දැවැන්ත කතන්දර පොත ව්‍යාපෘතිය
“ආදරයෙන් බලන්නේ නම් ඕනෑම දෙයක් ලස්සනයි,” යන්න ලියා ඇති ගොඩනැඟිල්ලක බිත්තියක් පුරා ඇඳ තිබූ මේ චිත්‍රය සහිත ග්රැෆිටිය මයාමි නගරයේ ඇවිදින අතර දුටුවෙමි. ඒ ගැන සොයා බලද්දී මෙය ලෝකය පුරා දකින්නට ලැබෙන දැවැන්ත කතන්දර පොත ව්‍යාපෘතියේ එක පින්තූරයක් බව දැනගත්තෙමි. අනෙක් ඒවා කැනඩාව, ජර්මනිය, නේපාලය සහ ඔස්ට්‍රේලියාව යනාදී විවිධ රටවල් හි දී දැකගන්නට පුළුවන් බව සොයාගත්තෙමි.
මේ ව්‍යාපෘතිය Herakut නමැති අය විසින් පටන් ගන්නා ලද්දකි. ඒ නම හැදෙන්නේ Hera සහ Akut යන ජර්මන් විදී චිත්‍ර ශිල්පීන් දෙදෙනා වෙතිනි. ජැස්මින් සිද්දිකි, ෆ්රෑන්ක්ෆර්ට් නගරයේ උපත ලැබූ ජර්මන්-පාකිස්තාන සම්භවයෙන් යුතු තැනැත්තියකි. Hera නමින් හැඳින්වෙන්නේ ඇයවයි. ඇය හා 2004 දී එකතුවෙන ෆෝක් ලෙහ්මන් Akut ලෙසින් හැඳින්වෙන්නාය. ඔහු ජර්මනියේ Schmalkalden හි උපත ලැබූවෙකි. වයස 14 දී තම ගමට හදිසියේ පිවිසුන ග්‍රැෆිටි කලාව තුලින් ඒ ගැන දැඩි උනන්දුවක් ඇති වූ බව හේ කියයි.
එමෙන්ම වීදි චිත්‍ර ඇඳීමට අමතරව ඔවුන් තවත් බොහෝ ව්‍යාපෘති වලින් සිය කලාත්මක හැකියාවන් ජනතාව අතරට ගෙන යන්නට ද සමත්වී ඇතැයි ඔවුන්ගේ වෙබ් අඩවිය දක්වයි.
කලාගාර ඇතුලත ප්‍රදර්ශනයට මෙන්ම එළිමහනේ ප්‍රදර්ශනයට තැබෙන ඔවුන්ගේ නිර්මාණය බහුතරය ඔවුන්ට ලැබෙන ඇණවුම් නිසා බිහිවූ ඒවාය. කැන්වස්, ලී හා කඩදාසි යන විවිධ මාධ්‍යය තුලින් ඔවුන් සිය නිර්මාණ බිහි කරති. එකිනෙකාගෙන් දැඩි සේ වෙනස් වූ ක්‍රමවේදයක් ඔවුන් යෙදාගනිති. බොහෝ විට පසුබිම අඳින්නේ හේරා විසිනි. එහි අකුට් විසින් මුහුණු නිර්මාණ කරමින් සිරුරු සඳහා කටු සටහන් අඳියි. ඒවා හේරා විසින් දික්කර සිරුරු සම්පූර්ණ කරයි. එක් අයෙකුගේ නිර්මාණය තවත් දියුණු කරන්නට අනෙකා සමත්වීම ඔවුන් දෙදෙනාගේ සාර්ථකත්වයට හේතුවයි.
මේ දැවැන්ත කතන්දර පොත ව්‍යාපෘතිය ආරම්භයට පෙර ඔවුන් අසහාය චිත්‍ර ශිල්පීන් දෙදෙනෙක් හැටියට ලොව පුරා යම් තරමක කීර්තියක් අත් කරගෙන තිබුණු බව පෙනී යයි.
දරුවන් පිණිස අඳින ලද චිත්‍ර මෙන් පෙනුන ද, තමන්ගේ චිත්‍ර දරුවන්ට නිර්දේශ නොකරන බව මෙම චිත්‍ර ශිල්පීන් දෙදෙනා කියා සිටිති. ග්‍රැෆිටි කලාව යොදාගෙන මේ චිත්‍ර එකතුවෙන් ඔවුන් පොතක් නිර්මාණයට සමත් වී ඇතැයි ඔවුන්ගේ ෆේස්බුක් අඩවිය කියයි.
මේ ඔවුන්ගේ දැවැන්ත කතන්දර පොතේ පළමු පරිච්ඡේදයේ පරිවර්තනයයි:
“පෘතුවිය උපත ලැබූ මුල් අවධියේ පවතිද්දී එහි අනාගතය බාර වූයේ සුවිශේෂී දරුවන් දෙදෙනෙකු අතටයි: යෝධ නිවුන් සහෝදරයන්ටයි.
ඔවුන් දෙදෙනා එකතුව ලෝකයේ මතුපිට හැඩගසන්නට පටන් ගත්හ. ඔවුන්ගේ ඇඟිලි වලින් ගල් සහ ගංඟා තැනූහ, එමෙන්ම පැළෑටි වලට නිවහන් ද ඒවා වටා ජීවීන් ද නිර්මාණය කළහ.
එය ඔවුන්ගේ යුතුකම විය. ඉතින් ඔවුන් එය මනාව ඉටු කළහ … මුල් කාලයේ. ඒත් ඉතා කුඩා වූ සුළු කාරණයක්, පෘතුවිය තුල පැවති බලයේ සමතුලිත බවට දැඩි තර්ජනයක් හැටියට වර්ධනය වෙද්දී, තත්වයන් වෙනස් විය. ඒ සුළු කාරණය පැවතියේ සහෝදරයන් දෙදෙනා තුලයි.
ඔවුන් දෙදෙනා එකම වර්ගයේ එකම පෙනුමෙන් යුතු වූවත් -කොණ්ඩ කැරැල්ල මුදුනේ පටන් කකුල්වල ඇඟිලි තුඩු දක්වා සම්පූර්ණයෙන්ම එකාකාර වූවත්- ඔවුන් අතර දැඩි ලෙසින් වූ එක වෙනස්කමක් පැවතිණ: ඒ වෙනස්කම නම් ඔවුන් අනෙකුත් ජීවින් දිහා බැලූ ආකාරයයි.
එක පුංචි යෝධයෙක් පෘතුවියේ සෑම සියළු අය අතර පවතින සම්බන්ධයක් දැක්කේය. සියල්ලන්ගේම හදවත් තුලින් දුවන නොපෙනෙන හූයක් ඇති බවත් එය සියළු සත්වයන්ව එක විශාල “දැයකට” එකතු කර ඇතැයි දැක්කේය. (යෝධයාට එය විස්තර කරන්නට වචනයක් නොවීය. ඔහු එහි කොටස්කරුවෙක් වීම පමණකට ඉතා කැමැත්තක් දැක්වීය.)
අවාසනාවට, අනෙක් අයත් තමනුත් අතර කිසි බැඳීමක් ඇතැයි අනෙක් යෝධයා දුටුවේ නැත. කොතරම් දැඩි උවමනාවකින් සොයා බැලුවත්, සබඳතාවයක් දක්වන්නට කිසිවක් සොයා ගන්නට ඔහුට නුපුළුවන් විය. තමනට පරිබාහිරව පවතින වටිනා දැයක් හෝ හානියට ලක්විය හැකි වූවක් ඇතැයි ඔහුට නොපෙනිණ. තමන්ට වඩා වටිනාකමෙන් අඩු ජීවිත සමඟ බැඳීම් පවත්වා ගැනීමෙන් ඉතින් එහෙනම් කුමන හොඳක් සිද්ධ වේ ද?”
leave a comment