අරුණි ශපීරෝ‍ වෙතින්

නීත්‍යානුකූලතාවය සහ බලය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 14, 2018

නීතියට එරෙහිව කටයුතු කළහොත් දඬුවම් විඳින්නට සිද්ධ වෙන සමාජවල ජීවිත ගෙවන වර්තමාන පුරවැසියාට, තමන් වෙනුවෙන් පනවන නීතියක් ගෙනෙන්නට වෙන අයෙකුට හෝ පිරිසකට බලයක් ලැබෙන්නේ කෙසේදැයි විචාරාත්මකව විමර්ශනය දිරිගැන්වීම දැඩි සේ අවශ්‍ය වූවකි.

එහෙත් ඉගෙන ගත යුතු දේවල් මේවා යැයි කියා නොමිලේ බෙදන අධ්‍යාපනය තුලින් සපයන අනිවාර්ය විෂයයන්ට සීමා කිරීම නිසා ජීවිතය සමෘද්ධිමත් කරගැනීමටත් යහපත් සමාජයක් පවත්වාගැනීමටත් අවශ්‍ය දැනුම හා තොරතුරු පුරවැසියන්ට ක්‍රමයෙන් අහිමි වී යයි.

ඔටුනු පැළඳි ලෝකයෙන් නිදහස ලබාගත් බොහෝ රටවල පුරවැසියන් ජනතාව විසින් ජනතාව පාලනය කරගන්නා ක්‍රමයක දැන් ජීවත්වෙනවා යැයි සිතන මුලාවේ පසුවෙති. රජ ක්‍රමයෙන් ගැලවුණත් ඔවුන්ට ජනතාව විසින් ජනතාව පාලනය කරන ක්‍රමය ගැන විචාරාත්මකව හදාරන්නට ඉඩක් නොලැබුණි.

යම් ක්‍රියාවක් නීතියට එරෙහි වූවක් ලෙසින් ද, තවත් ක්‍රියාවක් නීත්‍යානුකූල වූවක් ලෙසින් ද, නීති සම්පාදනයට හැකියාව යනු “බලය” හා ඈඳී පවතින්නකි. එය “යුක්තිය” ගැන නොවූවකි.

යටත්විජිතවාදය නීත්‍යානුකූල වූ යුගයක් ලොව තිබිණ.

වහල්ක්‍රමය නීත්‍යානුකූල වූ යුගයක් ලොව තිබිණ.

යුදෙව්වන් සංහාරය ද නීත්‍යානුකූල වූ රටවල් ලොව පැවතිණ.

අපාතීඩ් ද කාලයක් පුරා නීත්‍යානුකූල වූ ක්‍රමයකි.

මිනිස් ජීවිත මිලියන සීයයකට වඩා ඝාතනය වූ කොමියුනිස්ට් ශතකය ද නීත්‍යානුකූල වූවකි.

ඒ ක්‍රම සියල්ලේ දී ම, නීත්‍යානුකූල වූවට එරෙහිව කටයුතු කළ අය නීතිය හමුවේ වරදකරුවන් වී ජීවිතය අහිමි වූ දඬුවම් පවා වින්ඳහ. නීතිවිරෝධීන් හැටියට වරදකරුවන් වූ සියල්ලන්ම ඔවුන් වෙනුවෙන් පනවන ලද නීතියට පාක්ෂික වූවන් නොවූහ.

නීත්‍යානුකූල වූ පමණින් යමක් යුක්ති සහගත වෙන්නේ නැත.

යම් හැදියාවක් නීත්‍යානුකූල කිරීම බලය යොදාගෙන කරත හැකි වූවකි. ඒත් නීත්‍යානුකූල කළ පමණින් එය යුක්ති සහගත කළ නොහැකියි.

යම් හැදියාවක් නීතිවිරෝධී කිරීම බලය යොදාගෙන කරත හැකි වූවකි. ඒත් නීතිවිරෝධී කළ පමණින් එය යුක්ති සහගත කළ නොහැකියි.

අපව පාලනය කරන්නට කියා පුද්ගලයෙක්ව හෝ යම් පිරිසක්ව බලයට පත් කරගනිද්දී, ඒ නිසා දැඩි සේ විචාරාත්මක විමර්ශනයට ලක්විය යුතු ප්‍රස්තුතයක් ඇත: නීත්‍යානුකූලතාවය යනු බලය ගැන වූවක් මිස යුක්තිය ගැන නොවූවකි.

විශේෂ තත්වයක් දක්වා, විශේෂ පිරිසක් සඳහා වූ යම් නීති රීති සමූහයක්, ඒවා යුක්ති සහගත යැයි දක්වමින් ගෙනෙද්දී, ඒවා නිසා සමස්තයට කුමක් සිද්ධ වෙන්නේදැයි සොයා බැලීම නීති රීති හදන සහ ඒවා ක්‍රියාවට නංවන කර්තව්‍යය බාරව සිටින අයගේ වගකීම යැයි දක්වමින් සීමා කළ නොහැකියි. ඒා ගැන අදහස් දැක්වීම සෙසු පුරවැසියන්ගේ ද වගකීමයි.

ඒත් දැනුම බෙදීම මධ්‍යම අධිකාරියකට සීමාවී තිබීමෙන් බහුලව සිද්ධ වෙන්නේ විරුද්ධ පාර්ශවයන් හැටියට පෙනී සිටිමින් එකම පැත්තේ අදහස් සමාජයේ ප්‍රචලිත වීම පමණකි.

යුක්ති සහගත වූ නීති සම්පාදනය සඳහා බලය පැවරෙන අයට, ඒ සඳහා සීමා නොමැති බලයක් නොලැබිය යුත්තේ මන්දැයි පුරවැසියන් සංවාද කරන්නට ඉගෙනගත යුතුයි.

සියල්ලන්ටම සාධාරණයක් සැබැවින්ම ඉෂ්ට වෙන නීති රීති මොනවාදැයි විචාරාත්මකව විමර්ශනයට පුරවැසියන් ඉගෙන ගත යුතුයි.

පිළිගත් නීති රීති යැයි සැලකෙන ඒවා ඉඳහිටක දී ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය මන්දැයි විචාරාත්මකව විමර්ශනයට පුරවැසියන් උත්සුක විය යුතුයි.

පුරවැසියාට ඒ සඳහා මාර්ගෝපදේශකත්වය සපයන්නේ යුක්තියයි. අප සියල්ලන්ගේම හිතට දැනෙන, දැන් අවශ්‍ය යැයි සිතෙන විශේෂ කැමැත්තක් හමුවේ දී විශේෂ අවධානය යොමු කළ යුත්තේ සියල්ලන්ම සඳහා වූ පොදු සිද්ධාන්තය කුමක්දැයි සොයාගෙන ඒ තුලින් යුක්තිය ඉටුවෙනවාදැයි විමසීමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: