අරුණි ශපීරෝ‍ වෙතින්

සමාජවාදය සඳහා මිනිසුන් කී දෙනෙක් අවශ්‍ය ද?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 7, 2017

කොමියුනිස්ට් වෙන්නට අකමැති වූවන් ගාල් කරන ලද සිරගෙදර අධ්‍යක්ෂකවරයා සායියඩ් අබ්දුල්ලාහ් සිරකරුවන්ට කීවේ “ඔබ මෙහි ආවේ කුණු ගොඩක් බවට පත්වනු සඳහායි,” කියායි. වධහිංසාව සාමාන්‍යයක් වූ ඒ දේශපාලන සිර කඳවුරේ දරුණුතම දඬුවම වූයේ වැසිකිලියට පණ පිටින්ම ඇද දමා මිය යන්නට සැලස්වීමයි. දිනපතා රාත්‍රියේ සිය ගණනින් සිරකරුවන් මරා දැමිණ. බුල්ඩෝසර් මඟින් මිය ගිය සහ තවමත් මිය ඇදෙන අයව සමූල සොහොන්පිටි වෙත ගෙන යන ලදි.

එක් සාමාජිකයෙක් කළ වරදට ජන වාර්ගිකයටම දඬුවම් ලැබෙන ස්ටාලින්ගේ ක්‍රමය ඇෆගනිස්ථානයේ දී ද ක්‍රියාවට නැංවිණ. 1979 අගෝස්තු 15 වැනිදා හසාරාස් නම් ජන වාර්ගික කොට්ඨාශයේ 300 ක් පමණ පිරිසක් ප්‍රතිවිප්ලවීය පැත්තට සහාය දුන්නා යැයි අත් අඩංගුවට ගැනිණ. ඔවුන් අතරින් 150 ක් බුල්ඩෝසර් වලින් පණ පිටින්ම වළලන ලදහ. සෙසු පිරිසට පෙට්‍රල් දමා පණ පිටින්ම ගිනි තබන ලදි. 1979 සැප්තැම්බරයේ දී සිරකඳවුරේ අධිකාරීන් 12,000 ක සිරකරුවන් මරා දැමූ බව පිළිගත්හ. පොල්-ඉ-චාර්කි හි අධ්‍යක්ෂකවරයා අහන ඕනෑම කෙනෙකුට කියා සිටියේ මෙසේය: “අපි මිලියනක ඇෆගනිස්ථාන වැසියන් පමණක් ඉතුරු කරනව – සමාජවාදය ගොඩනඟන්න අපිට අවශ්‍ය එච්චර දෙනෙක් පමණයි.”

රට එසේ භීෂණයෙන් ඇවිලෙද්දී, DPPA ඇතුලත ඛාල්ක් සහ පාර්චම් පාර්ශව දෙක එකිනෙකා සමඟ බල අරගලයේ යෙදී කෙමෙන් වැඩි බලයක් අල්ලා ගන්නට ඛාල්ක් සමත් වූහ. පාර්චම් නායකයන්ව බලයැති තනතුරු වලින් ඉවත් කර සෝවියට් බලය තිබූ රටවල තානාපතිවරුන් හැටියට යවන ලදි. සෝවියට් දේශයේ ඉල්ලීම පරිදි බබ්රක් කාර්මල් චෙකොස්ලෝවැකියාවට යැවීය. එවක දී ඇෆගනිස්ථානයේ සෝවියට් උපදේශකයන් පන්දාහක් පමණ විසූහ.

ෂා බස්ගාර් පවසන අන්දමට: “තාරකි සහ අමීන් පාලනයේ සිටිය දී ශුද්ධ කිරීම් නිසා 15,000 ක් මිය ගියා යැයි බබ්රක් කාර්මල් පවසා ඇත. සැබෑ සංඛ්‍යාව අඩුම වශයෙන් 40,000 ක්. මගේ මවගේ පැත්තෙන් ඥාතීන් දෙන්නෙක් පොල්-ඉ-චාර්කි සිරකඳවුරේ දී මිය ගියා. එයින් එක්කෙනෙක් සේලබ් සෆේයි කියන්නෙ ගොඩක් අය දන්න උගතෙක්. එයාගෙ කවි ගුවන් විදුලියේ සහ රූපවාහිනියෙන් ජනතාවට අහන්න ලැබිලා තියෙනව. මම එයාට ගොඩක් ළැදියාව දැක්වූවා. මගේ අනිත් ඥාතියා, එයාගෙ සහෝදරයා, ගුරුවරයෙක්. රටේ සමස්ත එලීට් අය සියල්ලන්වම ශුද්ධ කිරීම් වලට ලක්වූවා. ජීවිත ගලවා ගන්න සමත් වූ අය ඔක්කොම කොමියුනිස්ට් වධහිංසා ගැන කිව්ව. සිරකාමරවල දොරවල් ඇරලා ලැයිස්තු අතින් ගත්තු සොල්දාදුවෝ ඇතුල් වෙලා නම් අඬගහන හැටි. ඒ අය හිමිහිට නැඟිටල යනව. ටික වේලාවකින් හඬ බාල කරපු මැෂින් තුවක්කු සද්දේ ඇහෙනව.”

ලක්ෂයක් පමණ ගම්බද ජනතාවක් මිය යන ලදැයි සැලකේ. ඇෆගනිස්ථානයෙන් මහා විශාල පිරිස් වශයෙන් පළා ගිය සංඛ්‍යාව ලක්ෂ පහකට අධික වූහ. 1979 අගෝස්තු මාසය වෙද්දී රට බිහිසුණු සිවිල් යුද්ධයකින් ඇවිළී සිටියහ.

කොපමණ මර්ධන ගෙන ගිය ද, කොමියුනිස්ට් අයට ඇෆගනිස්ථානයේ පාලන බලය අල්ලාගෙන ඉන්නට හෝ ගම්බද පෙදෙස්වල සිය බලය ක්‍රියාවට නංවන්නට හැකියාව නොලැබුණි. ඇෆගනිස්ථානය ගිලිහී යාවි යැයි සිතූ සෝවියට් පොලිටිබියුරෝව 1979 දෙසැම්බර් 12 වැනිදා තීරණයකට එළඹුනහ. ඒ අනුව දෙසැම්බර් 25 වැනිදා “333 කුණාටුව” නම් මෙහෙයුම දියත් කරන ලදි. සෝවියට් හමුදාව ඇෆගනිස්ථානයේ මායිම් හරහා රටට ඇතුල් වූහ. කමාන්ඩෝ භටයන් පිරිසක් සමඟ කාබූල් හි මාලිගාවට ඇතුල් වූ KGB කණ්ඩායමේ නායකයා කර්නල් ග්‍රිගෝරි බෝයාරිනොව් අමීන් අල්ලා ගත්තේය. ලොකු වැටුපක් සමඟ විශ්‍රාම යන්න යැයි ඉදිරිපත් කළ කොන්දේසිය අමීන් ප්‍රතික්ෂේප කළ නිසා ඔහුව මරා දමා ඒ වෙනුවට බබ්රක් කාර්මල් පත්කරන ලදි. අමීන් ඝාතනයට පෙර, සෝවියට් දේශයේ සිට රේඩියෝ ප්‍රචාරයකින් නව ආණ්ඩුවක් පත් කරන ලදැයි නිවේදනය විය.

මුල්ම සෝවියට් අධිරාජ්‍යවාදී හමුදාව ඇෆගනිස්ථානයට ඇතුල්වෙන්නේ 1979 දෙසැම්බර් 27 වැනිදාය. 1980 ගණන් මුල දී ලක්ෂයක පමණ හමුදාවක් එහි විසූහ. යුද්ධය අවධි 3 කින් සිදුවිය. 1979 සිට 1982 දක්වා සෝවියට් හමුදාව රටේ පාලනය ගෙන ගියහ. “සමස්ත යුද්ධය” සිද්ධ වූයේ 1982 සිට 1986 කාලය තුල දී ය. සෝවියට් හමුදාවේ පසුබැස්ම 1987 සිට 1989 කාලයේ දී සිද්ධ විය.

1989 පෙබරවාරි 15 වැනිදා සෝවියට් හමුදාව ඉවත්වීමත් සමඟ 1992 දී මෙහොමඩ් නාජිබුල්ලාහ් රටේ ප්‍රධානියා හැටියට ප්‍රතිසංස්කරණ පටන් ගත්තේය. ඒවා ගොරබචොව් ගෙන ගිය ප්‍රතිසංස්කරණ හා සමාන වූවකි. 1989 දී සෝවියට් රජය රූබල් බිලියන 2.5 ක පමණ අගයකින් යුතු හමුදා තාක්ෂණය සහනාධාර හැටියට එවූහ. ඊ ළඟ වසරේ තවත් රූබල් 1.4 ක අගයකින් යුතු අවි එවන ලදි. 1992 දී සෝවියට් දේශයේ කඩා වැටීමත් සමඟ නාජිබුල්ලාහ්ගේ රජය ද කඩා වැටුණි.

වසර 9 ක් තිස්සේ පැවති යුද්ධය තුල දී රටේ 20% කට වඩා කොටසක් සෝවියට් හමුදාව සහ ඇෆගනිස්ථාන කොමියුනිස්ට් පාලනයට නතු වී නොතිබිණ. ඔවුන්ගේ බලය පැවතුනේ ප්‍රධාන නගර, ධාන්‍ය නිෂ්පාදනයේ යෙදී සිටි පෙදෙස් සහ තෙල් නිධි පැවති ප්‍රදේශ තුල පමණකි. ඒවායේ නිෂ්පාදන යැවුනේ සෝවියට් දේශයටයි. ස්වභාවික සම්පත් කැනීම සහ ඇෆගනිස්ථානය සංවර්ධනය කිරීම යටත්විජිත විලාසයෙන්ම කරගෙන යන ලදි.

රට ආක්‍රමණය කරගෙන සිටි සෝවියට් හමුදාව යුද්ධයේ වැය ඇෆගනිස්ථානයටම පැටවූහ. හමුදා, යුද ටැංකි, ගම්වලට හෙළන ලද බෝම්බ යනාදියේ බිල්පත් ගෑස්, කපු, තඹ සහ පසුව විදුලි බලයෙන් අය කරගත්හ.

ඇෆගනිස්ථානයේ හමුදාවෙන් පළා යන සොල්දාදුවන් සංඛ්‍යාව ඉහළ යන ලදි. 1989 දී 80,000 ක් සිටි හමුදාවේ වසර දෙකක් යද්දී 30,000 ක් වත් නොසිටියහ. 1982 වෙද්දී වයස 18 වැඩි සියළු පිරිමි හමුදාවේ සේවයට යා යුතු යැයි නියම කෙරිණ. වයස 15 වූ පිරිමි දරුවන්ව ද බඳවා ගන්නා ලද අවස්ථා තිබිණ.

සෝවියට් දේශයේ යුක්රේන්, ලැට්වියා, එස්ටෝනියා සහ ලිතුවේනියා වැනි රටවල් වලින් ඇෆගනිස්ථානයට එවන ලද හමුදාව ලක්ෂ 6 ක් පමණ වූහ. යුද්ධයේ දී ඉන් 14,571 ක් මිය ගියහ. ඔවුන්ගේ මළසිරුරු ඥාතීන්ට ලැබුණේ කලාතුරකිනි. ඊයම් තීරු ගසා තිබි මිනීපෙට්ටි ඇතුලත සමහර විට වැලි ද, සමහර විට හඳුනා නොගත් සොල්දාදුවන්ගේ ශරීරාංග ද වූහ.

නමක් නැති මේ යුද්ධයේ සටන් වැදුණු සෝවියට් හමුදාවේ භටයන් මත්පැන් හා මත්ද්‍රව්‍ය ඇබ්බැහියට ගොදුරු වූහ. සමහර මත්ද්‍රව්‍ය KGB වෙතින් සැපයිණ. ඇෆගනිස්ථානයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ ලාබ දකුණු ආසියාවට වඩා ප්‍රබල වෙන්නට පටන් ගැනිණ.

ඇෆගනිස්ථානයේ ප්‍රතිවිප්ලවීය වෑයම් සෝවියට් ආක්‍රමණයෙන් පසු වර්ධනය වූහ. පාකිස්ථානය මූලස්ථානය කරගත් සුන්නි කණ්ඩායම් 7 ක් ද, ඉරානය මූලස්ථානය කරගත් ෂීයයිට් කණ්ඩායම් 8 ක් ද බිහිවූහ. ඔවුන් සියල්ලන්ම සිය වෑයම් ඉස්ලාම් ආගම මත පදනම් කරගත්හ. ප්‍රතිවිප්ලවීය සටන්කරුවන් ද ප්‍රචණ්ඩත්වය සහ වධහිංසාව උපරිමයෙන් යොදා ගත්හ. එතෙක් ඇෆගනිස්ථානයේ පැවති ප්‍රචණ්ඩත්වය ගැන දකින්නට ඇති ඡායාරූප සහ කියවන්නට ඇති වාර්තා ඉතා ස්වල්පයකි. මුජහිදීන් ප්‍රතිවිප්ලවවාදීන්ට අවි ආයුධ සහ ස්ටින්ගර් මිසයිල සපයමින් ඇෆගනිස්ථාන යුද්ධයට ඇමෙරිකාව ගෑවෙන්නේ එහි දී ය. මුලින් කැනඩාවේ පමණක් සහායෙන් ද, අනතුරුව රටවල් 40 ක් එකතුවෙමින් 2002 දී තලිබාන්ට එරෙහිව ඇමෙරිකාව ගෙන යන ඇෆගනිස්ථාන යුද්ධය පටන් ගනිද්දී ලෝකයටම විස්තර හා ඡායාරූප බෙදා හැරිණ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: