අරුණි ශපීරෝ‍ වෙතින්

ජීවිතයට, නිදහසට සහ සතුට සොයා යෑමට හැකියාව ආණ්ඩුවකට ලබාදෙන්නට හැකි වූවක් නොවේ

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 18, 2018

ඒත්, ආණ්ඩුවකට ඒවා සියල්ල අවහිර කරත හැකියාව ඇත.

බැද්දේගම ප්‍රබන්ධය සැලකෙන්නේ යටත්විජිත වැසියෙකුගේ පැත්තෙන් දකින විදියට මුලින්ම ලියැවෙන නවකතාව හැටියටයි. අධිරාජ්‍යවාදයේ වින්දිතයාගේ පැත්තෙන්. නවකතාව ලියන ලෙනාඩ් වුල්ෆ් එයින් ලබන කීර්තිය නිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධී න්‍යායවාදීන් අතර වැදගත් තැනකට පත්වෙනව. ඔහු හා එකතු වෙන්නෙ ෆේබියන් සමාජය (මේ ගැන මම කළින් ලියූ සටහනක් මෙතැන), කාන්තාවන්ගේ සමූපාකාර, නව රාජ්‍ය මිනිසා යන සඟරාව සහ බ්‍රිතාන්‍යයේ නැඟී එන කම්කරු පක්ෂය වැනි ආයතන.

ෆේබියන් සමාජය කියන්නෙ විද්වත් වෑයමක් තුලින් දේශපාලනය සහ ආර්ථික ක්‍රමය ගැන ක්‍රමානුකූලව ජනමතය වෙනස් කරන්න 1884 දී පටන් ගන්න සංවිධානයක්. ෆේබියන් නම එන්නෙ කුවින්ටස් ෆේබියස් මැක්සිමස් නමැති රෝම ජනරාල්වරයෙක් ගෙන්. ඒ ෆේබියන් මැක්සිමස්ගෙ ක්‍රමෝපායට තමයි අද ‘ගරිල්ලා tactics’ කියන්නෙ. කෙළින්ම මුහුණට මුහුණ ලා සටන් කරන්නෙ නැතිව දිගින් දිගට විවිධාකාර ගැටළු ඇති කරමින්, එයින් හතුරාගේ ගමන ප්‍රමාද කිරීම.

ෆේබියන් සාමාජිකයන් හතුරා හැටියට දක්වන්නේ කවුද? තමන්ගේ දියුණුවට තමන්ගේ දැනුමෙන් කරන තෝරාගැනීම් වලට නිදහස් ඉඩක් දිය යුතු යැයි කියන පුද්ගලයාව.

කැලෑව ගැන බිය ගන්වන ආරම්භයකින් වුල්ෆ් පෙන්වන්නේ ස්වභාව ධර්මයේ කුරිරු ස්වභාවයයි. ඉතින් පුද්ගලයෙක් තමන්ගේ දියුණුව ගැන තමන්ගේ දැනුම තුලින් කරන තෝරාගැනීම් වලට ඉඩදිය යුතු යැයි අපි කියද්දී, අයෙක් වහාම උත්සුක වෙන්නේ ඒ දැනුම කොහෙන්ද ලැබෙන්නෙ කියා අසන්නටයි.

ධනවත් සහ රදළ අයට මේ දැනුම වැඩියෙන් හිමිව ඇතැයි හැඟවෙන, නාගරික කපටියන් සහ ගමේ මෝඩයන් සංසන්ඳනය අපිට බැද්දේගම නවකතාවේ බොහෝ තැන්වල දී දකින්නට ලැබේ.

දැනුම බෙදා දීම රජය බාරයේ පවතින්නේ ද, එවිට සැමට දැනුම එකසේ බෙදී යතැයි එවක වුල්ෆ් වැනි අයගේ විශ්වාසයයි. 1908 ඔක්තෝබර් 22 වැනිදා වුල්ෆ්ගේ “හම්බන්තොට දිනපොත්” සටහන මෙහෙමයි:
“අද උදේ අශ්වය පිටෙන් ගියා හකුරුවෙල රජයේ පාසැලට. ලැයිස්තුවේ ළමයින්ගෙ නම් 60 ක් තිබුණට ඇවිල්ල හිටියේ 33 දෙනෙක්; …”

ඒ යටත්විජිත ලංකාවේ ගම්බද පාසැල් වලින් කට්ටි පනින දරුවන් අල්ලන්න ආණ්ඩුවේ නිලධාරියෙක් පත් කරල තිබුණ. එයා කෝටුවක් අරන් ගම පුරා පොකුණු පැත්තෙ, මාදම් පඳුරු පැත්තේ කරක් ගහනව ඉස්කෝලෙන් කට්ටි පැනල ඉන්න කොල්ලො කුරුට්ටො අල්ලන්න. අහුවුනාම කෝටුවෙන් තලල පංතියට දක්කාගෙන එද්දී ඒත් පංතියේ හිරවෙලා ඉන්න ළමයින්ට එයාල හෙන වීරයෝ වෙනව.

සිළිඳුගේ ගෙදර උපදින්නෙ නිවුන් කෙල්ලො දෙන්නෙක්. ඒ පුංචිමැණිකා සහ හින්නිහාමි. වුල්ෆ් දරු උපත ගැන අසන සිළිඳුගේ ප්‍රතිචාරය මෙහෙම ලියනව:
“ඩිංගිහාමිට ලැබුණේ ගැහැනු දරු දෙදෙනෙකැ යි එහි සිටි ගැහැණුන් සිළිඳුට දැනුම් දුන් විට ඔහු පැල තුළට වැද පැදුරේ වැතිර සිටි දරු මවගේ හිසටත් පපුවටත් පහර දෙන්නට විය. “පරට්ටි! පරට්ටි!! කෝ මට පුතෙක්? කෝ මගේ තුවක්කුව උස්සා ගෙන කැලේට යන්න පුතෙක්? කෝ මගේ හේන එළිකරවා ගන්ඩ පුතෙක්? ගෙදර තියාගෙන කන්ඩ අඳින්ට හරිහම්බ කරන්ඩයි දෑවැද්ද ලෑස්ති කරන්ඩයි තී මට පරට්ටියො වදනව ද? නො දකින් තී!”

වුල්ෆ්ගේ බැද්දේගම නිකුත් වෙන්න වසර 67 කට කළින් එංගලන්තයේ චාල්ස් ඩිකන්ස් ලියූ නවකතාවක් තමයි “ඩොම්බෙ ඇන්ඩ් සන්”. ධනවත් ව්‍යාපාරිකයෙක් වූ පෝල් ඩොම්බෙ ට තිබුණ එකම ආශාව තමයි එයාගේ ව්‍යාපාරය කරගෙන යන්න පුතෙක් හැදීම. ඒ කතාව පටන් ගන්නෙ ඩොම්බෙගෙ භාර්යාව පුතා ප්‍රසූතියෙන් අනතුරුව මිය යද්දී. ඒ වෙද්දී ඩොම්බෙට වයස අවුරුදු හයක දුවෙක් ඉන්නව. ඒත් පිරිමි දරුවෙක් නොවූ නිසා ඇයට කිසිම අවධානයක් පියාගෙන් ලැබෙන්නෙ නැහැ. ඇයගේ පපුවට පහරක් පියාගෙන් ලැබෙන හැටි ඩිකන්ස් අතින් ලියැවෙනව.

වුල්ෆ් ලියන ඈත පිටිසර නූගත් සිළිඳු සහ චාල්ස් ඩිකන්ස් ලියන බ්‍රිතාන්‍යයේ ධනවත් ව්‍යාපාරික පෝල් ඩොම්බෙ යන දෙදෙනාම පුතුන් පැතුවේ එකම හේතුවක් නිසා. සිළිඳු තමන්ගෙ දූලා දෙන්නාව කැළයට හුරු කරනව. ඩොම්බෙ ගෙන් කිසිම සහයක් නැතිව, ඔහු නොදැනුවත්ව එයාගෙ දුව සිය දැනුම වැඩිකරගන්න සමත් වෙනව. අවසානයේ ඩොම්බෙට දුවගේ අගය වැටහෙනව. හැබැයි වුල්ෆ්ගේ කතාව අවසන් වෙන්නෙ හින්නිහාමියි පුංචිමැණිකයි දෙන්නම අසරණව මිය යාමෙන්.

“වනයෙහි මෙන් ම ගමෙහි ද හැම තැනැකින් ම හැම සතකුගෙන් ම නිකුත් වන්නේ බඩ ගින්නත් බඩගින්න පිළිබඳව නිතොර පවතින්නා බියත් ය.” ඒ සැබෑ තත්වය හමුවේ, වැඩියෙන් තියන අයගෙන් ඩිංගක් උදුරා ගැනීම සාධාරණීය කරන අදහසක් තමයි වුල්ෆ් අපිට බැද්දේගම පොතෙන් දෙන්නෙ.

පුංචිමැණිකා ගැන දරු සෙනෙහසක් හටගන්න සිළිඳු කැලෑව ගැන ගොතන කතාව දිග හැරෙන්නේ ඒ නැවත බෙදාහැරීම යුක්ති සහගත කිරීමෙන්. “අම්මා, උඹ ඉතින් යන දිහාවක පලයන්. මගෙ ගුහාවේ පැටවු දෙන්නෙක් ඉන්නවා මං කෑම ගෙණෙන කල් බලා ගෙන උන් දැන් දවස් ගාණක ඉඳලා බඩගින්නෙන්. අවුරුද්දකට මම වදන්නෙ එක පැටිය යි. වැඩි වුනොත් දෙන්නයි. ඒත් උඹේ පැටියන්ගෙන් බැද්ද ම සූරිකනවා. මේ පැටියගෙ සහෝදර සහෝදරියෝ තව අට දෙනෙක් අර දොඹ ගහ ළඟ ඉන්නවා මට පෙණෙනවා. උඹ දැන් යන දිහාවක නො ගියොත් මම තව එකෙක් තෝරා ගන්නවා මගේ බත ට.”

සිළිඳුගේ දූලා දෙන්නා මිය යන්නෙ ස්වභාව ධර්මය හා සටන් වැදී ජයගන්න බැරිකම නිසා නොව පාලන ක්‍රමය තුලින් පෞද්ගලික දේපල අයිතියක් තහවුරු නොවීම නිසා. ඒත් මුළු නවකතාව පුරාම වුල්ෆ් ඉදිරිපත් කරන්නේ අධිරාජ්‍යවාදී ක්‍රමය වෙනුවට ස්වදේශී පාලනයක් වූවා නම් ඔවුන්ගේ ජීවිත යහපත් වේය යන ප්‍රස්තුතයයි.

ධනය සහ අධ්‍යාපනය ලැබුණු පමණින් රුදුරු ස්වභාව ධර්මයෙන් ජීවිතය බේරාගන්න ආකාරය අයෙකුට ඉබේ පිහිටන්නේ නැහැ. ක්‍රිස්ටෝෆර් මැක්කෑන්ඩ්ලස් ගැන ලියැවෙන පොත Into the Wild (1996). ඉහළ ලකුණු ඇතිව එමරි විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලැබූ ක්‍රිස්ටෝෆර් දුප්පත් පවුලක ළමයෙක් නෙමෙයි. සීතල ඇලස්කාවේ වාසයට ඔහු යන්නේ අවම භෞතික වස්තු අයිතියෙන් වනගත වී වැඩි වින්දනයක් ලබාගත හැකි යැයි විශ්වාසයකින්. කැලෑව ගැනත් බඩගින්න ගැනත් හරියාකාර තක්සේරුවක් නොමැතිව. 1992 දී ඔහු මිය යන්නේ තමන්ට පහසුවෙන් ලබාගත හැකි වූ දැනුම විමසා බැලීම බැහැරලූ නිසයි.

කොච්චර දැනුමක් තමන් ඉදිරියේ තිබුණත් එය භාවිතයට නොගන්නා අය ලොව ඉන්නවා. ඒ අයව බේරාගන්න ක්‍රමයක් ලොව නැහැ. ඒ අය වීරයන් විදියට හුවාදැක්වීම නිසා රැවටෙන පිරිස තවත් වැඩිවෙනව.

දැනුමට පහසුවෙන් පිවිසෙන්න හැකියාවක් නැතත්, දුෂ්කරතා සියල්ල ජයගෙන දැනුම හඹා යෑමත් මිනිස් ස්වභාවයක්. ඉහතින් සඳහන් කළ අයව ආරක්ෂා කරන්නට ගෙනෙන සැලසුම් වැඩිවෙද්දී මේ අයට මුහුණ දෙන්න සිද්ධ වෙන බාධක තව තවත් වැඩිවෙනව. සමාජයේ වැඩි බර අදින්නේ මේ අයයි.

වීරයන් සහ දුෂ්ටයන් කවුදැයි කියා පහදාගත හැකියාව අවුල් වී යද්දී, “තමන්ගෙ බඩගින්න ගැන නිතර පවතින බිය” නැති කරගත හැකි දැනුමක් සතු වූ අයට, හින්නිහාමි සහ පුංචිමැණිකා වැනි සමාජයේ බහුතරය මොවුන් වෙති, එවිට ඔවුනට යන එන මං නැතිවෙයි. බඩගින්න නැති කරගන්න දැනුම තිබිය දී ම ඔවුන් බඩගින්නේ මියෑදෙති.

මතු සම්බන්ධයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

%d bloggers like this: