අරුණි ශපීරෝ‍ වෙතින්

දැන් බැනල වැඩක් නෑ

Posted in Uncategorized by arunishapiro on මාර්තු 25, 2018

මයාමි නගරයේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙන අතරතුරේ අධි වේගයෙන් කරන සංචාරක දින දෙකක් ගෙවා ඊ ළඟ සන්ධ්‍යාවේ ආපසු යෑමට අප සූදානමින් සිටියෙමු. සම්මන්ත්‍රණය අති සාර්ථක වූ බව එයට සහභාගී වූ සුදු අප්පුහාමි කීවේය. මයාමි විවෘත ටෙනිස් තරඟාවලිය බලන්නටත්, ලිට්ල් හාවානා රස විඳින්නටත්, එවර්ග්ලේඩ්ස් වන රක්ෂිතයේ එයාර්බෝට් සවාරියක් යන්නටත් මම සමත්වීමි. දින දෙක ගෙවී ගියේ අපේක්ෂා කළ සියල්ල ඒ ආකාරයෙන්ම සිද්ධ වෙද්දී ය.

ඒත් ගමන්මළුත් බාර දී පිටවන ගේට්ටුවේ රැඳී සිටිය දී සුදු අප්පුහාමි බඩ රිදෙනවා ආපහු ගෙදර යන ගමන යන්න බැහැ යැයි පැවසීය. ශාරීරික වේදනාවක් ගැන කිසි විටෙක පැමිණිලි නොකරන අයෙක් එවැනි තීරණයක් ගැනීම සෑහෙන්න කලබල විය යුතු අවස්ථාවකි. ඒත් කළින් දින දෙක තුල දී ඔහු සාමාන්‍යයෙන් නොකන කෑම වර්ග, එනම් අලිගැට පේර, රතු සහ කළු බෝංචි ඇට යුතු බත් යනාදී කියුබන් ආහාරවල රස බැලූ නිසා මම සිතුවේ ආහාර විෂ වීමක් හෝ අජීර්ණයක් වෙන්නැති කියායි.

අප ගමන සම්පූර්ණ නොකරන බව එයාර්ලයින් සේවකයන්ට කියද්දී ඒත් අපේ ගමන්මළු ඒ වෙද්දී ඔවුනට බාර දී ඇති නිසා ඒවා අපේ ගමනාන්තයට යනු ඇතැයි ඔව්හු දැනුම් දුන්හ. ෆේස්බුක් වලින් දැක්කේ නිතර ෆිලඩෙල්ෆියා හරහා ගුවන් ගමනේ යෙදෙන උදිත සේනාරත්න මල්ලී තව පැය කිහිපයකින් එහි පිවිසෙන බවයි. ගමන්මළු ආපහු එවන්නට කටයුතු කළ හැකිදැයි විමසා ඔහුට පණිවිඩයක් යවන්නට සිතා ගත්ත ද ඊ ළඟට ඉක්මණින් ඇති වූ තත්වයන් නිසා එය අමතක විය.

සුදු අප්පුහාමි ඌබර් රථයක් ඇප් එකෙන් කැඳවා ළඟම ඇති හිල්ටන් හෝටලය ඉල්ලද්දී පවා මම රෝහලක් ගැන සිතුවේ නැත. ඒත් හෝටලයේ පැය කිහිපයක් ඇඳක වැතිර සිටිය ද වේදනාව වැඩි වෙනවා මිසෙක අඩු වෙන්නේ නැතැයි කියූ ඔහු රෝහලකට යන්නට තීරණය කළේය. නැවතත් ඌබර් රථයක් ගෙන්වා ගෙන අපි ළඟම ඇති රෝහලට ගියෙමු.

ඇතුල් කරගැනීමේ පෝරම පුරවා පැය භාගයක් පමණ යද්දී ඔහුගේ ලේ පරීක්ෂණ, ආමාශයේ කැට්-ස්කෑන් සහ අල්ට්‍රා සවුන්ඩ් ගැනීම යනාදිය පටන් ගැනිණ. ඒ ඒ වාර්තා පැමිණෙන්නට පටන් ගනිද්දී ඔහු ඇවිද යෑමෙන් රෝද පුටුවකටත් අනතුරුව රෝද ඇඳකටත් මාරු වී සිටියේය.

පිත්තාශය ඉවත් කරන්නට හදිසි සැත්කමක් කළ යුතු යැයි වෛද්‍යවරිය පවසද්දී රාත්‍රී 12 පමණ වී තිබිණ. හේතුව හඳුනාගත් වහාම බඩේ රිදිල්ල සඳහා වේදනා නාශකයක් ද, සේලයින් වලට අනතුරුව ඇන්ටිබයොටික් ඩ්‍රිප් එකක් ද පටන් ගෙන සැත්කම සඳහා ඔහුව සූදානම් කිරීම පටන් ගැනිණ. ඒ ගැන වූ සෑම පියවරක්ම අපට පැහැදිලි කරද්දී මේ වේදනාව හදිසියේ ඇති වන්නක් නොවන බව මට දැනගන්නට ලැබුණි.

දැඩි වේදනාවක් දරාගැනීමට ශක්තියක් ඇති අයෙකු මුහුණ දිය හැකි ලොකු අවදානමකට ඔහු මුහුණ දී සිටින බව දකිද්දී දැන් බැනල වැඩක් නෑ යැයි මට වැටහුණි. ශරීරය රිදුම් දීම මඟින් කරන්නේ අනතුරු ඇඟවීමක් බව ඉගෙන ගත් අයෙකුට ඒ ගැන මතක් කර බැනීමෙන් ඵලක් නැත. ඒ ඇයිදැයි සොයා බැලීම වැඩ අධික යැයි කියා කල් දැමීම අනුවණ හැදියාවක් බව ඔප්පු වෙද්දී ඒ ගැන තවත් කතාබහ කිරීම කාලය නාස්තියකි. වේදනා නාශක බෙහෙත් වැඩ කරන්නට පටන් ගත් පසුව මේ නිසා මට තනිවම මුහුණ දෙන්නට සිදුව ඇති කරදරකාරී තත්වය ගැන සමාව ඉල්ලද්දී කොහොම බනින්න ද?

හෝටල් කාමරය වෙන්කර ගෙන තිබුණ ද, එදා රාත්‍රිය ගෙවී ගියේ හදිසි අනතුරු වාට්ටුවේ ය. පාසැල් නිවාඩු සතියක් වීමත්, මයාමි ටෙනිස් විවෘත තරඟාවලියත් සහ දැවැන්ත සංගීත උත්සවයක් ද යෙදී ඇති නිසාත්, සාමාන්‍යයෙන් සංචාරකයන් බහුල මයාමි නගරයේ හෝටල් කාමර මේ දිනවල පිරී ඉතිරී තිබේ. ඊ ළඟ දින කිහිපය සඳහා රෝහල අවටින් මට හෝටල් කාමරයක් හොයා දෙන්නට හෙදියන් පිරිසක් දැඩි සේ වෙහෙසුනහ. කාමරයක් ලැබුණේ නැත්නම් රෝගියා සමඟ ඒ කාමරයේ රාත්‍රිය ගෙවන්නට පුළුවනැයි ඔවුන් කීහ. එසේම මූණ කට සෝදා ගන්නට නාන කාමර ඇතැයි ද, සැත්කමට සූදානම් වූ සුදු අප්පුහාමිට කෑම බීමට අවසර නැති වුවත්, මට බඩගිනිදැයි අසමින් සැන්විච් ගෙනැත් දෙන්නටදැයි කියාත් ඔවුන් ඇසූහ. ඒ සියල්ල සිද්ධ වූයේ එහි පිරී සිටි අනෙකුත් රෝගීන් සහ ඥාතීන් සියල්ලන්ටම ඉතා කරුණාවෙන් කතාබහ කරමින් සේවා සපයන අතරතුරේ දී ය. ඔවුන්ගේ සැලකිලි මට කියා විශේෂයෙන් කළ දේ නොවේ.

ඒ වෙද්දී සුදු අප්පුහාමි සහභාගී වූ සම්මන්ත්‍රණයට ලෝකයේ නන් දෙසින් පැමිණි 300 කට අධික පිරිස තම තමන් ආ රටවල් බලා පිටත්ව ගිහින් තිබිණ. මයාමි නගරයේ අපි දන්නා හඳුනන කිසිවෙක් නැත. හෝටලයක කාමරයක් වෙන් කරවා ගනිද්දී, කාන්තාවක් තනිවම ආවා යැයි කිසිවෙක් ඒ දිහා අමුතු විදියකට කිසිවෙකු බැලුවේ නැත. ගමන්මළු ගැන විමසන්නට තනිවම මහ රාත්‍රියේ ආපහු එයාර්පෝට් යද්දී ඌබර් රියැදුරන් ඉතා විනීතව හැසිරුනහ.

ගමන්මළු ආපහු එන තෙක් අඳින්නට අලුතින් ඇඳුම් දෙක තුනක් ගැනීමටත්, සැත්කමෙන් පසු රෝහලෙන් යන සුදු අප්පුහාමිට අවශ්‍ය බෙහෙත් පාමසියකින් පුරවා ගැනීමටත් යනාදී සියල්ල මෙන්ම සැත්කම වෙද්දී එතැන සිටින්නටත් හැකියාව ලැබුනේ මයාමි නගරය සංචාරකයන් වෙනුවෙන් හැකි පහසුකම් සියල්ල සපයන නගරයක් බව ඔප්පු කරමිනි.

මයාමි නගරයේ වැඩිපුර භාවිතා වෙන භාෂාව ලතින් ඇමෙරිකන් ස්පාඤ්ඤ වේ. ඉඳහිටක ඉංග්‍රීසි නොදත් අයෙක් සිටිය ද, බොහෝ අය භාෂා දෙකෙන්ම කතා කරති. එකම සංවාදය තුල මාරුවෙන් මාරුවට භාෂා දෙකම යොදා ගැනීම ඔවුන් සතුව ඇති සුවිශේෂී හැදියාවකි. එය සිංහලෙන් කතා කරද්දී ඉංග්‍රීසි වචන යොදා ගැනීම හා සමාන නොවේ. ඔවුන් ස්පාඤ්ඤ බසින් කතා කර කර සිටිය දී ඉංග්‍රීසියට මාරු වී සංවාදය ගෙන ගොස් ඉතා සීරුවට නැවතත් සම්පූර්ණයෙන්ම ස්පාඤ්ඤ වලින් කතා බහ කිරීමට මාරු වෙති.

එසේම ඩෙලවෙයාර් රෝහල්වල මෙන් ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම සෑම සංඥාවක්ම දිස්වූයේ නැත. ස්පාඤ්ඤ බස් හුරුව දායාද වූ බහුතරය සේවය කළ රෝහලේ සංඥා සියල්ලම පාහේ වූයේ ඉංග්‍රීසි බසිනි. රෝගීන්ට පැහැදිලි කරද්දී කළ යුත්තේ කුමන භාෂාවෙන්දැයි අසා ඒ අනුව විස්තර කිරීම සිද්ධ වේ.

උණ බැලීම සිට ගත් සෑම පියවරක්ම කරන්නට පෙර ඔවුන් කරන්නේ කුමක්දැයි නැවත නැවතත් කියති. ඔවුන්ගේ හැඳුනුම්පත ස්කෑන් කර අනතුරුව රෝගියාගේ ඇතුල්කිරීමේ අත්පටියේ තොරතුරු ස්කෑන් කිරීම සෑම පියවරක දී ම සිද්ධ වේ.

ඇතුල් වූ අවස්ථාවේ සිට කළ කී සෑම පියවරක් ගැනම මෙන්ම සැත්කම ගැනත් අපට සපයන ලද දැනුම කොතරම් දැයි කිවහොත් වේදනා නාශක නිසා රිදිල්ල අමතක වූ මොහොතක, දැන් සැත්කම කරන්න ඔයාට පුළුවන් යැයි සුදු අප්පුහාමි කීය. වේදනා නාශක ඖෂධ ක්‍රියාකාරී වෙද්දී කරන්න බැරි දේවල් කරන්න හැකි යැයි සිතෙන එක සාමාන්‍යය වුවත්, අනුන්ට කරන්න බැරි දේවල් කරත හැකි යැයි සිතෙන්නේ ඔහුට පමණක් යැයි මම කීවෙමි.

සැත්කම පටන් ගන්නට පෙර එයට සූදානම් කළ හෙදියන් දෙදෙනා, එයට සහභාගී වන හෙදිය සහ සහායක හෙදිය, නිර්වින්දනය බාර වූ වෛද්‍යවරුන් දෙදෙනා, සහ සැත්කම කළ වෛද්‍යවරයා යන සියල්ලන්ම තමන් කවුදැයි කියා හඳුන්වා දෙමින් “අද කරන්නේ කුමන සැත්කමක්දැයි කියා ඔබේ වචන වලින් කියන්න,” යැයි මුලින්ම පැවසූහ. අනතුරුව ඒ ඒ අය කරන කටයුත්ත කුමක්දැයි විස්තරාත්මකව කියා, ඒ ගැන අහන්න ප්‍රශ්න ඇත්දැයි විමසූහ. කළින් කිව්වා ලෙසින් ඒ වෙද්දී අපට අහන්න ප්‍රශ්න කිසිවක් ඉතිරි වී නොතිබිණ.

ශෛල්‍යාගාරයට ඔහුව ගෙන ගිය පසු ඥාතීන්ට සහ හිතවතුන්ට රැඳී සිටිය හැකි විවේකාගාරයට මා ගියෙමි. එහි පුවරුවක සැත්කම කුමන අවස්ථාවක ඇතැයි ද කියා සඳහන් වේ. ඒ ඒ රෝගියාට ලැබෙන විශේෂ අංකය සහ සැත්කම කරන වෛද්‍යවරයාගේ නමින් විස්තරය දැක්වෙන්නේ රෝගියාගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා ය. සැත්කම දැන් පටන් ගන්නවා යැයි හෙදියක් විවේකාගාරයේ දුරකතනයට අමතා කීය. මිනිත්තු 50 කට පමණ පසුව වෛද්‍යවරයා මා අමතා සැත්කම සාර්ථක වූවා යැයි පැවසුවේ මෙයා මෙච්චර වේදනාවක් විඳගෙන ඉන්නෙ නැතිව මීට ගොඩක් කළින් මේ සැත්කම කරගන්න තිබුණා යැයි නෝක්කඩු කියමිනි.

ඒ ගැන දැන් බැනල වැඩක් නැහැ යැයි මම මට මතක් කරගත්තෙමි.

සෙනසුරාදා සවස එක ගමන්මළුවක් ද, ඉරිදා උදේ අනෙක් ගමන් මල්ල ද ආපසු මයාමි වලට ගෙන්වා ගන්නට මම සමත් වීමි. ඉතින් උදිත සේනාරත්න මල්ලී ඇතුළු උදව් කරන්නට මා ඇමතූ සියල්ලන්ටම මගේ හදපිරි ස්තූතිය.

දැන් හෝටලයේ රැඳී සිට, හෙට (සඳුදා) දොස්තර අමතා ඔහු හමුවන්නට වේලාවක් යොදාගෙන සැත්කමෙන් පසු අතුරු ප්‍රශ්න කිසිවක් නැතැයි තහවුරු කරගෙන, ආපහු ගුවන් ගමනේ යෙදෙන්නට සුදුසුදැයි අවසර ලබාගෙන හැකි ඉක්මණින් ආපසු යන්නට අපි අපේක්ෂා කරමු.

මගේ බ්ලොග් සටහන් කියවන අය නොබෙල් ත්‍යාගය හිමි වූ ආචාර්ය නිගීෂී ගැන ද අසා ඇත. ඔහුගේ භාර්යාව මාර්තු 13 අභාව ප්‍රාප්ත වීමත් සමඟ මේ වෙද්දී ඔහුගේ මතකය ඉතා දුර්වල තත්වයකට වැටී ඇති බව අද දැනගන්නට ලැබුණි. සතුටු දේවල් සමඟ දුක දැනෙන අවස්ථාවන් ද එකිනෙකා සමඟ බෙදා හදාගන්නට හැකියාව මිනිස් සත්වයන් වූ නිසාම අප සතු විශේෂ ලක්ෂණයකි.

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. deshakaya said, on මාර්තු 25, 2018 at 12:31 ප.ව.

    ඉක්මනින් ගමරට යන්න අවස්ථාව ලැබේවා. මේ රෝග තත්වයට හේතුව මොකකද?

    • arunishapiro said, on මාර්තු 25, 2018 at 1:04 ප.ව.

      deshakaya,

      ස්තූතියි. ආහාර දිරවන්න අවශ්‍ය පිත ආමාශයට යවන ඒ සඳහා අවශ්‍ය සාන්ද්‍ර, මේද සහ කොලෙස්ටරෝල් එකතු කරල තියන තැනලු මේක. ඒ හා ආශ්‍රිත විවිධ ආසාදිත තත්වයන් ඇතිවෙන හේතු කියන්න හරියටම දන්නෙ නැති වගයි කියන්නෙ. සමහර අයට ජානගතව හැදෙන තත්වයක්. සමහර අයට ඒකෙ කැට (stones) හැදිලා ගොඩක් කාලයක් තියෙනවලු ඔවුන් නොදැනම. සමහර අයට වේදනාව තියනවාලු කැට නොවූවත්. මෙයාට ඒක කාලයක් තිස්සෙ තිබිල. වේදනාවත් තිබ්බ බව දැනුයි කියන්නෙ. පිත ගලා එන නාලය හිරවෙන්න පටන් ගෙන. ඒ නිසා ඇතිවෙන infection එක පැතිරිලා ගියා නම් මරණය සිද්ධ වෙනවලු. බඩේ කුහර පහක් ඇරලා ඒවයෙන් තමයි හිරවෙච්ච නිසා ආසාදිත වූ පිත්තාශය එළියට අරන් තියෙන්නෙ.

  2. Chandi said, on මාර්තු 25, 2018 at 9:57 ප.ව.

    ඉක්මනින් සුව වේවා! තෙරුවන් සරණයි !

  3. ඔහුට ඉක්මන් සුවය පතමි.
    ලෙඩට බේත් ගැනීම කල් දැමීමට ලොව පුරා පිරිමින් අති දක්‍ෂයින් ය.

  4. Lanka Buwa said, on මාර්තු 26, 2018 at 1:21 පෙ.ව.

    Get well soon…

  5. mppgunasinghe said, on මාර්තු 26, 2018 at 1:37 පෙ.ව.

    ඉක්මණින් සම්පූර්ණ සුවය ලැබේවා!

  6. Rohana Priya Susantha Ranasinghe said, on මාර්තු 26, 2018 at 2:20 පෙ.ව.

    අරුණි අක්කාට සිතේ සහනයත්, අයියාට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරමි……….!

  7. Ashoka said, on මාර්තු 26, 2018 at 3:05 පෙ.ව.

    අගෙයි.ඔබ ලියන බොහෝ දේ මම කියවනවා.රසවත් වගේම ජීවිතය පිළිබද දැක්ම වැදගත්.

  8. krishramanayaka71 said, on මාර්තු 27, 2018 at 12:23 පෙ.ව.

    දැන් මහත්තයට සුවයි නෙ නේද අක්ක. !!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

%d bloggers like this: