අරුණි ශපීරෝ‍ වෙතින්

නූගත් ජනතාව රවටන බලතණ්හාධිකයෙක් වෙන්න එපා!

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 27, 2018

නිර්බාධිත වෙළඳාම රටවල් අතර පුළුල් ලෙසින් ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට පැතිර ගිය කාලයක දී, එය කෙබඳු වූවක් දැයි පැහැදිලි කිරීම මුලින්ම සිද්ධ වූයේ ‘ජාතීන්ගේ ධනය’ (1776) ලියූ ඇඩම් ස්මිත් වෙතිනි. එනමුත්, ධනවාදය යන වචනය යොදා ගනිමින්, එවක පැවති තත්වය වැරදියට අර්ථ දක්වමින් ධනවාදී ක්‍රමයේ න්‍යාය මෙසේ යැයි ‘දාස් කපිතාල්’ (1867) ලියූ කාල් මාක්ස් නිසා, ලෝකයේ බලතණ්හාධිකයන්ට මහජනතාවගේ දැනුම අවහිර කරන්නට කදිම අවස්ථාවක් පෑදිණ.

මුලින්ම කවුද මේ බලතණ්හාධිකයන්?

“නූගත් මහජනතාව” වෙනුවෙන් බුද්ධිමත් ප්‍රතිපත්ති හදන්නට දන්නවා යැයි සිතන, එනම් හොඳ ලෝකයක් හදන්නට අවශ්‍ය වෙනස ගෙනෙන්නට තමන් දන්නවා යැයි සිතන අය බලතණ්හාධිකයන් වෙති. “සෙසු අයට වඩා දන්නවා” යැයි සිතන මේ අය දැනුම බෙදන වෘත්තීන් තුලින් කැපී පෙනෙති. ඔවුන්ට දක්කා ගෙන යෑමට මහජනතාවක් අවශ්‍යය. ඒ නිසා ඔවුන් ඒකීය පුද්ගලයන් ලෙසින් ‘තනිවම හිතන්නට’ ඉඩප්‍රස්ථාවක් ඇති කරනවා වෙනුවට සිතිය යුත්තේ මේ ආකාරයෙන් කියන අදහස් වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටිති.

ගුරුවරු, මාධ්‍යවේදීන්, සහ සමාජ ක්‍රියාකරුවන් අතර සිටි, අනුන්ට හොඳ කුමක්දැයි කියන්නට තමන් දන්නේ යැයි සිතන මේ බලතණ්හාධිකයන් නිසා, මිනිස්සු කැමැත්තෙන් එකිනෙකා හා සාමකාමීව ගණුදෙනු කරන බවත් ඒ නිසා ජාතීන් ධනය උපයන්නට සමත් වූ බවත් පැහැදිලි කළ ඇඩම් ස්මිත් පැත්තකට විසි වී ගියේය. අනුන්ට හොඳ කුමක්දැයි කියන ප්‍රතිපත්ති ගෙනෙන්නට බලතණ්හාධිකයන් උපයෝග කරගත්තේ කාල් මාක්ස් විසින් ධනවාදයේ න්‍යාය හැටියට ඉදිරිපත් කළ දෝෂ සහගත අර්ථ දැක්වීම් වූ නිසා ඒවා ලෝකය පුරා ඉක්මණින් පැතිර ගියේය.

මිනිසා යනු වෙනකෙකුගේ අභිමතය පරිදි දක්කාගෙන යා හැකි රූකඩයෙක් නොවේ. එසේ දක්කාගෙන යන්නට ගත් වෑයම් සියල්ලම අසාර්ථක වූවත් ඒ නායකත්වයේ ගැටළුවක් මිස ක්‍රමයේ දෝෂයක් නොවේ යැයි තවමත් සිතන පිරිස අතර කොට්ඨාශ තුනකි; ඒ සැබෑ තත්වය අවබෝධයට අවශ්‍ය තොරතුරු නොලැබුණු අය, හිතන්නට හැකි මොළය පාවිච්චියට නොගන්නා අය සහ අනුන් දක්කාගෙන යන දැනුම තමන්ට ඇතැයි තරයේ විශ්වාස කරන අය වෙති.

මේ බ්ලොග් සටහන් වලින් ඉදිරිපත් කරන්නේ ලෝක ස්වභාවයේ සහ මිනිස් ස්වභාවයේ සැබෑ තත්වය අවබෝධයට අවශ්‍ය දැනුමයි. සිංහල භාෂාවෙන් 2018 වසරේ දී පවා ලබාගන්නට නොලැබෙන මේ බ්ලොග් තුලින් ලබාගත හැකි දැනුම, මොළය පාවිච්චියෙන් තතු විමසා බැලීමට හැකි අය වෙනුවෙන් දැනට පවතින එකම අවකාශයයි.

ධනවාදය යනු කැමති ලෙසකින් පෞද්ගලික ලාබ සොයා යෑම නොවේ. ධනවාදය යනු පෞද්ගලික දේපල අයිතිය මත පදනම් වූ, කැමැත්තෙන් කරන හුවමාරු වලින් හැදෙන මිල ගණන් ක්‍රමයෙන් ලැබෙන දර්ශක අනුව සම්පත් කාර්යක්ෂමව යොදවා සාමකාමීව ආර්ථිකයක් තුලින් බහුතර ජීවිත සමෘද්ධිමත් වෙන ක්‍රමයකි.

අනුන්ට හොඳ මොනවාදැයි තමන් දන්නවා යැයි සිතන බලතණ්හාධිකයන්, හෙවත් නූගත් මහජනතාව සඳහා සමෘද්ධිමත් හා සාමකාමී සමාජයක් හදන්නට තමන් දන්නවා යැයි සිතන අය, පෞද්ගලික දේපල අයිතිය නම් වූ නිර්බාධ වෙළඳාමේ පදනම බැහැරලන්නට නෙක ලෙසින් තවමත් වෑයම් කරති.

පෞද්ගලික දේපල අයිතිය යනු මිනිසා යහපත් ලෙසින් ශ්‍රමය වෙහෙසන්නට දිරිගන්වන්නයි. එය කප්පාදු කළ සෑම අවස්ථාවක දී ම සිද්ධ වූයේ සමෘද්ධිය සහ සාමය අඩු වී යෑමයි. දේපල අයිතිය තහනම් කළ නීතිමය ක්‍රියාවලියන් තුලින් සමාජයක් සමෘද්ධිමත් කරන්නට නොහැකි විය. දේපල අයිතිය යම් තරමකට හෝ කප්පාදු කළ සෑම අවස්ථාවක දී ම සමාජයක අවුල් වියවුල් වර්ධනය වීම දකින්නට හැකි විණ.

අනුන් වෙතින් තම ජීවන ගමනට මඟපෙන්වීම්, අවවාද හා අනුශාසන ලබාගත්ත ද, අනුන් පිළිගන්වන ප්‍රතිපත්ති අනුගමනය කරන්නට සිද්ධ වූවද, අවසානයේ දී තමන් කරන ක්‍රියාවේ ප්‍රතිවිපාක අත්විඳින්නට සිද්ධ වෙන්නේ තමන්ටමයි.

තම තමන්ගේ යහපත පිණිස තම තම කැමැත්තෙන් කරන තෝරාගැනීම් කරන්නට නිදහස් වාතාවරණයක් ලැබෙද්දී, එවැනි සමාජයක් සමෘද්ධිමත් සහ සාමකාමී වෙන බවත්, එසේ ඉඩකඩක් නැති වාතාවරණය ඇති වුවහොත් සමාජයක් දුප්පත්ව අවුල් සහගත වෙන බවත් ඉතිහාසය එදත් අදත් ඔප්පු කර පෙන්වයි.

තමන්ට නැති දැනුමක් ඇති විලසින් පෙන්වන හුරුවක් ඇත්නම් වහාම එයින් ඈත්වෙන්න. අවසානයේ දී තමන්ටත් ඒ හුරුව නිසා ලැබෙන ප්‍රතිවිපාක අත්විඳින්නට සිද්ධ වීමෙන් ගැලවෙන්නට නොහැකියි.

ඔබ නූගත් ජනතාව රවටන්නට සහාය වෙන බලතණ්හාධිකයෙක් ද?!!!!

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Palitha Warnakulasuriya said, on මාර්තු 4, 2018 at 8:08 පෙ.ව.

    ධනවාදය යනු කැමති ලෙසකින් පෞද්ගලික ලාබ සොයායෑම තහවුරු කරන ක්‍රමයක් බවට සාධක
    සැමතින් පෙනේ. ධනවාදය යනු පෞද්ගලික දේපල අයිතිය මත පදනම් වූ, කැමැත්තෙන් හෝ
    අසරණකම නිසා අකමැත්තෙන් වුවත් කිරීමට සිදු වී ඇති හුවමාරු වලින් හැදෙන දර්ශක
    අනුව සාමකාමීව හෝ තර්ජනාත්මකව සුළුතරයකගේ ජීවිත සමෘද්ධිමත් වෙන ක්‍රමයකි.

    පෞද්ගලික දේපල අයිතිය යනු ප්‍රාග්ධන හිමියා අයහපත් ලෙසින් සේවකයන්ගේ ශ්‍රමය
    සූරා කන්නට දිරිගන්වන්නක් බව මම අත්දැකීමෙන්ම දනිමි.

    *පාලිත වර්ණකුලසූරිය*

    2018-02-27 7:34 GMT-08:00 අරුණි ශපීරෝ‍ වෙතින් :

    > arunishapiro posted: ” නිර්බාධිත වෙළඳාම රටවල් අතර පුළුල් ලෙසින් ලෝක
    > ඉතිහාසයේ ප්‍රථම වරට පැතිර ගිය කාලයක දී, එය කෙබඳු වූවක් දැයි පැහැදිලි කිරීම
    > මුලින්ම සිද්ධ වූයේ ‘ජාතීන්ගේ ධනය’ (1776) ලියූ ඇඩම් ස්මිත් වෙතිනි. එනමුත්,
    > ධනවාදය යන වචනය යොදා ගනිමින්, එවක පැවති තත්වය වැරදියට අර්ථ දක”
    >

    • arunishapiro said, on මාර්තු 6, 2018 at 10:23 පෙ.ව.

      Palitha Warnakulasuriya,

      //සාධක සැමතින් පෙනේ//
      //ප්‍රාග්ධන හිමියා අයහපත් ලෙසින් සේවකයන්ගේ ශ්‍රමය සූරා කන්නට දිරිගන්වන්නක් බව මම අත්දැකීමෙන්ම දනිමි// මේ සාධක සහ අත්දැකීම් මොනවාදැයි ඔබ කිව්වොත් ඒවා සියල්ල රාජ්‍ය මැදිහත්වීම් නිසා මිසෙක පෞද්ගලික දේපල අයිතිය මත පදනම් වූ ධනවාදී ක්‍රමය නිසා නොවේ යැයි මට ඔප්පු කළ හැකියි.

      පෞද්ගලික දේපල අයිතිය ආරක්ෂා කරන සමාජයක් යනු ඕනෑම අයෙකුට //කැමති ලෙසකින් පෞද්ගලික ලාබ සොයා යෑම තහවුරු කරන ක්‍රමයක්// නොවේ. පෞද්ගලික දේපල අයිතිය ආරක්ෂා කරන සමාජයක් එහි සියළුම දෙනාට ඇති අයිතිය එක ලෙසින් ආරක්ෂා කරයි. ඊට හැකියාව පාදන්නේ කැමැත්තෙන් කරන හුවමාරු ක්‍රමයයි.

      එවැනි සමාජයක වෙන අයෙකුගේ පෞද්ගලික දේපල අයිතිය උල්ලංඝණයට තවත් කෙනෙකුට අවසරයක් නැත.

      ඒ නිසා //කැමති ලෙසකින්// යෙදෙන ලාබ උපයන මාර්ග “අනෙකාගේ පෞද්ගලික අයිතීන් උල්ලංඝණය” වෙන තැන දී නවතී.

      පෞද්ගලික දේපල අයිතිය කියද්දී, මහා මන්දිර වගේ වාසස්ථාන සහ සුඛෝපභෝගි යාන වාහන පමණක් හිතේ මැවෙන්නට පුළුවන්. ඒත් උදැල්ලක් වගේම එය භාවිතයෙන් වෙහෙසන ශ්‍රමය ද පෞද්ගලික දේපල යන්නට අයිතියි. තමන්ගෙ උදැල්ලෙන් වෙහෙසන තමන්ගෙ ශ්‍රමයෙන් කෙසේ කුමන ලාබ සොයා යනවා ද යන තෝරාගැනීම ද පෞද්ගලික අයිතියයි. එයින් ලබාගන්න ඵලදාව ද පෞද්ගලික දේපල වේ.

      ඉතින් පෞද්ගලික දේපල අයිතිය කුමක්දැයි කියා පවා නොදන්න සමාජයක දී අපිට දකින්නට ලැබෙන්නෙ රජය මැදිහත්වීම තුලින් ශ්‍රමය හා උදැල්ල භාවිත කළ යුත්තේ කවුරු කෙසේද, ලාබ සොයා යෑම සඳහා කුමන මාර්ග කෙසේ අනුගමනය කළ යුතුද, සමහර භාණ්ඩ අඩු මිලට ලැබෙන්නේ සහ තහනම් කාටද, භූමිය කොපමණක් පමණක් පෞද්ගලික අයිතියේ තබාගත හැකිද, යනාදී වශයෙන් රජයේ ප්‍රතිපත්ති අනුව පෞද්ගලික දේපල අයිතිය සීමා කර තිබීමයි.

      ඊ ළඟට “ලාබ සොයා යන්නට හැකියාව” සමඟ “ලාබ උපයා ගැනීම” එක්ක පටලවා ගන්න එපා.

      ලාබ උපයන්නට නම් පාරිභෝගික කැමැත්ත සපුරන්න ඕන. සෑම පුරවැසියෙක්ම පාරිභෝගිකයෙක් වෙන බවත් අමතක නොකරන්න.

      අයහපත් ලෙසින් සේවකයන්ගේ ශ්‍රමය සූරාකන්න හැකියාව පෑදෙන්නෙ සිය ශ්‍රමය කැමති විදියකට යොදවන්නට උවමනා අයෙකුට ඇති රැකියා සීමිත වූ විට. එවැනි සීමිත රැකියා ඇති තැන් අද ලෝකෙ පවතින්නෙ පාලකයන්ගේ ආරක්ෂණ ප්‍රතිපත්ති හේතුවෙන්.

      ආරක්ෂණ ප්‍රතිපත්ති වලට (ඒ කියන්නෙ කොයි වෙළෙන්ඳන්ට ද, මොන ව්‍යාපාරවලට ද, මොන ප්‍රතිපත්ති අනුව ද) රජයේ අවසරය සහ අනුග්‍රහය ලැබෙන්නෙ කියල තීරණය වෙන සමාජයක, පාරිභෝගිකයන්ට ඔවුන්ගේ කැමැත්ත දක්වන්නට නැත්නම් “තෝරාගැනීමට” නිදහසක් නැහැ. රජය ඉඩදෙන දෙයක් මිල දී ගන්න අවස්ථාව පමණයි ලැබෙන්නෙ. අකමැත්තෙන් මිල දී ගන්නට සිද්ධ වෙන සීමිත භාණ්ඩ සහ සේවා, සහ අකමැත්තෙන් නියැළෙන්නට සිද්ධ වෙන සීමිත රස්සා සහ ව්‍යාපාර පමණකට එවැනි සමාජයක් හිරවෙලා ඉන්නව.

      රජය ඉඩදෙන වෙළෙන්ඳන්ට සහ ව්‍යාපාර වලට පමණක් එවිට ලාබ උපයන අවස්ථාව ලැබෙනව.

      රජය මැදිහත්වීම නිසා සීමිත පිරිසක් ධනවත් වෙද්දී, සමාජයේ සියල්ලන්ගේම පෞද්ගලික දේපල අයිතිය කප්පාදු වෙනව. සමාජයක එක පිරිසකට වෙනස් විදියකට සලකද්දී, ඒ සමාජයේ හැමෝම දුප්පත් අසරණයන් වෙනව.

      ස්වල්පයකට පමණක් ප්‍රාග්ධන හිමියන් වෙන්නට ඉඩ දෙන වැඩවසම් යුගයේ විදියට තවමත් කටයුතු කරන රජයේ ප්‍රතිපත්ති නිසා ඇති වී තිබෙන ප්‍රතිඵල පෙන්වමින් ඔබ අවලාද කියන්නේ අසරණයන් සූරා කෑම නැවතෙන එකම විසඳුම ලැබෙන පෞද්ගලික දේපල අයිතිය ආරක්ෂාවටයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

%d bloggers like this: