අරුණි ශපීරෝ‍ වෙතින්

ඇෆගනිස්ථානය තුල කුරානය පුළුස්සා දැමූ කොමියුනිස්ට්ලා

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 6, 2017

බොර දියේ මාළු බෑම බොල්ෂෙවික් විප්ලවයේ පටන් 2017 වසරේ දී සියවසක් ගෙවී යන කොමියුනිස්ට් ඉතිහාසය පුරාම මනාව දැකිය හැකි ලක්ෂණයකි. ඇෆගනිස්ථානයේ ද එය එයාකාරයෙන්ම දිග හැරුණි.

1963 වසරේ දී පටන් පාලන බලයෙන් පැත්තකට වී ඉන්නට සිද්ධ වූ මොහොමඩ් ඩාවූඩ් 1973 දී රජය පෙරළන කුමන්ත්‍රණයේ යෙදුනේ කොමියුනිස්ට් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහායෙනි. සහීර් ෂා ගේ රජය පෙරළන කුමන්ත්‍රණය මොස්කව් වලින් මෙහෙය වූවා යැයි සමහර අයගේ විශ්වාසයයි. තවත් අය විශ්වාස කරන්නේ ඩාවූඩ් විසින් කොමියුනිස්ට්ලාව මැනිපියුලේට් කරන ලද බවයි. සත්‍යය කුමක් වුව ද පාර්චම් පාර්ශවයේ හත් දෙනෙක් ඩාවූඩ් රජයේ ඇමති තනතුරු සඳහා එකතු වූ නිශ්ප්‍රභා කළ නොහැකි සාධකයකි.

කුමන්ත්‍රණයෙන් පසුව ව්‍යවස්ථාදායක නිදහස තාවකාලිකව නවතා දමන ලදි. කොමියුනිස්ට් අයගේ ඉල්ලීම අනුව රටවැසියන් මර්ධනය කරන රැල්ලක් රජය විසින් මෙහයවීය. ඇෆගනිස්ථානයේ 1965-1967 දක්වා ලිබරල් අගමැති තනතුර දැරූ හෂිම් මයිවන්ඩ්වල් නමැති ජාතික නායකයා සමඟ තවත් 40 දෙනෙක් පමණ රජය පෙරළන්නට කුමන්ත්‍රණය කරනවා යැයි අත් අඩංගුවට ගන්නා ලද්දේ කුමන්ත්‍රණයකින් රජය පෙරළා පාලන බලය අල්ලා ගත් අය විසින්මයි! මයිවන්ඩ්වල් සිරගෙයි සිටිය දී සියදිවිනසා ගත්තා යන්න රජයේ නිල ප්‍රකාශය විය. ඒත් බොහෝ දුරට පැතිර තිබි මතය වූයේ කොමියුනිස්ට් නොවන ස්වල්පය අතර රට වෙනුවෙන් සැබෑ වෙනසක් නියෝජනයට රටේ ඉතිරි වී සිටි එකම තැනැත්තා ඔහු වූ නිසා ඩාවූඩ් ගේ නියමය මත ඔහුව ඝාතනය කරන ලද බවයි.

වධහිංසා සහ භීෂණය රට පුරා පැතිර යන ලදි. 1974 දී කුරිරු වධහිංසා වලට ප්‍රසිද්ධ වූ පොල්-ඉ-චාර්කි සිරගෙදර විවෘත විය.

1975 දී ඩාවූඩ් එතෙක් හවුල්කරගත් කොමියුනිස්ට්ලා අයින් කරමින් නැගෙනහිර-කල්ලියේ රටවල් සහ ඉරානය සහ ඉන්දියාව සමඟ අලුත් වානිජ ගිවිසුම් අත්සන් කළේය. එහි දී සෝවියට් දේශය සමඟ තිබූ සබඳතා පළුදු විණ. සෝවියට් දේශයට නිල වශයෙන් ගිය සංචාරයක දී ඩාවූඩ් බ්‍රෙෂ්නෙව් සමඟ රණ්ඩු ඇල්ලීය. අනතුරුව තම රටේ ආර්ථික ස්වාධීනත්වය වෙනුවෙන් ඩාවූඩ් විවෘතව පෙනී සිටින්නට පටන් ගති.

ඒත් එසේ රටේ අභ්‍යන්තර කටයුතු ගැන ස්වාධීන තීරණ ගන්නට ඔහුට ඉඩ නොලැබිණ. 1978 අප්‍රේල් 27 වැනිදා හටගත් කුමන්ත්‍රණයකින් ඔහුගේ රජය පෙරළිණ.

“1978 ට පෙර ඇෆගනිස්ථානය නිරාගමික රාජ්‍යයකි, එහි මුස්ලිම් අන්තවාදයට කාලය ලැබුණේ ඉතා ස්වල්පයකි, නිල වශයෙන් පැත්තක් නොගත්, සෝවියට් දේශයේ ඉල්ලීම් සලකා බලන, අනෙක් මුස්ලිම් රාජ්‍යයන් සමඟ වූ ඔවුන්ගේ මායිම් හෝ සබඳතා ගැන ප්‍රශ්න නොකරන ලද්දකි… මුස්ලිම් අන්තවාදය නැඟී ඒම නවත්තන්නට සෝවියට් දේශය කටයුතු කළා යැයි කීම සත්‍යයක් නොවේ: ඩාවූඩ් ඉවත් කිරීම මාර්ගයෙන් සෝවියට් දේශය මුස්ලිම් අන්තවාදයට නැඟී එන්නට සහාය සැපයීය, සමහර විට සෝවියට් දේශය ඔවුන්ගේ ශක්තිය අවතක්සේරු කරන්නට ඇත. රජය පෙරළන කොමියුනිස්ට් කුමන්ත්‍රණයට සෝවියට් සහාය පැහැදිලිවම ලැබෙන්නට ඇත්තේ ඔවුන්ට අවසානයේ දී ඇෆගනිස්ථානය ගිලිහී යාම වළක්වන්නටයි.” මයිකල් බැරී

හමුදාවෙන් කොමියුනිස්ට් නොවන අයව ශුද්ධ කිරීම පටන් ගැනිණ. අනතුරුව ආගම් විරෝධී මෙහෙයුම් ද පටන් ගැනිණ. ප්‍රසිද්ධ ස්ථාන වල දී කුරානයට ගිනි තැබිණ. ඉමාම් සහ අනෙකුත් ආගමික නායකයන්ව අත් අඩංගුවට ගෙන මරා දැමිණ. 1979 ජනවාරි 6 වැනිදා ප්‍රධාන ෂියයිට් කණ්ඩායමක් වූ මොජදේදි ගෝත්‍රයේ පිරිමි 130 ක්ව අමු අමුවේ මරා දමන ලදි. කිසිදු ආගමික පිළිවෙතකට ඉඩ නොලැබුණි. කාබූල් සහ හේරාත් හි විසූ පන්දාහක් පමණ යුදෙව් ජනතාව ඊශ්‍රායෙල් බලා පළා ගියහ.

1979 මාර්තු මාසයේ දී කේරාලා ගමේ වැඩිහිටියන් සහ දරුවන් 1,700 ක්, (ඊට ගමේ සියළුම පිරිමින් අයත් වූහ), හංදියට ඒකරාශී කර, ඔවුන්ට මුහුණට මුහුණ ලා සිටගෙන මැෂින් තුවක්කු වලින් වෙඩි තබා මරා දමන ලදි. මිය ගිය අයව සහ මිය යමින් සිටි අයව සමූල සොහොන් තුනකට විසිකර බුල්ඩෝසර් වලින් දැමූ පස් වලින් වසා දැමූහ. කාන්තාවන් පස් අතරින් එළියට අවුත් පැන යන්නට වෙර දැරූ අයගේ වෑයම් දුටු බවත් අනතුරුව ටික කාලයක් යද්දී එය නැවතිච්ච හැටි දුටු බවත් කියැවේ. ඒ කාන්තාවන් සියල්ලන්ම පාකිස්ථානයට පළා ගියහ. ඒ අයව ඇෆගනිස්ථානයේ නායකයන් හැඳින්වූයේ “ඇමෙරිකන් සහ චීන කැමැත්තට තමන්ව විකුණූ වැඩවසම් ප්‍රතිවිප්ලවීය සටන්කාමීන්” කියායි. සරණාගත කඳවුරුවල ලැග සිටිය දී ඒ කාන්තාවන් හඬමින් මේ තොරතුරු වාර්තා කළ බව ලියන්නේ මයිකල් බැරී විසිනි.

ඇෆගනිස්ථාන කොමියුනිස්ට් අය සෝවියට් දේශයෙන් තව තවත් ආධාර ඉල්ලූහ. කොමියුනිස්ට් විරෝධී කැරලිකරුවන් අතට පත් වූ හේරාත් නම් කුඩා නගරයට සෝවියට් දේශය අල්ලාගත් භූමි ප්‍රදේශයේ සිට මිග් යානා වලින් බෝම්බ හෙළන ලදි. අනතුරුව ඇෆගනිස්ථාන හමුදාව ඇතුළු වී ඉතිරි වී සිටි සියල්ලන්ව ඝාතනය කළහ. ලක්ෂ දෙකක ජනගහණයෙන් පන්දාහක සිට විසිපන්දාහක් මිය ගිය බව කියැවේ.

එයින් පසුව නැවතත් කොමියුනිස්ට් පාර්ශවයට විරුද්ධ නැඟීම් රැල්ලක් රට පුරා පැතිර යන ලදි. කොමියුනිස්ට් අයට නැවතත් රුසියාවේ සහාය ඉල්ලන්නට සිද්ධ විය. ව්ලැඩිමියර් බුකොවස්කි වාර්තා කරන අන්දමට, රූබල් මිලියන 53 ක විශේෂ ද්‍රව්‍යාධාර, කාලතුවක්කු කොටස් 140 ක් ද, ඇම්බියුලන්ස් 50 ක් ඇතුළු සන්නද්ධ යුධ රථ 90 ක් ද, තුවක්කු හා රයිෆල් 48,000 ක් ද, ග්‍රෙනේඩ් යවන උපකරණ දාහක් ද, බෝම්බ යවන උපකරණ 680 ක් ද, බෝම්බ පෙට්ටි 150 ක් ද යනාදී වශයෙන් සපයන ලදි. ඒත් ඇෆගනිස්ථානයේ කොමියුනිස්ට් අය ඉල්ලා සිටි රසායන අවි සහ විස වායුව පිරි බෝම්බ සපයන්නට සහ හෙලිකොප්ටර් කණ්ඩායම් සඳහා ගුවන් නියමුවන් යවන්නට ඔවුනට නොහැකි වුණි.

ග්‍රෝතික කණ්ඩායම් අනුව ජනගහණය රට පුරා විසිර පැතිර සිටි නිසා මර්ධන මෙහෙයුම් නිසා මිය ගිය රටවැසියන් සංඛ්‍යාව ගැන නිශ්චිතව ගණන් දක්වන්නට ක්‍රමවේදයක් එවක දී නොතිබිණ. අනාගතයේ දී ඊට හැකියාවක් ලැබේවි යැයි අපේක්ෂා කරන්නට ද නොහැකියි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: