අරුණි ශපීරෝ‍ වෙතින්

මොනව කරන්ඩ ද – බැද්දේගම ද? බ්ලොක්චේන් ද?

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 23, 2018

“මොනවා කියන්ඩ ද අයියා, මට ඒක කරන්ඩ බෑ. එහෙම එකක් අපට වෙන්ඩ තියනවා නම් වෙච්චාවෙ. කවදත් මේ ගෙදරට මේ කැලෙන් අපල කඩා වැටෙනවා කියා අප්පොච්චි හැමදා ම කියන්නෙ. ඉස්සර වෙලා ම කන්ඩ නැතුව ගියා. ඊට පස්සෙ අප්පොච්චිට යකා වැහුණා, ඊට පස්සෙ නංගිට යි එයාගෙ ළමයට යි මගෙ ළමයාට යි, තවත් අපල. ළමයි මළා. මිනිස්සු පුන්චිඅප්පුව මැරුව, නංගිවත් මැරුවා. දැන් තවත් අපල -තවත් නස්පැත්තියක්- මොනව කරන්ඩ ද?”

සැමියා හේනේ පැල් රකින්නට ගිය පසුව රෑට හොරෙන් තම නිවසට එන්නැයි ප්‍රනාන්දු ගෙනෙන යෝජනාව ප්‍රතික්ෂේප කරමින් පුංචිමැණිකා එසේ කියයි. අහිංසක හා මෝඩ ගම්වැසියන් තුල වූ මිථ්‍යා දෘශ්ටීන් ප්‍රයෝජනයට ගන්නට සමත් වූ නාගරික කපටියා හැටියට ලෙනාඩ් වුල්ෆ් අපිට ප්‍රනාන්දුව පෙන්වයි. යටත්විජිත ආණ්ඩුවේ වැඩ කෙරෙන ආකාරය හඳුනාගන්නට සමත් ප්‍රනාන්දු සහ බබෙහාමි වැනි අය ගැසූ උගුල් තුල අහිංසක සිළිඳු සහ බබුන් හිරවෙන හැටි පෙන්වා අපට ඉදිරිපත් කරන්නේ රාජ්‍ය පරිපාලන කටයුතු සිද්ධ වෙන භාෂාව ස්වදේශී වූවානම්, අකුරු කියවන්නට හා ලියන්නට තරම් දැනුමක් තිබුණා නම් උසාවිය තුල සිද්ධ වෙන්නේ කුමක්දැයි ඔවුනට අවබෝධයක් ඇතිවේවි යන අදහසකි. එහි දී ඔවුන්ට එවැනි බොරු නඩුවලින් ගැලවෙන්නට හැකියාව ලැබේවි යැයි කියායි.

ඒත් මෙතැන මතු වී ඇති ගැටළුව උසාවිය ක්‍රියාකරන ආකාරය සහ නීතිය දැන සිටීම ගැන නොවූවකි. මෙය, පෞද්ගලික දේපල අයිතිය නම් වූ අපූරු සංකල්පය ගැන දැනුමක් නොමැතිකමයි.

වර්තමාන ලංකාවේ බොහෝ දික්කසාද වූ ස්ත්‍රීන් තමන් දික්කසාද වී ඇතැයි කිසිවෙකුටත් නොකියති. වයසක කාන්තාවන් පවා තමන් තනිවම වාසය කරන බවක් කිසිවෙකුට කියන්නේ නැත. එසේම පොලීසියට පැමිණිල්ලක් දාන්නට කාන්තාවක් තනිවම යන්නේ ඉතා කලාතුරකිනි. කාන්තාවන් එවැනි පිළිවෙතක නියැළෙන්නේ ඔවුනට එන අයුතු යෝජනා, බලහත්කාරකම් සහ කරදර අඩුකරගන්නටයි. ඔවුනට ද හින්නිහාමිට සහ පුංචිමැණිකාට මෙන්ම පිරිමියෙක් නැතිව සිය ආර්ථිකය ජයගන්නට හැකි වූවත්, පෞද්ගලික දේපල අයිතිය කුමක්දැයි නොදන්නා අයගෙන් ගැලවෙන්නට ක්‍රමයක් නොමැත.

පෞද්ගලික දේපල අයිතිය යනු මුලින්ම පුද්ගලයෙකුට සිය සිරුරට ඇති අයිතිය පිළිගැනීමයි. ඊ ළඟට එයාගේ ශ්‍රමය කැමති ලෙසකින් යෙදීමටත් එයින් ලබන ඵලදාවට ඇති අයිතිය පිළිගැනීමයි. යටත්විජිත ක්‍රමයෙන් ගැලවුණ ද ලංකාව තුල එවැනි අදහස් කිසිදා සංවාදයට ලක්වී නැත. හැමදාම කතාබහ වෙන්නේ රට දියුණු කරත හැකි දැනුමක් සතු අවංක නායකයා හෝ කණ්ඩායම සොයා ගැනීම ගැන පමණි. ඒ දැනුම ඇති අයෙක් හෝ කණ්ඩායමක් ලොවේ කොතැනකවත් නැතැයි යන්න විමර්ශනයට පාත්‍ර නොවේ. ඉතින් දිගින් දිගටම රටවැසියාගේ සිරුර සහ ඒ සිරුර යොදවමින් ගන්නා ඵලදාව ගැන තීන්දු ගැනීම රජය සතුව පවතියි.

1802 සිට 1931 දක්වා යටත්විජිත ලංකාවේ සෑම දෙපාර්තමේන්තුවකම වගකිව යුතු තනතුරු පැවරී තිබුණේ ලංකාවේ යටත්විජිත පරිපාලනය බාරව සිටි සිවිල් සේවයටයි. නමුත් 20 වැනි සියවස හා සසඳා බලද්දී, 19 වැනි සියවසේ ලංකාවේ ව්‍යවස්ථාදායකයෙන් හැදුන නීති ප්‍රමාණය ඉතා ස්වල්පයයි.

ව්‍යවස්ථාදායකය එළියට දාන රෙගුලාසි, නීති සහ දඬුවම් ප්‍රමාණය සීඝ්‍ර ලෙස ඉහළ යෑමක් දකින්නට ලැබෙන්නෙ 1932 න් පසුව.

ඒ මුළු දිවයිනටම බලපාන ලෙසින් නීති පනවන බලය 1932 පිහිටුවන ව්‍යවස්ථානුකූල කවුන්සිලයට ලැබුණට පසුව.

යටත්විජිත පළාත් ආණ්ඩුවල හිටපු අයගෙ බලය අඩුවෙලා මධ්‍යම රජයට බලය කේන්ද්‍ර වෙනව. 1921 දක්වා ව්‍යවස්ථානුකූල කවුන්සිලයේ බලධාරීන් බහුතරය වුනේ සිවිල් සේවයේ හිටපු අයමයි. ඔවුන් නීති හදන්න, නීතිය ක්‍රියාත්මක කරන්න, නීති කඩන අයට දඬුවම් දෙන උසාවි ක්‍රමයත් -විධායක, නීති සම්පාදනය, සහ අධිකරණ බලය- යන තුනම සිවිල් සේවය යටතට ගත්ත.

නීතියේ රීතිය (rule of law) සහ නීතිමීමංසා (jurisprudence) සැලකිල්ලට ගන්නවා වෙනුවට මෙවැනි මධ්‍යම බලඅධිකාරියක හිතුමතයට අනුව නීති පනවන්න බලයක් තිබීම කියන්නේ රජයේ මැදිහත්වීමෙන් ජනජීවිතය ක්‍රමවත්ව සමෘද්ධිය කරා ගෙනියන්න පුළුවන් යැයි හිතන අසාර්ථක දැක්මයි.

ඉතින් බැද්දේගම පොතෙන් ලෙනාඩ් වුල්ෆ් කියන්නෙ අහිංසක සිළිඳුගේ ජීවිතයට බලපෑම් එල්ල කරන යටත්විජිත සුබසාධන ආණ්ඩුව අයින් කරලා, ඒ වෙනුවට ලංකාවේ ස්වදේශීන්ගේ පාලනයෙන් යුතු සුබසාධන ආණ්ඩුවක් පත් කරගන්න කියලයි. සමෘද්ධියක් සලසන්න ඒ අයට වගේම මේ අයටත් දැනුමක් නැති බව නැවතත් පැත්තකට විසිවෙන කරුණක්. සුබසාධන රාජ්‍ය ක්‍රමය ජනතාවගේ බදු බර වැඩි කරන බව ගැන ඔවුන් කතා කළේ නෑ. ඒ ක්‍රමය තුලින් ඉටුවෙනවාය කියන අරමුණ ඉටුනොවෙන හැටි ගැනත් කවුරුත් කතා කළේ නෑ.

ආර්ථික ලාබ ඉතා බලවත් දිරිගැන්වීම් වුවත්, සමාජයක සමෘද්ධිය වැඩි දියුණු කරන තවත් දිරිගැන්වීම් බොහොමයක් ඇති බව ලුඩ්විග් වොන් මීසස් අපට “මිනිස් ක්‍රියාකාරකම්” පොතෙන් පෙන්වා දුන්නේය. යමක නියැළෙන්නට නම් සම්පූර්ණ විය යුතු කාරණා තුනක් වොන් මීසස් ගෙනහැර පෑවේය. එනම්,
(1) පවතින තත්වය ගැන ඇති අප්‍රසාදය, (2) ඊට වඩා හොඳ තත්වයක් ගැන දැක්ම, සහ (3) ඒ හොඳ තත්වයට පිවිසිය හැකි යැයි විශ්වාසය. මේවායෙන් එකක් හෝ නැතිවෙන්නේ ද, එවිට මිනිසා ක්‍රියාවේ නියැළෙන්නේ නැත.

සමෘද්ධිය සාක්ෂාත් වෙනවා වෙනුවට එවැනි තත්වයක දී මිනිසා උන් තැනම හිරවී සිටියි. එවැනි කාලයන් හි දී අපල නස්පැත්ති ගැන විශ්වාසය වැඩිවී කරකියාගත නොහැකි තත්වයකට පුද්ගලයා පත්වේ.

අදට වඩා සාර්ථක ක්‍රමවේදයක් හෙට ක්‍රියාත්මක කරන්න වෙහෙසුණු පුද්ගලයන්ට ඊට නිදහසක් ලැබුණ නිසයි දියුණු රටවල් දියුණු වුණේ. එහෙම අයව මෙහෙයවන්න නායකයෙක් හිටියෙ නැහැ. බොහෝ අවස්ථාවල දී විවිධ පැති වලින් එකම ක්‍රමවේදයක් දියුණු කරන්න කැමැත්තෙන් ඉදිරිපත්වෙච්ච අය නිසා ක්‍රමවේදය ඉතා ඉක්මණින් ඵලදායී තත්වයකට ආවා.

බිට්කොයින් බිහිවෙන බ්ලොක්චේන් තාක්ෂණයත් ඒ ආකාරයෙන්ම දියුණු වෙමින් පවතින්නක්. එය බිහිවූයේ පවතින ඉල්ලුමක් සපුරන්නටයි. රාජ්‍ය මැදිහත්වීම් නිසා නිරන්තරයෙන් අවතක්සේරුවට පත්වෙන මුදල් ගැන කනස්සල්ලෙන් සිටි අය තමයි මෙහි අගය මුලින්ම අවබෝධ කරගන්නෙ. ඒත් විමධ්‍යගත පෞද්ගලික මුදල් ඒකකයට වඩා ගොඩක් එහාට යන තාක්ෂණයක් හැටියට දැනටමත් එය ඔප්පු කරල ඉවරයි.

ශ්‍රම න්‍යාය මත පදනම් වෙන අගයක් හැටියට දක්වමින්, බිට්කොයින් කනින්නට වැයවෙන පරිගණකයට අවශ්‍ය විදුලි බලය කොතරම්දැයි මත බිට්කොයින් අගය තීරණය වෙනව කියන උත්සාහයක් මට ලංකාවට ආවම අහන්නත් ලැබුණ. යම් සම්පත් ප්‍රමාණයක් යෙදෙව්ව කියල යමක අගය තීරණය වෙන්නෙ නැහැ. වරායවල් සහ ගුවන්තොටුපොළවල් සම්බන්ධයෙන් මේක මෑතක දී ලංකාවේ අයට දකින්න ලැබිලා තියෙනවනෙ. භාවිතා කරන අය තමයි ඊට අගයක් දෙන්නෙ.

බිට්කොයින් අවදානම ගත් නිසා සමාජයේ ඉතාමත් සුළු කොට්ඨාශයක් විශාල ධනවතුන් වෙන්නට සමත් වුණා. ඒ අය නිසා තවත් අයට අලුත් ආදායම් මාර්ග පෑදුණ.

හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටවල අය, නිරතුරුවම සාර්ථක වෙන සංවර්ධිත රටවලින් එන මෙවැනි විමධ්‍යගත උත්සාහයන් දැක දැකත්, ඉල්ලන්නේ පරණ හුරු පුරුදු දැයමයි. සමෘද්ධිය සාක්ෂාත් කරත හැකි යැයි කියන එහෙත් එසේ සාර්ථක වූ එකදු අවස්ථාවක උදාහරණයක් දක්වන්නට නොහැකි මධ්‍යම සැලසුම් ක්‍රමය තුල තවමත් බහුතරය අතරමංව සිටිති.

ඡායාරූපයට ස්තුතිය ධනිෂ්ක නවීන්ට.

One Response

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on ජනවාරි 24, 2018 at 3:56 පෙ.ව.

    මේ 2018 !! රාජ්‍ය පාලනය ස්වදේශිකයි. රාජ්‍ය භාෂා සිංහල දෙමල ආර්තිකය තවමත් හසුරුවන්නෙ රජය. සුබ සාධන එමටයි. !!

    සිළිදුු මොබයිල් ෆෝ්න් එකෙන් ඉඩමෙ කොස් ගහ කපාගන්න ග්‍රාම සේවක හම්බවෙන විදිහ කතා කරන කොට. බබුන් හෙල්මට් නැතුව පොලිසියෙන් අල්ලල. ද්විත්ව ඉරි කපන් ගිය දේශපාලන වාහනය ඇල්ලුවෙ නැත්තෙ ඇයි කියල පොලිිසියයෙන් ප්‍රශ්න අහනකොට බබුන්ට දඩ කොලය ලියල ඉවරයි.ගුරුවරියක් විදිහට දුෂ්කර පලාතක වැඩ කරන පුංචි මැණික මාරුව හදාගන්න අමාත්‍යාංශ ලේකම් එක්ක හෝටලයකට යනව දැක්ක කියල කතාවක් අහන්න ලැබුන………


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: