අරුණි ශපීරෝ‍ වෙතින්

යුක්තිය සහ නීතිය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 12, 2018

නීතිකාරකයක් තුලින් යුක්තිය සහ නීතිය අතර සබඳතාවය තීන්දු කරත හැකි යැයි යන පිළිගැනීම නිසාත්, නීති සම්පාදකයේ තීරණයක් තුලින් යුක්තිය ගැන ගැටළුවක් විසඳිය හැකි යැයි විශ්වාසය නිසාත් අද අපි පාලන බලයේ සිටින අය ගෙනෙන නීති වලින් පාලිත සියල්ලන්ගේම නිදහස කප්පාදු වෙමින් පවතින ලෝකයකට පිවිස සිටිමු.

මිනිස් ක්‍රියාකාරකමක දී පමණක් ‘යුක්තිය’ යන වචනය යොදාගත හැකියි. පවතින තත්වයක් ගැන කතා කරද්දී එයට වගකිව යුතු තැනැත්තා සම්බන්ධයෙන් පමණක් මිසෙක, තත්වය අයුක්ති සහගත යැයි හෝ යුක්ති සහගත යැයි කීම බොහෝවිට සිද්ධ වෙතත් එය වැරදියි. මිනිස් ක්‍රියාකාරකමක් නොමැතිව හටගත් කිසිම සමාජ තත්වයක් නැත. උදා වී ඇති යම් තත්වයක් හොඳ හෝ නරක යැයි හැඳින්විය හැකියි. ඒත් එම තත්වය යුක්ති සහගත හෝ අයුක්ති සහගත යැයි සඳහන් කළ නොයුතුයි.

ලෝකය මැවූ දෙවියෙක්ට වරද පටවන්නේ නම්, පෙර කරුමය නිසා සිද්ධ වූවා යැයි කියන්නේ නම්, එවිට යම් ශාරීරික ආබාධයක් ඇතිව උපන් අයෙකුට, යම් රෝගී තත්වයකින් පීඩා විඳින්නෙකුට, ඒ තත්වයේ අයුක්තිය දෙවියන්ට හෝ පෙර කරුමයට පැටවිය හැකියි. නමුත්, ස්වභාව ධර්මය යන්න යුක්ති සහගත හෝ අයුක්ති සහගත නොවූවකි. සාමාන්‍ය කතාබහේ දී සහ ප්‍රබන්ධ වල දී, ගහකොළ සහ සතුන්ට මිනිස් සිතුවිලි ඇති ලෙසකින් සැලකීම නිසා අපි සමහර වචන වැරදියට යොදා ගන්නට හුරු වී සිටිමු.

ඒ නිසාම, අපි අප ගැන වූ සියල්ලටම වගකිව යුත්තෙක් සොයන්නට ද වෑයම් කරන හැදියාවකට හුරු වී සිටිමු. දැනට අප ඉදිරියේ පවතින ස්වභාවික තත්වයක් යම් පුද්ගලයෙකුට වෙනස් ලෙසකින් තනන්නට හැකියාව ඇතැයි විශ්වාස කරන්නේ නැතිනම්, එවැනි පරිසිද්ධිමය තත්වයක් යුක්ති සහගත යැයි කියා හෝ අයුක්ති සහගත යැයි කියා විස්තර කරන්නට යාම නිශ්ඵල වූ වෑයමකි.

පුද්ගලයෙක් අත්විඳින විශේෂ තත්වයක් වෙත අවධානය යොමු කර, ඒ පුද්ගලයාගේ ඒ තත්වය වෙනස් කරන්නට නීති හදනවා වෙනුවට, සමාජයේ සියල්ලන් වෙනුවෙන්ම යුක්තිය ඉටු කරන්නට නම් කළ යුත්තේ නීතිකාරකය ගෙනෙන සියළු නීති යුක්ති සහගත වූ නීති පමණක් කරලීමයි. මහජනතාව සිය ආණ්ඩුවට බලකර සිටිය යුත්තේ සියල්ලන් වෙනුවෙන්ම සාධාරණය ඉටුකළ යුතුයි කියායි. එහෙම ඉල්ලන්නේ නැති සමාජයක සියල්ලන්ටම අසාධාරණයක් සිද්ධ වේ. තමන්ට හෝ තම කල්ලියට පමණක් විශේෂ ලෙසකින් වරප්‍රසාද හිමිවිය යුතු යැයි තරයේ සිතද්දී, එම චින්තනය වෙනස් කරගන්නට ඇති බලවත් අකමැත්ත නිසා, දිගින් දිගටම තමන්ට වැඩි වැඩියෙන් අත්විඳින්නට සිද්ධ වෙන අසාධාරණය ගැන වැලපෙමින් සිටින්නට ද සිද්ධ වේ.

යුක්තිය ගැන කතා කරද්දී ඒ නිසා හැමවිටම යම් පුද්ගලයෙක් විසින් කළ යුතු හෝ නොයුතු වූ ක්‍රියාවක් ගැන කතා කරනවා යැයි සලකන්න. යම් ක්‍රියාවක් කළ යුතුය හෝ එය තහනම් විය යුතුය හැටියට නීතියක් දිහා බලන්නට හුරුවෙන්න. ඔබ අකමැති ඒ ක්‍රියාව වෙන අයෙකු වෙතින් සිද්ධ වීම තහනම් කරන්නට ඔබ තරයේ ඉල්ලා සිටිය දී, ඒ අය අකමැති ක්‍රියාවක් ඔබ අතින් සිද්ධ වීමත් තහනම් කරන්නට ඒ අයට ද අවසරයක් දෙන්නට ඔබ එකඟ වෙනවා දැයි කල්පනා කරන්න.

යම් පුද්ගලයෙක්ගෙ තත්වය යනු, වෙනත් පුද්ගලයන් බොහොමයකගේ ක්‍රියා කටයුතු නිසා ඇති වී තිබෙන ප්‍රතිඵලයකි. මේ විවිධ වූ පුද්ගලයන්ගේ ක්‍රියා කටයුතු වලින් යම් විශේෂ ප්‍රතිඵලයක් එක පුද්ගලයෙකු සඳහා ලබාගත හැකි යැයි තහවුරු කරත හැකි බලයක් හෝ වගකීමක් කිසිම සමාජයක කිසිම පුද්ගලයෙකුට නැත.

යම් පුද්ගලයෙකුගේ තත්වය වෙනත් අයෙකුගේ හෝ කණ්ඩායමක් එක්ව කරන ලද ක්‍රියා කටයුතු නිසා බලපෑමකට ලක්වූවත්, ඒ අය නිසා පමණක්ම ඒ තත්වය හටගැනීම කලාතුරකින් සිද්ධ වෙන්නකි. ඒ පුද්ගලයා ගැන නොදන්නා වූ අය නිසාත්, ඒ පුද්ගලයා දත්, ඒත් එයාව නොසලකා හැරි අයගේ ක්‍රියා කටයුතු නිසා ද ඒ පුද්ගලයා ඒ තත්වයට පත්වීමට බලපායි.

යම් විශේෂ ප්‍රතිඵලයක් ලබාගැනීම ඉලක්ක කරගෙන සමාජයේ සියල්ලන් වෙනුවෙන් විශේෂ නීති හැදීම ඉතා දුෂ්කර වූ කාර්යයක් වනුයේ මේ නිසයි.

සමාජයක සියල්ලන්ටම බලපාන යුක්ති සහගත හැදියාව වෙනුවෙන් ගෙනෙන ලද නීති රීති බොහොමයකින් අයුක්ති සහගත හැදියාව තහනම් කිරීම සිද්ධ වී ඇත්තේ මේ නිසයි. එනම්, යුක්ති සහගත හැදියවක් කළ යුතු යැයි කියන නීති වලට වඩා අයුක්ති සහගත හැදියාවන් තහනම් කරන නීති ලොව වැඩියි.

යුක්ති සහගත හැදියාවක් සඳහා ක්‍රියාවක් කළ යුතු යැයි කියා ස්ථාපිත වූ නීතියක් ලොව ඇත. එය නැව් බෝට්ටු පදින අය වෙනුවෙන් පවතින “අවදානමකට පත්වූවාගේ සහායට යා යුතුයි” කියන නීතියයි. ගිලෙන බෝට්ටුවක මිනිසුන් සිටින්නේ ද, ඔවුන්ගේ සහායට කිසිත් වෑයමක් නොගෙන නොදැක්කා සේ යන්නේ නම් මෙම නීතිය උල්ලංඝනයකි. මේ ඉංග්‍රීසි වෝහාර නීතියට බෝට්ටු හා නැව් පදින සියල්ලන්ගේම කැමැත්ත ලැබෙන්නකි.

නූතන නීතිසම්පාදකයන් යම් අයෙකුගේ ජීවිතය ගලවාගත හැකි අවස්ථාවක දී ඊට සහාය විය යුතු යැයි කියන නීති ගෙනාහ. ඒත් ඒ වගකීම කාගේ වගකීමක්දැයි කියන ගැටළුව විසඳීම දුෂ්කර නිසා ඒ ගැන සමස්තයට හදන පොදු නීතිය විශේෂ තත්වයන් යටතේ උල්ලංඝණය වෙද්දී දඬුවම් දීම් තීන්දු කිරීම ද අපහසු වූවකි.

හැදියාව සඳහා ගෙනෙන නීති රීති වලින් අනිත් අයට හානිකර වූ සියළු ක්‍රියාවන් තහනම් කරන්නට නොහැකියි. යම් අයෙකුට අප වෙතින් මිල දී ගන්නට ඉඩදෙනවා ද නැද්ද, අප වෙනුවෙන් සේවා සපයන්නට ඉඩ දෙනවා ද නැද්ද, යනාදී තෝරාගැනීම් අපේ නිදහසේ වැදගත් අංගයකි. අප කරන කටයුතු නිසා වෙනත් අයෙකුට මහත් සිත් තැවුලක් ඇතිවිය හැකියි. අපේ ගේ ඉදිරිපිට පිහිටන ඉතා මනරම් ගසක් ගේ යටින් මුල් ඇදී ඒම නිසා අපට කපා අයින් කරන්නට සිද්ධ වූවා යැයි සිතමු. ඒ ගස අල්ලපු ගෙදර අයගේ සාලයට ඉතා ලස්සන දර්ශනයක් එකතු කරන ලද්දක් වූයේ නම් ගස කැපීම ඔවුන්ගේ සිතට මහත් තැවුලක් ඇති කරයි. නමුත් සියල්ලන්ගේම සිත් සතුටු කරන්නට නීති හදන්නට නොහැකියි.

නීති ගෙනෙද්දී ඉෂ්ට විය යුතු ප්‍රධාන කාර්යය නම් සියල්ලන්ටම ඒ ගැන සහතිකයක් තබාගත හැකි වූව ආරක්ෂා කර දීමයි. තමන්ගේ අරමුණු සඳහා මොන භෞතික දේවල් සහ සේවාවන් තමන්ට යොදාගත හැකිද, තමන් හමුවේ ඇති විකල්ප මොනවාද යන්න තහවුරු කරගැනීමට ඉඩක් සැලසීමයි.

නීති රීති දැමීමෙන් පුද්ගලයා සතු අයිතියක් තහවුරු කරත හැකියාවක් නැත. යුක්තිය සලසන නීතිය තුලින් සිද්ධ වෙන්නේ අයිතීන් ආරක්ෂා කරන කොන්දේසි ඉදිරිපත් වීමයි. විමර්ශනයකින් තොරව ගෙනෙන නීති නිසා මේ කොන්දේසි අවුල් වියවුල් වෙද්දී, පුද්ගලයන් අතින් නීති උල්ලංඝණය වැඩිවේ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: