අරුණි ශපීරෝ‍ වෙතින්

නීතිය සහ නිදහස

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 31, 2018

“ශිෂ්ට වූ සමාජයක ඒකීය පුද්ගලයෙකුට ලබාගත හැකි වූ වැඩි දැනුම නිසා නොව, අනිත් සියල්ලන් සතු දැනුමෙන් ඔහුට වැඩියෙන් යහපතක් ලබාගත හැකියාව පෑදෙන විට, එවිට තමන්ගේ වඩාත්ම හදිසි වූ භෞතික අවශ්‍යතා තෘප්තිපත් කරගැනීමෙන් පමණක් සෑහීමකට පත් නොවී ඊට වඩා අප්‍රමාණ වූ ඉලක්ක හඹා යන්නට ඔහුට අවස්ථාව පෑදේ. සැබැවින්ම, “ශිෂ්ට” පුද්ගලයෙක් ඉතාමත් නූගත් විය හැකියි, ම්ලේච්ඡයෙකුටත් වඩා නූගත් විය හැකියි, ඒත් ඔහු වාසය කරන ශිෂ්ටාචාරයෙන් වැඩියෙන් යහපතක් ලබාගන්නට ඔහු සමත් වේ.” ෆ්‍රීඩ්රික් ඒ. හයෙක්, නීතිය, නීති සම්පාදනය සහ නිදහස (1973)

යම් රටක් සශ්‍රීක වූයේ ද, යම් රටක යහපත් සමාජ වාතාවරණයක් දකින්නට ලැබෙනුයේ ද, ඒ එරටේ සියළු දෙනාම එකා මෙන් ඊට ඇප කැප වී කටයුතු කළ නිසා නොවේ. සියල්ලන්ගේම නිදහස ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ගන්නා ලද ආයතන හේතුවෙන් විවිධ පුද්ගලයන්ට අගනා අවස්ථා පාදා ගන්නට හැකියාව ලැබිණ. ඔවුන්ට එසේ හැකියාවක් ලැබුණු බැවින් සමාජයේ සියල්ලන්ගේම අභිවෘද්ධිය වැඩි දියුණු විය.

පුරාතන ග්‍රීසියෙන් පටන් ගෙන මධ්‍යතන යුගය හරහා ජෝන් ලොක්, ජෝන් ස්ටුවර්ට් මිල්, ඩේවිඩ් හියුම්, ඉමැනුඑල් කාන්ට් වැනි සම්භව්‍ය ලිබරල්වාදීන් තෙක් ද, ස්කොට්ලන්තයෙන් ආ ආචාර ධාර්මීය දාර්ශනිකයන්ගෙන් ද, අනතුරුව 19 වැනි සහ 20 වැනි සියවස් තුල දී විවිධ ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් ද නීතිය සහ නිදහස එකිනෙක වෙතින් ඉවත් කළ නොහැකි යැයි සැලකූහ.

එහෙත්, තෝමස් හොබ්ස්, ජෙරමි බෙන්තම් සහ බොහෝ ප්‍රංශ චින්තකයන් නීතියේ අවශ්‍යතාවය අනුව නිදහස යනු කප්පාදු කළ හැකි වූවක් හැටියට සැලකූහ.

ඔවුන් පරස්පර නිගමනයන්ට එළඹූ ලෙසින් පෙනී ගිය ද, මෙහි දී සිද්ධ වූයේ නීතිය යන වචනය ඔවුන් දෙගොල්ල වෙනස් අර්ථ දක්වමින් භාවිතයට යොදා ගැනීමයි.

රාජාණ්ඩු තිබූ, යටත්විජිත අධිරාජ්‍යවාදයන් ගොඩ නැඟූ, බටහිර රටවල්, අනතුරුව ඒකීය පුද්ගලයාගේ නිදහස ගැන සංවාද පටන් ගත්හ. ඒකීය පුද්ගලයාගේ නිදහස ආරක්ෂා කළ යුත්තක් යැයි පසක් වෙද්දී, එය ආරක්ෂා කරන්නට කටයුතු කළහ. ඔවුන් ඒ සඳහා විවිධ ආයතන පිහිටුවා ගත්හ. ඒත් රාජාණ්ඩු ක්‍රමයෙන් ඉවත් වූව ද, යටත්විජිත තත්වයෙන් ගැලවුණ ද, නීතිය සහ නිදහස ගැන විචාරාත්මකව විමසන උත්සාහයක් නොවූ රටවල, ඒකීය පුද්ගල නිදහස ගැන සංවාද පැවතුනේ නැත. ඒකීය පුද්ගල නිදහස ආරක්ෂා කිරීම සඳහා ආයතන බිහිනොවීය. ඒකීය පුද්ගල නිදහස ආරක්ෂා කිරීම යටපත් කරමින් රාජ්‍ය බලය නැඟී අවුත් නීතියත් නිදහසත් දෙකම ගැන වෙනස් ලෙසින් අර්ථ දැක්වීම සිද්ධ විය.

නිදහස ආරක්ෂා කරන්නට නම් මූලධර්ම අනුගමනය කළ යුතුයි. යෝග්‍ය යැයි සිතන ප්‍රතිඵල සොයන උපාය මාර්ග අනුගමනය කරන්නට යන්නේ නම් එවිට නිදහස විනාශ වී යයි. නිදහසට යම් බාධාවක් ගෙනෙද්දී, සමෘද්ධිය ද අඩු වී යයි. ලෝක ඉතිහාසය තුලින් ඕනෑ තරම් සාක්ෂි පෙන්විය හැකි වුවත්, මෙය සත්‍යයක් යැයි පිළිනොගන්නා අය ද ‘නිදහස’ උදෙසා යැයි කියමින් සටන් වදිති. ඔවුන් තව දුරටත් නීතියත් නිදහසත් ගැන වෙනස් අර්ථ දැක්වීමේ නියැළී සිටිති.

කළින් දකින්නට නොහැකි ප්‍රතිඵල සහ කළින් කියන්නට නොහැකි මිනිස් ක්‍රියා මාර්ගයෙන් අගනා අවස්ථා පාදා දීමට සමත්වීම නිදහස රඳා පවතින පදනම තුලින් සිද්ධ වෙන්නකි. මිනිසාගේ වත්කම් වැඩි කරමින්, ආයුෂ දීර්ඝ කරමින්, වෙහෙසන පැය ගණන අඩුකර ඉඳහිට නිවාඩුවක් යා හැකි දියුණුවක් පෑදුනේ නිදහසට ඉඩදීම නිසා අගනා අවස්ථා පාදා ගැනීමට නිදහස් මිනිසුන් සමත් වීම නිසයි.

නිදහස යම් ආකාරයකින් සීමා කරද්දී, ඒ නිසා අපිට නැති වූයේ කුමක්දැයි කියාත් දැනගන්නට ක්‍රමයක් නැති වී යයි. එයින් ලැබූ හානිය කොතරම්දැයි කියාත් දැනගන්නට ක්‍රමයක් නැති වී යයි.

දඬුවම් හා දඩ ගැන දැන සිටිය ද, නීතිය ගැන සාමාන්‍ය හෝ දැනුමක් බහුතර රටවැසියාට නැතැයි කිව හැකියි. අද ලෝකයේ නීති සම්පාදනය කරන දේශපාලකයන්, ඒ හා බැඳෙන රෙගුලාසි තනන පරිපාලන සේවකයන් මෙන්ම, බොහෝ විනිසුරුවන් සහ නීතීඥයන් පවා නීතියේ දර්ශනය ගැන කිසිත් දැනුමකින් තොර වෙති. පදනම බැහැරලා ඔවුන් පවතින නීති වලට අනුකූල වන ලෙසින් අලුත් නීති හැඩගස්වමින් සිටිති. මෙය යෝග්‍ය යැයි සිතූ ප්‍රතිඵලයක් අරමුණු කරගෙන නොමිලේ බෙදන ලද අධ්‍යාපනයෙන් දායාද වී ඇති ඛේදනීය තත්වයයි.

නීතිය කිසිවෙක් විසින් සොයාගත්තක් නොවේ. නීතිය, නීතිකරණය නැත්නම් ව්‍යවස්ථාදානයට (legislation) වඩා බෙහෙවින් පැරණි වූවකි. මිනිස් ඉතිහාසය ගත් කළ, නීති සම්පාදකය මෑතක දී දකින්නට ලැබෙන්නකි. සමාජයේ යහපත පිණිස නීති හදන්නට ලැබීමෙන් අති මහත් බලයක් මිනිසා අතට පත්විය. තමන්ගේ ඉරණම ගැන පියවර ගන්නට හැකියාව ලැබීම නිසා අලුත් ආකාරයක බලයක් මිනිසාට ලැබිණ. එසේම ඒ බලය තුලින් විවිධ වෙනත් මාර්ගයන් ද ඔහු හමුවට පැමිණියේය.

මේ නීති හදන බලය කා අතට ද පත්විය යුත්තේ යන්න ගැන කතාබහට ලක්වූවත්, ඒ බලය කොතරම් දුරකට යා යුතුදැයි සංවාදය තවමත් සිද්ධ වී ඇත්තේ ඉතා සුළු කොට්ඨාශයක් අතර පමණි. ඉතින් නරක මිනිසා අතට පත්වුවහොත් පමණක් හානියක් සිද්ධ වේ යැයි අල්ලාගත් දුර්මතය නිසා, මේ බලය තව දුරටත් ඉතා අනතුරුදායක බලයක් ලෙසින් පවතී. අතිශයෙන් දුෂ්ටතම තත්වයන් ඇතිනොවන ලෙසින් ඒ බලය යොදන්නේ කෙසේදැයි කියා මිනිසා තවමත් ඉගෙන ගෙන අවසන් නැත.

ෆ්‍රීඩ්රික් ඒ. හයෙක් ලියූ නීතිය, නීති සම්පාදනය සහ නිදහස (1973) ඇසුරිනි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on පෙබරවාරි 2, 2018 at 1:33 පෙ.ව.

    // ඉතින් නරක මිනිසා අතට පත්වුවහොත් පමණක් හානියක් සිද්ධ වේ යැයි අල්ලාගත් දුර්මතය නිසා, // හොඳ අය සොයමු. මතක ඇති කාලෙක ඉඳන් කරන මේ හෙවිල්ල…ලෝකාවසානය දක්වාම වන්නක්

    • arunishapiro said, on පෙබරවාරි 2, 2018 at 9:27 පෙ.ව.

      krishramanayaka71,
      කවුරු ආවත් වැඩිම යහපතක් සහ අඩුම හානියක් සිද්ධ වෙන ක්‍රමයක් ලෝකෙ දැනටමත් තියනව කියල පිළිගන්න අකමැති තාක් කල් හැමදාම ලොකු හොරු නිදහසේ ඉන්න පුංචි හොරු හිරේ යන “දියුණුවෙමින් පවතින” ලේබලයෙ ඉන්න පුළුවන්.

  2. cyril palitha said, on පෙබරවාරි 3, 2018 at 11:50 පෙ.ව.

    පවතින්නේ නීතියේ ආධිපත්‍ය නොව අධිපතිබවේ නීතියයි..ශ්‍රී ලන්කාවේ නම් නීති සම්පාදනය කිරීමේ බලය අත්පත් කර ගත් වහාම මිනිසා නරක මිනිසෙක් බවට පත්වී ඇති වග පෙනේ.. එයින් සමාජයටසිදුවන්නේ අඩුම යහපතක් සහ වැඩිම හානියක්..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

%d bloggers like this: