්ග් විසින් සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රය සමඟින් බැංකු සහ රක්ෂණ සංස්ථා ජනසතු කළහ. 1975 මාර්තුවේ දී ඉඩකඩම් අයිතිය මුලිනුපුටා දැමූහ. එක පවුලකට එකක් යන සීමාවක් දේපල අයිතිය වෙනුවෙන් නීතිගත කළහ.

ගම්බද පෙදෙස්වල ඉඩම් ප්‍රතිසංස්කරණ වේගවත් කරනු සඳහා උසස් පෙළ සහ විශ්වවිද්‍යාල සිසුන් 50,000 ක් ගම්වැසියන්ගේ සමිති හදන්නට යවන ලදි. මෙය නම් වූයේ “සහයෝගීතා” මෙහෙයුම හැටියටයි. මාඕවාදී ගම්බද සාමූහිකයන් හැදීමට උවමනා වූ සිසුන්ට ඩර්ග් ඉඩ නොදීම නිසා බොහෝ සිසුන් වැඩිකල් නොගිහින් හමුදා රෙජිමයට විරෝධය පාන්නට ගම්වැසියන් එක්කාසු කළහ.

ගම්පළාත්වලට පිටත් කර යවන ලද සිසුන් ආපසු එද්දී ඔවුන්, ඉතියෝපියානු ජනතාවගේ විප්ලවීය පක්ෂය (EPRP) සහ සමස්ත-ඉතියෝපියානු සමාජවාදී ව්‍යාපාරය නොහොත් මෙයිසන් යන එකිනෙකට එරෙහි වූ මාක්ස්වාදී-ලෙනින්වාදී සංවිධාන දෙකක් හදාගෙන තිබිණ.

ඒත් ඉතියෝපියාවේ සාමාන්‍ය ජනතාව ඔවුන්ව ගණනකට නොගත්හ. මෙය ද කොමියුනිස්ට්වාදයේ/ සමාජවාදයේ කුරිරුකම් වලට මුහුණ දුන් බොහෝ රටවල් අතරින් දැකිය හැකි ලක්ෂණයකි.

එම වාම සංවිධාන අතර ගැටුම මූලික වශයෙන් ඔවුන්ගේ වර්ගවාදී සාමාජිකත්වය නිරූපණය කරන ලදි. අම්හාරා ජාතිය EPRP හි වැඩියෙන් සිටියහ. ඔර්මො ජාතිය මෙයිසන් හි වැඩියෙන් සිටියහ. දෙගොල්ලන්ම අයිඩියලොජි දැක්ම අනුව බොහෝ ප්‍රතිපත්ති පිළිබඳව එකිනෙකාට ඉතාමත් ළංවූහ.

ඩර්ග සමඟ හිතවාදීව මෙයිසන් මුලින් කටයුතු කළ ද, EPRP මුල සිටම හමුදා ආණ්ඩුවට විරෝධය දැක්වූහ. ඒරට්‍රියාව ස්වෛරී රාජ්‍යයක් වීමට ඉල්ලා සිටිය දී EPRP ඊට පක්ෂපාතී වෙද්දී, මෙයිසන් කල්ලියට උවමනා වූයේ රට බෙදන්නට ඉල්ලන ඔවුන්ව හමුදා බලය යොදා ඉවත් කර දමන්නටයි.

මෙන්ගිස්ටු මුලින්ම EPRP කල්ලියේ ප්‍රචණ්ඩත්වය “සුදු භීෂණය” යැයි හඳුන්වමින් එය මර්ධනයට “රතු භීෂණය” නම් මෙහෙයුමක් දියත් කළේය. 1976 සිසිරයේ පටන් ගත් එය දරුණු වූයේ 1977 වසන්තයේ දී ය. අධිරාජ්‍යවාදය, වැඩවසම් ක්‍රමය සහ නිලධාරීවාදී ධනවාදය පිළිබිඹු කරන ලේ පිරුණු ෆ්ලාස්ක් තුනක් කඩා දමමින්, “විප්ලවයේ හතුරන්ට” පහර දෙන්න යැයි අප්‍රේල් 17 වැනිදා මහජන වේදිකාවක දී මෙන්ගිස්ටු රටවැසියන්ට අවසර දුන්නේය.

වැඩිම ප්‍රචණ්ඩත්වයේ නියැළෙන ලද්දේ ඩර්ග් විසින් පිහිටුවන ලද 293 කෙබලෙ නම් නගරබද හමුදා කණ්ඩායම් වලිනි. එය නිර්මාණය වූයේ ප්‍රංශ විප්ලවයේ වූ පැරීසියේ “පාර්ශව” ආකෘතියකිනි. හමුදාව විසින් මේ කණ්ඩායම් සඳහා පුහුණුව සහ උපකරණ සපයා තිබිණ. මෙයිසන් කල්ලිය මීට සහයෝගය දුන්හ. එයින් අඩිස් අබාබා හි EPRP විනාශ කරන්නට මෙන්ගිස්ටුට හැකියාව ලැබිණ. අනතුරුව ඩර්ග් විසින් මෙයිසන් හා පොලිටිකල් බියුරෝවේ සිටි ඔවුන්ගේ හිතවාදීන් මර්ධනය පටන් ගති. රතු භීෂණය වැඩියෙන් ගෙන ගියේ ඔවුන් යැයි කියා ඔවුන්ට දෝෂාරෝපණය එල්ල වුණි. EPRP මැඬලන්නට දැඩි සේ සහාය දුන් ලුතිනන් කර්නල් අට්නාෆු අබාටෙ යනු මෙයිසන් කල්ලියට සහයෝගය පෑ ප්‍රධාන පුද්ගලයාය. නොවැම්බර් 11 වැනිදා ඔහුව ඝාතනය කරන ලදි. ඉන් පසුව ඉතිරි මෙයිසින් සාමාජිකයන්ගේ ගෙල වටා ද තෝණ්ඩු වැටෙන්නට පටන් ගැනිණ. මරණය පමුණුවන ආරක්ෂක හමුදා එදා ඉතියෝපියාවේ පැමිණියේ ඊට නම් දරා තිබුණ සුදු පර්ජෝ 504 වාහන වලිනි.

අවිගත් වාමාංශික දෙපැත්ත එකිනෙකාට එරෙහිව යොදවමින් වාමාංශික මෙන්ගිස්ටු සිය ප්‍රතිවාදී පාර්ශව දෙකම විනාශ කර දමන්නට සමත් වූයේය. එෆ්. ඒ. හයෙක් ලියු දාස භාවයට යන පාර (1944) කියවන ලද්දෙක්ට මෙය පුදුමයක් නොවිණ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: