අරුණි ශපීරෝ‍ වෙතින්

සමාජයේ දැනුම භාවිතය -ෆ්‍රීඩ්රික් ඒ. හයෙක්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 11, 2017

සමාජයේ දැනුම භාවිතය
ෆ්‍රීඩ්රික් ඒ. හයෙක් (1899-1992)

මෙය, ඇමෙරිකන් ආර්ථික විමසුම සඟරාවේ 1945 සැප්තැම්බර් මාසයේ දී The Use of Knowledge in Society නමින් පළ කරන ලද ලිපියේ පරිවර්තනයයි. මෙතැනින් එය ඉංග්‍රීසියෙන් කියවත හැකියි.

I

යථාර්ථවාදී ආර්ථික ක්‍රමයක් හදන්නට අපි උත්සාහ කරද්දී අප විසින් විසඳිය යුතු ගැටළුව කුමක් ද? හුරු පුරුදු අභ්‍යූපගමන අනුව නම් පිළිතුර ඉතා සරල වූවකි. අදාල වූ සියළු තොරතුරු අප සතු නම්, තෝරාගත හැකි වූ පද්ධතියකින් ආරම්භ කරන්නට හැකි නම්, පවතින සියළු ක්‍රම ගැන සම්පූර්ණ දැනුම අපිට ලබාගත හැකි නම්, එහි දී ගැටළුව තනිකරම තාර්කික වූවකි. එහි දී, පවතින ක්‍රම වලින් වැඩියෙන්ම හොඳ භාවිතය කුමක්දැයි පෙන්වන පිළිතුර අපේ අභ්‍යූපගමන තුල ම අන්තර්ගතව පවතී. මේ ප්‍රශස්ත ගැටළුවේ විසඳුම සපුරා ලීම සඳහා අවශ්‍ය කොන්දේසි එවිට නිරාකරණය වී ඇති අතර එය හොඳින්ම පෙන්වන්නට පුළුවන් වනුයේ ගණිතමය ආකාරයෙනි: කෙටියෙන් කිව්වොත්, යම් වෙළඳපොල භාණ්ඩ දෙකක් හෝ සාධක දෙකක් අතර ඒ වෙනුවට යොදා ගත හැකි ආන්තරික මට්ටම් ඒවායෙහි විවිධ වූ වෙනස් භාවිතා සියල්ල සඳහාම එකම ලෙසින් විය යුතුයි.

එහෙත් මෙය සමාජයක් මුහුණ දෙන ආර්ථික ගැටළුව නොවේ. මෙම තාර්කික ගැටළුව විසඳන්නට අපි හදා ඇති ආර්ථික කලන ක්‍රමය, සමාජයේ ආර්ථික ගැටළුව විසඳන්නට තබන වැදගත් පියවරක් වුවත් එය තවමත් ඊට පිළිතුරක් සපයන්නේ නැත. ඊට හේතුව වනුයේ, ආර්ථික කලනය ආරම්භ කරන ‘දත්ත’ කිසිවිටෙක සමස්ත සමාජය සඳහා ඇතිවන බලපෑම් විසඳන්නට හැකි පරිදි එක මනසකට ‘දෙන ලද්දක්’ නොවන නිසයි. එවැන්නක් සැපයීමට කිසි විටෙක නොහැකියි.

ඒ ඒ අවස්ථාවල දී අපි සලකා බැලිය යුතු දැනුම කිසිම විටෙක එක තැනකට කේන්ද්‍රගත වී නැතිකම නිසාම යථාර්ථවාදී ආර්ථික ක්‍රමයක් තුල පවතින සුවිශේෂී වූ හැදියාව නම් වූ ගැටළුව තීරණය වීම සිද්ධ වේ. එය ඒකාබද්ධ වී ද නැත. ඒ දැනුම කුඩා සහ අසම්පූර්ණ ලෙසකින් මෙන්ම බොහෝ විට එකිනෙකට පරස්පර ලෙසකින් ද විවිධ විෂම පුද්ගලයන් සතුව පවතින්නකි. ඉතින් ඒ නිසා, මෙහි දී “යම්” ලෙසින් හැඳින්වෙනුයේ මෙම “දත්ත” යොදාගෙන එක මිනිස් මනසක් විසින් උවමනාවෙන්ම විසඳන නියමිත ගැටළු සංඛ්‍යාවක් යැයි සැලකෙන්නේ ද, එවිට සමාජයේ ආර්ථික ගැටළුව යනු “යම්” සම්පත් කෙසේ බෙදාහරින්නේ දැයි කියන ගැටළුවක් පමණක් නොවේ. එය ඊට වඩා වෙනස් ආකාරයක ගැටළුවකි. සමාජයේ ඕනෑම සාමාජිකයෙකු විසින්, ඔවුන් පමණක් එහි සාපේක්ෂිත වැදගත්කම හඳුනන සම්පත් වැඩියෙන්ම හොඳින් භාවිතා කරන්නට ආරක්ෂා කර දෙන්නේ කෙසේද යන්න පහදන ගැටළුවයි. මෙය කෙටියෙන් කිව්වොත්, කිසිවෙකුට සම්පූර්ණයෙන්ම ලැබී නොමැති දැනුම යොදාගන්නේ කෙසේද යන ගැටළුවයි.

මූලික ගැටළුවේ පවතින මෙම ලක්ෂණය, බොහෝ මෑත කාලීනව හැඩගැස්වෙන ලද ආර්ථික න්‍යාය තුලින් පැහැදිලි කරනවා වෙනුවට සැඟවුණු ආකාරයකින් පවතී. විශේෂයෙන්ම විවිධාකාරයෙන් ගණිතය යොදාගැනීමේ දී එය සිදු කර ඇත. මෙම ලිපියෙන් මට මූලිකව සලකා බලන්නට අවශ්‍ය ගැටළුව වනුයේ යථාර්ථවාදී ආර්ථික සංවිධානයේ ගැටළුව වුව ද, එම උත්සාහයේ දී මම වරින් වර අවධානය යොමු කරන්නේ එයත් සමඟ සම්බන්ධ සමහර ක්‍රමවේද ගැටළු පැන නඟින ආකාරයයි. මම දක්වන්නට කැමති සමහර කරුණු විවිධාකාර මාර්ග වලින් එළඹෙන ලද විචාරය තුලින් අනපේක්ෂිත ලෙසකින් එක තැනකට එකතු වූ විසඳුම් වෙති. නමුත්, මේ ගැටළු මම දකින විදියට කිසිත් ආකාරයක අහඹු ලෙසකින් සිද්ධ වූවක් නොවේ. මට පෙනෙන ආකාරයෙන්, ආර්ථික න්‍යාය සහ ආර්ථික ප්‍රතිපත්තිය ගැන වර්තමානයේ පවතින බොහෝ විවාදයන්ට තුඩුදෙන සමාජයේ ආර්ථික ගැටළුවේ ස්වභාවය පිළිබඳ පොදු දුස්සංකල්පනයක් පවතී. මේ දුස්සංකල්පනය හටගෙන ඇත්තේ, අපිව ස්වභාව ධර්මයේ ප්‍රපංච හා කටයුතු කරන්නට වර්ධනය කරගත් චින්තනයේ හුරුව තුලින් එයම සමාජයීය ප්‍රපංච වෙතට වැරදි විදියට යොදාගන්නට හුරු කර තිබීම නිසයි.

II

සාමාන්‍ය කතාබහේ දී, “සැලසුම්” යන වචනයෙන් අපි විස්තර කරන්නේ අපිට ඇති සම්පත් අපි කෙසේ යොදාගන්නේ ද යන්න ගැන එකිනෙකට සම්බන්ධ වූ සංකීර්ණ තීරණ ගැනයි. මේ වචනාර්ථයෙන් ගනිද්දී, සියළු ආර්ථික කටයුතු සැලසුම් වෙති; බොහෝ පුද්ගලයන් එකිනෙකා සමඟ හවුලේ කටයුතු කරන ඕනෑම සමාජයක, කවුරු කළ ද, යම් ප්‍රමාණයකට එය දැනුම මත පදනම් වෙයි. එය සැලසුම් කරන්නාට නොව වෙන අයෙකුට ලබාදෙන්නකි. අනතුරුව එය යම් ආකාරයකින් සැලසුම් කරන්නාට ලබාදිය යුතු වේ. ආර්ථික ක්‍රියාවලියක් පහදන ඕනෑම න්‍යායක දී, තීරක ගැටළුව වනුයේ, විවිධ ආකාර වලින් ලැබෙන දැනුම මතින් සිය සැලසුම් හදන්නට ජනතාව යද්දී ඔවුනට ඒ දැනුම ලබාදෙන්නේ කෙසේදැයි කියායි. දැනුම වැඩියෙන්ම හොඳින් උපයෝගී කරගන්නේ කෙසේදැයි යන ගැටළුව මුල් අවස්ථාවේ දී සියළුම ජනතාව අතර විසිර පවතින්නක් යන්න අඩුම වශයෙන් ආර්ථික ප්‍රතිපත්ති -නැතහොත් කාර්යක්ෂම ආර්ථික පද්ධතියක් නිර්මාණය- හමුවේ ඇති ප්‍රධාන ගැටළුවකි.

මෙයට පිළිතුර ඉතා සමීප ලෙසකින් මෙහි දී පැන නඟින අනෙක් ප්‍රශ්නය හා ඈඳී පවතී, එනම්, සැලසුම් හැදිය යුත්තේ කවුද කියාය. “ආර්ථික සැලසුම්” ගැන පවතින විවාදයන් සියල්ල මේ ප්‍රශ්නය කේන්ද්‍රය කරගනියි. මෙය සැලසුම් හැදිය යුතු ද නැද්ද යන්න ගැන විවාදයක් නොවේ. එය මධ්‍යම ලෙසකින් සැලසුම් හැදිය යුතුද යන්න ගැන වූවකි. සමස්ත ආර්ථික පද්ධතියටම එක අධිකාරියකින් සැලසුම් හැදිය යුතුද යන්න ගැනයි. එසේ නැත්නම්, සැලසුම් හැදීම බොහෝ ඒකීය පුද්ගලය් අතර බෙදී පැවතිය යුතුද යන්න ගැනයි. සමකාලීන මතභේදයට තුඩුදෙන්නේ සැලසුම් ගැන කතාබහ කරද්දී සෑම විටම නියතයෙන්ම මධ්‍යම සැලසුම් යන සුවිශේෂ අර්ථයෙන් එය යොදා ගැනෙන නිසයි. එනම්, යම් ඒකාබද්ධ වූ සැලැස්මක් අනුව සම්පූර්ණ ආර්ථික ක්‍රමය එක මාර්ගයකට ගෙන යාම ගැන එයින් අදහස් වීමයි. අනෙක් අතට, තරඟය යනුවෙන් අදහස් වෙන්නේ එකිනෙකාට අසම්බන්ධ වූ බොහෝ පුද්ගලයන් වෙතින් විමධ්‍යගතව සැලසුම් සිද්ධ වීමයි. බොහෝ අය කතාබහ කරන, ඒත් එය දැක්කාම බොහෝ දෙනා අකමැති වන්නා වූව නම් මේ දෙක අතර වූ මැද්දයි. එහි දී සිද්ධ වෙන්නේ සැලසුම් හැදීම සංවිධානාත්මක කර්මාන්ත වලට පැවරීමයි. එනම් ඒකාධිකාරය හැදීමයි.

ප්‍රධාන වශයෙන් මේ පද්ධති දෙක අතර වැඩියෙන් කාර්යක්ෂම වනුයේ කුමක් ද යන්න තීරණය වෙන්නේ පවතින දැනුම පරිපූර්ණ ලෙසකින් භාවිතයට ගැනීමට අපිට හැකියාව ලැබෙනවා ද යන ප්‍රශ්නය මතයි. එය, අනතුරුව පදනම් වනුයේ, විවිධ පුද්ගලයන් අතර මූලික වශයෙන් පැතිර පවතින සියළු දැනුම කේවල මධ්‍යම අධිකාරියකට මුළුමනින් බාර දීමෙන් අපිට වැඩියෙන් සාර්ථක වෙන්නට හැකියාව ලැබේදැයි මතයි. නැතහොත්, ඒ ඒ පුද්ගලයන්ට අනෙකුත් අය හා කටයුතු කරද්දී හදන සැලසුම් සමඟ අනුචිත වන්නට, ඒ සඳහා අමතර වශයෙන් අවශ්‍ය දැනුම ලබාදෙන්නේ ද යන්න මතයි.

III

විවිධ ආකාර වල දැනුම සම්බන්ධව පැන නඟින තත්වයන් විවිධාකාර වේයැයි මේ අවස්ථාවේ දී, ඔබට එකවරම පැහැදිලි වේවි. ඒ නිසා අපේ ගැටළුවේ විසඳුම හැරෙන්නේ දැනුමේ විවිධාකාර වර්ගීකරණයන්ගේ සාපේක්ෂ වැදගත්කම දිහාටයි. යම් සුවිශේෂ පුද්ගලයන් සතුව බොහෝවිට තිබිය හැකි දැනුම, සහ මනාව තෝරාගත් විශේෂඥයන් වෙතින් නිමැවුණ අධිකාරිය සතුව පවතින දැනුම ගැන අපි වැඩියෙන් විශ්වාසය තබා ගත යුතුයි. ඉහත කියන දෙවැනි කොට්ඨාශය වැඩියෙන් සුදුසු ස්ථානයක ඇතැයි අද ප්‍රථුල ලෙසින් සැලකෙනවා නම්, ඒ එක ආකාරයක දැනුමක්, එනම් විද්‍යාත්මක දැනුම, දැන් මහජන පරිකල්පනයේ ඉතා ප්‍රමුඛ ස්ථානයක් උසුලන බැවින්, අදාල වෙන්නේ ඒ දැනුම පමණක් නොවන බව අමතක කරලීම අපේ හැදියාවයි. සුදුසු යැයි කියා තෝරාගත් විශේෂඥයන් කණ්ඩායමක් පවතින හොඳම දැනුම සඳහා පාලකයන් විය යුතු යැයි කියා විද්‍යාත්මක දැනුම සම්බන්දයෙන් අපිට පිළිගන්නට පුළුවන් වුනත්, මෙහි දී අපි කරනුයේ ගැටළුවේ දුෂ්කර බව තෝරාගත් විශේෂඥයන් අතට පැවරීම පමණකි. මට මෙහි දී අවශ්‍ය, මේ ගැටළුව පහසුවෙන් විසඳන්නට හැකියාව ඇතැයි සැලකුවත්, එය පුළුල් ගැටළුවක එක කුඩා කොටසක් බව පෙන්වීම පමණකි.

විද්‍යාත්මක දැනුම සියළු දැනුමේ එකතුව නොවේ යැයි යෝජනා කිරීම අද මිථ්‍යාවක එල්බ සිටීම වැනියි. ඒත් ටිකක් කල්පනා කර බැලුවොත් පෙනෙනුයේ දැනුම පිළිබඳ සාමාන්‍ය රීති සම්බන්ධයෙන් විද්‍යාත්මක යැයි කිව හැකි ප්‍රශ්න වලට ඔබ්බෙන් යන ඉතා වැදගත් ඒත් සංවිධානාත්මක නොවූ දැනුම ඇති බවයි: කාලය සහ ස්ථානය පිළිබඳ වූ සුවිශේෂ අවස්ථා සම්බන්ධයෙන් ඇති දැනුම. ඉතින් මේ කරුණ අනුව අපට පෙනී යන්නේ ඒ ඒ පුද්ගලයාට ඔහුට අනූපම වූ තොරතුරු ඇති බැවින්, එවිට සෑම පුද්ගලයෙකුට අනිකුත් සියල්ලන්වම අභිබවා යන වාසියක් ඇතැයි පෙනී යයි. එනමුත් ඔහුට එයින් වාසියක් ලබාගත හැක්කේ එහි දී තීරණ ගැනීමට ඔහුට ලැබෙන්නේ ද යන්න අනුවත්, ඒ තීරණ ඔහුගේ සහයෝගයෙන් සිද්ධ වෙන්නේ ද යන්නත් අනුවයි. අපි මතක තබාගත යුතු වනුයේ, අපගේ න්‍යායික පුහුණුව සම්පූර්ණ කළ පසුව ඕනෑම වෘත්තියක් සඳහා කොපමණක් අපිට ඉගෙන ගන්නට සිද්ධ වූවා ද, අපගේ සේවා කාලය තුල දී කොතරම් විශාල කොටසක් යම් රැකියාවක් සඳහා ඉගෙන ගන්නට යොදනවා ද, සහ විශේෂ අවස්ථාවල දී සහ පරිස්ථානීය තත්වයන් වල දී ජීවිතය ගැන සහ ජනතාව ගැන දැන සිටින දැනුම කොතරම් වටිනාකමකින් යුතු දැයි යන්න පමණකි. මුළුමනින් යොදවා නොගන්නා යන්ත්‍රයක් ගැන සහ එය භාවිතයට දැන සිටීම, නැත්නම් අයෙකුගේ කුසලතාවයක් ඊට වඩා හොඳින් යෙදවීමට දැන සිටීම, එසේත් නැත්නම්, සැපයුම් ඇණ හිටින ලද අවස්ථාවක දී ලබාගත හැකි අතිරික්ත සැපයුම් තොගයක් ගැන දැන සිටීම, යනාදිය හොඳ විකල්ප දැනුම හැටියට සමාජයීය වශයෙන් ඉතා ප්‍රයෝජනවත් වේ. බඩු බාගෙට පුරවාගෙන යන නැව් ගැන දන්නා බඩු නැව් ප්‍රවාහනය සපයන්නෙක් ඉන් ප්‍රයෝජන ගන්නා සේ, නැත්නම් තමන් පමණක් දත් තාවකාලිකව උදාවන අවස්ථා ගැන වූ දැනුම පමණක් සතු වූ ඉඩම් විකුණන නියෝජිතයෙක් සේ, එසේත් නැත්නම් පළාතේ වෙළඳපොල භාණ්ඩ මිල ගණන් ගැන දැනුමෙන් වාසි ලබාගන්නා අතරමැදියා සේ, අනිකුත් අයට නොදැනීම මඟහැරී යන ඒඒ අවස්ථාවේ දී පවතින සුවිශේෂී දැනුම මත පදනම් කරගත් විට ඒ ඒ පුද්ගලයා විශිෂ්ට ලෙසින් ප්‍රයෝජනවත් කටයුතුවල නියැළෙයි.

මෙවැනි දැනුම ගැන එක්තරා විදියක අවඥාවකින් බැලීම අද සාමාන්‍යයක් වීම කුතුහලය දනවන කාරණයකි. හොඳ න්‍යායික හෝ තාක්ෂණික දැනුමක් සතු වූවෙක් පරදවා මෙවැනි දැනුමක් සහිත වූවෙක් වාසියක් ලබා ගන්නා අවස්ථාවක දී එවැන්නා අගෞවරනීය විදියකින් කටයුතු කළා යැයි සැලකේ. අලුත්ම විද්‍යාත්මක සොයාගැනීම් භාවිතයට ගැනීම වගේම මෙයාකාරයෙන් ද කටයුතු කිරීම නිසා සමාජයක් හොඳම අවස්ථා වලින් ප්‍රයෝජනය ගැනීම වැදගත් වූවත්, සන්නිවේදන හෝ ප්‍රවාහන පහසුකම් ගැන වැඩි දැනුම තුලින් වාසියක් ලබාගැනීමේ දී අයෙක් අවංක නොවූ ලෙසකින් කටයුතු කරන ලදැයි සැලකේ. නිෂ්පාදනය සමඟ වානිජ්‍ය කටයුතු සසඳා බැලීමේ දී මේ පූර්වමතිකය ආකල්පමය වශයෙන් දැඩි බලපෑමක් එල්ල කරයි. යල්පැන ගිය සංස්කරණය නොකළ භෞතිකවාදී දුර්මත වලින් ස්ථිර ලෙසින්ම ඉවත් වූවන් ලෙසට තමන්ව සලකන අර්ථ ශාස්ත්‍රඥයන් පවා, එවැනි ප්‍රයෝගික දැනුම ලබාගන්නා කටයුතු සම්බන්ධ අවස්ථාවන් හි දී එම වැරද්දේම නිතර නියැළෙති. එවැනි සියළුම දැනුම “ලබා දී ඇති” ලෙසකින් සැලකීම ඔවුන්ගේ ක්‍රමය අනුව සැලකෙන නිසා එය සිද්ධ වේ. ඉතින් එයාකාර සියළු දැනුම සියළු දෙනා ඉදිරියේ අවශ්‍ය නම් යොදාගැනීමට නිති සූදානමින් තිබීම අවශ්‍ය යැයි කීම දැන් පවතින පොදු මතයයි. පවතින ආර්ථික ක්‍රමයට එරෙහි අවිචාර වූ අප්‍රසාදය නිතර පාහේ එල්ල වෙන්නේ එය එසේ නොතිබීම යන සාධකය මත පදනම් කරගෙනයි. අපි විසඳුම සොයාගත යුතු ගැටළුව යනු මෙන්න මෙයමයි යන්න, එනම්, එවැනි දැනුම පුළුල් ලෙසින් පවතින විදියකට හදන්නේ කුමන ක්‍රමවේදයෙන් දැයි යන සාධකය මේ දැක්ම විසින් නොසලකා හරියි.

IV

කාලය සහ ස්ථානය සම්බන්ධයෙන් යම් විශේෂ අවස්ථාවක් ගැන වූ දැනුම ගැන ඇති වැදගත්කම අඩුවෙන් දැක්වීම අද විලාසිතාවකි, එයාකාරයෙන් වෙනස යන තත්වයට දෙන අද ලැබෙන අඩු වැදගත්කම හා මෙය සමීප ලෙසින් බැඳී පවතී. සැබැවින්ම, නිෂ්පාදන ක්‍රියාදාමය සඳහා අවශ්‍ය සැලකිය හැකි වෙනස්කම් ඉදිරිපත් කිරීමේ දී, වැදගත්කම සහ නිරන්තරය සම්බන්ධයෙන් “සැලසුම්කරුවන්” විසින් ගෙනෙන අභ්‍යූපගමන (බොහෝවිට වක්‍ර ආකාරයෙන් පමණක්) තුල පවතින්නේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙතින් වෙනස් වූ ලක්ෂණ ස්වල්පයක් පමණකි. දීර්ඝ කාලීන ලෙසින් ක්‍රියාවට නැංවීම සඳහා සවිස්තර ආර්ථික සැලසුම් කල් ඇතිව පෙන්වන්නට හැකිනම්, එසේම ඒවා හැකිතරම් ආසන්න ලෙසකින් අනුගමනය කරන්නේ නම්, වෙනත් කිසිත් වැදගත් ආර්ථික තීරණ ගත යුතු වෙන්නේ නැතිනම්, එහෙනම් එවිට ආර්ථික කටයුතු ආණ්ඩු කරන සවිස්තරාත්මක සැලසුමක් සැකසීමේ කටයුත්ත එතරම් බැරෑරුම් නොවනු ඇත.

සෑම විටකම, සහ වෙනසක ඵලවිපාකයක් හැටියට පමණක් ආර්ථික ගැටළු හටගන්නා බව තරයේ කියා සිටීම සමහර විට මෙහි දී වැදගත් වෙනු ඇත. පැවති විදියටම සියළු දේවල් සිද්ධ වෙන්නේ නම්, එසේත් නැත්නම් අපේක්ෂා කරන විදියට හෝ කටයුතු සිද්ධ වෙන්නේ නම්, එවිට අලුත් සැලැස්මක් හදන්නට අවශ්‍ය නොවේ. වෙනස්කම් සිද්ධ වෙනවා යන විශ්වාසය, නැතහොත් අඩුම වශයෙන් දිනපතා සීරුමාරු කළ යුතුවීම, නූතනයේ දී අඩු වැදගත්කමකට වැටී ඇත. එයින් හැඟෙන්නේ ආර්ථික ගැටළු ද එතරම් වැදගත්කමකින් නොයුතු තත්වයකට වැටී ඇති බවයි. තාක්ෂණික දැනුමේ වැදගත්කම නිසා ආර්ථික සලකා බැලීම් පිළිබඳ ඇති වැදගත්කම පිටුපසට තල්ලු වී ඇතැයි තර්ක කරන අයම මේ වෙනස පිළිබඳව ඇති වැදගත්කමට අඩු අවධානයක් දක්වන විශ්වාසයෙන් යුතු අය යැයි පෙනී යයි.

නූතන නිෂ්පාදනයේ විස්තාරණය වූ සංකීර්ණ පද්ධතිය සමඟින්, ආර්ථික තීරණ ගැනීම අවශ්‍ය වනුයේ දීර්ඝ කඩඉම් වල දී පමණක් යන්න සත්‍යයක් ද? උදාහරණ හැටියට අලුත් කම්හලක් හදන විට නැත්නම් අලුත් නිෂ්පාදන ක්‍රමයක් හඳුන්වා දෙන විට වැනි අවස්ථාවන් හි දී පමණක් ද? කම්හලක් ඉදි කළාට පසුව, ඉතිරිය බොහෝ දුරට, කම්හලේ ස්වභාවය අනුව, සෑම තත්පරයක දී ම වෙනස් වෙන තත්වයන් අනුව අනුගත වෙමින්, සියල්ල යාන්ත්‍රික ස්වභාවයකින් සිද්ධ වේ යැයි කීම සත්‍යයක් ද?

එය සත්‍යයක් හැටියට පුළුල් ලෙසින් පැතිර පවතින විශ්වාසය, මට පහදා ගන්නට හැකි වූ තරමට, හටගෙන තිබෙන්නේ ව්‍යවසායකයෙකුගේ ප්‍රායෝගික අත්දැකීම් තුලින් නොවේ. ඕනෑම තරඟකාරී කර්මාන්තයක දී -විභාගයට මුහුණ දිය හැකියාව ඇත්තේ එවැනි කර්මාන්තයකට පමණක් නිසා- වැය ඉහළ යෑම වළක්වා ගැනීමේ කර්තව්‍යය නිති අවධානය යොමු කළ යුතු අරගලයකි. එයට කළමනාකරුවාගේ ජවයෙන් වැඩි කොටසක් වෙන් කළ යුත්තකි. ලාබය රඳා පවතින විසමතාවයන් වැදගැම්මකට නැති ලෙසකින් සලකන්නට අකාර්යක්ෂම කළමනාකරුවෙකුට කොතරම් පහසු ද, එසේම පවතින තාක්ෂණික පහසුකම් තුලින්ම විවිධාකාර වූ පිරිවැය ඉහළ යවන්නට හැකි ද, යන සාමාන්‍ය අවස්ථා ගැන වූ ව්‍යාපාරික අත්දැකීම් අර්ථ ශාස්ත්‍රඥයෙකුගේ අධ්‍යයන කටයුතු තුල හුරු පුරුදු තැනක් නොවේ. වැය වෙන මුදල් ගැන සලකා බැලීමෙන් නිදහස්ව කටයුතු කරන්නට ඉඩ දෙන්න යැයි නිරන්තරයෙන් නිෂ්පාදකයන් සහ ඉංජිනේරුවන්ට කොතරම් තදින් කියා සිටිනවාදැයි යන්න තරම්, මේ සාධක ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට කොතරම් බලපානවාදැයි පෙනී යන වාග් චාතූර්යය සහතිකයක් වෙන නැත.

ආර්ථික පින්තූරය මුළුමනින්ම සැකසෙන්නේ නිරන්තර වූ කුඩා වෙනස්කම් තුලින් යැයි අර්ථ ශාස්ත්‍රඥයන්ට එන්න එන්නම අමතක වෙන හැදියාවට හේතුව වනුයේ ඔවුන් සංඛ්‍යාන සමස්තයන් ගැන වැඩියෙන් අවධානය දක්වන්නට යොමු වෙමින් සිටින හෙයිනි. අප්‍රධාන වූ සුළු දේවල් වලින් දැක්වෙනවාට වඩා මහත් ලෙසකින් ස්ථායී වූ පින්තූරයක් සංඛ්‍යාන සමස්තයෙන් පෙන්වනු ලබයි. සමස්තයන් වලින් දක්වන සංසන්දනාත්මක ස්ථායී බව තුලින් -එසේ දක්වන්නට සංඛ්‍යාන විද්‍යාඥයන් විටින් විට නැඹුරු වූවත්- “විශාල සංඛ්‍යාන නීතියෙන්” හෝ අහඹු වෙනස්කම් වල දී පියවන අන්‍යෝන්‍ය හිලව් වලින්, එය විස්තර කරන්නට නොහැකියි. සලකා බැලීම සඳහා අප ඉදිරියේ ඇති සාධක ගණනාව එවැනි අහඹු බලයකින් ස්ථායීතාවයක් ගෙන ඒමට ප්‍රමාණවත් තරමට විශාල නොවූවකි. භාණ්ඩ සහ සේවා සැපයුම නොකැඩී ගලා ඒම නඩත්තු වනුයේ නිරන්තරයෙන් උවමනාවෙන්ම කරන සීරුමාරු තුලිනි. ඊට කළින් දිනයේ නොදැන සිටි තත්වයන් දැනගන්නට ලැබෙද්දී ඒ අනුව නව පිළිවෙත් හදා ගැනීමෙනි. A විසින් ඉටු කරන්නට අසාර්ථක වෙද්දී, B විසින් වහාම ඒ සඳහා ඉදිරිපත් වීමෙනි. වහළට අවශ්‍ය උළු, පෝරම සඳහා අවශ්‍ය කඩදාසි, සහ දහසකුත් එකක් වූ භාවිතයට ගන්නා උපකරණ සියල්ල සඳහා සෑම විටම පරිපූර්ණ බවකින් කම්හලේ තිබීමට නොහැකි වීමත්, ඒත් කම්හලේ ක්‍රියාකාරීත්වය සඳහා ඒ සියල්ල අවශ්‍ය වූ සැණින් මිල දී ගන්නට වෙළඳපොලේ සූදානම්ව තිබිය යුතු නිසාත්, සුවිසල් වූ සහ යාන්ත්‍රීකරණයෙන් ඉතා ඉහළ මට්ටමක පවතින කම්හල් පවා දිගටම සැපයුම් ගෙනෙන්නට සමත් වනුයේ අනේක විධ අනපේක්ෂිත වූ උවමනාවන් තුලින් හැඩගැසෙන්නට හැකි වාතාවරණයක් පවතින නිසාවෙනි.

දැනුම යැයි මම අදහස් කරද්දී, එය මොන ආකාරයේ දැනුමක් ද යන්න එහි ස්වභාවය නිසාම සංඛ්‍යාන වලට ඇතුල් කරන්නට නොහැකි වූ ද, ඒ නිසාම එය මධ්‍යම අධිකාරියකට සංඛ්‍යානමය ආකාරයකින් ඉදිරිපත් කරන්නට නොහැකි වූ ද, දැනුමක් බව මෙහි දී මම කෙටියෙන් සඳහන් කළ යුතු කාරණාවයි. එවැනි මධ්‍යම අධිකාරියක් යොදාගන්නා සංඛ්‍යාන එකතු කරගත යුතු වනුයේ ඒ ඒ දේවල් අතර පවතින සුළු වෙනස්කම් වලින් අඩුකරගෙන, ඒවා එක ගොඩකට දමමිනි. එනම්, ඒ ඒ ස්ථානය අනුව විවිධ ලෙසින් යොදාගන්නා අයිතමයන්, ප්‍රමිතීන් සහ යම් තීරණයක දී ඉතා වැදගත් විය හැකි ආකාරයකින් යුතු වෙනත් සුවිශේෂිතාවන් ද, එක වර්ගයක සම්පත් හැටියට හැටියට සලකමිනි. මෙයින් කියැවෙන්නේ සංඛ්‍යානමය තොරතුරු මත පදනම් වෙන මධ්‍යම සැලසුම්කරණය, එහි ස්වභාවයෙන්ම පවතින තත්වයන් ගැන ඍජු විස්තරයක් සපයන්නට අසමත් වන බවයි. කාලය සහ ස්ථානය ගැන වූ තත්වයන් ගැන තීරණ ගන්නට “එතැන ඉන්නා මිනිසාට” ඉඩ දීමට විදියක් සොයා ගන්නට මධ්‍යම සැලසුම්කරුවාට සිද්ධ වෙන බවයි.

V

සමාජයක ආර්ථික ගැටළුව යනු ප්‍රධාන වශයෙන් ඒ කාලය සහ ස්ථානය අනුව හටගන්නා සුවිශේෂී අවස්ථාවක දී සිද්ධ වෙන වෙනස්කම් අනුව වේගවත් ලෙසින් කරන ගැලපීම යැයි අපිට එකඟ විය හැකි නම්, එහි දී, යම් තීරණයක දී ඉතා වැදගත් විය හැකි ආකාරයකින් බලපාන අදාල වෙනස්කම් ඍජුවම දත් සහ ඒවා පිරිමසා ගන්නට වහාම අවශ්‍ය සම්පත් මොනවාදැයි දත් අයටම එනම් මේ තත්වයන් ගැන හොඳින් දන්නා අයට බාර දීම යැයි එවිට පෙනී යයි. මේ ගැටළුව විසඳන්නට හැකියාව ඇත්තේ, පළමුව ඒ සියළු දැනුම මධ්‍යම මණ්ඩලයකට දන්වා යවා, ඒ සියළු දැනුම ඒකරාශි කර, අනතුරුව නියම නිකුත් කිරීමෙන් යැයි, අපිට බලාපොරොත්තු විය නොහැකියි. අපි එය විසඳිය යුත්තේ විමධ්‍යගතකරණයෙනි. නමුත් එහි දී අපේ ගැටළුවේ එක කොටසකට පමණක් විසඳුමක් අපට ලැබේ. අපිට විමධ්‍යගතකරණය අවශ්‍ය, කාලය සහ ස්ථානය ගැන යම් සුවිශේෂී අවස්ථාවක දී වහාම යොදාගන්නා දැනුම ලබාගැනීම සඳහා හැකියාව ආරක්ෂාව වනුයේ එයින් පමණක් නිසායි. ඒත්, සිය පරිස්ථානීය වූ තත්වය ගැන සමීප ලෙසකින් පවතින ඔහුගේ සීමිත වූ දැනුම තුලින් පමණක් “එතැන ඉන්නා මිනිසාට” තීරණය ගැනීමට නොහැකියි. විශාල ආර්ථික පද්ධතියේ සම්පූර්ණ රටාව අනුව ඔහුගේ තීරණ ගැලපිය යුතු අමතර තොරතුරු ඔහුට දැනුම් දෙන්නේ කෙසේදැයි යන ගැටළුව තව දුරටත් අප ඉදිරියේ පවතී.

සාර්ථකව තම කාර්යය නිම කරන්නට ඔහුට දැනුම කොතරම් ප්‍රමාණයක් අවශ්‍යය ද? ඔහුගේ අනන්තර දැනුම ක්ෂිතිජයට ඔබ්බෙන් සිදුවෙන දේවල් වලින් කොපමණක් ඔහුගේ අනන්තර තීරණයට අදාල වේ ද, සහ ඔහු ඒවායෙන් කොපමණක් ඔහු දැන සිටිය යුතුද?

ඔහු ගත යුතු වූ තීරණය සඳහා කිසියම් හෝ බලපෑමක් නොකරන දෙයක් ලෝකයේ කොහේ හෝ වෙනත් තැනක සිද්ධ වෙතැයි කියන්නට නොහැකියි. එනමුත්, ඒ සිදුවීම් ගැන සහ ඒවායේ සියළු බලපෑම් ගැන ඔහු දැන සිටිය යුතු අවශ්‍යතාවයක් නැත. යම් සුවිශේෂී මොහොතක දී යම් ප්‍රමාණයක සුරුණ්ඩි අනෙකකට වැඩියෙන් අවශ්‍ය මන්දැයි කියා ඔහුට වැදගත් නොවේ. කැන්වස් මළු වලට වැඩියෙන් කඩදාසි මළු වෙළඳපොලේ නොමඳව ඇත්තේ මන්දැයි කියා හෝ, පුහුණු ශ්‍රමය හෝ යම් සුවිශේෂී යාන්ත්‍රික උපකරණයක් ඒ අවස්ථාවේ දී ලබාගැනීම දුෂ්කර ඇයිදැයි කියා හෝ ඔහුට වැදගත් නොවේ. ඔහුට වැදගත් වනුයේ ඔහු ලබාගත යුතු අනෙක් දේවල් හා සසඳද්දී, ඒවා ලබාගැනීම කොතරම් දුෂ්කර ද නැත්නම් කොතරම් පහසු ද යන්න පමණකි. එසේ නැත්නම්, ඔහු නිෂ්පාදනය කරන දැය හෝ භාවිත කරන දැය සඳහා විකල්ප උවමනාවන් කොතරම් හදිසි ද නැත් ද පමණකි. ඔහු හැම විටම අවධානයෙන් සිටිය යුත්තේ සුවිශේෂී දේවල් පිළිබඳ සංසන්දාන්තමක වැදගත්කම යන ප්‍රශ්නය ගැනයි. ඔහුගේම වූ වාතාවරණයේ වෙනස් නොවන දේවල් වලින් එපිට පවතින්නා වූ සංසන්දාන්තමක වැදගත්කම් වෙනස් කරන හේතු මොනවාදැයි කියා දැන සිටීම ඔහුට වැදගත් නොවේ.

“ආර්ථික ගණනය” යනුවෙන් මම හඳුන්වා ඇති මේ සම්බන්ධයෙන්, අඩුම වශයෙන් සාදෘශ්‍යය ලෙසින්, මේ ගැටළුව විසඳිය හැක්කේ කෙසේදැයි සොයා බලන්නට, සහ එය සත්‍යයෙන්ම විසඳෙන ආකාරය දකින්නට, අපිට සහාය වෙන්නේ මිල ගණන් ක්‍රමයයි. යම් කුඩා, ස්වයංපූර්ණ වූ ආර්ථික පද්ධතියක, සියළු තොරතුරු අතැති වූ, කේවල පාලනයෙන් යුතු මොළයකට වුවද, -සෑම විටකම කළ යුතු වූ සම්පත් බෙදාහරින කුඩා හැඩගැස්වීම් නොමැතිව- අරමුණු හා ක්‍රමවේදය අතර සියළු සබඳතා කිසිත් ආකාරයක බලපෑමක් සිද්ධ නොවී පැහැදිලිව ගෙන යන්නට නොහැකියි. එවැනි කේවල මොළයකට මෙවැනි ආකාරයක ගැටළුවක් විසඳිය හැක්කේ නිරන්තරයෙන් හදන සහ භාවිතා කරන තුල්‍ය මට්ටම් (නැත්නම් “අගැයුම්”, හෝ “ආන්තික ආදේශක අනුපාතිකයන්” අනුසාරයෙන් පමණක් බව ඒකාන්ත ලෙසින් පෙන්වා දීම තෝරාගැනීම් පිළිබඳ පිවිතුරු තර්ක ශාස්ත්‍රයෙන් ලැබුණු විශිෂ්ට දායාදයයි. එනම්, සෑම හිඟ සම්පත් වර්ගයකටම, ඒ දැයෙහි වූ කිසිම ගුණාංගයකින් උකහා ගත නොහැකි වූ, එනමුත් සම්පූර්ණ අරමුණු-ක්‍රමවේද ව්‍යුහයේ වැදගත්කම පිළිබිඹු කරන, නැත්නම් එය සංක්ෂිප්ත කළ, එහි සංඛ්‍යාත්මක දර්ශකයක් අනුයුක්ත වූවකි. එහි දී ඕනෑම කුඩා වෙනස්කමක දී, ඔහුට සලකා බලන්නට සිද්ධ වෙන්නේ සියළු අදාල තොරතුරු සංක්ෂිප්තව පවතින මේ ප්‍රමාණාත්මක දර්ශකයන් (හෝ “අගැයුම්”) පමණි. එසේම, ප්‍රමාණයන් එකින් එක ගැලපීම මාර්ගයෙන්, සම්පූර්ණ ගැටළුව විසඳන්නට නොයා, එසේම නිෂ්පාදනයේ ඕනෑම අවස්ථාවක දී ඒ නිසා ඇතිවන්නා වූ සියළු අනපේක්ෂිත සංකීර්ණ ප්‍රතිඵල ගැන සලකා බලන්නේ නැතිව, තමන් ඉදිරියේ ඇති තත්වයන් යෝග්‍ය ලෙසින් වෙනස් කරමින් යොදාගන්නට ඔහුට හැකියාව ඇත.

මූලික වශයෙන්, අදාල පරිසිද්ධි පිළිබඳ දැනුම බොහෝ පිරිසක් අතර විසිර පවතින විට, ඒ විවිධ පිරිස අතර වෙන් වෙන්ව සිද්ධ වෙන ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කරන්නට මිල ගණන් වලට හැකියි. එය සිද්ධ වෙන්නේ ඒකීය පුද්ගලයෙකුට ඔහුගේ සැලසුමේ විවිධ කොටස් සම්බන්ධීකරණයට විෂයමූලික අගැයුම් සහාය වෙන ආකාරයෙන්මයි. ඉතා සරල සහ සාමාන්‍ය ක්‍රියාවක් හැටියට මිල ගණන් ක්‍රමය විසින් සැබෑවටම ඉටු කරන්නේ කුමක්දැයි කියා මොහොතක් කල්පනා කර බැලීම අගෙයි. ලෝකයේ කොහේ හෝ තැනක යම් අමුද්‍රව්‍යයක් සඳහා නව අවස්ථාවක් පෑදී ඇතැයි අභ්‍යූපගමනය කරන්න. ඒ අවස්ථාව ටින් සඳහා යැයි අපි හිතමු, නැත්නම් ටින් සැපයුමේ යම් ප්‍රභවයක් අයින් කර දමන ලදැයි සිතන්න. ටින් හිඟ වූ හේතුව මේ දෙකෙන් කුමක්දැයි යන්න අපේ අරමුණ සඳහා වැදගත් නොවේ, එසේම එය නොවැදගත්වීම ඉතාමත් වැදගත් කාරණයකි. ටින් භාවිතා කරන සියල්ලන්ටම දැන ගන්නට අවශ්‍ය විය යුත්තේ ඔවුන් මෙතෙක් පරිභෝජනයට ගත් ටින් දැන් ඊට වැඩි ලාබදායක ලෙසකින් වෙනත් තැනක දී යොදා ගැනෙන බව පමණකි. ඉතින් ඒ නිසා, ඔවුන් දැන් අරපිරිමැස්මෙන් යුතුව ටින් යොදාගත යුතු බවයි. ඔවුන් අතරින් බහුතරයට, ටින් සඳහා ඉතාමත් හදිසි අවශ්‍යතාවය මතු වී ඇත්තේ කොහේදැයි කියා දැනගැනීම ද අවශ්‍ය නොවූවකි. එසේම ඒ නිසා ඔවුන් සකසුරුවමින් කටයුතු කළ යුත්තේ වෙනත් කුමන අවශ්‍යතා වෙනුවෙන් දැයි යන්නත් වැදගත් නොවූවකි. ඔවුන් අතරින් යම් පිරිසක් නව ඉල්ලුම ගැන ඍජුවම දන්නේ නම් සහ ඒ සඳහා සම්පත් හරවන්නේ නම්, සහ මේ නව පරතරය ගැන දත් ජනතාව එය වෙනත් සම්පත් වලින් පුරවන්නට සමත් වන්නේ ද, එවිට ප්‍රතිඵලය සමස්ත ආර්ථික පද්ධතිය පුරාම වේගයෙන් පැතිර ගොස්, ටින් වල සියළු භාවිතයන්ට පමණක් නොව, එහි ආදේශකයන්ටත්, ඒ ආදේශකයන්ගේ ආදේශකයන්ටත්, ටින් වලින් හැදෙන සියළු භාණ්ඩවල සැපයුම් දක්වා, ඒවායේ ආදේශකයන්, ඒ ආදේශකයන්ගේ ආදේශකයන් යනාදී වශයෙන් පතුරුවා හරින්නට සමත් වේ. ඒ සියල්ල සිද්ධ වෙන්නේ, මේ ආදේශකයන් ගෙනෙන්නට ප්‍රධාන වශයෙන් සහාය වූ මහා බහුතරය ඒ වෙනස්කම් සඳහා පාදක වූ මුල් හේතු මොනවාදැයි කියා කිසිත් නොදැනයි. මුළු සමස්තය එක වෙළඳපොලක් සේ කටයුතු කරන්නේ, එහි කිසිදු සාමාජිකයෙක් සම්පූර්ණ ක්ෂේත්‍රය සමීක්ෂණය කර බැලීම නිසා නොව, ඔවුනොවුන්ගේ සීමිත වූ ඒකීය ක්ෂේත්‍රයන් තුලින් සපයන දැක්ම ප්‍රමාණවත් තරමට එකිනෙකට අතිච්ඡාදනය වන තරමට බොහෝ මැදිහත්කරුවන් අතරින් අදාල තොරතුරු සියල්ලටම ලැබෙන නිසයි. ඕනෑම වෙළඳ ද්‍රව්‍යයකට එක මිලක් පැවතීම යන කාරණය, -නැත්නම් බොහෝ විට පරිස්ථානීය මිල ගණන් ප්‍රවාහන වියදම් හා තීන්දු වී ඇති ආකාරය අනුව, යනාදියෙන් – ලැබෙන්නේ (මෙය සංකල්පමය වශයෙන් හැකි වූවකි) ක්‍රියාවලියට සම්බන්ධ සියළුම ජනතාව අතර විසිර පවතින සියළුම තොරතුරු සතු වූ කේවල මොළයකින් ලැබෙන විසඳුමයි.

VI

එහි සැබෑ කාර්යය හඳුනාගන්නට අවශ්‍ය නම්, අපි මිල ගණන් පද්ධතිය දිහා බැලිය යුතු වනුයේ එය තොරතුරු සපයන යාන්ත්‍රණයක් හැටියටයි, මිල ගණන් නොවෙනස්ව පවතිද්දී මේ මිල ගණන් පද්ධතිය විසින් සිය කාර්යය ඉටු කරන්නේ අඩු පරිපූර්ණ බවකිනි. (එහෙත්, දක්වන මිල ගණන් නොවෙනස්ව දරදඬුව පවතින තත්වයකට පිවිසි පසුව ද, මිල ගණන් වෙනස් කරන බලවේග විසින් සෑහෙන දුරකට එකිනෙකා සමඟ ඇති ගිවිසුම්වල වෙනස්කම් ඇති කරයි.) මේ පද්ධතිය ගැන ඉතා වැදගත්ම වූ කාරණය නම් එය මෙහෙයවන ආර්ථික දැනුමයි, නැතහොත් එහි නියැළෙන යම් පුද්ගලයෙක් විසින් තෝරාගත යුතු නිවැරදි ක්‍රියාවේ යෙදෙන්නට නම් ඒ පුද්ගලයා එයින් කොතරම් අල්පයක් දැන සිටිය යුතුද යන්නයි. කෙටි ආකාරයකින්, සංකේතමය ලෙසකින්, ඉතාමත් වැදගත් තොරතුරු සාරය පමණක් ඒ ගැන සලකා බැලිය යුතු අයට පමණක් ඉදිරියට යවමින් බෙදා ගනියි. මිල වෙනස්වීම් තුලින් නිරූපනය වෙන තත්වය අබිබවා යමින් තම ක්‍රියාවන් වෙනස් කර හැඩගසා ගන්නට වෙන කිසිත් හැකියාවක් නැතිකම නිසා, වෙනස සටහන් කරන යාන්ත්‍රණයක් වැනි යැයි, හෝ ඒකීය නිෂ්පාදකයන්ට කරුණු කිහිපයක් දකින්නට හැකියාව ලැබෙන විදුලිසංදේශ පණිවුඩ යවන පද්ධතියක් වැනි යැයි හෝ, අංකමූණත් කිහිපයක කටු දිහා බලා සිටින ඉංජිනේරුවෙකු වැනි යැයි හෝ, යනාදී රූපකයන්ට වඩා ඔබ්බෙන් මිල ගණන් පද්ධතිය විස්තර කිරීම පවතියි.

අර්ථ ශාස්ත්‍රඥයන් ඔවුන්ගේ සමතුලිත විශ්ලේෂණයේ දී දකින ආකාරය අනුව මෙම හැඩගැස්වීම් කිසිත් විටෙක සැබැවින්ම “පරිපූර්ණ” යැයි කිව නොහැකි වනු ඇත. එනමුත්, සියළු පැති වලින් පරිපූර්ණ දැනුම ගැන අඩු වැඩි වශයෙන් අභ්‍යූපගමනයන් තුලින් ගැටළුව කරා යන අපේ න්‍යායාත්මක හැදියාව නිසා මිල යාන්ත්‍රණයේ සැබෑ කාර්යය ගැන අපි යම් තරමකට අන්ධ වී සිටිතැයි යන්න මගේ බියයි. ඒ නිසා අපි එහි කාර්යක්ෂම බව මනින්නට අපිව නොමඟ යවන ප්‍රමිති ආදේශ කරමින් සිටිමු. උදාහරණයක් හැටියට මෙහි අපූර්වත්වය නම්, එක අමුද්‍රව්‍යයක් හිඟ වෙද්දී, අණක් නියම නොකර, ඊට හේතුව අතලොස්සක් පමණකට වඩා දැන නොසිටිය දී, මාස ගණනක් පවත්වන විමර්ශන වලින් තහවුරු කරගත නොහැකිවන දස දහස් සංඛ්‍යාත පිරිසක් විසින් ඒ අමුද්‍රව්‍ය අරපිරිමැස්මෙන් භාවිතයට හසුරවනු ලබයි. එනම්, ඔවුන් නිවැරදි මාර්ගයට යොමු කරවීමයි. නිතර වෙනස්වන ලෝකයක, නිරන්තර එකම “සාමාන්‍ය” මට්ටමකින් යුතුව සෑම විටකම ලාබ අනුපාතිකයන් සියල්ල පරිපූර්ණත්වයකින් පවත්වා ගැනෙන්නේ නැති වුවත් මෙය අපූර්වත්වයෙන් යුතු වූවකි.

මම උවමනාවෙන්ම “අපූර්වත්වය” යන වචනය භාවිතා කර ඇත්තේ, මෙම පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගැන නිතරම සෑහීමකට පත්වූ තත්වයක ලැග සිටින පාඨකයාව කම්පනයට පත් කිරීම සඳහායි. එය උවමනාවෙන්ම ගත් මිනිස් වෑයමකින් බිහිවූ සැලැස්මක් වූයේ නම්, එහි දී ජනතාව ඔවුන්ගේ ආසන්නතම අරමුණට ඔබ්බෙන් යන වැදගත්කමකින් ඔවුන්ගේම තීරණ නිසා හටගන්නා මිල ගණන් වෙනස්වීම යැයි කියා පහදා ගත්තේ නම්, මෙම යාන්ත්‍රණය මිනිස් මොළයේ විශිෂ්ඨතම ජයග්‍රහණය යැයි ප්‍රීතිඝෝෂා පවත්වමින් පිළිගැනීමට පාත්‍ර වෙනු ඇත. එය මිනිසා විසින් කරන ලද සැලැස්මක් නොවීමත් සහ එයින් මාර්ගෝපදේශය ලබන ජනතාව ඔවුන්ට කරන්නට සිද්ධ වෙන දේ මන්දැයි කියා නොදැන කිරීමත් නිසා, එහි අභාග්‍යය ද්විත්වයකින් යුතුයි. ඒත් “සවිඥානික මගපෙන්වීමක්” වෙනුවෙන් පොරකන අය -සහ සැලැස්මක් නැතිව පරිනාමය වූ කිසිවක් ඇතැයි විශ්වාස කරන්නට නොහැකි අය (ඒ ගැන අපිට අවබෝධයක් නැතිව වුවත්) අපිට සවිඥානිකව විසඳිය නොහැකි ගැටළු එය විසින් විසඳන බව- මතකයේ තබාගත යුත්තේ මෙයයි: ගැටළුව නම් එක මනසක පාලනයේ පාරායණයට ඔබ්බෙන් පවතින සම්පත් අපේ ප්‍රයෝජනය සඳහා පාරායණය කරන්නේ කෙසේද යන්නයි; ඉතින් එහි දී, සවිඥානික පාලනය අත්හැර දමන්නේ කෙසේද යන්න, සහ කිසිවෙකුට කළ යුත්තේ කුමක්දැයි කියන්නේ නැතිව ඔවුන් ලවා සියල්ලන්ගේම යහපතට සුදුසු වූ අභිමතයන් කරවාගන්නට පොළඹවන්නේ කෙසේද යන්නයි.

මෙහි දී අපි මුහුණ දෙන ගැටළුව අර්ථ ශාස්ත්‍රයට පමණක් විශේෂ වූවක් නොවේ. සියළුම සැබෑ සමාජ සංසිද්ධීන් සම්බන්ධයෙන් සෑම විටම පාහේ හටගන්නා මෙය භාෂාව ගැන සහ අපේ සංස්කෘතික උරුමය ගැන මෙන්ම සෑම සමාජ විද්‍යාවක් ගැනම වූ න්‍යායික මූලික ගැටළුවකි. ඇල්ෆ්‍රඩ් වයිට්හෙඩ් වෙනත් සම්බන්ධයක් ගැන කියූ ලෙසකින්, “අපි කරන්නේ කුමක්දැයි සිතන හැදියාවක් වර්ධනය කරගත යුතුයි යන්න සියළු පෙළ පොත් වලින් නැවත නැවත කියැවෙන සහ සම්භාවනීය පුද්ගලයන් දේශන පවත්වද්දී අහන්නට ලැබෙන, විචක්ෂණ ලෙසකින් දෝෂ සහගත වූ අලුත් යමක් එකතු නොකරන සත්‍යය කියමනකි. සිද්ධ විය යුත්තේ එහි විරුද්ධ පැත්තයි. ශිෂ්ටාචාරයක් ඉදිරියට යන්නේ අපිට නොසිතා කරත හැකි වැදගත් මෙහෙයුම් සංඛ්‍යාව වැඩි වර්ධනය කර ගැනීම මාර්ගයෙනි.” මෙය සමාජ ක්ෂේත්‍රය තුල ඉතා සුවිශේෂී වැදගත්කමක් උසුලයි. ඒවායේ අර්ථය අපි නොදන්නා, ඒත් ඒවායේ සහායෙන් අපිට තනි තනිව ලබාගත නොහැකි දැනුමක සහාය ලබා ගන්නට සමත් වෙමින් අපි සමීකරණ, සංකේත සහ රීති යනාදිය නිරන්තරයෙන් භාවිතයට ගනිමු. අපේ මේ පුහුණු සහ සිද්ධාන්තයන් වර්ධනය කරගෙන ඇත්තේ ඒ ඒ ක්ෂේත්‍රයේ සාර්ථක බව ඔප්පු කර ඇති හැදියාව සහ සිද්ධාන්තයන් මත ගොඩනඟමිනි. ඒවා අනතුරුව අපි ගොඩනැඟූ ශිෂ්ටාචාරයේ පදනම බවට පත්වේ.

මිල ගණන් පද්ධතිය යනු එයාකාර ලෙසින් මිනිසා විසින් භාවිතයට ඉගෙන ගත්තකි. අහම්බෙන් හමු වූ එය හරිහැටියට පහදා නොගත්ත ද, මිනිසා එයින් වැඩ ගනියි (ඒත් තවමත් එය විශිෂ්ට ලෙසින් භාවිතය නොදන්නා ඈත දුරකින් ඔහු සිටියි.) එය තුලින් ශ්‍රම විභජනය පමණක් නොව එක හා සමාන ලෙසින් බෙදුණු දැනුම පදනමකින් යුතුව සම්පත් උපයෝගීතා සම්බන්ධීකරණයට ද සමත් වී සිටියි. එය එසේ යැයි කියන ඕනෑම අදහසකට සරදම් කරන්නට කැමති අය, නූතන ශිෂ්ටාචාරයට හොඳින්ම ගැලපෙන්නක් යම් හාස්කමක් නිසා ඕපපාතිකව හටගත්තාය යැයි අඟවමින් නිරතුරුවම තර්කය වියවුල් කරති. සත්‍යය වනුයේ එහි අනිත් පැත්තයි: අපේ ශිෂ්ටාචාරය පදනම්ව ඇති ශ්‍රම විභජනය ගොඩනඟන්නට මිනිසාට හැකියාව ලැබුනේ ඊට හැකියාව ලබාදුන් ක්‍රමය ඔහුට අහම්බෙන් හමු වූ නිසයි. ඔහු එය නොකළේ ද, ඔහු ඊට හාත්පසින්ම වෙනස් වූ වෙනකක් මතින් වෙනත් ආකාරයක ශිෂ්ටාචාරයක් ගොඩනඟනු ඇත, සමහර විට කූඹින්ගේ වැනි “තත්වයක්”, එහෙත් නැතිනම් අපිට කිසිම ආකාරයකින් හිතාගත නොහැකි වූ ක්‍රමයක්. පවතින ක්‍රමය ගැන දැඩි ලෙසින්ම විවේචනය කරන අය පවා වටිනා යැයි සලකන සමහර ලක්ෂණ, -උදාහරණයක් හැටියට, විශේෂයෙන්ම ඒකීය පුද්ගලයෙකුට කොතරම් දුරකට ඔහුගේ කැමැත්තන් හඹා යනවාදැයි තීරණය කර අනතුරුව ඔහුගේ දැනුම සහ කුසලතාවය ඒ සඳහා නිදහස් ලෙසකින් යොදාගන්නවාදැයි වැනි, ආරක්ෂා කරගනිමින් ඊට විකල්පීය වූ ක්‍රමයක් සැලසුම් කරන්නට කිසිවෙකුත් සමත් වී නැති බව පමණක් අපිට කියත හැකියි.

VII

සංකීර්ණ සමාජයක ඕනෑම විචාරාත්මක ගණනයක් සඳහා මිල ගණන් පද්ධතිය නැතිවම බැරි වූවක් යන්න දැන් තවදුරටත් එකිනෙකට වෙනස් වූ දේශපාලන දැක්ම හොබවන පැති අතරේ පමණක් වූ විවාදයක් ලෙසින් සීමා වී නොතිබීම බොහෝ ආකාර වලින් වාසනාවන්ත වූවකි. මෙයාකාර ප්‍රථුල ලෙසකින් ශ්‍රම විභජනය පැතිර පවතින සමාජයක් ආරක්ෂා කරගන්නට මිල ගණන් පද්ධතියක් නොමැතිව නොහැකි යැයි වසර විසිපහකට පෙර වොන් මීසස් විසින් ප්‍රස්තුතය ඉදිරිපත් කරද්දී එයට ගැරහුම් වලට ලක්විණ. එය අද සමහර අයට පිළිගන්නට අපහසු වීම තවදුරටත් දේශපාලනීය නොවූවකි, ඒ නිසා තර්කානුකූල වූ සංවාදයක් සඳහා වාතාවරණය වෙනස් වී තිබේ. “වෙළඳපොල සබඳතා නැතිව ආර්ථික ගිණුම් තැබීම ගැන හිතන්නටවත් බැහැ,” යැයි ලියොන් ට්‍රොට්ස්කි තර්ක කිරීම හමුවේ; අනාගත සැලසුම් මණ්ඩලයේ ශාලාව තුල මහාචාර්ය වොන් මීසස්ගේ කිරිගරුඬ පිළිමයක් මහාචාර්ය ඔස්කා ලෑන්ග් පොරොන්දු වීම හමුවේ; සහ මහාචාර්ය අබ්බා පී. ලර්නර් ඇඩම් ස්මිත්ව නැවත සොයා ගෙන මිල ගණන් පද්ධතියේ ප්‍රධාන උපයෝගීතාවය රඳා පවතින්නේ තම ස්වාර්ථය සොයමින් යන ඒකීය පුද්ගලයාව සමාජයේ පොදු යහපත උදෙසා පොළඹවන්නට යැයි තරයේ දැක්වීම හමුවේ, තව දුරටත් අපි අතර ඇති වෙනස්කම් සැබැවින්ම දේශපාලන පූර්ව නිගමනයක එල්බ සිටින නිසා යැයි කියන්නට නොහැකියි. ඉතිරි වී ඇති විරුද්ධත්වය පැහැදිලිවම තනිකරම විද්වත් වූවකි, විශේෂයෙන්ම ක්‍රමවේදයේ වෙනස්කම් පිළිබඳ වූවකි.

“ධනවාදය, සමාජවාදය, සහ ප්‍රජාතන්ත්‍රවාදය” ලියූ මහාචාර්ය ජෝසෆ් ෂුම්පීටර් එහි සඳහන් කළ කියමනකින්, මම කියන ක්‍රමවේදයේ වෙනස්කම් ගැන පැහැදිලි චිත්‍රයක් සපයයි. ඉන්ද්‍රීය-අනුභූතිවාදයේ යම් අංශයකින් ලැබෙන ආලෝකයෙන් ආර්ථික ප්‍රපංච කරා යන අර්ථ ශාස්ත්‍රඥයන් අතරින් අයෙක් එහි කර්තෘ වෙයි. ඔහුට අනුව මේ ප්‍රපංච හටගන්නේ කිසිදු මිනිස් මොළයක මැදිහත්වීමක් නැතිව, විෂයමූලික ලෙසකින් ඍජුවම එකිනෙක මත හැල හැප්පෙන යම් තීරණාත්මක ප්‍රමාණයකින් යුතු වෙළඳ භාණ්ඩ හැටියටයි. ඒ පසුබිම මත පමණක් (මට පුදුමයක් උපදවන) මෙම ප්‍රකාශය ගැන මට විස්තර කරන්නට පුළුවනි. “පාරිභෝගිකයන් පාරිභෝගික භාණ්ඩ සඳහා “ඉල්ලුම්” කරද්දී ඒ ගැන අගයන ආකාරයෙන් නිෂ්පාදන ක්‍රමය ගැන ද අගැයුම් කරන නිසා ඒනයින්ම භාණ්ඩ නිෂ්පාදනය වේ යැයි” ඒ නිසා නිෂ්පාදන සාධක සඳහා වෙළඳපොලක් නැති තත්වයක දී විචාරාත්මක ගණනයක යෙදෙන්නට හැකියාව න්‍යායවාදියාට ලැබිය හැකියාවක් ඇතැයි මහාචාර්ය ෂුම්පීටර් තර්ක කරයි.1

ලියා ඇති විදියට ගත්තොත්, මේ ප්‍රකාශය අසත්‍යයකි. පාරිභෝගියන් එවැන්නක් නොකරති. මහාචාර්ය ෂුම්පීටර් ලියූ “ඒනයින්ම” යන්නෙන් අදහස් වෙන්නේ නිෂ්පාදන සාධකයන්හි අගැයුම් කිරීම යන්න හැඟවීමක්, නැතහොත් එය පාරිභෝගික භාණ්ඩ අගැයුම් කිරීමෙ නිසා අනිවාර්යෙන්ම ලැබෙනවා යන්නයි. ඒත් එය ද, නිවැරදි නැත. ඇඟවීමක් යනු තර්කානුකූල සබඳතාවයකි. එය අර්ථාන්විතව තහවුරු කළ හැක්කේ ප්‍රස්තුත එකවරම එකම එක මනසකට ඉදිරිපත් වෙන්නේ නම් පමණකි. එනමුත්, නිෂ්පාදන සාධකවල අගැයුම් පාරිභෝගික භාණ්ඩ අගැයුම් මත පමණක්ම රඳන්නේ නැතිබව පැහැදිලිවම පෙනී යන්නකි. එය විවිධ නිෂ්පාදන සාධක සැපයුම් තත්වයන් මත ද රඳා පවතියි. මේ සියළු සාධක එකවරම දැනගන්නට හැකියාව ඇති මනසකට පමණක්, එයට දුන් සාධක තුලින් ලැබෙන උත්තර සපයන්නට හැකියාව ඇත. ඉතින් මේ සියළු සාධක කිසිම අවස්ථාවක දී එක මනසකට නොලැබෙන නිසාම ප්‍රායෝගික වූ ගැටළුවක් හටගනියි. ඉතින් ඒ නිසාම, එහි ප්‍රතිඵලයක් වශයෙන් දැනුම ගැටළුව සඳහා වූ විසඳුම බොහෝ පිරිසක් අතර බෙදී ගොස් භාවිතයේ පැවතිය යුතු වීම අත්‍යාවශය වේ.

සියළු සාධක කේවල මනසකට ගෝචර වේ නම් (නිරීක්ෂණය කරන අර්ථ ශාස්ත්‍රඥයාට ලබා දී ඇතැයි අපි උපන්‍යාසීය ලෙසකින් අභ්‍යුපගමනය කරන්නේ නම්), ඒ අයට තනිවම විසඳුම තීරණය හැකියාව ඇතැයි කියා පෙන්වන්නට හැකියාව තිබුණත් ඒත් මේ ගැටළුව විසඳෙන්නේ නැත. යම් කොටසකින් පමණක් වූ දැනුම ඇති පිරිස අතර පවත්වන සබඳතාවල දී විසඳුමක් ලබා දෙන්නේ කෙසේදැයි එහි දී අපි පෙන්විය යුතුයි. පැහැදිලි කරන අර්ථ ශාස්ත්‍රඥයන් හැටියට අපිට ලබාදෙන ආකාරයෙන්ම, කේවල මනසකට සියළු දැනුම එකම ආකාරයෙන් ලබා දීමට හැකි යැයි අභ්‍යූපගමනය කිරීම යනු ගැටළුව ගැන කිසිත් නොකර එය විසඳී යාවි යැයි සැලකීම සහ සත්‍ය ලෝකයේ වැදගත් සහ සුවිශේෂ සියල්ල නොසලකා හැරීමකි.

“දත්තයක්” යන පදයේ ව්‍යාකූල අර්ථයෙන් හැදෙන, අපරීක්ෂාරී අය වැටෙන උගුලට මහාචාර්ය ෂුම්පීටර් වැනි තත්වයක සිටින අර්ථ ශාස්ත්‍රඥයෙක් ද හසුවූවා යන්නෙන් මෙය සරල දෝෂයක් යැයි පැහැදිලි කළ නොහැකියි. ඉන් කියැවෙන්නේ අපි විසඳා ගත යුතු වූ යමක් වෙත හැදියාවෙන්ම යොමුවෙන ආකාරයේ මූලික වශයෙන් යම් දෝෂයක් ඇති බවයි. මිනිසාගේ දැනුමේ මඟහැරිය නොහැකි වූ අසම්පූර්ණත්වය සහ ඒ නිසාම ඇතිවන දැනුම නිරන්තරයෙන්ම එකතු කරන සහ සම්බන්ධීකරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වන බවයි. ඕනෑම ප්‍රවේශයක්, ගණිතමය අර්ථ ශාස්ත්‍රය වැනි එහි එක්වරම සිද්ධ වෙන්නා වූ සමීකරණ තුලින්, ජනතාවගේ දැනුම ඒ අවස්ථාවේ පවතින විෂයමූලික පරිසිද්ධි හා අනුරූපීව පවතිනවා යන පටන් ගැනීම, අපි පැහැදිලි කළ යුතු වූ ප්‍රධාන කාර්ය භාරය ක්‍රමානුකූලව ඉවත් කර තබයි. අපේ සමතුලිතා විශ්ලේෂණ ක්‍රමයට සමාජයේ ප්‍රයෝජනවත් කාර්ය භාරයක් නැතැයි කීම වෙතින් මා ඉන්නේ ඉතා ඈතකයි. ඒත් ඒ නිසා, එනම්, ප්‍රායෝගික ගැටළු විසඳීම සඳහා ඍජු බලපෑමක් අපි විස්තර කරන තත්වයෙන් ඇතැයි කියා අපේ ප්‍රධාන චින්තකයන් අතරින් සමහර අයව නොමඟ යැවෙනවා නම්, එහි දී සමාජ ක්‍රියාවලිය සමඟ එය කටයුතු කරන්නේ නැතැයි කියාත්, එය ප්‍රධාන ගැටළුව අධ්‍යයනයට ප්‍රයෝජනවත් මූලිකාංගයකට වඩා යමක් නොවන බවත් අපි මතක් කරගත යුතු කාලය පැමිණ ඇත.

1. ජේ. ෂුම්පීටර්, ධනවාදය, සමාජවාදය, සහ ප්‍රජාතන්ත්‍රවාදය (නිව් යෝර්ක්; හාපර්, 1942), 175 පිටුව. මම විශ්වාස කරන අන්දමට, සමාජවාදී ගණනයේ ගැටළුව “විසඳූ” අය හැටියට පරේටෝ සහ බැරොන් දක්වන මිථ්‍යාවේ ප්‍රථම කර්තෘවරයා මහාචර්ය ෂුම්පීටර් වෙයි. ඔවුන් සහ වෙනත් බොහෝ අය, විසින් කරන ලද්දේ, සම්පත් යථාර්ථවාදීව බෙදීම සපුරාලීම සඳහා කොන්දේසි ඉදිරිපත් කිරීමත්, මේවා මූලික වශයෙන් තරඟකාරී වෙළඳපොලක සමතුලිතතාවයේ කොන්දේසි ලෙසින්ම වැනි යැයි පෙන්වීමත් පමණකි. ප්‍රායෝගිකව මේ කොන්දේසි අනුව සම්පත් බෙදාහැරීම දැන සිටීමට වඩා මෙය සහමුලින්ම වෙනස් වූවකි. තමන් ගැටළුව විසඳුවා යැයි කිසිම ලෙසකින් පරේටෝ කියා නැත, (බැරෝන් කියන සියල්ලක්ම පාහේ රැගෙන තියෙන්නේ පරේටෝ කියූ දේවල් වලිනි). වෙළඳපොල සහාය නොමැතිව ගැටළුව විසඳන්නට හැකියි යන්න ඔහු පැහැදිලිවම ප්‍රතික්ෂේප කර තිබේ. බලන්න ඔහුගේ Manuel d’économie pure (2 වැනි ප්‍රකාශනය, 1927), 233-34 පිටු. අදාල කොටස ඉංග්‍රීසි පරිවර්තනයකින්, “සමාජවාදී ගණනය: තරඟකාරී ‘විසඳුම’ නමින් Economia, New Series, VIII වෙළුම, අංක 26 (මැයි, 1940), 125 පිටුව) මගේ ලිපියේ මුල දී උපුටා දක්වා ඇත.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Gimhan said, on නොවැම්බර් 15, 2017 at 2:30 ප.ව.

    Aruni, I think I became a libertarian just by reading your articles. 🙂

    I have this thoughts about antitrust practices though. This one is not directly related to this particular article, but I hope you can shed some lights on this.

    How about dumping?

    Consider the wireless industry for example. In an imaginary scenario, what if a giant wireless company with a large capital comes to a small town and starts to offer internet and telephony services for an extremely low price (or even for free)? After each significant competitor is shut down, they become the monopoly and that gives them the ability to increase the price as they want.

    Sure, at that point, it creates an opportunity for a new competitor, but I think launching a new wireless company takes much longer than what it takes to shut down. So, let’s say a new competitor takes 10 years to launch their new wireless company, during which period the monopoly-company can gain a good amount of coin. And once the new competitor is established, all it takes for the monopoly company is to lower their pricing for another couple of years, until the new competitor runs out of business. Once that happens, they can raise their pricing again and keep repeating the same procedure whenever a new competitor shows up.

    Sure, ultimately this is the liberty, and the gubmint should have no right to infringe that freedom. But how would you explain the idea that not regulating this sort of dumping practices would be good for the community?

    This is something that I was thinking for about three months now and I couldn’t come up with a good counter thought. I’m sure you have a beautiful thought on this and I very much look forward to reading it 🙂

    • arunishapiro said, on නොවැම්බර් 16, 2017 at 11:29 ප.ව.

      Gimhan,

      බොහොම ස්තූතියි.

      සිංහල භාෂාව පමණක් භාවිතා කරන අයට මේ අදහස් කියවන්නට ලැබීම දුර්ලභ නිසා සහ ඔබ ඇසූ කාරණය වැදගත් නිසා, ප්‍රතිචාරය සිංහලෙන්ම ලියන්නම්.

      ඕනෑම පාරිභෝගික භාණ්ඩයක් වෙළඳපොලට ඉදිරිපත් කරන ඕනෑම නිෂ්පාදකයෙක් හැකි තරමින් ලොකු වෙළඳපොල කොටසක් අල්ලා ගන්න එක ගැන යොමු කරන අවධානය, ඔහු ඉදිරිපත් කරන භාණ්ඩය වෙළඳපොලට ගෙනෙන්නට දෙන අවධානය තරම්ම වැදගත්. එය එසේම විය යුතුයි. එහි දී ඇතිවන තරඟය නැත්නම් පරදින්නේ පාරිභෝගිකයායි.

      සංගති විරෝධී (antitrust) පිළිවෙත් යොදාගෙන, නැත්නම් වෙළඳපොල මිල ගණන් වලට වඩා අඩු මිලකට බඩු වෙළඳාම (dumping) හෝ නොමිලේ බඩු සැපයීම මගින් තමන්ගෙ කර්මාන්තයට හෝ ව්‍යාපාරයට ඒකාධිකාරයක් අල්ලාගන්නට, රාජ්‍ය මැදිහත්වීමක් නොමැතිව සමත් වූ කොම්පැණියක් හෝ ව්‍යාපාරිකයෙක් ලෝක ඉතිහාසයේ කොහෙන්වත් හොයාගන්න බැහැ.

      ඕනෑම ක්ෂේත්‍රයක පාරිභෝගික භාණ්ඩයකට රජය අඩුවෙන් මැදිහත් නම් තරඟකරුවන් විශාල සංඛ්‍යාවක් සිටීම නිසා මිල ගණන් අඩුවෙන් ද, රජය වැඩියෙන් මැදිහත් නම් තරඟකරුවන් සීමිත සංඛ්‍යාවක් සිටීම නිසා මිල ගණන් වැඩියෙන් ද දකින්නට පුළුවන්. උදාහරණ ඕන තරම් ලෝකෙ හැම තැනින්ම දකින්නට තියෙනව.

      ඒත්, පැහැදිලිවම දකින්න පුළුවන් සත්‍යය පැත්තකට දාලා, එහෙම වුනොත් මෙහෙම වුනොත් කියන “ඉමැජනරි සිනාරියෝ” ගෙනැල්ල ඒකාධිකාර හැදෙන හැටි ගැන හිතන එක නිසා මිථ්‍යාවෙන් ගැලවෙන්න බැහැ.

      භාණ්ඩයක් විකුණද්දී අයිතිකාරයා නැත්නම් කොම්පැණිය සෑම කාර්තුවකට නැත්නම් අඩු ගානේ සෑම වසරකටම වගේ බජට් එකක් හදන්න ඕන. මෙච්චර ගාණක් දැන්වීම් වලට, මෙච්චරක් ප්‍රවාහනයට, මෙච්චරක් ගෙයින් ගෙට ගිහින් නොමිලේ සාම්පල් දෙන්නට, වේතන, ඉඩම්/ගොඩනැඟිලි කුලිය … යනාදී වශයෙන් වියදම් ගණන් හදනව. ඒ වගේම අපේක්ෂා කරන අලෙවියෙන් ලැබෙන ලාබය අනුමානයෙන් ගණන් හදනව. ඔය ටික ගණකාධිකාරයෙකුට කරන්න පුළුවන්.

      ඒත්, තරඟකාරයන්ගෙ මිල ගණන් වට්ටන්නට, කොතරම් මිලකට කොපමණ කාලයක් පුරා, නැත්නම් කොපමණ ප්‍රමාණයක් නොමිලේ දෙනව ද කියල ගණන් හදන්නෙ කවුද? කොහොම ද? ඒකාධිකාරයක් අල්ලාගත හැකිවේවි කියන පොරොන්දුව අනුව දින නියමයක් නැති අවිනිශ්චිත කාලය පුරා ප්‍රාග්ධන හිඳී යද්දී, ලාභාංශ නොබෙදා ඉන්නට කොම්පැණියේ කොටස්කරුවන් කැමති කරවා ගන්නේ කෙසේද?

      මේ කාලය තුල වෙළඳපොල තත්වය, ඒ කියන්නෙ ආදේශක බිහි නොවී, වෙනත් භාණ්ඩවල මිල ගණන් වෙනස් නොවී, (නොමිලේ දෙන නිසා වෙන ගම් පළාත් වලින් ද ඇවිත් පදිංචි වෙන්න පටන් ගෙන) ටවුමේ ජනගහණය වෙනස් නොවී, ස්වභාවික උවදුරු හට නොගෙන යනාදී වශයෙන් සියල්ලම නොවෙනස්ව පවතිනවා ද? නැතිනම්, ඒ ඒ වෙනස්වෙන තත්වයන් තුල අර විශාල ප්‍රාග්ධනයෙන් කොපමණක් කොපමණ කාලයක් තිස්සේ ඒකාධිකාරය හැදීම සඳහා වැය කරන්නට සිද්ධ වේදැයි ගණන් බලන්නේ කෙසේද? කවුද?

      විශාල ප්‍රාග්ධනයක් සතු දැවැන්ත වයර්ලස් කොම්පැණියක් ඒකාධිකාරයක් හදන අරමුණින් කුඩා ටවුමක ඉන්ටනෙට් සහ දුරකතන සේවා අඩු මිලට සපයන්නට පටන් ගත්ත කියමු. ඒ සේවයම විකුණන අනික් තරඟකරුවෙක්ට පුළුවන් ඒ සේවාව මේ අයගෙන් අඩු මිලට ලබාගෙන කෝල් සෙන්ටර් වැනි දෙයක් දාගෙන ආදායම් උපයන්න. එතකොට මේ අය අඩු මිලට නැත්නම් නොමිලේ සපයද්දී තරඟකරුවා “දැන් ලාබ” හොයන්න පටන් ගෙන. එතකොට දවසෙන් දවස ප්‍රාග්ධන හිඳී යන දැවැන්ත කොම්පැණිය අනික් තරඟකාරයාව බංකොළොත් කරන්නෙ කොහොම ද?

      ඕනෑම අලුත් ව්‍යාපාරයක් වෙළඳපොලට ගෙනෙන්නට දීර්ඝ කාලයක් යන්නේ ඇයිදැයි කියාත් සොයා බලන්න. පාරිභෝගිකයාව ආරක්ෂා කරනවා යැයි කියන රජයේ මැදිහත්වීම් වැඩි රටවල අලුත් ව්‍යාපාර වෙළඳපොලට ගෙන එන්නට වැඩි කාලයක් ගතවෙනව. ඒ නිසාම රජයේ සහාය ලබාගෙන ඒකාධිකාරයක් හදාගත්තු අයට වැඩි කාලයක් වැඩි ලාබ සොයන්න ඉඩකඩ පෑදෙනව. රජයේ මැදිහත්වීම් අඩු රටවල ඕනෑම ක්ෂේත්‍රයක කොම්පැණියකට ඉක්මණින් වෙළඳපොලට එන්න හැකියාව වගේම තරඟකාරීත්වයට මුහුණ දෙන්න අසමත් නම් ඉක්මණින් වෙළඳපොලින් යන්නත් සිද්ධ වෙනව. සැබෑ ජය පාරිභෝගිකයාට.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: