එවර්ග්ලේඩ් වනරක්ෂිතයේ එයාර්බෝට් ගමන
ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සංචාරයට යන අයෙක් එවර්ග්ලේඩ්ස් නමින් වූ වනජීවි රක්ෂිතය නැරඹීම අතපසු නොකරයි. වගුරු බිම් වලින් යුතු අක්කර මිලියන 1.5 ක විශාල ප්‍රදේශය ගුවනින් එන්නේ නම් කදිමට දැකගත හැකි වූවකි. කඬොල් ගස් පිරුණු දූපත් හරි හැටියට පාර නොදැන යන අයව අතරමං කරන්නට සමත් වෙන්නේ රක්ෂිතයේ මැද්දට යද්දී මොබයිල් දුරකතන වලට සේවය නොමැති වීම නිසා GPS වැඩ නොකරද්දී ය.
නිවර්තන සහ උප නිවර්තන දේශගුණයක් පවතින මෙම වනජීවි රක්ෂිතයේ ඇමෙරිකන් crocodile සහ ඇමෙරිකන් alligator යන කිඹුල්ලු දෙවර්ගයම දකින්නට ලැබීම සාමාන්‍යයකි. අව්ව තපින කිඹුලන් මඩ හා කඬොල් ගස් අතර සිට හිමිහිට වතුරට ඇදෙන හැටි මෙන්ම සංචාරකයන් නිතර යන පැතිවල ඔවුන් උන් තැන්වලින් නොසෙල්වී සංචාරකයන්ව නරඹන හැටි ද දකින්නට හැකියි. වැඩියෙන්ම සංචාරක අවධානය දිනාගන්නට සමත් වෙන්නේ කිඹුලන් වූවත් එහි විවිධ පැහැයෙන් යුතු ලොකු කුඩා කුරුල්ලන්, සමනලයන් සහ ඉබ්බන් ද පහසුවෙන් දකින්නට ලැබේ. එමෙන්ම මකුළුවන්, මාළු සහ නයි වර්ගයන් ද බොහෝ වෙති.
ගිම්හානයේ දී එහි යන්නේ නම් මදුරුවන්ගෙන් බේරීමට උපක්‍රම යොදාගත යුතුයි. හේමන්තය ඉවර වෙමින් යන මේ කාලයේ දී එකම මදුරුවෙක් හෝ නොදුටුවෙමි.
වනජීවි රක්ෂිතය නරඹන්නට කැමති සංචාරකයන් සඳහා ඇති පහසුකම් බොහොමයකි. ඒ සඳහා ඉදිකරන ලද නවාතැන් පහසුකම් මෙන්ම ඔරු යනාදියත් කුලියට ගත හැකියි. තමන්ගේම කූඩාරම් ගසාගෙන තමන්ගේම ඔරු වලින් එහා මෙහා යන්නට ද අවසර ඇති තැන් බොහොමයකි.
කෙටි කාලයක දී නරඹන්නට යන අයෙකුට සුදුසුම වූ ක්‍රමය එයාර්බෝට් සංචාරයකි. ඒ සඳහා සේවය සපයන බොහෝ ස්ථාන වෙති. ඒවායේ වැඩි වැදගත්කමක් දෙන්නේ සංචාරකයන්ට සමරු තිළිණ සහ ආහාර පාන විකුණාගන්නට ද, එතැන රඳවා ඇති කිඹුල් සංදර්ශන පෙන්වීමට ද, නැත්නම් වගුරු බිම නරඹන ගමනටදැයි එතැනට යාමට පෙර සොයා බැලිය යුත්තකි. වගුරු බිමේ විඳින ස්වභාව ධර්මයේ රසාස්වාදයට වැඩියෙන් කිඹුල් සංදර්ශන වලට කැමති අය ද සිටිති.
බෝට්ටු ඇන්ජිමකින් හෝ රුවලකින් නොව ගුවන්යානා හෝ රථවාහන ඇන්ජිමකින් බලය ලබාගෙන අවරපෙති කඳ (propeller) වලින් දුවන එයාර්බෝට් සහ ෆෑන්බෝට් යන නම් වලින් හැඳින්වෙන පැතලි පතුලකින් වූවකි. මෙයාකාරයෙන් මුලින්ම බෝට්ටු හදන්න සමත් වූයේ 1943 දී සෙසිල් විලියම්ස්, ලියෝ යන්ග් සහ ජී. හෝටින් ජෙන්සන් නැමති යූටාහ් ප්‍රාන්තයේ අය වෙතැයි කියැවේ. ගංඟා සහ ජලාශ ආශ්රිත වනජීවි රක්ෂිතයන්හි සංක්‍රමණික කුරුල්ලන්ගේ සහ වෙනත් සත්ව ජීවින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඒ බෝට්ටු උපදින ලදි.
ඒ බෝට්ටුවකට වේගයෙන් යා හැකියි. වගුරු බිම්වල හැදෙන විවිධ තණකොළ වර්ග සහ ජලජ පැළෑටි මතින් ඇදී ගියත් බෝට්ටුව නිසා ඒවාට කිසිත් හානියක් සිද්ධ නොවේ. කන්වල ආරක්ෂාව සඳහා earplugs දමාගත්ත ද ඒත් ඇහෙන කන දෙදරවන සද්දය නොවේ නම් ගමන වඩාත් ප්‍රියජනක වනු නිසැකයි. නිස්කලංක වූ වගුරබිම් මැදක බෝට්ටුව නවතා අවට පිංතූර ගැනීමට ඉඩදුන්න ද ඒ කාලය තව දීර්ඝ වෙනවා නම් හොඳ යැයි පරිසර හිතකාමී ඕනෑම අයෙකුට සිතෙනු ඇත.
විසි තිස් දෙනෙකුට යා හැකි ලොකු එයාර්බෝට්ටුවක ඡායාරූප ගන්නට කැමති අයෙකුට නම් හිඳගන්නට සුදුසුම ස්ථානය එහි මුල් පේලියේ කොනක් අල්ලා ගැනීමයි. ෆෑන් එකත් ඇන්ජිමත් තියෙන්නේ බෝට්ටුව පිටුපස නිසා පසුපස ආසනයක දී සද්දය තවත් වැඩියි.
දෙතුන් දෙනෙකුට යා හැකි එයාර්බෝට් වැඩියෙන් යොදාගැනෙන්නේ මාළු අල්ලන සංචාරයන්ට සහභාගී වෙන අය සඳහා ය. ඒවා කෙටි කාලයකට කුලියට ගැනීමට අපහසු වේ. අඩුම වශයෙන් පැය 4 ක් වත් වෙන් කරවා ගැනීම අවශ්‍යයයි.
වතුරෙන් එළියට එන ලෙසින් යාන්තමට පෙනෙන ඇස් හා නාස් පුඬු ඇති කිඹුලෙක් දුටු විට හොඳ බෝට්ටු පදවන්නෙක් නම් බෝට්ටුව නවතා සංචාරකයන්ට ඡායාරූප ගන්නට අවස්ථාව ලබා දෙයි. කිඹුලා උපතින් පසු ලොකු වීම නැවතෙන්නේ නැති සත්වයෙක් යන්න මිථ්‍යාවකි. වැඩිවියට පැමිණෙද්දී වර්ධනය බාල වෙන කිඹුලන්ගේ දත් වැටීම සහ ඇස් වල කැටරැක්ට් හැදීම සාමාන්‍යයකි. ආහාර අල්ලා ගැනීම දුෂ්කර වෙද්දී උන් හාමතෙන් මිය යති.
මමත් 2000 වසරේදී එවර්ග්ලෙඩ්ස්හි සවාරියක් ගියා. ඒ කාලේ එහි කඩදාසි පල්ප් වලින් හදපු පාරවල් කරු මත පිහිටා තිබුණා. ඒවා එකවර මිනිසුන් සියගණනක බර දරාගැනීමට තරම් ශක්තිමත්. https://wanni.wordpress.com/2007/06/17/wanni-in-miami-usa-at-leisure-in-miami/#more-85
ඇත්තටම මටනම් එවර්ග්ලෙඩ්ස් අමුතු අපූර්වත්වයක් දැනුණේ නැත්තේ එවර්ග්ලෙඩ්ස් වල තිබෙන බොහෝ ශාකවර්ග, කුරුලුවර්ග මහවිලච්චිය වටා ඇති වගුරුබිම්වලද දැක ඇති නිසාත්, කිඹුල් තඩියන්ද ගමේ වැව්වලදී දැක ඇති නිසාත් වෙන්න ඇති. (මට මතක හැටියට ඇලිගේටර් ගොවිපළවල්ද මේ අවට තිබුණා.)
බොහොමයක් හොලිවුඩ් චිත්‍රපටවලදී මිනිසුන් මරා නැවත සොයාගැනීමට නොහැකි ලෙස සදාකාලිකව සැඟවීමට හොඳ තැනක් ලෙසද එවර්ග්ලෙඩ්ස් පෙන්වනවා. ඇලිගේටරයෙක්ගේ බඩට ගිය මිනියක් නැවත හොයාගන්නවා බොරු.
ඔව් ලංකාවෙ කෙනෙකුට ලොකු වෙනසක් නෑ. මයාමි අවටත් ගොඩක් ලංකාව වගේ. නිවර්තන දේශගුණය නිසා තමයි.