අරුණි ශපීරෝ‍ වෙතින්

දැඩි සේ විවේචනය කළ හැකි රජයක් දුර්වල නැත

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 4, 2017

බ්‍රිතාන්‍ය සමඟ සබඳතා පැවති නඩීර් ෂා එහි දී තමන් පිටුවහල් වී සිටි ප්‍රංශයෙන් ඇෆගනිස්ථානයට පැමිණ කැරලිකරුවන්ට එරෙහි සටන සහ ඇෆගනිස්ථාන හමුදාවේ නායකත්වය බාරගත්තේය. ඔහු රදළයෙකි. රදළයන් සහ ගෝත්‍රික නායකයන් ඔහුව රජකමට පත් කළහ.

අනාගමික ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව නැඟී සිටි ජනතාව නියෝජනය කළ බචා-ඉ-සක්කෝ නොහොත් “වතුර ගෙනියන්නාගේ පුතාට” නිසි හමුදාවක් නොවිණ. ඔහු පළා ගොස් සැඟවී සිටිය දී ඇෆගන් හමුදාව ඔහුව අත් අඩංගුවට ගෙන ඝාතනය කළහ.

බ්‍රිතාන්‍ය සහ සෝවියට් දේශය සමඟ එකඟතාවයක් ගොඩනඟා ගන්නට නඩීර් ෂා උත්සාහ කළේය. නඩීර් ෂා වෙත මොස්කව් වලින් එක කොන්දේසියක් ලැබිණ. ඒ බැස්මාචිස් නායකයා වූ ඉබ්‍රහීම් බෙක්ව ඇෆගන් හමුදාව යොදවා සෝවියට් පාලනය යටතේ පැවති ප්‍රදේශයට තල්ලු කිරීමයි. බෙක්ව එහි දී අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලදි. අනතුරුව නඩීර් ෂා මොස්කව් හි කැමැත්ත පිරිනැමිණ.

1931 ජූනි 24 වැනිදා සෝවියට් දේශය සමඟ ඇෆගනිස්ථානය ආක්‍රමණය නොකරනවා යැයි සාම ගිවිසුමකට ඇෆගනිස්ථානය අත්සන් තැබීය. 1933 දී ශිෂ්‍යයෙක් අතින් නඩීර් ෂා ඝාතනය වූයේය. ඔහුගේ පුතා වූ සහීර් ෂා රජකමට පත්වූව ද, පාලනයේ බලය අතැති වූයේ ඔහුගේ මාමාවරුන් සහ ඥාතීන් අත විය.

1945 දී නූතනකරණයට උත්සාහයන් බොහොමයක් දකින්නට ලැබිණ. පස් අවුරුදු සහ හත් අවුරුදු සැලැස්මවල් දියත් කරන ලදි. සෝවියට් දේශය සමඟ තව තවත් මිත්‍ර ගිවිසුම් සහ සහයෝගීතා ගිවිසුම් අත්සන් කරන ලදි. ඒ අතරින් 1955 දී රටේ අභ්‍යන්තර කටයුතු ගැන ඇඟිලි ගහන්නේ නැතැයි පොරොන්දු වෙන ගිවිසුමක් ද සෝවියට් දේශය විසින් අත්සන් ගසා ඇත. අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීමක් සිද්ධ නොවෙන්නේ නම් එවැනි ගිවිසුමක් අත්සන් කරන්නට අවශ්‍ය ද? ඇෆගන් හමුදාව නූතනකරණය කිරීම සඳහා සෝවියට් උපදේශකයන්ව රටට ගෙන්වා ගන්නා ලදි.

1953 සිට 1963 දක්වා රජුගේ ඥාතියෙක් වූ මොහොමඩ් ඩාවූඩ් කුමරා රට පාලනය සඳහා වගකීම දැරූ රටේ අගමැති වූයේය. නොබැඳි පිළිවෙත අනුගමනය පිහිටුවීම සඳහා ප්‍රධාන වූවත්, කල් යද්දී සෝවියට් බලපෑම් රටපුරා පැතිර යෑම බහුලව දකින්නට ලැබුණි. ඇෆගනිස්ථාන හමුදාවේ සහ සිවිල් සේවයේ ඉහළ තනතුරු වලට සෝවියට් නිලධාරීන් පත්වූහ. ඩාවූඩ් විසින් ඇමෙරිකාවට ළං වෙන්නට උත්සාහ ගත්ත ද, අත්සන් ගැසූ බොහෝ ගිවිසුම් බහුතරය සෝවියට් දේශයට වැඩියෙන් වාසිදායක වූහ.

සහීර් ෂා විසින් 1963 දී ඩාවූඩ්ව පැත්තකට දැම්මේය. ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් හදන්නට උත්සාහ ගත් ෂා දේශපාලන පක්ෂ නීත්‍යානුකූල කළේය. 1965 දී ප්‍රථම නිදහස් මැතිවරණය පැවතිණ. 1969 දී තවත් මැතිවරණ වාරයක් පැවතිණ. ඒ අවස්ථා දෙකේ දී ම, දේශීය රදළයන්ට සහ රජයට සහාය දක්වන අයගේ වාසියට චන්ද ප්‍රකාශ වූහ. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොපැවතිය ද, රට බටහිර අනුකරණයෙන් එන්න එන්නම නූතනයට පිවිසෙමින් පැවතිණ. 1905 සිට රාජකීය නියෝගයක් අනුව සිවිල් වැසියන්ට දඬුවම් හැටියට වධහිංසාව යෙදවීම නීතිවිරෝධී වී තිබිණ. කුරානයේ නීති අනුව දඬුවම් දීම ද පැත්තකට දමා තිබිණ.

ඒත්, රජුගේ ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසෙන ක්‍රියා මාර්ග නිසා රහසේ සංවිධානය වෙමින් සිටි ඇෆගනිස්ථාන කොමියුනිස්ට් පක්ෂයට විවෘතව කටයුතු කරන්න අවස්ථාව ලැබිණ. කොමියුනිස්ට් යැයි නොකියා 1960 දී ඔවුන් ඇෆගනිස්ථාන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් (DPPA) මැතිවරණයට සහභාගී වූහ. සෝවියට් දේශයෙන් සහාය ලැබුණ නූර්-මොහොමඩ් තරාකි ඔවුන් 1965 මුල දී පැවැත්වූ කොංග්‍රස් සභාවේ දී මහලේකම් තනතුරට තෝරාපත් කර ගැනිණ.

ගෝත්‍රික සහ පුද්ගලික බල අරගල DPPA පක්ෂය ඇතුලත තදින් පැවතිණ. බැබ්රැක් කර්මල් නම් එහි නිර්මාතෘන් අතරින් එක් අයෙක් රජ පවුලෙන් ආ රදළයෙක් විය. “කම්කරුවාගේ හිතවතා” හෙවත් කර්මල් යන්න ඔහුගේ අන්වර්ථ නාමයයි. මොහොමඩ් හුසේන් ඛාන් යනු ඔහුගේ සැබෑ නමයි. KGB වෙතින් ඉවත් වූ අයෙක් වාර්තා කළ පරිදි කර්මල් කාලයක් තිස්සේ KGB වෙත ඔත්තු සපයන ලද්දෙකි.

පක්ෂයේ අනිත් නිර්මාතෘ වූ, නූර්-මොහොමඩ් තරාකි ගම්බද ධනවත් පවුලක උපත ලද්දෙකි. පුෂ්ටූන් වාර්ගිකයෙක් වූ හේ රජයේ ඉහළ තනතුරු දරන්නට සමත් වූයේ ඔහුගේ ඉංග්‍රීසි දැනුම නිසා යැයි කියැවේ.

පක්ෂයේ දෙපාර්ශවය බෙදී තිබුණේ ඛාල්ක් (ජනතාව) සහ පාර්චම් (කොඩිය) නමින් දෙපැත්තේ වූ පුවත්පත් දෙකේ නම් වලිනි. දෙගොල්ලන්ම සැබෑ කොමියුනිස්ට්ලා වූ අතර සෝවියට් ප්‍රතිපත්ති ඉතා සමීපව වමාරන අය වූහ. පාර්චම් පාර්ශවය වැඩියෙන් සෝවියට් පාක්ෂික වූවා යැයි කියැවේ. දෙපැත්තේ බල අරගලය 1966 සිට 1976 දක්වා පැවතිණ.

1976 දී මොස්කව් ඉල්ලා සිටීම නිසා දෙපැත්ත එකමුතු වූහ. පක්ෂයට කිසි විටෙක හාර දාහත් සහ හය දාහත් අතරට වඩා වැඩි සාමාජිකත්වයක් නොවීය.

මේ පාර්ශවයන් දෙක හැරෙන්නට තවත් මාක්ස්වාදී කණ්ඩායම් ඇෆගනිස්ථානයේ තිබිණ. සදාතනික ගිනිසිළුව නොහොත් ෂෝලා-ඉ-ජවේඩ් යනු මාඕවාදී සංවිධානයකි. 1970 ගණන් මුල දී ෂියයිට් සාමාජිකයන් සහ සිසුන් අතරින් ඔවුන්ගේ සාමාජිකත්වය ගොඩනඟා තිබිණ. පසුකාලයක දී ඔවුන් විවිධ කල්ලි වලට බෙදී ගියහ. ඒ කල්ලි සියල්ලම සෝවියට් විරෝධී ප්‍රතිවාදී ක්‍රියා කටයුතුවලට එකතු වූහ.

1965 සිට 1973 දක්වා ඇෆගනිස්ථාන කොමියුනිස්ට් කණ්ඩායම් සියල්ලම ක්‍රමානුකූලව රජයේ සහ රාජාණ්ඩුව අපකීර්තියට පත්කරන කටයුතු වල නියැළුනහ. පාලනයේ සිටින ආණ්ඩුව හාස්‍යයට ලක් කිරීමට සහ දරුණු ලෙසින් විවේචනයට හැකියාව පැවතීම යනු එම රටේ ජනතාවගේ අයිතීන් යම් දුරකට හෝ ආරක්ෂා වී ඇති බව විදහා පෑමකි. ඒත් ප්‍රජාතන්ත්‍රවාදී කියාගත් පමණින් ප්‍රජාතන්ත්‍රවාදී නොවන කණ්ඩායම්, ප්‍රජාතන්ත්‍රවාදය කුමක්දැයි නොදන්නා රටවැසියන් හමුවේ දී එවැනි වාතාවරණයක් ඇත්තේ පාලනයේ සිටින රජය අසාර්ථක සහ දුර්වල නිසා යැයි හඟිස්සවන්නට සමත් වෙති.

මේ කාලය තුල දී වාමාංශික කණ්ඩයම් නගර ආශ්‍රිතව උද්ඝෝෂණ, රැස්වීම් හා පෙළපාලි වැඩි වැඩියෙන් පැවත්වූහ. පාර්ලිමේන්තු සභාව තුල බාධා ඇති කිරීම ද පටන් ගත්හ. සාමාජිකයන් බඳවා ගැනීමේ කාර්ය ප්‍රථුල ලෙසින් පටන් ගත්හ. දේශපාලන එලීට් අය අතරින් සාමාජිකයන් බඳවා ගැනීමට විශේෂ අවධානයක් යොදන ලදි.

ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදී ගමනකට පිවිසෙන රාජාණ්ඩුවට වඩා යහපත් සමෘද්ධිමත් සාධාරණ යුගයක් කොමියුනිස්ට්වාදයෙන් ගෙන එන බවට දුන් බොරු පොරොන්දු වලින් ඒ කණ්ඩායම් සියල්ලම ඇෆගනිස්ථානයේ ජනතාව රැවටූහ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: