අරුණි ශපීරෝ‍ වෙතින්

දස දහස් ගණනක් දරුවන් මිය ගිය ඇන්ගෝලාවේ සාගතය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 23, 2017

අප්‍රිකාවේ දුප්පත්කම ගැන කතාබහේ දී, යටත්විජිත පාලනයට සහ බටහිර තෙල් කොම්පැණිවලට බනින අය නොමඳව සිටිති. ඒත් අප්‍රිකාවේ රටවල් දුප්පත් වූයේ බලතණ්හාධිකයන් වූ “ප්‍රයෝජනවත් මෝඩයන්” නිසා යැයි දන්නා අය ඉතා විරල වෙති.

අගොස්තීන්හෝ නීටෝගේ රජය පෙරළන කුමන්ත්‍රණයේ යෙදෙන්නට පෙර නීටෝ අල්වේස් ලුවාන්ඩාහි දිනපොත නමින් පුවත්පත් තීරු ලිපි ලියමින් සහ ගුවන්විදුලි වැඩ සටහන් දෙකකට නිතිපතා සහභාගී වෙමින් ජනාදරයට පත්ව සිටියෙකි. රටේ ජනතාවට දුප්පත්කමින් ජීවත්වෙන්නට සිද්ධ වී ඇති තත්වය හෙළා දකිමින් සහ උග්‍ර ලෙසින් පැතිර යන ආහාර හිඟය සහ සාගතයක පෙර නිමිති ගැනත් වාමාංශික අල්වේස් සඳහන් කළේය.

සෝවියට් දේශයට ඇන්ගෝලාවේ ස්ථිර හමුදා කඳවුරක් පිහිටුවන්නට උවමනා විය. නීටෝ අල්වේස් ඇන්ගෝලාව සහ සෝවියට් දේශය අතර සබඳතා වැඩි කරන්නටත්, ස්ථිර කාලීන සෝවියට් හමුදා කඳවුරක් පිහිටුවන්නටත් පාක්ෂික වූවෙකි. 1976 ඔක්තෝබර් මාසයේ දී සෝවියට් පක්ෂපාතී ජනාධිපති අගොස්තීන්හෝ නීටෝ විසින් සිය බලයට තර්ජනයක් වූ නීටෝ අල්වේස් හොබවන ලද අභ්‍යන්තර ඇමති තනතුර අහෝසි කරන ලදි.

රජය පෙරළන කුමන්ත්‍රණය වැරදී ගිය විට නීටෝ අල්වේස්ව පක්ෂයෙන් නෙරපා දැමිණ. අනතුරුව සෝවියට් දේශය, අගොස්තීන්හෝ නීටෝට එරෙහිව MPLA හි නායකත්වයට පත් කරනු සඳහා සහාය ලොපො ඩො නාසිමෙන්ටො වෙතට පෑහ. ගොස්තින්හෝ නීටෝ වහාම මධ්‍යම කමිටුවේ සහායෙන් නාසිමෙන්ටෝ හොබවන ලද අගමැති, ජාතික රූපවාහිනයේ අධ්‍යක්ෂක සහ ඇන්ගෝලාවේ ජර්නල් පුවත්පතේ අධ්‍යක්ෂක යන තනතුරු වලින් ඔහුව අස්කරන ලදි. අනතුරුව අගමැති සහ උප අගමැති පදවි අහෝසි කර දැමීය.

ඇන්ගෝලාවේ ආර්ථිකය 1960 ගණන් වල සමෘද්ධිමත්ව පැවතිණ. ඒත් 1975 දී එය කඩා වැටිණ. වාමාංශික රජය සාමාන්‍ය ජනතාවගේ දුක් ගැහැට ගැන කිසිත් සැලකිල්ලක් නොදැක්වූහ. පාලකයන් සහ පාලිතයන් දුරස්තර වී සිටියේ එක පැත්තකින් විදේශ මුදල් ලබාගැනීමේ හැකියාව සාමාන්‍ය වැසියාට අහිමි වීමත්, අනෙක් පැත්තෙන් MPLA සතු ඒකාධිකාරී බලයේ ප්‍රතිඵලයක් හැටියටයි. කළුකඩයේ දී, විදේශ මුදල් එහි නිල අගයට වඩා 50 ගුණයකට වැඩියෙන් අතිනත මාරු විය.

රජය මැදිහත්වීමෙන් වූ තෙල් අපනයන නිසා නාගරික වෙළඳපොල සහ දේශීය නිෂ්පාදකයන් දෙපැත්තකට කරන්නට ද සමත් විය. යුද ඇවිලී ගිය ගම්බද පෙදෙස් ගැන රජය කිසිත් සැලකිල්ලක් දැක්වූයේ නැත. දෙපැත්තේම අවි ගත්තවුන් බලහත්කාරයෙන් සිවිල් යුද්ධයට ජනතාව බඳවා ගැනීමේ යෙදුනහ.

දශකයක් පුරා කිසිවෙක් රට තුල සිද්ධ වෙන්නේ කුමක්දැයි කිසිවෙක් නොදත්හ.

නිල වශයෙන් “සාගතය” යැයි නොකියා ඉන්නට ආණ්ඩුව වගබලා ගත්හ. ඒත් ලෝක ආහාර සංවිධානය 1985 දී, සාගතය ගැන අනතුරු අඟවන්නට පටන් ගති. සෝවියට් දේශයේ පෙරෙස්ට්‍රොයිකා පටන් ගැනීමත් සමඟින්, ඇන්ගෝලාවේ ආණ්ඩුව ද උදා වී ඇති අනතුරුදායක තත්වය ගැන ප්‍රසිද්ධයේ පිළිගන්නට පටන් ගති. 1987 වසරේ මුල් කාලයේ දී UNICEF නිවේදනයක් මාර්ගයෙන් ඇන්ගෝලාව තුල 1986 වසරේ දී දස දහස් ගණනක දරුවන් සාගතයෙන් මිය යන ලදැයි පිළිගැනිණ.

සාමූහිකරණ පිළිවෙත් ගෙනාහ. ග්‍රාමීය පෙදෙස් නැවත සංවිධනය කරන කටයුතුවල රජය නියැළෙන ලදි. බදු එකතු කරන පිළිවෙත් අක්‍රමික විය. ආයෝජන පහසුකම් රටවැසියන් හමුවේ නොමැති විය. වෙළඳාමට බාධක හැම තැනම පැවතිණ. නාගරික වෙළඳපොල අහිමි වූ ග්‍රාමීය ජනතාවට තනිවම තමන්ගේ උවමනා පිරිමසා ගන්නට සිද්ධ වූහ.

නිදහස ලැබී වසර 13 ක් ගෙවී යද්දී, ඇන්ගෝලාවේ රජය නිල වාර්තාවක් ප්‍රකාශනය කළේය. රෙනෙ ඩුමොන්ට් නමැති ශෂ්‍ය විද්‍යාඥයාගේ සොයා ගැනීම් වලින් එය ලියැවී තිබිණ. ගම්බද ජනතාවගේ දායකත්වයේ සැබෑ වටිනාකම හඳුනාගන්නට රජය අපොහොසත්වීම නිසා ඇන්ගෝලාවේ පවතින අහිතකර වෙළඳ තත්වයන් ඩුමොන්ට් තදින් විවේචනය කරන ලදි. මෙයින් දෙපැත්ත එකතුවෙනවා වෙනුවට තවත් විරසක වූහ.

ගම්බද ජනතාව ජෝනාස් සවිම්බිගේ UNITA පක්ෂයට එක්කාසු වෙන්නට පටන් ගත්හ. ඔවුන් අතර බහුතරය විදේශිකයන්ට ද්වේශ කළ අය වූහ. රජය ඉල්ලා සිටි උද්යාචනයන්ම සවිම්බි ඉල්ලා සිටියා වුවත් සවිම්බිගේ UNITA පක්ෂයට ගම්බද ජනතාවගේ සහාය වැඩිවෙන්නට පටන් ගැනිණ.

1975 සිට 1985 දක්වා වසර 10 ක් පුරා ඇමෙරිකන් ආධාර කිසිවක් ඇන්ගෝලාවට ලැබී නොතිබුණි. ක්ලාක් ප්‍රතිසංශෝධනය නමින් ඩික් ක්ලාක් නම් සෙනෙට් සභිකයා ගෙනෙන ලද යෝජනාවෙන් ඇන්ගෝලාවේ සිවිල් යුද්ධයේ සටන් වදින කිසිම පාර්ශවයකට ආධාර නොදෙන්නට ඇමෙරිකාවේ කොංග්‍රසය එකඟ වී සිටියහ. නමුත්, ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් තෙවැනි ලෝකයේ රටවල් පුරා පැතිරෙන සෝවියට් ව්‍යාප්තිය මැඬලීම සඳහා ගෙනෙන ලද ප්‍රතිපත්තියෙන් “නිදහස් සටන්කාමීන්” වෙත ආධාර යවන්නට පටන් ගැනිණ. සෝවියට් සහාය ලැබෙන පාලකයන් බලයෙන් පහකරන උත්සාහයන්ට ඇමෙරිකන් ආධාර යැවිණ. රේගන්ගේ මුල් පාලන වාරයේ ඊට කොංග්‍රසයෙන් එතරම් සහායක් නොලැබිණ. ඒත් 1984 පටන් කාම්බෝජයේ, ඇෆගනිස්තානයේ සහ නිකරාගුවා යන රටවල සෝවියට් විරෝධී විප්ලවීය සටන්කරුවන්ට ආධාර යැවීම පටන් ගෙන තිබිණ.

1975 දී ඇන්ගෝලාවේ සිවිල් යුද්ධය ආරම්භය සමඟ නැමීබියාවේ සහ ඇන්ගෝලාවේ පෙදෙස්වල එවක අප්‍රිකාවේ බලවත්ම රට වූ දකුණු අප්‍රිකාවේ සොල්දාදුවන් දෙදාහක් පමණ රැඳී සිටියහ.

1979 දී MPLA හි නායකයා වූ අගොස්තීන්හෝ නීටෝ මිය ගියේය. හෝසෙ එඩුආඩෝ ඩොස් සාන්ටොස් ජනාධිපති විය. 1988 දකුණු අප්‍රිකාවේ හමුදාව UNITA ට සහාය දෙන්නට ඇන්ගෝලාවට ඇතුල් වූහ.

ඇමෙරිකාවේ මැදිහත්වීමෙන් 1984 දී ඇන්ගෝලාව හා සටන් වදින්නේ නැතැයි ගිවිසුමක් දකුණු අප්‍රිකාව අත්සන් කළ ද, කියුබන් හමුදා ඇන්ගෝලාවෙන් ඉවත්ව යන තෙක් ඔවුන් නැමීබියාවේ නිදහස් දිනය නියම කරන්නේ නැතැයි ද, භූමියෙන් ඉවත්ව යන්නේ නැතැයි කියා සිටියේය. සාම ගිවිසුම සඳහා දකුණු අප්‍රිකාව විසින් සවිම්බි සහ UNITA වෙත සපයන ආධාර මුලින් නැවැත්විය යුතු යැයි ඇන්ගෝලාවේ ඩොස් සාන්ටොස්ගේ MPLA ආණ්ඩුව කියා සිටියේය.

1989 දී නැමීබියාවෙන් දකුණු අප්‍රිකාව ඉවත් වීමත් සමඟ, ඇන්ගෝලාවේ ප්‍රතිවිප්ලවීය UNITA කණ්ඩායමට ආධාර සැපයූ මූලිකයා හැටියට ඉතිරි වූයේ ඇමෙරිකාවයි. ඇමෙරිකාව ඇන්ගෝලාවේ දේශපාලන සටන් මැද්දට යන්නේ ඇන්ගෝලාවේ තෙල් සඳහා කරන ලද ආයෝජන මෙන්ම පෘතුගාලය සමඟ පැවති හමුදා එකඟතාවයන් නිසා යැයි කියමිනි.

සීතල යුද්ධයේ සටන් අප්‍රිකාවේ දිග හැරෙද්දී, සෝවියට් සහ කියුබන් සහාය ලැබූ MPLA පරාජය සඳහා ඇමෙරිකාවේ රේගන් ආණ්ඩුව මාඕවාදී අදහස් වලින් යුතු UNITA නායකයන්ට ඇමෙරිකන් ජනතාවගේ බදු මුදල් වලින් හොරෙන් යවන ලද ආධාර 1986 සිට දිගින් දිගටම වැඩිවෙමින් පැවතිණ.

සීතල යුද්ධය දිගින් දිගට ගෙන යාමට සෝවියට් දේශයට ආර්ථික වශයෙන් පුළුවන්කමක් නොමැති තත්වයට වැටෙද්දී ඇමෙරිකාව, සෝවියට් දේශය සහ පෘතුගාලය එක්වී ඇන්ගෝලාවේ සාම ගිවිසුම් ගැන සැබෑවටම කතාබහ පවත්වන්නට පටන් ගත්හ.

1988 දෙසැම්බර් 22 වැනිදා නිව් යෝර්ක් නගරයේ දී සාම ගිවිසුමක් අත්සන් කළ පසුව දකුණු අප්‍රිකාව සහ කියුබාව ඇන්ගෝලාවෙන් ඉවත් වූහ. සෝවියට් දේශයේ ආධාර නවතිද්දී සෝවියට් පාක්ෂික වූ MPLA බටහිර දැක්ම පැත්තට හැරුණහ.

1990 ජූලි මාසයේ දී MPLA නායකත්වය දේශපාලනය තුල බහු පක්ෂ තිබිය යුතු යැයි පිළිගත්හ. එසේම මාක්ස්වාදී-ලෙනින්වාදය අත්හැරියහ. වෙළඳපොල ආර්ථිකයේ අවශ්‍යතාවය පිළිගත්හ. MPLA හි ප්‍රධාන විරුද්ධවාදීන් වූ UNITA 1992 මැතිවරණයේ දී මහත් පරාජයක් අත්වින්ඳහ. මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළ සවිම්බි ගරිල්ලා යුද්ධය අත්හැරියේ නැත.

1993 ඇමෙරිකාව MPLA රජය නිල වශයෙන් පිළිගති.

1994 දී ඇන්ගෝලා රජය සහ UNITA ලුසාකා සාම ගිවිසුමට අත්සන් තැබූහ. ඩොස් සාන්ටොස් සහ සවිම්බි මුණ ගැසී එක්සත් ජාතීන්ගේ සාම හමුදා හත්දාහක් රටට ගෙන්වා ගත්හ. ඒත් ඒකාබද්ධ රජයට සවිම්බි එකතු වූයේ නැත. 1998-1999 අතර කාලයේ යළි පටන්ගත් සටන් නිසා දහස් ගණනක් මිය ගියහ. 2002 පෙබරවාරියේ දී රජයේ හමුදා විසින් සවිම්බි ඝාතනය කළහ. ඉන්පසුව UNITA සටන් නැවතීමේ ගිවිසුමට අත්සන් තැබූහ.

යටත්විජිත ආර්ථිකයෙන් අයින්වෙන ඇන්ගෝලාව කොමියුනිස්ට් ක්‍රමය අත්හදා බැලීම තුලින් ජනතාව අතර විරසක ඇතිකරගෙන, සාගතවලට මුහුණ දී, අනතුරුව වෙළඳපොල ආර්ථිකයට පිවිසුනහ. ඒත් තවමත් ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගලික දේපල අයිතිය සහ වෙළඳපොල ආර්ථිකය ක්‍රියා කරන හැටි ගැන නිසි අවබෝධයක් රටවැසියනට නැතිකමෙන් විරුද්ධවාදීන් නිහඬ කිරීම දැක්ම ගැන සංවාදයෙන් නොව රජය ගෙනියන මර්ධන ක්‍රියාමාර්ගයක් ලෙසින් පවතී.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: