අරුණි ශපීරෝ‍ වෙතින්

“හිත හදා ගෙන ඉඳිමු මොනවා කරන්න ද?”

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 24, 2018

සිරස්තලයට යෙදූ පාඨය ගත්තේ සරත් විජේසූරිය ලියූ “සොර දෙටුවන්ගේ වැඩ බිමක” (2017) යන පොතෙනි. මේ සටහන ඒ පොත ඇසුරිනි. “සොර දෙටුවන්ගේ වැඩ බිම තුල සිටින කැපී පෙනෙන චරිත ගැන අවධානය යොමු කරවමින්” යැයි ලියැවෙන මේ පොතේ පරමාර්ථය “අප වැටී සිටින නරා වළ ගැන අවබෝධය පුළුල් කිරීම ය,” යැයි රචකයා ලියයි.

ජනවාරි 11 දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී “සීත ගඟුල” නමින් නවකතාවක් එළිදැක්වූ සරත් විජේසූරිය මහතා එහි දී ඒ පොත් දෙකම රුපියල් 500 කට විකුණන ලදි. පොත් දෙක මිල දී ගත් මම හිස් පුටුවක් නැති තරමට පිරී ඉතිරී ගිය ශාලාවේ අසුනක් සොයා ගෙන “අධිකරණය සහ දේශපාලනය” මැයෙන් වූ දේශනයට සවන් දුන්නෙමි. අවසන් පේලියේ වාඩිගත් මගේ ඉදිරිපිට වාඩි වී සිටියේ ජීප්සීස් කණ්ඩායමේ සුනිල් පෙරේරා ය. ගරු කතානායක සහ ශිරාණි බණ්ඩාරනායක වැනි ප්‍රභූන් ඉදිරි පේලියේ අසුන් ගෙන සිටින බව දේශකයා වෙතින් දැනගතිමි.

පොතට පෙරවදන ලියන සරත් විජේසූරිය, “අද වන විට ලංකාවේ සියලු තරාතිරම්වල පුද්ගලයන් බහුතරයක් දූෂිත ය,” යැයි සඳහන් කරයි. බහුතරයක් දූෂිත නම්, ඔවුන්ව එසේ දූෂිත වූයේ ඇයි?

මෙතෙක් කාලයක් ගෙන ගිය, සමාජයේ දැනුම භාවිතය හසුරවන්නට දන්නවා කියාගත් පාලන ක්‍රමය නිසා යැයි කියා නම් මේ රචකයා කිසිසේත් පිළිගනු නොමැත. 1913 දී ලෙනාඩ් වුල්ෆ් සටහන් කළා මෙන්ම, 2017 දී මෙම රචකයා ද සොයන්නේ සමාජයේ දැනුම භාවිතය මෙහෙයවන්නට සමත් අයවයි. වුල්ෆ් සෙව්වේ ස්වදේශීය නායකයන්ය, සරත් විජේසූරිය සොයන්නේ ස්වදේශීන් අතර සිටින අවංක බුද්ධිමත් අයවයි.

ඊට සමත් අය ලොව කිසිම තැනක නැතැයි ඔප්පු කරන ලද සත්‍යයක් බව නොදන්නා අය සඳහා මෙවැනි පොතක “හිත හදාගෙන ඉඳිමු මොනවා කරන්න ද?” යැයි ලිවීමට හැකියි.

සොර දෙටුවන්ට වෙනත් වෘත්තියක් සොයා ගන්නට සිද්ධ වෙන ඒකාන්ත ක්‍රමය කුමක්දැයි මේ බ්ලොග් සටහන් කියවන අය දනිති. පුද්ගලික අයිතිය ආරක්ෂා කරන නීති පනවා, නීතියේ නිසි කාර්යය ඉක්මවා යන නීති ඉවත් කරන්නේ ද, එවිට බහුතරයකගේ චන්දයෙන් සොර දෙටුවන් බිහිකරන හැකියාවත්, දුෂ්ටතම වූවන් ඉහළටම එන හැකියාවත් නැවතී යයි.

ෆ්‍රීඩ්රික් ඒ. හයෙක් මේ ගැන සිය “දාස භාවයට යන පාර” පොතේ මෙසේ පැහැදිලි කර ඇත. සාමාන්‍යයෙන් පුද්ගලයන් අධ්‍යාපනයෙන් ඉහළ මට්ටමකට එද්දී සහ බුද්ධිමත් බැවින් වැඩි වෙද්දී, ඔවුන් අතර ඇති දැක්ම සහ රසය ඉතාමත් විවිධ ලෙසින් බෙදී යයි. යම් අගයක් ගැන ඔවුන් අතර එකඟත්වයකට පැමිණීම ඉතා අඩුවෙන් සිද්ධ වේ. එසේම, ඒකාකාරතාවයෙන් සහ එක හා සමාන වූ දැක්මෙන් යුතු අය සොයන්නට නම් අපිට සදාචාර සහ බුද්ධිමත් බැවින් අඩු, ප්‍රාථමික “පොදු” ආශයන් සහ රසයන් ඇති අය දිහා බලන්නට සිද්ධ වේ.

මින් කියැවෙන්නේ බහුතරයක් ජනතාව අතර අඩු සදාචාර මට්ටමක් ඇතැයි කියා නොවේ.

එයින් කියැවෙන්නේ, අගයක් දිහා එකම විදියකින් බලන විශාලතම පිරිස යනු අඩු ප්‍රමිති මට්ටමක් අගයන පිරිස බවයි. “සාමූහිකයේ” ඉන්නේ අඩුවෙන්ම ඔරිජිනල් අදහස් ඇති, අඩුවෙන්ම ස්වාධීනත්වයක් සොයන අයයි. ඔවුන් සිය පරමාදර්ශය වෙනුවෙන් තම සංඛ්‍යාවේ බර පැටවීම කරති.

නමුත්, සරල සහ ප්‍රාථමික ආශයන් වලින් යුතු එක හා සමාන දැක්මෙන් යුතු වූවන් පමණකින් සොර දෙටුවන්ගේ වැඩ බිමක් හැදෙන්නේ නැත.

තමන්ගේය කියා දැඩි අවබෝධයක් නැති අයට, මහා හයියෙන් හා නිතර ඇහෙන වාග්මාලා වලින් හැදී ඇති අගැයුමක් විමර්ශනයෙන් තොරව පිළිගන්වා, අනතුරුව ඒ පිරිසත් ඊට එකතු කරගත යුතුවේ. අසම්පූර්ණ ලෙසින් වර්ධනය වූ සහ පැහැදිලි නැති අදහස් සහිත වූවන් ඉතා පහසුවෙන් ආවේග අවුස්සා නම්මා ගත හැකියි. මේ පොතත්, එදා අහන්නට ලැබුණු දේශනයත් කදිම උදාහරණ වෙති.

අනතුරුව තවත් පිරිසක් එකතු කරගත යුතුයි. හතුරෙක් දක්වා ඔහුට ද්වේශ කරනු පිණිස, නැත්නම් තමනට වඩා හොඳින් ඉන්නා අයට ද්වේශ කරනු සඳහා මහත් ජනතාවක් එකඟ කරවා ගන්නට ඒ සඳහා කැපවුණ සහ වාග් කුසලතාවයෙන් යුතු ජනනායකයෙකුට පහසු වූවකි. “උන්ට” එරෙහි “අපි” යන පොදු සටන වෙනුවෙන් මේ පිරිස උසිගැන්වීම ඉතා පහසුයි.

සොර දෙටුවන්ගේ වැඩබිම බිහිවූ ක්‍රමවේදයම එයින් සොර දෙටුවන් අයින් කරන්නටත් යෝජනා වී ඇතැයි දකින්නට හැකියාව ලැබෙන්නේ තමන් තවමත් අල්ලාගෙන ඉන්න යල්පැන ගිය අදහස් අත් හරින්නට සූදානම් අයට පමණි.

1850 දී ෆෙඩරික් බැස්ටියාට් ලියූ නීතිය නම් රචනාවෙන් සොර දෙටුවන්ගේ වැඩ බිමක් හැදෙන්නේ නීතියේ නිසි කාර්යය ඉක්මවා යන ලෙසින් නීතිය යොදා ගැනෙද්දී බව ඉතාමත් පැහැදිලිව පෙන්නා දී තිබේ. ඉතින් නීතිය විපර්යාස කරන දැක්මට ආවඩමින්, අධිකරණයට බැන වැදීමෙන් කිසිත් ඵලක් සිදුනොවේ. වෙනසක් සිද්ධ විය යුතු තැන කුමක්දැයි පිළිනොගන්නේ නම්, දුෂ්ටයන් ඉහළටම එන්නේ කෙසේදැයි කියාත් නොපෙනෙන ලෙසින් දෑස් වසාගෙන සිටිය හැකියි.

“රටේ දැන උගත් පිරිස දේශපාලනඥයන්ට රට විනාශ කිරීමට ඉඩ දී නිහඬ ව සිටියේ මන්ද? රටේ දැන උගත් සමාජය රටට ආදරයෙන් යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් කැප වුණ සේවාවක් සිදු කළේ ද? සැබැවින් ම නැත. නූගත් දේශපාලනඥයන්ට අභිමත අන්දමට රාජ්‍ය ධනය පරිහරණය කිරීමට හා රාජ්‍ය දේපළ අවභාවිත කිරීමට ඉඩ දුන්නේ උසස් අධ්‍යාපනයෙන් පිබිදුණ සිවිල් නිලධාරීන් ඇතුළු වැදගත් වෘත්තිකයන් ය. ඔවුන් රට නිවැරදි දිශාවට යොමු කිරීමට අද පවා කැපවෙන්නේ නැත.”

පොදු සම්පත් යැයි පෞද්ගලික දේපල හඳුන්වා එය සියල්ලන් අතර සාධාරණව බෙදන්න දන්නවා කියාගත් අය, ඊට සදාචාර වූ ද, තාර්කික වූ ද පදනමක් පෙන්වන්නට අසමත් වෙති. මන්ද රටේ දැන උගත් යැයි හඳුන්වන පිරිස දැන උගෙන ඇත්තේ ඒ එකම ක්‍රමවේදයට ආවඩන්නටයි. ඉතින් පෞද්ගලික දේපල කොල්ලකෑම නීත්‍යානුකූල කරන්නට ඔවුන් සියල්ලන්ම සහාය දෙති. ඔවුන් අතර ඉන්නා දුෂ්ටම වූ පුද්ගලයන් ඉහළටම අවුත් තමන්ගේ පොකැට්ටුව තර කරගන්නට හැකි ව්‍යවස්ථාදායක බලය අල්ලා ගැනීමට කෙළ පෙරමින් සිටිති.

“රාජ්‍ය සේවාවේ තවත් ගැටලුවක් වන්නේ නිසි අන්දමට මානව සම්පත කළමනාකරණය නොකිරීම ය. ලංකාවේ සමහර පාසැල්වලට අවශ්‍ය ගුරු භවතුන් නැත. සමහර පාසැල්වල ගුරු අතිරික්තයක් ඇත. රජයේ ඇතැම් දෙපාර්තමේන්තු සහ විවිධ ආයතනවල ද මේ තත්වය දක්නට ලැබේ.”

මානව සම්පත කළමනාකරණයට, වැඩි පඩි හොයාගෙන සේවය අත්හැර යන සේවකයන් සිටින පෞද්ගලික සමාගම් සමත් වෙන්නේ කෙසේද?

උත්තරය එහෙනම් රජය පාසැල් නඩත්තුවෙන් සහ ජන ජීවිතයට මැදිහත්වෙන දෙපාර්තමේන්තු නඩත්තුවෙන් අයින් වීම නොවේද?

“රටේ අධ්‍යාපනය එන්න එන්න ම විකෘත වී පවතින එකක් බව පැහැදිලියි. අද අපට උරුම වෙලා තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය ලෙස නිසරු, සැබැවින් ම වඳ පීදුණ අධ්‍යාපනයක් බව පැවසීමට සිදු වීම ඉතා වේදනාකාරී ය. එහෙත් එය සත්‍ය වේ.”

ඒත් රචකයා යෝජනා කරන්නේ ක්‍රමය වෙනස් කිරීම නොවේ. “උගත් පුද්ගලයන් ලෙස නම් දරා සිටින උදවියත්” රට පාදඩකරණයට සහාය වී ඇතැයි පිළිගන්නා රචකයා තව දුරටත් එම ක්‍රමය තුලින්ම මේ තාක් කල් බැරි වුණාට ඉදිරියේ දී අවංක බුද්ධිමතුන් සොයා ගත හැකි යැයි විශ්වාසයේ එල්ලී සිටියි. එය සිද්ධ වෙන්නේ කෙසේදැයි කියන්නට කිසිත් කාලයක් මිඩංගු නොකිරීම මේ ක්‍රමයට ආවඩන අයගේ පොදු ප්‍රතිපත්තියයි.

“දියුණු අන්දමට තොරතුරු දැන ගැනීමේ හැකියාව පවතින රටක බොහෝ දේ ඉක්මනින් දැන කියා ගැනීමට හැකියාව ඇත. එහෙත් එසැණින් ගලා යන ගංවතුරක් සේ සියලු සාපරාධී කටයුතු අමතක කර දමා තමන්ගේ පාඩුවේ ජීවත්වීමට ජනතාව පුරුදුව සිටින බව පෙනේ.” ට්‍රිප් යන අය වැඩිවී ඇති නිසා දේශපාලන පෙළපාලි වලට එකතු කරගත හැකි අය අඩුවෙලාද?!!!

පසුගිය සටහනෙන් දැක්වූ වොන් මීසස් ඉදිරිපත් කළ, මිනිස් ක්‍රියාකාරකමක් සිද්ධ වීමට සම්පූර්ණ විය යුතු කාරණා 3 මතකයේ ඇත්තේ කාට ද? පවතින තත්වය ගැන ඇති අප්‍රසාදයක් වූවාට රටේ බහුතර ජනතාවට ඊට වඩා හොඳ තත්වයක් ගැන දැක්මක් නැත. මේ පොතේ නම් වලින් සඳහන් කරන ජේ. ආර්. ජයවර්ධන, රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂවරුන්, චන්ද්‍රිකා බණ්ඩාරනායක, ජී. ඇල්. පීරිස් ඇතුළුව ලංකාවේ සියලු තරාතිරම්වල පුද්ගලයන් බහුතරයක් දූෂිත නම්, එවිට රට බාරගන්න අවංක බුද්ධිමත් පුද්ගලයන් සොයා ගන්නේ ජවිපෙ න් ද? ජවිපෙ අතලොස්සක් 87 දී කළ හදිය මේ පොතේ සඳහන් නොකළ බැවින් රටේ ජනතාවට අමතකවී යැයි සරත් විජේසූරිය හිතනවා ද? වොන් මීසස් කියූ පරිදි පවතිනවාට වඩා හොඳ තත්වයක් ගැන දැක්මක් නැති නිසා, “ඒ හොඳ තත්වයට පිවිසිය හැකි යැයි විශ්වාසය” ද ලංකාවේ ජනතාවට නැත. ඉතින් ඔවුන් කිසිත් නොකර සිටිති.

“නඩුකාර හාමුදුරුවනේ
දන්නවනෙ ‘බබුන්’ ගැන
අපි හුඟ දෙනෙක් බබුන්ලා
අසරණයි – අහිංසකයි.”

නීතිය විපර්යාස කරන ක්‍රමයට ආවඩමින් විනිසුරුවන්ට අවලාද කීමෙන් ඵලක් ඇත්ද? රචකයා කොමියුනිස්ට්වාදයේ කළුපොත නම් කියවා නැතිව ඇති.

පඬුරු පුදන ක්‍රමයකින් ඉවත් වෙන්නට අකමැති අය, මිල ගණන් ක්‍රමය හසුරුවන්න දන්නවා යැයි කියාගත් අය, යුක්තිය කුමක්දැයි තීන්දු කරන්නට දන්නවා කියාගත් අය, “නීතිය මිල වැඩි ද අපට? යුක්තිය අපට අකැප ද?” යැයි ඇසීම හාස්‍යජනකයි. ඔය ආවඩන ක්‍රමයෙන් ඉහළටම එන දුෂ්ටතම වූවන්ව “මොන පවක් ද හෙණ වැදුනොත්” යැයි බිය ගන්වන්නට නොහැකියි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. surendrafernando57 said, on ජනවාරි 24, 2018 at 11:27 ප.ව.

    Sampurnayen aththa

  2. Ashoka weerasinghe said, on ජනවාරි 25, 2018 at 1:27 පෙ.ව.

    මේ ලිපි සමාජගත කිරීම අවශ්‍යයි.හරිම වැදගත් කරුණු.මම දිගටම කියවමි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

%d bloggers like this: