අරුණි ශපීරෝ‍ වෙතින්

අහල ද? දැකල ද? කරල ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 9, 2018

අහගෙන හිටියම දැනුම එකතු කරගන්න වැඩියෙන් පහසු යැයි කියන අය ඉන්නව. තවත් අය, යමක් දැක්කම පහසුවෙන් අවබෝධ වෙනව යැයි කියනව. ඊට වඩා පහසුයි කරන විදිය බලාගෙන තමනුත් කරද්දී කියල අනිත් අය කියනව. ඉතින් මේ ඒ ඒ අය කැමති ආකාරය අනුව ඉගෙන ගන්න ක්‍රමය නැත්නම් “learning style” අනුව දැනුම බෙදන ආකාරය හැඩ ගැසිල, එය ඉතා ජනප්‍රිය සංකල්පයක් බවට පත්වුණා.

ඒත් එහෙම තමන්ට වැඩියෙන් සුදුසු ක්‍රමයෙන් ඉගෙන ගත්තම තමන්ට දැනුම වැඩියෙන් ලැබෙනව කියන්නට සාක්ෂි තිබුණේ නැහැ. සාක්ෂි පෙන්වන්නෙ මෙයාකාරයෙන් තමන් කැමති පරිද්දෙන් ඉගෙන ගනිද්දි තමන්ට ලොකු දැනුමක් එකතු වෙලා යැයි හිතුනට එහෙම සිද්ධ වෙන්නෙ නැහැ කියලයි.

ඒ සඳහා සාක්ෂි නැත්තෙ වැඩියෙන්ම කෙරෙන අධ්‍යයන කටයුතු සම්භාරය පංතියෙන් පිටත දී සිද්ධ වෙන නිසා යැයි මේ ක්‍රමයට කැමති අය තර්ක කරනව. ඒ කියන්නෙ, උගන්වන ක්‍රමයට සහ කැමති ක්‍රමයට අනුකූලව යනවාදැයි පටු ආකාරයෙන් විමර්ශනය පමණක් සිදු වූ බැවින් සාක්ෂි හොයාගන්න බැරිවුණා යැයි සිතීම. ඉතින් මනෝවිද්‍යාඥයන් විසින් කළ යුත්තේ ඒ ඒ අයගෙ ඉගෙන ගන්න ක්‍රමය පංතියෙන් පිටත දී සිදුවන අධ්‍යයන කටයුතු වල දී කුමන ලෙසකින් සිදුවෙනවා දැයි සොයා බැලීමයි.

මෑතක දී කරන ලද අධ්‍යයනයකින් ඔප්පු වුනේ ඒත් මේ තමන් කැමති විදියට ඉගෙන ගන්න ක්‍රමය තුලින් වැඩියෙන් දැනුමක් එකතු වෙනවා යන්නට සාක්ෂි නැති බවයි.

ව්‍යවච්ඡේදක (ශරීරය පිළිබඳ) විද්‍යා අධ්‍යාපනය, Anatomical Sciences Education නමින් පළවෙන සඟරාව සඳහා අලුතින් සපයන පර්යේෂණ ලිපියකින් ඉන්දියානා විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් දෙදෙනෙක් තමයි මේ දත්ත ඉදිරිපත් කරන්නෙ.

වාරය පටන් ගනිද්දි, පොලි හුස්මන් සහ වැලරි ඩීන් ඔ’ලෝහ්ලින් යන ඒ අය කරපු විමර්ශනයට ව්‍යවච්ඡේදක පාඨමාලාව හැදෑරූ උපාධි අපේක්ෂකයන් සිය ගණනක් සහභාගි කරගෙන තියනව. මේ පාඨමාලාවට දේශන වගේම ප්‍රායෝගික ලැබ් පංතිත් අඩංගුයි.

පර්යේෂකයන් මුලින්ම කරන්නෙ ඒඅය ලවා ඉන්ටනෙට් තියන, වැඩියෙන්ම ජනප්‍රිය යැයි සැලකෙන, ඉගෙන ගන්න ක්‍රම සමීක්ෂණයකට සහභාගී කරවා ගැනීම. මේ the VARK නමින් වූ එය ලෝකය පුරා මිලියන ගණනක් අය සහභාගී වෙච්ච සමීක්ෂණයක්. ඒකෙන් කරන්නෙ තමන් දැනුම එකතු කරගන්න වැඩියෙන් කැමති අහල ද, දැකල ද, කරල ද, කියල සිසුවන් වර්ගීකරණය කිරීමයි.

ඒ කැමති ක්‍රමය කුමක්දැයි සමීක්ෂණයට සහභාගි වෙලා හොයාගත්තට පස්සෙ, ඒ තමන් කැමති ක්‍රමයට අනුව අධ්‍යයන කටයුතු කරගෙන යෑම සඳහා VARK වෙබ්සයිට් එකෙන් උපදෙස් සපයනව.

සමීක්ෂණයෙන් පසුව තමන් වැඩියෙන් කැමති ඉගෙන ගන්න ක්‍රමය අනුව අධ්‍යයන කටයුතු වල යෙදෙන්න යැයි මේ පර්යේෂකයන් දිරිගන්වලා තියනව. ඊට පස්සෙ වාරය ගෙවී යද්දී, පංතියෙන් පිටත දී ඇත්තෙන්ම සිසුන් භාවිතා කළේ කුමන ඉගෙන ගන්නා ක්‍රමයන් දැයි පර්යේෂකයන් විමසල තියෙනව. ඒ සිසුන් භාවිතා කළේ ඔවුන්ගේ ප්‍රියතම ඉගෙන ගන්නා ක්‍රමය දැයි සොයාබලන්නට. අවසානයේ දී, පර්යේෂකයන් සිසුන්ගේ වාර අවසාන ලකුණු දිහා බලන්නෙ ඔවුන් කැමති ක්‍රමය, සහ/හෝ පංතියෙන් පිටත දී කළ අධ්‍යයන කටයුතු ඒ අය ඉගෙන ගන්න කැමති ක්‍රමය අනුව සංස්ථායි වූවාදැයි විමසන්න.

මේ අයෙක් ඉගෙන ගන්න කැමති ක්‍රමය අනුව කටයුතු කළාම දැනුම වැඩියෙන් ලබාගන්න හැකි යැයි කියන අයට, ඒ ප්‍රතිඵල වලින් කියා පාන්නේ තත්වය එසේ නොවන බවයි. ලකුණු අනුව එයාලගෙ කැමති ක්‍රමය හා කිසිත් ලෙසකින් අනුකූලව ගිහින් නැහැ. ඒ වගේම ඉගෙන ගන්න යොදාගත්තු කිසිදු එක ක්‍රමයකින් එසේ ඉහළ ලකුණු ලබාගෙන නැති බවයි ඔවුන්ට ලැබුණ සාක්ෂි වලින් ඔප්පු කරල තියෙන්නෙ.

සිසුන් අතරින් බොහෝ දෙනෙක් (67%) කැමති යැයි කියූ ක්‍රමය හා සංස්ථායී ලෙසින් ඉගෙන ගැනීමේ යෙදිලා නැහැ. එහෙම කළ අය, එයාලගෙ ව්‍යවච්ඡේදක පංතියෙ එහෙම නොකළ අයට වඩා ඉහළ ලකුණු ලබාගන්න සමත්වී නැහැ.

හොඳ ලකුණු ලබාගන්නට සමත් වූ අය කරල තියෙන්නෙ ඒ සඳහා වූ විශේෂිත අධ්‍යාපන ක්‍රමෝපායන් යොදා ගැනීමයි. ඒ කියන්නේ දේශන සටහන් භාවිතයත්, අන්වීක්ෂයෙන් පුහුණුවත් යනාදී හොඳ ලකුණු සඳහා අවශ්‍ය මාර්ගයේ යෑමයි. තවත් විදියකින් කිව්වොත් එයා ඉගෙන ගන්න කැමති ක්‍රමය කුමක් වුවත් පාඨමාලාව සඳහා ඒ නියමිත පිළිවෙත අනුගමනයයි. දෘශ්‍ය මාර්ගය වැඩියෙන් සුදුසු යැයි සිතීම නිසා, flash cards වැනි භාවිතයේ යෙදීම නිසා කටපාඩම් වූවත් ඔවුන්ට සියුම් දැනුමක් නොලැබීම නිසා ලකුණු අඩු වී තිබෙන බව පෙනී ගිහින්.

ගුරුවරුන්ගේ මැදිහත්වීම් සඳහා හෝ සිසුන්ට ඉගැන්වීම සඳහා මේ ඉගෙන ගන්නා ක්‍රමය වෙනුවෙන් වැඩි අවධානයක් ලබා දී එය ප්‍රවර්ධනයට කටයුතු නොකළ යුතු යැයි පොලි හුස්මන් සහ වැලරි ඩීන් ඔ’ලෝහ්ලින් යන දෙදෙනා ඔවුන්ගේ පර්යේෂණ ලිපියෙන් කියා සිටිති. අයෙක් යම් විෂයයක් තමනට ඉගෙන ගන්නට නොහැකිවීම ඒ අයට සුදුසු වූ කැමති ක්‍රමයෙන් දැනුම උකහා ගන්නට නොහැකි වීම නිසා යැයි තව දුරටත් කීම නැවැත්විය යුතු බව ඔවුන්ගේ මතයයි.

ඉංග්‍රීසියෙන් කියවන්නට කැමති අයට බ්‍රිතාන්‍ය මනෝවිද්‍යා සංගමය විසින් පළකරන ලද ක්‍රිස්ටියන් ජරෙට් ලියූ ලිපිය මේ සබැඳියෙන් කියැවිය හැකියි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

%d bloggers like this: