අරුණි ශපීරෝ‍ වෙතින්

අනුන්ගේ මතයට ගරු කළ යුතුද?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 19, 2018

මතය (opinion) පෞද්ගලික වූවකි. “මේ මගේ මතය,” යැයි කියද්දී එයට අයිතියක් කියන අයෙක් සැමවිටම සිටියි. මතයක් හදාගැනීමේ හැකියාව ඇත්තේ මිනිසාට පමණි. පොදු මතය යැයි කියන්න ද, තම තමන්ගේ කරගැනීම සිද්ධ වෙන්නේ ඒ ඒ ඒකීය පුද්ගලයා විසිනි. ඒ ඒ අයෙක් ඒ ඒ මතය තම තමන්ගේ කර නොගත්තේ නම් පොදු මත ඇති නොවේ.

පෞද්ගලික වූ මතයට අනෙක් සියල්ලන් ගරු කළ යුතුය යන්න අද බහුලව පැතිර පවතින වැරදි අදහසකි.

ඕනෑම කෙනෙකුට ඕනෑම මුලාවක්, මිථ්‍යාවක් හෝ යල්පැන ගිය අදහසක් තම මතය යැයි කීමට පුළුවන. එසේම ඕනෑම කෙනෙකුට පොදු මතයට විරුද්ධ වූ ඇත්ත ඇති සැටියෙන් දැකීමක්, සත්‍යයක්, විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තම මතය කරගැනීමට පුළුවන.

මතය තහනම් කළ නොහැකියි.

අයෙකුගේ මතය තවත් අය සමඟ බෙදාගැනීමේ දී පමණක් හෙළිදරව් වන්නකි. යම් අවස්ථාවක දී යම් මතයක් පැතිර යාම ඉඩ නොදෙන්නට පියවර ගත් අවස්ථා ලෝක ඉතිහාසයේ බහුල ලෙසින් දකින්නට ඇත. කාලයාගේ ඇවෑමෙන් වෙනස් මතයක් ඉදිරිපත් කිරීම නිසා අයෙක් සිරගෙයි දැමීම හෝ මරණය නියම වීම වෙනුවට ඒ මතය ප්‍රකාශයට ඉඩදීමත්, අන්‍යයන් ඒ මතය විවේචනයට ඉදිරිපත්වීමත් දකින්නට ලැබුණි. එය මිනිස්කමේ හැදියාවක් හැටියට දැක්වුණි. එය මනස උසස් මිනිසුන්ගේ ස්ථාවරයක් බවට හැරුණි.

ලෝකයේ සමහර තැන්වල තවමත් ඊට ඉඩකඩක් දීම සිදුනොවේ.

ඒ තැන්වල දී පොදු මතය හැටියට රජය නිර්දේශ කරන ලද්දට විරුද්ධව ප්‍රසිද්ධියේ කිසිවක් කියන්නට පුරවැසියෙකුට අවසරයක් නැත. එය පෞද්ගලික මතය හැටියට ඒ ඒ පුද්ගලයන් සියල්ලන්ම විසින් පිළිගෙන ඇත්දැයි යන්න වෙනම කාරණයකි.

අයෙක් ලබාගන්නා තොරතුරු වලින් හැදෙන විශ්වාස අනුව ඒ අයගේ මතය ගොඩනැඟේ. පොදු මතයට පටහැනි දේ ගැන කතාබහ කරන්නට ඉඩක් නොලැබෙන සමාජයක අයෙකු ඉදිරියේ පවතින තොරතුරු ද සීමිත වූවකි.

ඉතින් අන් මතයට ගරු කළ යුතු යැයි කියද්දී, අපි මේ සීමිත තොරතුරු වලින් හදාගත් වැරදි මත වලටත් ගරු කළ යුතුද?

එසේම, යම් පුද්ගලයෙක් නොදැනුවත්කමට, එසේ නැත්නම් කම්මැලිකම නිසා තමන් හමුවේ පවතින තොරතුරු කිසිත් විමසා බැලීමකින් තොරව මේ මේ තොරතුරු නිසා යැයි කියමින් යම් වැරදි මතයක් ඉදිරිපත් කරද්දී, අපි එයට ගරු කළ යුතුද?

පෞද්ගලික අයිතිය සහ නිදහස අගයන අයෙක්, ඕනෑම පුද්ගලයෙකුට අමන, මෝඩ, වැරදි මතයක් අල්ලාගෙන ඉන්නට ඇති අයිතිය සහ නිදහස ද ආරක්ෂා කරදිය යුතුයි. එසේ නොකරන්නේ නම්, අපිත් වැටෙන්නේ අන්‍ය මතයට පටහැනි දේ කතාබහ කරන්නට ඉඩනොදෙන බලතණ්හාධිකයන්ගේ පහත් තත්වයටමයි.

අයෙකුට ඕනෑම අමන, මෝඩ, වැරදි මතයක් කියා පෑමට නිදහසක් ඇත. ඒත් එයාගේ මතයට අපි සවන් දිය යුතු යැයි කියන අයිතියක් එයාට නැත. එම මතයට අපේ ගෞරවය ලැබීමත් ඒ නිදහසේ අඩංගු නැත. එසේම ඒ මතය දක්වන්නට වේදිකාවක් හදා දීම හෝ ඒ මතය ප්‍රසිද්ධ කරන්නට අපේ සහාය ලබාදීම ද ඒ නිදහසේ අඩංගු නොවේ.

අපේ මත විවේචනය සඳහා ඔවුන්ට ඔවුන්ගේ තැනක දී ඇති ඉඩප්‍රස්ථාවට අපි බාධා නොකිරීම පමණක් සෑහේ. ඔවුන්ගේ මත විවේචනය සඳහා අපිට අපේ තැනක දී හැකියාව තිබුණ ද, ඔවුන්ගේ තැනේ දී ඊට අවස්ථාව ඉල්ලා සිටීම ඊට අඩංගු නොවේ.

ඉතින්, ශිෂ්ට ශිලාචාර මිනිසා අනුන්ගේ මත (හරි හෝ වැරදි වූවත්) කියා පෑමට ඔවුන්ට අයිතියක් ඇතැයි පිළිගනියි. ඒත් ඒ මත වලට තමන් ගරු කළ යුතු යැයි පිළිගන්නේ නැත.

අපි ගෞරව (respect) කළ යුත්තේ පුද්ගලත්වයට (person) සහ ඔහුට මතයක් දරන්නට අයිතියක් තිබීමට පමණි. එය අයෙක් දරන මතයට ගෞරව කිරීමෙන් සැබැවින්ම වෙනස් වූවකි.

තමන් එකඟ නොවෙන්නේ මන්දැයි පැහැදිලි කරද්දී, වෙනස් මතයක් දරන්නා දිගින් දිගටම “මේක මගේ මතය, ඒ නිසා එය හරි හෝ වැරදි යැයි ඔබට කීමට නොහැකියි,” යැයි කියන්නේ නම්, එවැන්නා විචාරයට සහ සංවාදයට නුහුරු අයෙකි.

ඕනෑම අයෙක් යම් මතයක් ඉදිරිපත් කරද්දී, තවත් ඕනෑම අයෙකුට ඒ මතය නිශ්ප්‍රභා (rebut) කරන්න ද නිදහසක් ඇතැයි පිළිගත යුතුය. ශිෂ්ට හැදියාව විය යුත්තේ එයයි. ගෞරව කළ යුත්තේ ඒ නිදහසට මිස “අන් මතයට” නොවේ.

වැරදි මතය ඇති වන්නට හේතු වූ වැරදි තොරතුරු පෙන්වා එය වැරදි මතයක් යැයි විචාරයට ඉඩක් නොලැබුන හොත් එහි දී දැනුම සහ සාමය ඇති නොවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: