අරුණි ශපීරෝ‍ වෙතින්

එය හොඳම කාලය විය, එය නරකම කාලය විය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 15, 2018

“එය හොඳම කාලය විය, එය නරකම කාලය විය, එය ප්‍රඥාවේ සමය විය, එය අඥාන සමය විය, එය විශ්වාසයේ වැදගත් කාලපරිච්ඡේදය විය, එය කිසිවක් විශ්වාස කළ නොහැකි වූ සමය විය, එය ආලෝකයේ ඍතුව විය, එය අඳුරේ ඍතුව විය, එය බලාපොරොත්තුවේ වසන්තය විය, එය නෂ්ටාපේක්ෂාවේ හේමන්තය විය, අප ඉදිරියේ සියල්ල පැවතින, අප ඉදිරියේ කිසිවක් නොපැවතිණ, අපි සියල්ලන්ම ඍජුවම දිව්‍යලෝකයට යන අය වූයෙමු, අප සියල්ලන්ම ඍජුවම අනිත් පැත්තට යන අය වූයෙමු -කෙටියෙන් කිව්වොත්, ඒ කාලය අද කාලය වැනිම විය, හොඳ හෝ නරක වූවත්, අතිශ්‍රේෂ්ඨ මට්ටමකින් කරන සංසන්ඳනය සඳහා පමණක්ම එය බාරගත යුතු යැයි එහි වූ වැඩියෙන්ම හඬනඟන අධිකාරිය කියා සිටියහ.” ප්‍රංශ විප්ලවය පසුබිම් කරගත් චාල්ස් ඩිකන්ස් ලියන A Tale of Two Cities පටන් ගන්නේ එලෙසිනි.

වරදක් කළ අයෙක් හෝ සුළු පිරිසක් නිසා වරදේ නියැළෙන්නේ නැති මහත් පිරිසකට තමන්ගේම මුදල් ගෙවමින්, වෙනත් අයගේ අයිතීන් උල්ලංඝණයෙන් තොරව නියැළෙන අවස්ථාවක් අහිමි වීම ලංකාවේ වැසියන් පසුගියදා අත්දුටුවහ.

ඉන්ටනෙට් යනු මානුෂික අයිතියක් යැයි කියමින් ඉන්ටනෙට් නිදහස සඳහා වූ ව්‍යාපාරයක් ද ආරම්භ විය. යම් දෙයක් උවමනා වූ පමණින් එය අයිතියක් යැයි කිව නොහැකියි. යම් දෙයක් පිළිකුල් වූ පමණින් එය පොදුවේ තහනමට ලක්විය යුතු වූවක් ලෙස සැලකිය නොහැකියි.

පෞද්ගලික ව්‍යාපාර කරගෙන යෑම සඳහා රටක ආණ්ඩුවේ හොඳහිත දිනාගන්නට සිද්ධ වීම තවමත් පවතින ශෝචනීය තත්වයකි. එය, අයිතීන් යනු රජයක් විසින් ප්‍රදානය කරන ලද්දක් යැයි විශ්වාස කිරීමේ ප්‍රතිඵලයකි. දැනට බිහිවී තිබෙන නිෂ්පාදන මෙන්ම අනාගතයේ බිහිවෙන නිෂ්පාදන සඳහා ද නිදහස් හුවමාරුවට ඉඩකඩ ලැබීම යනු ආරක්ෂා කළ යුතු පෞද්ගලික දේපල අයිතිය නිසා ලැබෙන අවස්ථාවකි. එහි දී මේ මේ දේවල් පමණකට ඉඩදෙන්න යැයි ඉල්ලා සිටින්නට ගන්නා ස්ථාවරය නිසා පුරවැසියාට බොහෝ දේවල් අහිමි වී යයි.

ඉතින් මේ සටහන, ලෝකයේ ගෙන ගිය නිදහස් ව්‍යාපාර දෙකක අන්දරයෙන් නිදහස කියා ඉල්ලා සිටිය යුත්තේ කුමක්දැයි පැහැදිලි කරන්නට ගන්නා වෑයමකි.

යටත්විජිත හදන්නට ගිය යුරෝපීය පාලකයන්ට එරෙහිව ඇමෙරිකාවේ මෙන්ම ලතින් ඇමෙරිකාවේ ද නිදහස් ව්‍යාපාර බිහිවුණි. ඒත් ඇමෙරිකාව ලෝකයේ දියුණුම රටක් බවට පත්වෙද්දී ලතින් ඇමෙරිකාවේ රටවල් එයාකාරයෙන් දියුණුවක් ලැබුවේ නැත.

ජෝර්ජ් වොෂිංටන්, තෝමස් ජෙෆර්සන් සහ ජේම්ස් මැඩිසන් වැන්නවුන් ඇමෙරිකාවේ නොහොත් රටේ නිදහසක් වෙනුවෙන් සටන් කළ අය නොවූහ. ඔවුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හා සටන් වැදුනේ ඒකීය පුද්ගල අයිතීන් ආරක්ෂාව සලසනු සඳහාය.

ලතින් ඇමෙරිකාවේ රටවල නායකයන් පෘතුගීසි හෝ ස්පාඤ්ඤ රජවරුන් හා සටන් වැදුනේ දේශපාලන ස්වාධීනත්වයකටයි. ලංකාවේ ද වූයේ එවැන්නකි. යටත්විජිත පාලකයන් වූ බ්‍රිතාන්‍යයන් පළවා හැර ඒ වෙනුවට ස්වදේශී පාලකයන් පත්කර ගැනීම සිද්ධ විය. ඒකීය පුද්ගලයාගේ නිදහස ගැන කතා කරන්නට කිසිවෙක් නොවීය.

යටත්විජිත පාලකයාගෙන් ගැලවුනාට, ස්වදේශී පාලකයාටත් එයාකාරයෙන්ම නීති පනත් පැනවිය හැකිනම්, දේශපාලන ස්වාධීනත්වයක් ලැබූ පමණින් පුරවැසියාගේ අයිතීන් ආරක්ෂා වෙන්නේ කෙසේද?

ආණ්ඩු ක්‍රමය තුලින් අයිතීන් ආරක්ෂාවෙන සිද්ධාන්ත මත දේශපාලනය ගොඩ නැඟීම වෙනුවට ලංකාවේ මෙන්ම ලතින් ඇමෙරිකාවේ ද සිද්ධ වූයේ සහ සිද්ධ වෙනුයේ තමන් ඉදිරියේ තර්ජනයක් ලෙසින් පෙනෙන අය වහාම ඉවත්කර ගන්නට ගත්/ගන්නා වෑයමකට මහජනතාව එක්රොක් වීමයි.

පෞද්ගලික දේපල අයිතිය යන්න ආරක්ෂා වෙද්දී ඉන්ටනෙට් අයිතිය නිතැතින්ම ආරක්ෂා වේ. ඒත් පෞද්ගලික දේපල යනු රජයේ තීරණ අනුව තීන්දු කළ හැකි දේවල් යැයි පිළිගනිද්දී, එහි එක කුඩා අංගයක් පමණක් වූ ඉන්ටනෙට් භාවිතය මිල දී ගැනීමේ හැකියාව පමණක් මානුෂීය අයිතියක් වේයැයි කීම දුර්වල තත්වයකට ඇද වැටේ.

පුරවැසියෙකුට හිමිකම් කියන්නට පුළුවන් භූමියෙන් අක්කර 50 කට පමණි යැයි තීන්දු කළ හැකි ආණ්ඩු ක්‍රමයකට ඉන්ටනෙට් තුලින් කුමන සයිට් වලට පමණක් පිවිසෙන නිදහස තීන්දු කළ නොහැකි වනුයේ කුමන පදනමක් මත ද?

අයිතීන් යනු කොටස් සහ කෑලි වලින් බෙදා දෙන්නට පුළුවන් වූවක් නොවේ. වෙනත් අයෙකුගේ අයිතියක් උල්ලංඝණය නොකරන්නේ නම් තම වෙහෙසේ ඵලදාව කෙසේ භුක්ති විඳිනවාද යන අයිතිය තම ජීවිතයට ඇති අයිතියේ අඩංගු වූවකි. එය ආණ්ඩුවක් ප්‍රදානය කරන්නක් නොවන නිසා එය ආණ්ඩුවකට අයින් කළ නොහැකි වූවකි.

යම් අයෙක් තවකෙකුගේ අයිතියක් උල්ලංඝණය කළේ නම් සමස්ත සමාජයක් නොව දඬුවම් ලැබිය යුතු වනුයේ ඒ අනෙකාගේ අයිතිය උල්ලංඝණය කළ අයයි. නමුත් දඬුවම් දෙන්නට පෙර අයිතීන් වනුයේ මොනවාදැයි සහ අයිතීන් නොවනුයේ මොනවාදැයි කියා තෝරාබේරාගෙන තිබිය යුතුයි.

සියල්ලන්ටම එකසේ නොලැබෙන දැයක් මානව අයිතියක් කිව නොහැකියි. ජීවිතයට අයිතිය මානව අයිතියකි. එය පැහැර ගන්නා අයිතිය උල්ලංඝණය කරන්නෙකි. ජීවිතය පවත්වාගන්නට වෙහෙසක් යෙදවිය යුතුයි. ඒ නිසා මිනිසාගේ වෙහෙසේ ඵලදාව ද ඔහුගේ අයිතියයි. වෙහෙසේ ඵලදාව පැහැර ගැනීම අයිතිය උල්ලංඝණය කිරීමකි.

පුද්ගලයෙකු සතු හැකියාව සහ ඔහු ගන්නා වෑයම නොසලකා හැර, එසේ කරන්නේ සමාජ සාධාරණත්වයේ නාමයෙන් කියමින්, පැහැදිලිව වෙහෙසන ශ්‍රමය සහ එහි ඵලදාව පැහැර ගැනීමට නීති ගෙනා යුතු යැයි කියද්දී, අහිමි වී යන්නේ සියල්ලන්ගේම මානුෂික අයිතීන්ය.

ජනතාව අතර සාමය පැතිරෙනවා වෙනුවට රජයේ බලය යොදා අර කොට්ඨාශයට හා මේ කොට්ඨාශයට කිසිදු පදනමකින් තොරව හිතුමතයේ බෙදා දීමේ ආරවුල් දිගින් දිගටම පැවතේ.

විවිධ මතවාදයන් අනුව පදනම් හදන්නට ගන්නා ලද වෑයම් ලොව බොහොමයකි. ඒවා සියල්ල අසාර්ථක වූයේ කොටස් සහ කෑලි වශයෙන් අයිතීන් බෙදිය නොහැකි නිසයි.

පෞද්ගලික දේපල අයිතිය ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි මිනිසුන් නිසා ලෝකයේ දිළිඳුකම වේගයෙන් අඩු විණ. සාධාරණ සමාජ යැයි කියමින් බෙදුම්වාදයෙන් රට හදන්නට ගිය තැන්වල සශ්‍රීක තත්වයන් නැතිවී ගොස් දිළිඳු අසරණ තත්වයන් හටගෙන ඇත. ඒවා ගැන නොදැන සිටි අයට අද ඒවා ගැන අහන්නට විවිධ ක්‍රමවේද ලැබී ඇත. ලංකාවේ ජනමාධ්‍ය තුලින් අහන්නට නොලැබෙන වෙනිසියුලාවේ වර්තමාන තත්වය ගැන සහ කොමියුනිස්ට් කළුපොත ගැන පාඨකයාට මේ අඩවියෙන් කියවන්නට හැකියාව ලැබී ඇත. සියල්ලන්ගේම අයිතීන් සුරැකෙන ලෝකයක් සඳහා තව දුරටත් වෙහෙසීමේ භාරදූර වගකීම පැටවී ඇත්තේ පෞද්ගලික දේපල අයිතිය ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ටයි. සෙසු අය ලතින් ඇමෙරිකන් නායකයන් මෙන් රජය ලවා අයිතීන් ප්‍රදානය කරන සහ රජය ලවා අයිතීන් අහිමි කරවන ක්‍රමයක් ගැන කියමින් තවත් කාලයක් පුරා ආරවුල් කරා ජනතාව දක්කාගෙන යනු ඇත.

One Response

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: