අරුණි ශපීරෝ‍ වෙතින්

නීතිමය ධනීයවාදයට එරෙහි ස්වභාවික නීති න්‍යාය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 5, 2018

සමාජයේ යුක්ති සහගත හැදියාව මෙසේ විය යුතු යැයි කියා සියල්ලන් සඳහා නීති පැනවෙන්නට පෙර පාලනය සඳහා නීති තීන්දු කරන ලද බලයක් ලොව පැවතිණ. පැවතෙන නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය රජවරුන්ට පැවරී යද්දී පවතින ලද නීති අනුව කටයුතු කිරීම රජුට ද බලපාන ලදි. ඒ නිසා නීතියක් වෙනස් කරද්දී, එයට රටවැසියන්ගේ කැමැත්ත හා නීතිය අනුගමනය කරනු ඇතැයි විශ්වාසය ලබාගැනීම අවශ්‍ය විය.

තමන් යටතේ වූවන් සඳහා පවතින නීති වෙනස් කරන ලද ඔවුන් ඒවා තනිකරම පරිපාලනය සඳහා වූවා ද නැත්නම් සමාජයේ යුක්තිය පසඳලීම සඳහා වූවාද යැයි වෙනසක් ගැන සැලකිල්ලක් දැක්වූ බවක් නොපෙනේ. එනමුත් සෑම විටම පාහේ යුක්ති සහගත හැදියාව සඳහා සියල්ලන්ටම බලපාන නීතියට දෙන ලද වැදගත්කම රට සංවිධානය සඳහා වූ නීතී වලටත් දුන් බවක් පෙනී යයි.

නීති විපර්යාසය මාර්ගයෙන් මහා සම්මතය පැත්තකට දමා උවමනාවෙන්ම නීති වෙනස් කරත හැකි බලය යම් අධිකාරියක් සඳහා පැවරුනේ ලෝක ඉතිහාසයේ කුමන අවස්ථාවක දී පටන්දැයි නිශ්චිතව කියත හැකියාවක් නැත.

ලංකාවේ පැවති මහා සම්මතයෙන් අනතුරුව යටත්විජිත ආණ්ඩු යටතේ ඔවුන්ගේ නීති ද, අනතුරුව යටත්විජිත සිවිල් පරිපාලන සේවය යටතේ නීතිකාරකය වෙනස් කරන බලය ඔවුන් යටතට ද, එතැනින් ලංකා ආණ්ඩුවේ නීතිකාරකයට ද පැවරෙන ලද බව පෙනී යයි.

මෙහි දී යළිත් සිහිකළ යුත්තක් ඇත. මානව ඉතිහාසයේ සිද්ධ වූයේ සමාජයක් හදා අනතුරුව නීති හැදුවා නොව, ඉතිහාසයේ සිද්ධ වූයේ නීතිවලට එකඟ වූවන්ගේ සහභාගීත්වය නිසා සමාජය ගොඩනැඟුනු බවයි. මහා ද්වීපයන්හි පමණක් නොව ලංකාව වැනි කුඩා දිවයිනක ද පුරාතනයේ විවිධ වූ පාලන ක්‍රමයන් යටතේ මිනිසුන් වාසය කරන ලදි. එකඟ විය නොහැකි නීති පැවතෙන දේශයන් හැරදා පුරාතනයේ ද මිනිසා වෙනත් දේශ බලා සංක්‍රමණය වූවා යැයි සිතන්නට හැකියි.

ෆ්‍රැන්සිස් බේකන්, තෝමස් හොබ්ස් සහ ජෝන් ඔස්ටින් වැනි අය විසින් අසීමිත වූ බලයක් ඇති සුපිරි නීති සම්පාදකයෙක් සිටිය යුතු යන අදහස ප්‍රචලිත කිරීමත් සමඟ නීතියේ ප්‍රභවය නීතිකාරකය යැයි පැතිර ගිය නිසා දේශපාලනය තුලින් මහත් බලපෑම් කරන්නට අවස්ථාව පෑදිණ. ඒ නිර්වචනය අනුව සියළු බලය සඳහා මහා සම්මතයෙන් පැනවී තිබූ සීමාවන් කඩා බිඳ දමමින් බලය සඳහා මෙවලමක් එහි දී ලබාගන්නට හැකිවිණ.

නීතිමය ධනීයවාදය (ධනවාදය හෝ ධනාත්මක චින්තනය එක්ක පටලවා ගන්න එපා) මේ සමාජයේ අවශ්‍යතාවය වෙනුවෙන් නීතිය නිර්මාණය කරගන්නා ලදැයි කියන්නයි.

එහි විරුද්ධ පැත්ත වන ස්වභාවික නීති න්‍යාය පෙන්වා දෙන්නේ අවශ්‍ය ආචාර ධාර්මීය සංරෝධනය මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය අනුව ඕපපාතිකව ආරම්භ වී (මහා සම්මතයෙන් දැකිය හැකිවීම) නීතියේ අඩංගු බවයි. ඇමෙරිකන් ව්‍යවස්ථාව උල්ලංඝණය කරන නීති සම්මතයට ඇමෙරිකන් දේශපාලන නායකත්වයට ඉතා දුෂ්කර වීම සිද්ධ වී ඇත්තේ ස්වභාවික නීති න්‍යාය අනුව ඇමෙරිකන් ව්‍යවස්ථාව ලියන ලද නිසයි.

සුපිරි වූ නීතිකාරකයට කාර්යක්ෂම ලෙසින් සීමාවන් පනවා ගත නොහැකි යැයි නීතිමය ධනීයවාදය කියයි. නමුත්, සියළු නීති හැම විටම නීති සම්පාදකයා විසින් උවමනාවෙන්ම නිර්මාණය කරන ඒවා නොවෙති. නීති සම්පාදකයාට නීතියක් ගෙනෙන්නට සිද්ධ වීම වෙනත් අයෙකුගේ උවමනාවක් නිසා ඇති විය හැකියාව පවතී. ඒ නිසා නිවැරදි වූව පමණක් නිර්දේශ කරන සුපිරි බලය පැවරී ඇතැයි කියා වරදවා සිතීම නිසා, නීතිමය ධනීයවාදයෙන් පෙර අවස්ථා නොසලකා හැර, මහා සම්මතය බැහැර ලා, නුසුදුසු සහ සමාජයට අහිතකර වූ නීති විපර්යාසයට මඟ පෑදේ.

මහා සම්මතය සහ නඩු තීරණ නීතිය අනුව විනිසුරුවන් හදන නීති වලට වැඩියෙන් ඉඩක් ලැබුණු රටවල් දීර්ඝ කාලයක් එයාකාර නීතිමය ක්‍රියාවලියේ යෙදෙන විට ඒ රටවල ඒකීය පුද්ගලයන්ගේ නිදහස ආරක්ෂා වීමත් රට සමෘද්ධිමත් වීමත් ලොව දකින්නට හැකියි. අනෙක් පැත්තෙන් නීති හැදීම බලය අල්ලා ගන්නා ලද නීතිකාරකයට පැවරුන විට ඒකීය පුද්ගලයන්ගේ නිදහස කප්පාදුවත් ඒ රටවල් වේගයෙන් දුප්පත්වීමත් ලොව දකින්නට හැකියි.

නීතියේ ප්‍රභවය තුලින් අපේක්ෂා වූයේ සාමය රැකීමයි. සමාජයක වාසය කරන සියල්ලන්ගේම ඒ ඒ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා හැකිතරම් පහසුවක් සැලසීමයි. පාලකයා විසින් ඒ සඳහා පත්කරන විනිසුරුවාගේ කාර්ය භාරය එයයි.

ඕපපාතිකව බිහි වූ නීති සංස්ථාව එතැනින් එහාට විපර්යාස වෙද්දී, යුක්ති සහගත සමාජයක් නීතිය තුලින් බිහිකරන්නට දන්නවා කියාගත් සුපිරි නීතිකාරකයක් ඇතැයි විශ්වාසයේ එල්බ ගනිද්දී, එවිට අපිට දකින්නට ලැබෙන්නේ සාමකාමී වාතාවරණයක් වෙනුවට ආරක්ෂා කරනවා යැයි කියූ අහිංසකයන්ගේම මිනිස් ජීවිත හානියට පත් වූ බවයි.

කැළණිය විශ්ව විද්‍යාලයේ මම උගන්වන්නට වෑයම් කල එකම පාඨමාලාව “නීතියේ දර්ශනය” විය. පංති පැවැත්වීම් තහනම් කළ හැකි බලයක් කුඩා දේශපාලන කල්ලියක් අතට පත් වෙද්දී එය අත්හැර දමා මම විදේශයකට සංක්‍රමණය වීමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: