අරුණි ශපීරෝ‍ වෙතින්

බැද්දේගම සිළිඳුට බලය ලැබෙන එකම ක්‍රමය කුමක් ද?

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 22, 2018

“ගම්මු ජීවත් වූයේ ණය ගැනුමෙනි. බොහෝ විට ඔවුන් ගේ කතාවල ප්‍රධාන ස්ථානය ගත්තේ ද ණය ගනුදෙනුම ය. අක්කර දෙකක තුනක කුරක්කන් හේනකින් ලැබෙන අස්වැන්න පවුලකට අවුරුද්දක් ජීවත් වන්ට හොඳට ම සෑහෙතත් ගමේ කිසිම මිනිහෙක් -ගමේ ආරච්චි පවා- හේනක සම්පූර්ණ අස්වැන්න භුක්ති විඳීමේ භාග්‍යය නො ලැබුවේ ය.”*

බැද්දේගම ගැන එසේ ලියන ලෙනාඩ් වුල්ෆ් අනතුරුව නගරයෙන් ගමට කඩා වදින අමුත්තෝ සමූහයක් ගැන විස්තර කරයි. “ගමට රෙදි පිළි සපයන හම්බ කඩේ මුදලාලි …”, “දුරු මිරිස් සපයන … සිංහල මුදලාලි…”, “අන්දිරිසා”, සහ “රේන්දරාළ”, යනාදීන් හේන් කපාගත් වහාම “නො පැහැදිලි අකුරු හා ඉලක්කම් පිරුණ අපිරිසිදු නෝට් පොතුත් රැගෙන” පැමිණ ගණුදෙනු බේරා “වට්ටක්කා, ධාන්‍ය මලු හා කංසා කොළවලින් කරත්ත පුරවා ගෙන ආපසු හැරෙති”.

එහි දී අවධානය මොවුන් වෙත යොමු කිරීම මඟින් ණය ගන්නට සිද්ධ වෙන තත්වයට ගම්මු වැටුනේ ඇයි දැයි යන්න විමසීම පාඨකයාට අමතක වී යයි. වගා කරන්නට නීතියෙන් තහනම් කංසා, හේන් වගාවට සුදුස්සෙක් යැයි ආරච්චිල හරහා අවසර ගන්නට සිද්ධ වීම, තුවක්කු සඳහා සිලිම් හතරක් ගෙවිය යුතු ලැයිසොන්, ඇඟ බද්ද හැටියට සිලිම් තුනක් ගෙවීමට බැරි නම් වේතන නොමැතිව පාරේ වැඩ කිරීමට සිද්ධ වීම, යනාදියෙන් අසරණ වෙන ගම්වැසියාට කිසිත් දිනෙක ණයෙන් ගැලවෙන්න නොහැකි යැයි සිහිවීම මඟ හැරී යයි.

“ගම්මුන් පිළිබඳව ආරච්චිල කෙරෙහි රැඳී තිබෙන බලය මනඃකල්පිත එකක් නොවේ. ආරච්චිලට විරුද්ධ ව ගිය කෙනෙකුගේ ජීවිතය ඉතා ම අවසනාවන්ත වූයේ ය. ගම්මුනේ කෙරෙහි බල පැවැත්වීමට බබෙහාමිට හැකි වූයේ ණය දීමෙන් පමණක් ම නොවේ. ඔවුන්ගේ ජීවිතය වාසනාවත් කිරීමේ හෝ ඕනෑම මොහොතක අවාසනාවත් කිරීමේ හෝ බලයත් ද ඔහු කෙරෙහි පැවතිණි.”

අධ්‍යාපන තුලින් අකුරු කියවන්නට, ලියන්නට හා ගණන් තුරුස් ගැන උගත්තාට ගම්වැසියාගේ කරමත පැටවෙන ණය බර අඩු වී යන්නේ නැත. තමන්ගේ ජීවිතයේ සමෘද්ධියට ගන්නා ඕනෑම වෑයමක් තමනට නැති ඉහළ බලයකින් නියාමනය වෙද්දී උත්සාහය අසාර්ථක වීමත් සියළු වැය දැඩි ලෙසකින් ඉහළ යෑමත් පැහැදිලිව පෙන්වා දුන්නේ එෆ්. ඒ. හයෙක් නම් වූ අර්ථ ශාස්ත්‍රඥයායි. අනුන් සඳහා සාර්ථක සැලසුම් හදන්නට හැකි යැයි කියාගන්නා අය හයෙක්ගේ “සමාජයේ දැනුම භාවිතය” විමසා බැලීමට අකමැති වෙති.

“බබෙහාමිගේ මිත්‍රයන්ට හේන්වලට අවසර ලබා ගැනීමේ අපහසුවක් නැති බවත්, එළි කළේ කැලෑ අක්කර හතර ද අටදැ යි ඒජන්ත හාමුදුරුවන් ඔහුගෙන් නාසන බවත්, ගම්මු දනිති. ආරච්චිලට විරුද්ධ ව ගියොත් විඳින්නට සිදුවන හිරිහැරත් දුෂ්කරතාත් අපමණ ය කැලයක් එළිකර ගැනීමට ඉල්ලන අවසර පත්‍රය ලැබෙන්නට බොහෝ ප්‍රමාද විය හැකි වේ. අවසරය ලැබුණු පසු නියම ප්‍රමාණයට වඩා රියනකත්වත් එළිකර තිබුණොත් ලැබෙන දඩය ද මහත් ය. අවසර නැතිව හේනක් එළි කළොත් ඔහු එතැනින් ඉවර ය.”

මෙහි දී අධිරාජ්‍යය පාලනයේ සේවකයෙක් වූ ආරච්චිල සිය තනතුරේ බලයෙන් අයුතු ප්‍රයෝජන ගැනීම හුවා දැක්වීම සිද්ධ වේ. ඒත්, ඇයි සිය වෙහෙස මහන්සිය යොදවා කැළෑවේ ඇති හේනක් වගා කරන්නට ගම්වැසියා රජයෙන් අවසර ගත යුත්තේ යන්න විමසීමක් සිද්ධ නොවේ. “පොළොව පිලිස්සී දැඩි වී”, “කුඩා කුඩා ඇළ දොළ වියලී”, “වන මං අසල සතකුට බීමට දිය පොදක් නැති” මේ 1913 ගණන් මිනිසා වනය කපා දැමීමෙන් හටගන්නා ගෝලීය උෂ්ණත්වයක් ගැන ලොව කතාබහක් නොතිබූ කාලයකි. පෞද්ගලික අයිතිය වෙනුවට භූමියේ අයිතිය රජය සතු වූවාම එය වැඩියෙන් ආරක්ෂා වෙන්නේය යන ප්‍රස්තුතය නිවැරදි ලෙසකින් සලකා, මෙහි පෙන්වන්නේ ආරච්චිල සිය බලය අනිසි ලෙස හසුරවන්නේය කියායි.

ආරච්චිලට ලැබෙන බලය පාලන ක්‍රමයෙන් හිමි වූවකි. අධිරාජ්‍යවාදී පාලකයන් පළවා හැර ඒ වෙනුවට ස්වදේශී පාලකයන් පත්කරගත්තාට ක්‍රමයේ වෙනසක් සිද්ධ නොවේ. ඒ නිසා පත්වන තනතුර අනුව අල්ලා ගන්නට හැකි බලයේ ද වෙනසක් සිද්ධ නොවේ.

උපයන ආදායමෙන් ණය ගෙව්වම අතට ලැබෙන්නෙ හරිම ටිකයි කියන අයත් තවමත් රට හදන්න අවංක සහ දක්ෂ නායකයෙක් සොයමින් සිටීම තරම් ඛේදනීය වූ තත්වයක් වෙන නැත. අධිරාජ්‍යවාදී පාලකයන්ට බැරි වූවාට ස්වදේශී පාලකයන්ට ඊට හැකියාව ඇතැයි කියා වුල්ෆ් වැනි අය ගිල්වා ගිය අසත්‍යයේ ඔවුන් තවමත් ගැලී වෙලී සිටිති.

බලය මෙහෙයවීම සඳහා “අවංක පුද්ගලයෙක්” පත්කර ගැනීම ගැන කතාබහට පිවිසෙද්දී, අල්ලාගෙන සිටින අසාර්ථක ක්‍රමය නිසාම ඒ සඳහා අවශ්‍යතාවයක් හටගත් බවත්, එයින් දැනුම භාවිතය පිළිබඳ ගැටළුව විසඳෙන්නේ නැති බවත් සලකා බැලීම නැවතත් පැත්තකට විසි වී යයි.

ගම්වැසියා පිට තව තවත් ණය බර පැටවෙද්දී, පාලකයන්ගේ කාලය සහ ශ්‍රමය අල්ලාගෙන සිටින ක්‍රමය නිසාම හටගන්නා වූ ගැටළු විසඳන්නට වැයවේ.

1909 පෙබරවාරි 5 වැනිදා “හම්බන්තොට දිනපොත්” සටහනේ විකුණූ ඉඩම් සඳහා මුදල් ලබාගැනීමේ පලහිලව්වක් ගැන ලෙනාඩ් වුල්ෆ් මෙසේ ලියයි:
“… ඔහු ලවා මුළු අක්කර 320, රූඩ් 1, සහ පර්චස් 7 ට ගෙවා ගන්න සමත් වුණා. මේ 1889 දී. ඒත් ඔප්පුව හදද්දී හොයා ගැනුණ ඉඩමෙ තියෙන්නෙ අක්කර 301, රූඩ් 1 යි, පර්චස් 38 යි කියල. පොන්නසාමි ඉතින් ඔහුට ලැබුණට වඩා අක්කර 18 කට, රූඩ් 3 කට සහ පර්චස් 9 කට ගෙවල විතරක් නෙමෙයි දැන් මේ අක්කර 18 න් කොටසක් ඔහු අයිති කරගෙන ඉන්න එකෙන් වැඩේ තවත් සංකීර්ණ වෙලා. ඔප්පුව හදන්න අවුරුදු 5 ක් ගියා. ඒ කීට ප්‍රදානය පොන්නසාමිට දෙන්න තව අවුරුදු 2 ක් ගියා. මේ 1896 දී. අලෙවිය වෙලා වසර 16 කට පසුව, අවුල පටන් ගෙන අවුරුදු 12 ක් ගියාට පස්සෙ.”

අක්කර තුන්සිය ගණනක් බ්‍රිතාන්‍යය ඔටුන්න වෙතින් නීත්‍යානුකූලව මිල දී ගන්නට හැකියාව ඇති අයෙකුට මුහුණ දෙන්නට සිද්ධ වූ තත්වය එසේ නම්, සිළිඳු වැනි දඩයක්කාර ගොවියෙකුට හේනක් එළිකර නීත්‍යානුකූලව ගොවිතැනේ නියැළෙන්න කොතරම් පහසු වූවා ද?

සොයා බැලිය යුතු එකම ගැටළුව නම් වෙහෙස වෙන්නට රිසි වූ පුද්ගලයා ඉදිරියේ ඇති නිෂ්පාදන ගැටළු වඩාත්ම කාර්යක්ෂමව විසඳාගත හැකියාව සැබැවින්ම ඇත්තේ කා සතුව ද කියායි.

සිළිඳුට, පුංචිමැණිකාට සහ හින්නිහාමිට ඊට සැබෑ බලයක් ලැබෙන්නේ ඔවුන්ගේ තෝරාගැනීම් සඳහා නිදහස් ඉඩකඩක් ලැබෙද්දී පමණි.

* ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම උපුටන ගන්නේ ඒ. පී. ගුණරත්න කළ අනුවාදයෙනි.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජනවාරි 22, 2018 at 2:07 ප.ව.

    බැද්දේගම පිළිබඳ විවරණයක් ඇසුරෙන් කියවන්නකු හදාරණ කදිම පාඩමකි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: