අරුණි ශපීරෝ‍ වෙතින්

මහා සම්මත අධිකරණය සහ නීතියේ සංකල්පය වෙනස්වීම

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 2, 2018

නීතිය ගැන යම්තාක් දුරකට හෝ අවබෝධයක් ලබා ගැනීම සඳහා එදිනෙදා ජීවිතය ගැට ගහගන්නට වෙහෙසෙන පුද්ගලයා කාලයක් මිඩංගු නොකරයි. ඒත්, අර්ථ ශාස්ත්‍රය නොදන්නා වූවෙක් සිය ආදායම වැඩි වෙන්නේ කෙසේදැයි දත් ලෙසින්, දර්ශනය හදාරා නැතත් තමන්ගේම කියා දැක්මක් ඇති සේ ම, නීතිය ගැන අවබෝධයක් නැතත් හිරේ නොවැටී ඉන්නට බොහෝ රටවැසියන් සමත් වෙති.

ඒත්, වෙහෙසෙන පුද්ගලයාගේ ආදායම පමණක් නොව සියල්ලන්ගේම ආදායම් අඩුකරන්නට අර්ථ ශාස්ත්‍රය වැරදියට භාවිතා කරමින් පුද්ගලයෙක් නීති හැදුවොත් රටක තත්වය කුමක් වේ ද?

ඒත්, කිසිවෙකුටත් හානියක් සිද්ධ නොවන ලෙසින් වූ තමන්ගේම කියා ඇති දැක්ම අනුව ජීවත්වෙන්නට හැකියාව හිටිහැටියේ ගෙනෙන ලද නීතියක් නිසා යම් අයෙකුට අහිමි වී ගියේ නම්?

නීතිය උදෙසා කැපවිය යුත්තන් කාලාන්තරයක් තිස්සේ ඔවුන්ගේ වගකීම සහ කාර්ය භාරය මඟහැරිය කළ හිටිහැටියේ හටගත් තත්වයක් ලෙසින් ඉහත අවස්ථා අපිට දකින්නට ලැබේ.

සියල්ලන්ගේම අවාසනාව නම් ඒ තත්වය කරා යද්දී, තත්වය එසේ වෙනවා යැයි දුර දකින්නට හැකියාව තිබූ පුද්ගලයන් සියල්ලන්ම නිහඬව සිටීමයි.

එසේම, තත්වය යහපත් නොවන්නේ යැයි දකිනා විට පුරවැසියන් බුරුතු පිටින් ඒ සමාජයෙන් පළා යන්නට මාර්ග සෙවීමේ නියැළෙති. පළා යා හැකි තැන් වැසී ගියහොත් එවිට ඔවුන් කිසිත් කරකියා ගන්නට නොහැකිව සිටිති. මෙවැනි ඛේදනීය තත්වයට පත් වූ රටවල් ලෝකයේ අද දකින්නට තිබේ. ඒත් ඒවා ගැන වාර්තා කළ යුතු අය නිහඬව සිටින නිසා එම අහිතකර මාර්ගයේම ගමන් කරන සෙසු රටවල ජනතාව මුලාවෙන් ගැලවෙන්නට නොදනිති.

නීති විපර්යාසය පටන් ගැනීමට පෙර ලොව වූයේ කුමන ක්‍රමයක් ද?

යුක්තිය සහ සාධාරණය සමාජයේ වාසය සඳහා අවශ්‍ය යැයි ඒ ගැන සිතා බලන සෑම මිනිසෙකුම පිළිගනියි. සොරකම්, බොරු, වංචා යනාදිය වළක්වා ගැනීම සඳහාත්, ඒවාට හසුවන අයට යුක්තියක් ඉෂ්ට කිරීම සඳහාත් කටයුතු කළ යුතු යැයි විශ්වාසයෙන් පුරාතනයේ පටන් මිනිසා ඒ සඳහා පිළිවෙත් යොදාගන්නා ලදි.

ඒ මහා සම්මත ක්‍රමයයි.

ආඥා නිකුත් කළ හැකි පරිදි භාෂාව වර්ධනය කරගන්නටත් කළින් මානව ඉතිහාසයේ දී යම් පුද්ගලයෙක් යම් රීති සමූහයක් අනුව වාසයට කැමැත්ත දැක්වූයේ ද, ඔහුව කණ්ඩායමකට එකතු කරගන්නා ලද බව පෙනී යයි. ඒ රීති මොනවාදැයි කියා වදනින් කියන්නට මානවයාට ඉතා දීර්ඝ කාලයක් ගතවිණ.

වර්තමානයේ මිනිසා දකින්නේ මිනිස් ක්‍රියාකාරකම් පාලනය කරන නීති සියල්ල නීතිකාරකයක් වෙතින් ස්ථාපිත වූ බවකි. ඒත් නීති හදන්නට හෝ වෙනස් කරන්නට හැකියාව ඇතිවෙන්නට දීර්ඝ කාලයකට පෙර නීතිය පැවතිණ.

මහා සම්මත යන්නෙන් කියැවුනේ සමාජ නායකත්වයක් ගැන නොවේ. ගෝත්‍රය, කල්ලිය, කණ්ඩායම, රටවැසියන් අතර සම්මත ක්‍රියා උල්ලංඝණය කළාදැයි විනිශ්චය සඳහා පත්කරගන්නා ලද තැනැත්තාය. එවැන්නෙකුට පූර්ණ පාලන බලතල පැවරීමක් සිද්ධ වූයේ නැත. එවැන්නා කළේ සම්මත නීති අනුගමනයෙන් බැහැර ගියාදැයි විමර්ශනය කර ඒ අනුව සම්මත වූ දඬුවම් නියම කිරීමයි.

වෝහාර නීතිය යනුවෙන් එංගලන්තයේ පැවතියේ ද මෙයයි.

විනිශ්චය බාර වූ පුද්ගලයාට පැවරෙන අධිකාරී බලය දෙයාකාර වේ.

1) සම්මතයේ නීති ඉගැන්වීමට සහ ඒවා අනුගමනය කරවීමට බලය. ඒත් ඒවා වැදගත් මන්දැයි විග්‍රහ කරන දැනුමක් ඔහු සතු නොවීය.

2) යම් අරමුණක් සාක්ෂාත් කරනු සඳහා හැකි යැයි ඔහුට පෙනෙන ක්‍රියාවක නියැළෙන්නට අණ කරන්නට ඔහුට බලය තිබිණ. දඩයම් ගමනක්, වාසය කරන පළාත අත්හැර වෙනත් පෙදෙසක් සොයා යද්දී, හතුරන් හා සටනක දී යනාදී අවස්ථාවල දී ඒ ඒ පුද්ගලයන් ලවා මේ මේ ආකාරයෙන් කටයුතු කරවීම ඔහුගේ කාර්ය භාරය විය.

අරමුණ ඉටු නොවූයේ නම් ඒ සඳහා පත් කරගන්නා අයගේ බලය ද එතැනින් නිමා විය. නිවැරදි තෝරාගැනීම් කිරීමේ හැකියාව ඇති වෙනත් අයෙක් වගකීම බාර නොගත්තේ නම් එතැන දී කණ්ඩායමක් ලෙසින් වූ ඔවුන්ගේ පැවැත්ම ද නැවතිණ.

නීතිය සැලකුනේ යහපත සලසන ආකාරය සොයා ගත යුතු වූවක් හැටියටයි. පුද්ගලයෙක් හෝ පුද්ගලයන් පිරිසක් විසින් නිර්මාණය කළ යුතු හෝ හැඩ ගැස්විය යුතු වූවක් හැටියට නොවේ.

13 වැනි සියවසේ පටන් යුරෝපීය රාජ්‍යයන් තුලින් නීතිය යනු පාලකයාගේ උවමනාව අනුව නීති තැනීම හැටියට ක්‍රමයෙන් පටන් ගැනිණ. පරම රාජාණ්ඩු ක්‍රමය පටන් ගැනෙන්නේ මේ හා සමගාමීවයි. පාලකයන් විසින් අනුගමනය කරන ලද වඩාත් පැරණි බලයක් සමඟ යුක්ති සහගත හැදියාව සඳහා අලුත් නීති පැනවෙන්නට පටන් ගැනෙන අලුත් බලය එකට එකතු වීම දකින්නට ලැබෙන්නේ මේ කාලයේ දී ය.

අනතුරුව එය නීතිකාරකය නැතිනම් ව්‍යවස්ථාදානය යනුවෙන් එකම බලයක් හැටියට සැලකෙන්නට විය. නීතිය යනු නීතිකාරකයට වඩා බෙහෙවින් පැරණි යැයි අවබෝධය, නීතිය යනු කුමක්දැයි හඳුනාගැනීමේ මුල් පියවරයි.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on පෙබරවාරි 5, 2018 at 1:30 පෙ.ව.

    ලස්සම දේ තමයි මහා සම්මතය කියන එක ලංකාවේ හුඟ දෙනෙක් හිතන් ඉන්නේ රජ කෙනෙක් ( මහා සම්මත රජු ) හැටියට . වෙස් මුහුනු නිර්මාණය මහා සම්මත රජ කාලයේ පටන් කියල ඉස්කොලෙත් උගන්වනව. ( අරුණි අක්කට ස්තූති වෙන්න බැස්ටියාට්ගෙ නීතිය මමත් ඉගෙන ගත්ත )


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: