අරුණි ශපීරෝ‍ වෙතින්

වයිස් නගරයේ සිරි අසිරිය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 26, 2018

මම මයාමි නගරය මුලින්ම දැක්කේ දොන් ජොන්සන් (සනී) සහ පිලිප් මයිකල් තෝමස් (රීකෝ) රඟපෑ “මයාමි වයිස්” (1984-1989) වලින්.

‘වයිස් නගරය’ අදත් සුපිරි වේගවත් වාහන හා අපූරු විලාසිතා හැඳගත් අය ගැවසෙන්නකි. ගුවන් තොටුපලේ දී රථවාහන පාලනයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මාසරාටියක් නිසා පමණින් වරදක් නොකළත් ටිකට් එකක් දිය යුතු යැයි විහිළු කරනවා අසා සිටියෙමි. අපි එක්කම හෝටලයෙන් එළියට පැමිණි දිළිසෙන පටි කිහිපයකින් පමණක් විලිවසාගත් රූමත් ලතින් කෙල්ලන් දෙදෙනාව සුදු අප්පුහාමි නොදැක්කේ මන්දැයි දැන් දන්නෙමි.

සෑම මාර්තු මාසයක දී ම මයාමි හි පැවැත්වෙන අල්ට්‍රා (ULTRA) 1999 දී පටන් ගත් ඉලෙක්ට්‍රොනික් සංගීත උත්සවයකි. ඊයේ අවසන් වූ එයට රටවල් 60 කින් පැමිණි 165,000 ක පිරිසක් සහභාගී වූවා යැයි ද එහි ටිකට් පත්‍ර මිනිත්තු 5 ක දී විකිණී අවසන් වූ බවත් පුවත්පත් වාර්තාවකින් කියැවීමි. පැය 26 ක් පුරා සිද්ධ වූ එහි සජීවී වාර්තාකරණය මිලියන 7.5 ක පිරිසක් නරඹා ඇතැයි ද කියැවේ. අර දිළිසෙන තුනී පටි වලින් සැරසී ගත් ලතින් කෙල්ලන් ඊට සහභාගී වන්නට ගිය අය බවට සැකයක් නැත. ඒ සඳහා වේදිකාව අති විශාල වූවකි. එයට යොදා තිබූ ලයිට් ෂෝ නම් මීමැස් මොරය වැනි තත්වයන් ඇති අයට කෙසේවත් සුදුසු නොවේ. සම්මන්ත්‍රණයට පැමිණි අය රැගත් සංචාරක බස් රථය එය පිහිටි ස්ථානය ළඟින් යද්දී එයට රොක් වී සිටි අති විශාල ජනකාය දැකගත හැකි විය. ඒත් මයාමි නගරය එවැනි උත්සව වලට අවශ්‍ය නිසි පහසුකම් සපයන නගරයක් බව ඔප්පු වූයේ ඒ නිසා හටගත් මාර්ග අවහිරයන් කිසිවක් සිද්ධ නොවූ නිසයි.

වයිස් නගරයේ මේ සති අන්තයේ අත් අඩංගුවට ගැනීම් 35 ක් සිදු වී ඇත. එය පසුගිය වසරේ අල්ට්‍රා සති අන්තයට වඩා 50% කින් අඩු වී ඇතැයි මයාමි හැරල්ඩ් පුවත්පත කියයි. ගහක් යට බිම හිඳගෙන සුරුට්ටුවක් බොන වයසක මනුස්සයෙක් හා කතාබහ කළ පොලිස් කාන්තාවක් මම දැක්කෙමි. ගුවන් තොටුපලේ දී මාසරාටියක් නිසා පමණින් වරදක් නොකළ ද ටිකට් එකක් දිය යුතු යැයි කියා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විහිළු කරනවා අසා සිටියෙමි.

සනී සහ රීකෝ පාර අයිනෙන් මිල දී ගත් ආහාරපාන මෙන්ම ඔවුන් අවන්හල් වලින් ඇණවුම් කළ ආහාර පාන බොහෝ විට කියුබන් නම් වලින් යුතු වූවා යැයි මතකයි. ඒ පැයක දී ගුවන්යානා 5-6 ක් කියුබාවෙන් එන බව ගුවන් තොටුපල පුවරු මඟින් දකින්නට හැකි වීමට පෙර කාලයේ දී ය. කියුබන් ආහාර පාන සහ කියුබන් කෝපි හැම තැනකම දකින්නට ලැබෙන්නේ එය මයාමි නගරවාසීන්ගේ පමණක් නොව එහි ඇදී එන සංචාරකයන්ගේ ද ප්‍රියතම තෝරාගැනීම් වීම නිසයි.

ඇමෙරිකාවේ ලොකු නගරවල හැම හංදියකම පාහේ දකින්නට ලැබෙන කෝපි කඩය ස්ටාර්බක්ස් නම් වූවයි. ඒත් මයාමි නගරයේ එය හොයාගන්නට අසීරු වූවකි. මයාමි ගුවන්තොටුපලට ස්ටාර්බක්ස් කෝපි කඩය ළඟදී ම එන බව කියන දැන්වීම් ඇත. ආපහු යෑම කල් දැමූ පසුව ගිය හෝටලයේ ස්ටාර්බක්ස් කඩය ඇරඹීයේ මා ගිය දිනට පසු දිනයේය.

ස්ටාර්බක්ස් කෝපි කඩ වෙනුවට කියුබන් කෝපි කඩ මයාමි හි හැම අස්සකම මුල්ලකම දකින්නට හැකියි.

කැෆේ කියුබානෝ සහ කැෆේසිටෝ නොහොත් කියුබන් කෝපි නමින් හැඳින්වෙන්නේ එස්ප්‍රෙසෝ කෝපි කුඩු වලින් කුඩා කෝප්පයකට පෙරා ඉතා ඝනකමට හදන්නකි. එස්ප්‍රෙසෝ මැෂින් නැති අය බොහෝ නිසා සාමාන්‍ය නිවසක දී කකුලට දාන මේස් එකකින් එය පෙරීම සාමාන්‍ය සිරිත වේ. ඊට ඩෙමෙරෙරා නම් ටිකක් ලොකු දුඹුරු සීනි කැට එකතු කරනු ලබයි. එය සමඟ පානයට වතුර වීදුරුවක් ද ලැබේ.

කොලාඩා නමින් හැඳින්වෙන්නේ කෝපි ප්‍රමාණය හා හරි හරියට එකතු කරන ලද සීනි සහිත කියුබන් කෝපිය. එයත් සමඟ කෙචප් හෝ සිරප් දාන වැනි කුඩා කෝප්ප කිහිපයක් ද සාමාන්‍යයෙන් පිළිගන්වනු ලබයි. ඒ, බොහෝ අය කොලාඩා බොන්නේ තවත් පිරිසක් හා බෙදාගෙන වීම නිසයි.

ලොකු කෝපි කෝප්පයක් උවමනා නම් කැෆේ කොන් ලෙචෙ නොහොත් කිරි කෝපි කෝප්පයක් ලබාගත හැකියි. මෙය ද කෝපි, කිරි සහ සීනි එකතුවකින් හැදෙන්නකි. එය ඝනකමින් අඩු වූවකි.

මම පානය කළේ කෝර්ටාඩීටෝ නම් කියුබන් කෝපි කෝප්පයයි. එය එක් අයෙකුට පමණක් හදන කෝපි සහ කිරි එක හා සමාන ප්‍රමාණ වලින් එකතු කර සීනි ද දමා හදන ලද්දයි. මේ කියුබන් කෝපි හදන්නේ ඉතා ඝනකමට පෙරන කෝපි වලින් නිසා සීනි නොමැති වූයේ නම් බොන්නට නොහැකි තරම් තිත්ත වේ යැයි මා සිතමි.

ලංකාවේ අය හදන පැටිස් හා සමාන වූ එම්පනාඩා බොහෝ තැන්වලින් මිල දී ගන්නට හැකියි. තෙලෙන් වලින් බැද නොව ඒවා බොහොමය උදුනේ උයාගත් බවක් පෙනේ. උදේට කන්න බිත්තර හා හැම් සමඟ මිශ්‍ර කරන ලද එම්පනාඩා ද, දවල් කෑමට අර්තාපල් සමඟ මිශ්‍ර කුකුල් මස් හෝ හරක් මස් හෝ බැටළු මස් මෙන්ම, එළවළු එම්පනාඩා ද ඇත. ඒ හැරෙන්නට පේර, ක්‍රීම් චීස් සහ දෙහි රසයෙන් යුතු ඒවා මෙන්ම ඩෝසි ඩෙ ලෙචෙ නොහොත් ටිංකිරි කැරමල් කර හැදූ පැණි රස එම්පනාඩා ද රස බැලුවෙමි. ඇඟිලි දෙකක් තරම් පළල් කුඩා ප්‍රමාණයෙන් පටන් ගෙන තේ පීරිසයකින් භාගයක් තරම් ලොකුවට ද ඒවා නිමැවේ.

බිස්කේන් මුහුදු බොක්කට මුහුණ ලා පිහිටි මාග්‍රට් පේස් උද්‍යානයේ වාඩි වී සිටිය දී හිටි හැටියේ මහා හයියෙන් උරණ වූ ලෙසකින් පැතිර ආ හඬක් ඇසී මම වටපිට බැලීමි. 15- 20 කින් පමණ යුතු පුංචි කොළ ගිරවුන් රංචුවක් උස ගොඩනැඟිලි අස්සෙන් පියාඹා ආහ. හැමෝම එකවර මහා හඬකින් වාදයක නියැළෙනවා සේ පැතිර ආ ඒ හඬ ඔවුන් හා පැමිණ ඔවුන් පියාඹා යද්දී නැතිවී ගියේය. ඔවුන් මයාමි නගරයට පැමිණි සංක්‍රමණික කුරුල්ලන් අතරට එක්වූ Mitred Parakeets (Psittacara mitratus) නමින් හැඳින්වෙන ගිරා වර්ගය බව පසුව සොයා ගත්තෙමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: