අරුණි ශපීරෝ‍ වෙතින්

මයාමි නගරයේ ලිට්ල් හවානා නරඹන්නට ගියෙමි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 20, 2018

2018 මාර්තු 11 වැනිදා කියුබාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුණි. රාවුල් කැස්ත්‍රෝ රට පාලනයෙන් අයින් වීමට තීරණය කිරීමත් සමඟ ජනතා බලවේගයේ ජාතික මන්ත්‍රණ සභාවට සාමාජිකයන් 612 ක් තෝරාපත් කරගැනීම සඳහා විරුද්ධ පක්ෂයකට ඉඩක් නොදී එය පවත්වන ලදි. චන්දදායකයන්ගේ සහභාගීත්වය 82.9% ක් වූ බව කියුබා ජාතික මැතිවරණ කොමිසම වාර්තා කළහ. කියුබාවේ මී ළඟ ජනාධිපතිවරයා හැටියට කොමියුනිස්ට් පක්ෂයේ මිගෙල් දියාස්-කැනැල් පත්විය. පාලනය බාර වූ පුද්ගලයන් වෙනස් වූව ද, පාලන ක්‍රමයේ කිසිදු වෙනසක් සිදු වූයේ නැති බැවින් රටේ වෙනසක් ඇතිවේ යැයි සිතිය නොහැක.

ඒත්, ක්‍රමය වෙනස් තැනක, කියුබාවෙන් පළා ආ කියුබන් වැසියන් සිය ජීවිත යහපත් අතට වෙනස් කරගන්නට සමත් වූ බව පෙනී යයි.

කුමන ජාතිකත්වයකින් යුතු වූවත් කැමැත්තෙන් කරන මිනිස් ක්‍රියාකාරකම් සඳහා නිදහස් ඉඩකඩක් ලැබෙද්දී මිනිසා දක්ෂ ලෙසින් ස්වභාව ධර්මය හමුවේ ඇති බාධක ජයගන්නට සමත් වෙයි.

මයාමි ගුවන්තොටුපලේ දී හාවානා සිට පැමිණි මඟීන් රැගත් ගුවන් යානා පහක් පමණ දකින්නට ලැබීම සිත අතිශයෙන් සතුටට පත් කරවන්නක් විය.

අපව ගුවන්තොටුපලෙන් හිල්ටන් හෝටලය වෙත ගෙන ගිය අලුත්ම ලින්කන් කොන්ටිනෙන්ටල් රථයක් පැදවූ ඌබර් රියැදුරා නමින් ලෙනින් වූයේය. ඔහු ඉක්වදෝරයෙන් පැමිණියෙකි. ලිට්ල් හවානා නම් වූ ඉතා කුඩා ප්‍රදේශයේ වැඩිපුරම ඉන්නේ හිස්පැනික් හෙවත් දකුණු ඇමෙරිකාවෙන් ආ ස්පාඤ්ඤ බස කතාකරන අයයි. මෙහි වාසය කරනවුන් අතර පිටරට (දකුණු ඇමෙරිකන් රටවල) උපන් අය 70% කට වැඩියි.

සුළි සුළං ආපදා තත්වයට නිරතුරුවම මුහුණ දෙන්නට සිද්ධවීම නිසා ඵෛතිහාසිකව අද මයාමි නමින් හැඳින්වෙන මේ ප්‍රදේශය වාසස්ථානය සඳහා නුසුදුසු වූවක් ලෙසින් සැලකිණ. 1896 දී චන්ද 400 කින් එය නගරයක් වෙද්දී එහි ප්‍රධාන වාසීන් වූයේ එදා ලෝකයේ යන එන මං නැති ජනකොට්ඨාශයක් හැටියට සැලකුණ යුදෙව්වන්ය. මයාමි නගරයේ ව්‍යාපාර 16 න් 12 ක් අයිතිවූයේ යුදෙව්වන්ට බව කියැවේ. ඒත් යුදෙව්වන් සඳහා වූ සිවිල් හෝ ආගමික ආයතන කිසිවක් නොපැවතිණ. ඒවා ඉදි කිරීම සඳහා තරම් වූ යුදෙව් ජනගහණයක් එහි නොවීය.

1930-40 ගණන් වල දී (රජයේ මැදිහත්වීම් වර්ධනය වූ කාලයේ) මයාමි බීච් පැත්තේ උතුරු හා දකුණු වෙරළ පැතිවල නිවාස තැනීමට අවකාශය යුදෙව් නිසා ඔවුනට ඉඩකඩ නොලැබී යද්දී ඔවුන් මයාමි නගරාශ්‍රිතව තිබූ මේ ප්‍රදේශයට පිවිසුනහ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඒ පැත්තට ඇදී ආ යුදෙව්වන් සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වූහ. ඔවුන් සඳහා වූ ආගමික ස්ථාන, සිවිල් සංවිධාන ශාලා, හා පාසැල් ඉදිවෙන්නට පටන් ගති.

සංක්‍රමණිකයන් හා සරණාගතයන් ලෙසින් පැමිණෙන අය පාලන ක්‍රමය තුලින් ලැබෙන නිදහසෙන් ආර්ථික දියුණුවක් අත්පත් කරගනිද්දී වෙනත් පළාත් කරා ඇදෙති. යුදෙව්වන් වෙනත් පළාත් බලා යද්දී මේ පැත්ත කියුබාව අත්හැර එන අයගේ වාසස්ථාන බවට පත්විය. ඒ 1960 ගණන් වල දී ය. ඉතින් ඊට ලිට්ල් හවානා යන නම වැටිණ.

කියුබාව අත්හැර දා පැමිණි සරණාගතයන් දියුණු වෙමින් වෙනත් පැතිවලට ඇදී යද්දී, වර්තමානයේ සෑම ලතින් ඇමෙරිකන් රටකින්ම පාහේ පැමිණි අය මෙහි වාසය කරති. මයාමි නගරය ගැන සඳහන් කරද්දී, එය “ඇමෙරිකාවට සමීපතම නගරය” යැයි ලතින් ඇමෙරිකානුවන් විහිළුවට කියන බව දැනගන්නට ලැබුණි.

1960 ගණන් හි කියුබාව වෙනස් වූ නිසා අදත් සංචාරකයන් මෙහි ඇදී එන්නේ හවානා රස වින්ඳනයටයි. කියුබන් සංස්කෘතියේ රසාස්වාදය ෆිඩෙල්ගේ විප්ලවයට පෙර පැවති ආකාරයෙන් පිළිගැන්වීම ලිට්ල් හවානා පැත්තේ සංචාරක දර්ශනය වීම නිසා පළාතේ වාසය කරන අය කුමන සම්භවයකින් යුතු වුවත් එහි පිහිටන අවන්හල්, සංගීතය සහ කලා කටයුතු කියුබන් සංස්කෘතියකට මුල් තැනක් දෙයි.

මේ පැත්තේ පදිංචියට හෝ දීර්ඝ කාල වාසයට කැමැත්තේ නම් අනිවාර්යෙන්ම ස්පාඤ්ඤ බස දැන සිටීම අවශ්‍යයයි.

ඉස්සර ලංකාවේ කෑම කඩේ ඉස්සරහ පාරේ සිට මිල දී ගත හැකි ආප්ප විකුණන ලෙසින් පාරට විවෘත වූ කෝපි කඩ සහ ජූස් කඩ ඇත. එසේම එතැන දී ම පෙරා දෙන ගුරාපෝ guarapo පානය ද ඔවුන් විකුණති. එය කියුබන්ම වූවක් යැයි කියන කියුබන් අය බොහෝය. ඒත් එහි ප්‍රභවය අප්‍රිකාවෙන් පුරාතන රෝමයටත්, පසු කාලයක දී කැනරි දූපත් වලින් කියුබාවටත් එන ලද්දකි. අත් යන්ත්‍රයකින් උක් දඬු යුෂ පෙරන ක්‍රමය වසර 200 ක් පමණ පැරණි වූවකි. 20 වැනි සියවස දී ඊට අයිස් කැට එකතු වෙන්නට පටන් ගැනිණ. අතීතයේ දී පෙරන ලද ආකාරයෙන්ම අදත් උක් යුෂ හැදීම සිද්ධ වේ. ඒ නිසා කල්තබා ගත නොහැකියි. පෙරන උක් යුෂ වලට ලෙමන් යුෂ ඇබිත්තක් පමණක් එකතු කරනු ලබයි. සමහර අවස්ථාවක රම් එකතුවත් වෙතැයි අහන්නට ලැබුණි.

“පරණ රෙදි” යන අර්ථය ගෙනෙන Ropa Vieja නමින් හැඳින්වෙන හරක් මස් වෑංජනය හැදී තිබුණේ වියළි හරක් මස් තම්බා දෙපැත්තට ඇද තුනී කෑලි කඩා උයන ලද ආහාරයකටයි. සීතකරණ නොමැති යුගයේ වියළි මස් අනුභවය නිසා බිහිවුණු ඒ ආහාරය තවමත් කියුබන් අය අතර ජනප්‍රිය වූවක් බව දැනගන්නට ලැබුණි.

තම්බන ලද මඤ්ඤොක්කා ඔවුන්ගේ ප්‍රධාන ආහාරයකි. ඔලිව් තෙල්, රතු ළුණූ, සුදු ළුණූ, සහ ලෙමන් යුෂ දමා රත් කරගත් එකතුව තම්බන ලද මඤ්ඤොක්කා උඩින් වත්කර ආහාරයට ගැනේ.

බත් සමඟ බෝංචි ඇට වර්ග එකතු කර පිළිගැන්වීම සාමාන්‍යයකි. සුදු බත් වලට කළු බෝංචි ඇට එකතු කර හදන කියුබන් බත් පිඟාන ඔවුන් මොරොස් රයිස් (moros =moor) යැයි හඳුන්වති. ශේක්ස්පියර්ගේ ඔතෙලෝ කියවා ඇත්නම් කළු හමැති මුස්ලිම් අයව යුරෝපීයයන් එසේ හැඳින්වූ බව ඔබට සිහිවනු ඇත.

පළාතේ ඉතිහාසය සහ වර්තමානය ගැන කියමින් සහ ඒ ඒ දේවල් රස බලමින්, රටේ වෙනත් පැතිවලින් මෙන්ම විදේශ රටවල් වලින් ද එන සංචාරකයන්ව කණ්ඩායම් හැටියට එහා මෙහා ගෙන යන ටුවර් ද ලිට්ල් හවානා හි දකින්නට ඇත.

4 Responses

Subscribe to comments with RSS.

  1. දම්සිරි said, on මාර්තු 20, 2018 at 8:00 ප.ව.

    රසවත්…
    ස්තුතියි!

  2. Lakmal Kandevidane said, on මාර්තු 21, 2018 at 2:35 ප.ව.

    වේලපු ගෝන මස් කාල තියනවා නේද , අන්න ඒ වාගේ තමයි හරක්මස් වේලපුවහම , අර ඉස්සර ආච්චිලා කරවල බදින්නේ ළුණු නොදා , අන්න එහෙම හදන්න ඕන , හැබැයි … බැදුම හදන්න කලින් හෝදපු මස්තීරු පොඩියට කපලා වතුරේ ගිල්ලවලා පොගවලා ගන්න ඕන , එහෙ ගත්තා උනත් හරි හයියයි … වරුවක් යනවා හපන්න … හැබැයි උනු බත් මරතහැකි

  3. krishramanayaka71 said, on මාර්තු 22, 2018 at 10:55 ප.ව.

    කෙහෙල් කොලේ තම්බපු ඌරුමස් කියුබන් ස්පෙෂල් කියල අහල තියෙනව. ලිට්ල් හවානා වල තිබ්බෙ නැත්ද ?

    • arunishapiro said, on මාර්තු 23, 2018 at 10:26 ප.ව.

      krishramanayaka71,

      දැක්කෙ නම් නැහැ. ඒත් තියෙන්න ඇති. ස්පාඤ්ඤ බස නොදන්න නිසා ගොඩක් දේවල් මිස් වෙනවත මේ පැත්තෙ වාසයට එනවා නම් ස්පාඤ්ඤ දැන සිටීම කළ යුතුමයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: