අරුණි ශපීරෝ‍ වෙතින්

පෞද්ගලික දේපල අයිතියට ආරක්ෂාව ලැබෙද්දී සමාජයක් සාමකාමී වෙයි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 6, 2018

සාමකාමී සමාජයක් යනු රාජ්‍ය බලාත්මක හස්තය යොදවා ජනතාව අතර කිසිත් ආරවුල් නැති බවක් පෙන්වමින්, රජය කැරලිකරුවන් යැයි හඳුන්වන අයව රහසිගතව හදිසි අත්අඩංගුවට ගෙන සිරගත කිරීම නොවේ. ජනතාව ඔවුන්ගේම කැමැත්තෙන් එකිනෙකා සමඟ ආචාරශීලිව සබඳතා පැවැත්වීමේ දී පමණක් සමාජයක් සාමකාමී යැයි සැලකේ.

ජනතාව අතර ආරවුල් ඇති කරමින්, ඉන්පසු ඔවුන් මෙල්ල කර සාමය රකින බලාත්මක හස්තයක් යෙදවිය හැකි නායකයෙක් අවශ්‍ය යැයි දැක්වීම, සාමකාමී සමාජය ගැන අවබෝධයක් නැති අයගේ හැදියාවයි. ඔවුන් ආගම, ජාතිය, පංතිය යනාදී බෙදුම් වලින් ජනතාව වර්ගීකරණය කරමින් ඒ බෙදුම් සියල්ල මුලිනුපුටා දැමිය හැකි යැයි විශ්වාස කරති.

කිසිසේත්ම බැහැර කළ නොහැකි වූ, individual හෙවත් ඒකීය පුද්ගලයා සතු අයිතීන් ගැන තැකීමක් නොකරති.

යම් අයෙක් සාමාකාමී සමාජයක් රිසි වූයෙක් වේ නම්, සමාජයේ වඩාත්ම සුලුතරය වූ ඒකීය පුද්ගලයාගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ඒකීය පුද්ගල අයිතිය ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරනවුන් වෙනත් කුඩා ජනවාර්ගික කොටස්වල අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම පරස්පරයකි.

අයිතීන් ගැන අවබෝධයක් නැති හෙයින්, රජය කැමති ආකාරයට අයිතීන් පැවරිය හැකි යැයි ජනතාව විශ්වාස කරති. ඊට මේ රජය එළවා වෙන රජයක් පත්කර ගත හැකි යැයි සිතති. එය ද අසාර්ථක වූ විට, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් මෙන් එහෙනම් මේ ජනතාව පළවා හැර වෙන ජනතාවක් පත්කර ගත යුතුයි කියා අඳෝනා කියති.

පුද්ගලයාගේ මනස සහ ඔහුගේ ශරීරය ඔහුගේ අයිතිය යැයි සැලකීම පෞද්ගලික දේපල අයිතිය ආරක්ෂාවේ ප්‍රථම පියවරයි. ඔහුට පමණක් ඔහුගේ මනසේ සහ සිරුරේ අයිතිය ඇතැයි කියද්දී එය කුමන ආකාරයෙන් භාවිතා කරන්නේ ද යන අයිතිය ද ඊට අඩංගු වූවක් බව සැලකේ.

සෑම පුද්ගලයෙකුටම ඔහුගේ මනස සහ සිරුර අයිති වෙද්දී, එකිනෙකා අතර සම්බන්ධතා පවත්වා ගත හැකියාව ලැබෙන්නේ එකිනෙකාගේ කැමැත්ත අනුව එළඹෙන එකඟතාවයන් තුලින් පමණි. ඉතින් මිනිස් සත්වයන් අතර ස්වෙච්ඡාවෙන් කරන කටයුතු සිද්ධ වෙන්නේ සලකා බැලීමෙන් යුතුව ගනු ලබන එකිනෙකාගේ එකඟතා තුලින් පමණි.

පෞද්ගලික දේපල අයිතිය යනු සාමකාමී මිනිස් සබඳතාවලට අවශ්‍ය එකම සදාචාර පදනම සපයන බව පිළිගන්නා පුද්ගලයෙක්, වෙන කිසිත් පුද්ගලයෙකුට බලහත්කාරකමක් නොකරයි. හුවමාරුවක් සඳහා වංචාව හෝ බලහත්කාරකම යොදා නොගනියි. ඒ, අනෙකාගේ පෞද්ගලික දේපල අයිතිය ආරක්ෂා කිරීම තුලින් තමන් ද ඇතුළුව සමාජයේ සියල්ලන්ගේම දේපල අයිතීන් ආරක්ෂා වීමත් ඒ තුලින් පමණක් යහපත් හා සාමකාමී සමාජයක් ඇතිවන බවට අවබෝධයක් ඇති හෙයිනි.

පෞද්ගලික දේපල අයිතියට ගරු කරන මම, මගේ මනස හා සිරුර කෙසේ භාවිතා කරන්නේ ද යන්නට අයිතිය කියද්දී, අනෙකාට ද එසේම වූ අයිතියක් ඇතැයි පිළිගෙන ඇත.

ඒ නිසා, මම මස් කන නිසා අනෙකා මස් අනුභව කළ යුතු යැයි නීති පැනවීමට හෝ මම නොකරන දේවල් අනෙක් අය ද නොකළ යුතු යැයි නීති පැනවීමට, බලාත්මක බලයක් උපයෝගී කරගෙන නැත.

බලාත්මක බලයක් යොදන්නේ නැතිව සමාජයක වාසය කරන මිනිස් සත්වයන් එකිනෙකා හා සබඳතා පවත්වද්දී ඔවුන් අනෙකාගේ කැමැත්තට ගරු කරමින් ආචාරශීලීව කටයුතු කරති.

එයින් කියන්නේ නොහික්මුණු ලෙසින් කතාබහේ යෙදෙන සහ හැසිරෙන අයෙක් එවැනි සමාජයක නැතැයි කියා නොවේ. සමහර විට සාහසික සහ කෲර ලෙසින් කටයුතු කරන අය ද සාමකාමී සමාජයක දකින්නට ලැබේ. ඒත් පෞද්ගලික දේපල අයිතිය ගැන වැටහීම ඇති අය වැඩිවෙද්දී, එවැනි අය අතර දකින්නට ලැබෙන්නේ සාමකාමීව එකිනෙකාට වාසිදායක ලෙසින් කැමැත්තෙන් එළඹෙන එකඟතා සහ කැමැත්තෙන් කරන හුවමාරු වැඩි බවයි.

පෞද්ගලික දේපල අයිතිය රජයට පෙර පැවතියකි. එනම්, ආණ්ඩුවක් කියා දෙයක් ලොව පවතින්නට පෙර මිනිසා පෞද්ගලික දේපලට අයිතියක් කියූහ.

පෞද්ගලික දේපල අයිතිය පවරා දෙන්නේ රජයකින් නැත්නම් ආණ්ඩුවකින් යැයි වැරදි විශ්වාසයට ඇබ්බැහි වූවන්, අයිතීන් පවරන්නට හා අයිතීන් අහිමි කරන්නට දන්නා අයෙක් හෝ අයවළුන් සමූහයක් ඇතැයි තරයේ විශ්වාස කරති. මෙසේ ගත් වෑයම් සියල්ලම සියල්ලන්ගේම අයිතීන් කප්පාදුවෙන් අවසන් වූ බවට සාක්ෂි ලෝක ඉතිහාසය වරින් වර සපයා ඇතත්, එය පිළිගැනීමට ඔවුන් අකමැති වෙති.

ඉතින්, අනුන් ඔවුන්ගේ ජීවිත ගෙවිය යුත්තේ කෙසේදැයි කියන නීති හදන්නට යුහුසුළු අනේක විධ “බෙදුම්වාදීන්” මෙම අයිතීන් ආරක්ෂාවේ පළමු පියවර පිළිනොගනිති.

සාමකාමී සමාජයක් තුලින් දකින ඉඳහිටක සිද්ධ වෙන සාහසික ක්‍රියාවක් හෝ නොහික්මුණු හැසිරීමක් උලුප්පා දක්වමින් බලාත්මක බලයක් යොදා අනුන් ජීවිත ගෙවිය යුතු ආකාරය ගැන ප්‍රතිපත්ති සඳහා පෙනී සිටින මේ අයයි.

කිසිවෙකුට හානියක් නොකරමින් වසර ගණනාවක් අයිතිය කියූ අවි ආයුධයක් පෞද්ගලික දේපල අයිතියට ගරු කරමින් වාසය කරන සාමකාමී පුද්ගලයා වෙතින් ඉවත් කිරීමට මේ අය පෙනී සිටින්නේ පෞද්ගලික දේපල අයිතිය උල්ලංඝණය කළ අයෙක් පෙන්වමිනි.

එවැනි බලාත්මක බලයක් යොදවමින් ගෙනෙන ලද නීති සහ ප්‍රතිපත්ති වලින් කිසිත් අවස්ථාවක මේ අය පොරොන්දු වූ ප්‍රතිඵලය ඉටු වූයේ නැතැයි ඔවුන් පිළිනොගනිති. නීත්‍යානුකූලව සිය කැමැත්තෙන් එකිනෙකා හා හුවමාරුවේ යෙදෙන පිරිස ඉලක්ක කරගෙන ඒ අය සඳහා තව තවත් දැඩි නීති වෙනුවෙන් පමණක්ම ඔවුන් පෙනී සිටිති.

පෞද්ගලික දේපල අයිතිය ආරක්ෂා කරමින් අවි ආයුධ ළඟ තබාගැනීමටත්, තම තමන්ගේ ආගම් ඇදහීමටත්, එසේම සංස්කෘතික, ඵෛතිහාසික උත්සව හා සිරිත් විරිත් අනුසාරයෙන් ජාතිකත්වය ගැන සතුටුවන්නටත් පුළුවන. මිනීමැරුම් කරන්නේ තුවක්කු, ආගම් හෝ ජාතිය නොව පුද්ගලයාය. අනුන්ගේ දේපල අයිතිය උල්ලංඝණය කළේ ද, දඬුවම් දිය යුත්තේ මුළු සමාජයට නොවේ, ඒ පුද්ගලයාටයි.

අනෙකාට නැති අයිතියක් තමන්ට ඇතැයි යන විශ්වාසය නිසා අසංවර ආරවූල් හටගනී. ඒ තත්වයන් නිතර සහ වැඩිපුර දකින්නට ලැබෙන්නේ අනුන් ජීවිත ගෙවිය යුත්තේ කෙසේදැයි දන්නවා කියාගත් අය වෙතිනි. ඒත් එම බෙදුම්වාදී දැක්ම යනු තමන් ද දායකත්වය දෙන දැක්ම බව (බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් වගේ) මේ අය නම් කිසිත් අවස්ථාවක දී පිළිනොගනිති.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

%d bloggers like this: