අරුණි ශපීරෝ‍ වෙතින්

ආණ්ඩුවේ අශක්නුවත්බවට වන්දි ගෙවන්නේ ජනතාවයි

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 23, 2018

සාර්ථකව යමක් කරගත නොහැකියාව නොහොත් අශක්නුවත්බව (incompetence), ආණ්ඩු විසින් මහජනතාව උදෙසා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී නිරතුරුවම දකින්නට ලැබේ. මෙය, මැදිහත්වන පිළිවෙත් සඳහා අවශ්‍ය වූ දැනුම නැතිව, ඒත් දැනුම තියෙන ලෙසින් කටයුතු කරන්නට යෑමේ ප්‍රතිඵලයයි. ඒවායේ වන්දි ගෙවන්නේ රටේ ජනතාවයි.

ආණ්ඩුවකට කළ හැකි කර්තව්‍යයන් සහ ආණ්ඩුවක් විසින් මැදිහත්විය නොයුතු කර්තව්‍යයන් මොනවාදැයි රටක ජනතාවක් නොදැනීම නිසා මෙවැනි තත්වයන් පමණක් බහුලව පවතින රටවල් බොහෝ වෙති. ලංකාව ද එවැනි රටකි.

ජනතාව විසින් ජනතාව පාලනය කරන ක්‍රමය ලොවට ඉදිරිපත් කළ, ඇමෙරිකන් ව්‍යවස්ථාව රාමු කරන්නට සහායක වූවන් යැයි සැලකෙන පිරිස, එම ක්‍රමය කෙබඳු වූවක්දැයි ජනතාවට හඳුන්වා දෙන්නට මහත් පරිශ්‍රමයක් ගත්හ. ඒ අතරින් ෆෙඩරලිස්ට් රචනා වැදගත් තැනක් ගනියි. එය පසුකාලීනව ප්‍රංශයේ නිදහස, සාමානාත්මතාවය, සහෝදරත්වය හා නිදහස නාමයෙන් සිද්ධ වූ මහා ජන සංහාරයෙන් පරස්පර වූ ප්‍රවේශයක් බව ඉතිහාසය සාක්ෂි සපයයි.

ජනතාව විසින් ජනතාව පාලනය කරන ක්‍රමය වැළඳගත් බොහෝ රටවල් මෙවැනි ආකාරයකින් ඒ ක්‍රමය ගැන මහජනතාව දැනුවත් කරන්නට වෑයමක් නොගත් බවට ද ඉතිහාසය සාක්ෂි සපයයි. ඒ නිසා පුරවැසි අයිතීන් ගැන විකෘති වූ සංකල්ප අද දක්වාම ලෝකයේ බොහෝ ජනතාවක් අතර පැතිර පවතියි.

යම් පිළිවෙතක් ඉදිරිපත් කළ අය, ඒ ගැන දැක්වූ අදහස් සහ ඒ ගැන දුන් උපදෙස් බැහැර ලා පිළිවෙත අනුගමනය කරනවා යැයි කීම පමණකින් ලැබෙන ප්‍රතිඵල කෙබඳු වේ ද? හැමදාම දියුණුවෙමින් පවතින රටවල සිද්ධ වනුයේ එයයි.

මම මීට කළින් ෆෙඩරලිස්ට් රචනා කිහිපයක් සිංහලට පරිවර්තනය කර ඇත්තෙමි. ජනතාව විසින් ජනතාව පාලනය කරන ක්‍රමය පවතින ඕනෑම රටක ජනතාවක් ඒවා සංවාදයට බඳුන් කිරීමේ කාලය ඉක්ම ගොස් නැත. එදා සංවාද වූ අදහස් වර්තමානයට ද බලපාන්නේ මිනිස් ස්වභාවය වෙනස් වී නැති නිසයි.

ෆෙඩරලිස්ට් රචනා අංක 54 හි ජේම්ස් මැඩිසන්, “රජය පිහිටුවන ලද්දේ දේපල අයිතිය ආරක්ෂා කිරීමටයි, එය ඒකීය පුද්ගලයා ආරක්ෂා කිරීමට දෙවැනි වන්නේ නැත,” යැයි පැහැදිලිව ලියා ඇත. දේපල අයිතීන් යනු පෞද්ගලික අයිතීන් මෙන්ම වැදගත්, එකිනෙකට ඇඳී පවතින ඒවා යැයි මැඩිසන් පෙන්වන ලදි. ශ්‍රමය වෙහෙසන්නට ඇති අයිතිය සහ දේපල සතු කරගන්නට ඇති අයිතිය යන දෙකටම රජයේ ආරක්ෂාව ලැබිය යුතු බව මැඩිසන් වර්ජීනියා සම්මන්ත්‍රණ දේශනයේ දී පවසා ඇත.

ශ්‍රමය වෙහෙසා අයිති කරගන්නා දේපලට අයිතියක් කියන්නට බැරි නම් ශ්‍රමය වෙහෙසන්නට ඇති අයිතියෙන් ඵලක් ඇත්ද?

ඒත්, ජනතාව විසින් ජනතාව පාලනය කරන්නට හදාගත් ලොව ප්‍රථම ආණ්ඩු ව්‍යවස්ථාව වූ ඇමෙරිකන් ව්‍යවස්ථාවේ “ජීවිතය, නිදහස, සහ සතුට සොයා යෑමට” යන අයිතිය කියා සඳහන් වීමෙන් දේපල අයිතියට වැදගත් තැනක් නොදුන්නාය යන දැක්ම දැන් පැතිර පවතින්නකි. එහි දී මේ “සතුට සොයා යාම” යනු සමාජයීය පොදු සතුටක් ගැන යැයි කියන්නට පටන්ගෙන ද ඇත.

ඇමෙරිකන් ව්‍යවස්ථාව හැදූ අය, ජනතාව විසින් ජනතාව පාලනය කරන ක්‍රමයට පදනම හදාගත්තේ ජෝන් ලොක් ඉදිරිපත් කළ “ජීවිතය, නිදහස, සහ දේපල” අනුවයි. පෞද්ගලික දේපල අයිතිය යනු මිනිස් නිදහසට ඇති අයිතියෙන් වෙන් කළ නොහැකි වූවක් ලෙසින් ඔවුන් සැලකූ බවට සාක්ෂි පෙන්නුම් කරන්නේ වර්ජීනියාවේ අයිතීන්ගේ පනතයි. එහි පළමු වගන්තිය කියා සිටින්නේ මිනිසාට නෛසර්ගික වූ අයිතීන් සමූහයක් ඇති බව පිළිගැනීමයි. ඒවා මොනවාදැයි “ … නම් වලින් කියන්නේ නම්, ජීවිතයට සහ නිදහසට, දේපල ලබාගැනීමට සහ තබාගැනීමට හැකියාව සමඟ, සහ සතුට හා ආරක්ෂාව සොයා යන්නට සහ ලබාගන්නට…” යැයි සඳහන් කර ඇත.

බ්‍රිතාන්‍ය යටත්විජිතයේ වූ ඇමෙරිකන් වැසියන් නිදහසට සහ දේපලට ඇති අයිතිය රජෙක් හෝ ආණ්ඩුවක් විසින් ප්‍රදානය කරන ලද ඒවා නොව ඔවුන්ට උපත්තියෙන්ම ලැබෙන අයිතීන් හැටියට සලකන ලදි.

ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වර්තමානයේ විවිධ මත පැතිර ගිය ද, කැමති ඕනෑම අයෙකුට මුල් කාලයේ තොරතුරු හා ලිපි ලේඛන ඉතා පහසුවෙන් පිවිසිය හැකි ලෙසින් පවතී. ඒවා සොයා යන අලුත් පරම්පරාවට මිනිස් නිදහසට සහ පෞද්ගලික දේපලට ඇති ස්වභාවික අයිතිය වටහා ගන්නට හැකියි.

දේශපාලකයන් අයිතීන් කප්පාදුවට ඇඟිලි පොවද්දී, මෙරට දී ඊට පහසු ඉඩක් නොලැබෙන්නේ, රට ආරම්භයේ පටන් එන ආකල්ප කෙබඳු වූවාදැයි ගැන දැනුවත් පිරිසක් නිරතුරුව සිටින නිසයි.

ලංකා ඉතිහාසයේ එයාකාරයෙන් මිනිස් නිදහස සහ පෞද්ගලික දේපල ගැන වූ මහජන සංවාදයක් දකින්නට නොතිබුණි. බ්‍රිතාන්‍යයට යටත්වෙද්දී ලංකාවේ ඔටුන්න බාරයේ වූ දේපල සියල්ල බ්‍රිතාන්‍ය ඔටුන්න බාරයට පවරා ගැනිණ. අනතුරුව ජනතාව විසින් ජනතාව පාලනය කරන ක්‍රමවේදය ගැන කිසිත් සංවාදයක් නොමැතිව බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් ගැලවෙන ලංකාවේ දේපල ස්වදේශීන් පිහිටුවා ගත් ආණ්ඩුව බාරයට පත්විය.

ස්වදේශී ආණ්ඩුව විසින් පුරවැසියා ආරක්ෂා කරාවි යැයි සංවාදයක් නැතිව හටගත් විශ්වාසයකි. ආණ්ඩුවක අශක්නුවත්බවට වන්දි ගෙවන්නට සිද්ධ වෙන්නේ ජනතාවට බව ප්‍රසිද්ධියේ කියූ අයෙක් නොවීය.

ලංකාවේ පුරවැසියාට සිය ශ්‍රමය වෙහෙසීමට ඇති අයිතිය කෙබඳු වේදැයි ගැන කිසිවෙක් කතා නොකළහ. ඒ වෙනුවට නිදහස් ලංකාව තුල හතු පිපෙන්නා සේ වෘත්තීය සමිති බිහිවූයේ ශ්‍රමිකයා ආරක්ෂා කරනවා යැයි පොරොන්දුවෙනි. ඒත් ශ්‍රමය වෙහෙසීමේ නිදහස ආරක්ෂා කරදීම වෙනුවට ඒවායේ නායකත්වයේ කැමැත්ත අනුව ශ්‍රමය වෙහෙසීමේ නිදහස කප්පාදුවට ලක්වූහ.

එමෙන්ම ලංකාවේ පුරවැසියාට සිය ශ්‍රමය වෙහෙසා උපයාගත් මුදලින් ලබාගත හැකි දේපල ආරක්ෂා කරගන්නට ඇති අයිතිය කෙබඳු වේදැයි ගැන කිසිවෙක් කතා නොකළහ. ස්වදේශී පාලනයෙන් යුතු ලංකාවේ රජය 1972 දී ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියක් ගෙනැවිත් ඒකීය පුද්ගලයෙකු සතු ඉඩම් ප්‍රමාණය අක්කර 50 කට සීමා කළහ. වී වගාව සඳහා වූ ඉඩම් අක්කර 25 කට සීමා කළහ.

ඉඩම් අයිතිය සීමා කිරීමෙන් නොනැවතී, සුඛෝපභෝගී යැයි ලංකා රජය සැලකූ භාණ්ඩ හා සේවා අයිතිය පුරවැසියනට තහනම් කළහ.

රජ ක්‍රමය තුලින් ඒ ඒ අයට විශේෂ ලෙසකින් සලකන්නට හැකි අයිතියක් රජු සතු වූවා සේ අද ලංකාවේ ඒ ඒ අයට විශේෂ ලෙසකින් සලකන්නට හැකි අයිතියක් පාලන බලය අල්ලා ගන්නා ආණ්ඩුව සතුව පවතී.

ජනතාව විසින් ජනතාව පාලනය කරන ක්‍රමය මෙයැයි කියා අදත් ලංකාවේ රටවැසියන් විශ්වාස කරති.

සිංගප්පූරුවේ බජට් අතිරික්තයක් බදුගෙවන මහජනතාව අතර බෙදා දෙන්නට යන ප්‍රවෘත්තිය ගැන අසා උද්දාම වෙන අය ලංකාවේ සිටිති. 1953 සහ 54 වසර හි දී කොරියන් යුද්ධය නිසා හටගත් රබර් මිල ඉහළ යාම අවසන් වීමත් සමඟ සිංගප්පූරුව තුල ආර්ථික අවපාතයක් හටගෙන තිබුණි. රජයේ අයවැය පරතරය පියවා ගන්නට රජය පාරිභෝගික බදු සීඝ්‍රයෙන් ඉහළ යැවූහ. වේතන වෙනස් නොවී බඩු මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත් සිද්ධ විය. 1954 වසරේ දී ශ්‍රමිකයෙක් සතියකට සාමාන්‍යයෙන් පැය 50.5 ක් සේවය කරන ලදි. සතියකට දින හයක් පැය 8.5 ක් පමණ සේවය කරන්නට සිද්ධ වීම නීතියෙන් දුන් අවසරයෙන් (සතියේ දින හයක් පැය නවයක්) යාන්තම් අඩු වූවා පමණි. යුධ තත්වය නිසා පනවා තිබුණු හදිසි රෙගුලාසි හේතුවෙන් ශ්‍රමිකයන් වෘත්තීය සමිති කටයුතුවල නියැළීම දැඩි සේ රජයේ අවධානයට ලක්ව තිබුණු අතර යුනියන් නිලධාරීන් සහ වර්ජන ගැන උනන්දු සේවකයන් අත් අඩංගුවට ගැනීම පමණක් නොව සමහර වෘත්තීය සමිති තහනම් කිරීමත් සිද්ධ විය. ඉතින්, ආණ්ඩුවක් බජට් අතිරික්තයක් මහජනතාවට බෙදා දෙනවා යැයි උද්දාම වෙද්දී, ආණ්ඩුවකට ඉහත සියල්ලම කරන බලයක් ද ඇති බව අමතක නොකළ යුතුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: