අරුණි ශපීරෝ‍ වෙතින්

ලීෂ්ට්න්ස්ටයින් යනු නිදහස නිසා සමෘද්ධිමත් වූ සැබෑ ලිබටේරියන් රාජ්‍යයකි

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 13, 2018

යුරෝපයේ පිහිටන පුංචි රාජ්‍යයක් වූ මේ අපූරු රට ගැන නොදන්නා අය බොහොමයක් ඇතැයි දැකීම නිසා මේ සටහන ලියන්නට සිතුවෙමි. රටේ නම උච්චාරණය කරන ආකාරය මෙතැනින් ඇසිය හැකියි.

අපි එහි ගියේ 2008 වසරේ දී ය. ස්විට්සර්ලන්තයේ සිට පැමිණි දුම්රියෙන් රාත්‍රියේ දී නගරයට අපි පිවිසුනෙමි. ඊ ළඟ දිනයේ මුලින්ම අප කළේ Vaduz නම් එහි අගනගරයේ වූ පාස්පෝට් කාර්යාලයට ගොස් මුදල් ගෙවා සීල් එකක් පාස්පෝට් එකට එකතු කරගැනීමයි. යුරෝපය හරහා එද්දී රටට ඇතුල්වන්නට එය අවශ්‍ය නොවූවත් එහි පැමිණි බව කියන සීල් එකක් පාස්පෝට් එකට එකතු කරන සේවය ඔවුන් මුදලකට සපයති.

නගරයේ සිට පොඩි කඳු මුදුනකට අඩි පාරක් දිගේ ඉහළට නැඟ ගොස් පසු කන්ද මුදුනේ පිහිටන රජ මාලිගය අසලටම පිවිසිය හැකියි. එදින රජ කුමරා මාලිගයේ සිටියේය. ඒත් හමුදා භටයන් හෝ මුරකරුවන් වැනි කිසිවෙක් එහි සිටින බවක් අපිට පිටතින් පෙනුනේ නැත.

රට පාලකයා රජ කුමරාගේ සම්පූර්ණ නම Johannes Adam Ferdinand Alois Joesf Maria Marko d’Aviano Pius von und zu Liechtenstein. ලීෂ්ට්න්ස්ටයින්හි රජකුමරා යන නාමයත්, එසේම Duke of Troppau and Jägerndorf යන්නත් Count of Rietberg යන්නත් ඔහුට ඇති පදවි නාම වෙති.

අප කන්ද බැස ආපසු නගරයට ආවේ මනා ලෙසින් ගෙවතු සහ නිවහන් නඩත්තු කරන බව පෙනෙන වාසස්ථාන පිහිටි පාරකින්. අගනගරයක් වුවත් එහි කිසිත් කළබලකාරී බවක් නොවීය. උදේ කෑම හෝටලයෙන් ද, දවල් කෑම අවන්හලකින් ද ගත් අප පාර අයිනේ වූ බේකරියකින් අමුතු පන්නයේ පැණිරස කැවිලි එකතු කරගෙන සවස් කාලයේ තවත් දුම්රියකින් ඔස්ට්‍රියාව බලා පිටත්ව ගියෙමු.

මෙහි ඉතිරිය ලියන්නේ මේ ඉංග්‍රීසි ලිපිය ඇසුරෙනි. ආර්ථික සහ දාර්ශනික සංවාදයක් වෙනුවට මෙහි මම වැඩියෙන් ලීෂ්ට්න්ස්ටයින් ගැන ලියමි.

2001 දී එරට මුළු ජනගහණය 33,525 ක් විය. එය ඉතා කුඩා දේශ සීමාවකින් යුතු රටකි.

වෙනත් යුරෝපීය රටවල මෙන් නොව, ලීෂ්ට්න්ස්ටයින් හි රජ කුමරා යනු පුළුල් බලය සතු අයෙකි. ඔහු රජයේ එදිනෙදා කටයුතු වලට සහභාගී වෙන්නෙකි. එපමණක් නොව 2003 වසරේ දී ලීෂ්ට්න්ස්ටයින් වැසියන් ඔටුන්නේ බලතල තවත් වැඩි කරන්නට චන්දය දුන්හ.

ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයෙක් සහ දේශපාලන දාර්ශනිකයෙක් වන හාන්ස්-හර්මන් හොපා විසින් ප්‍රජාතන්ත්‍රවාදය -අසාර්ථක වූ දෙවියන්: රාජාණ්ඩුව, ප්‍රජාතන්ත්‍රවාදය, සහ ස්වභාවික ක්‍රමයේ ආර්ථිකය සහ දේශපාලනය නමින් ලියූ පොතකින් රාජාණ්ඩුව සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන න්‍යායක් ඉදිරිපත් කරන ලදි.

රාජාණ්ඩුවකින් ප්‍රජාතන්ත්‍රවාදයට යෑම නිසා ප්‍රගතියක් වෙනුවට පරිහානයක් සිදුවෙනවා යැයි ප්‍රස්තුතයක් ඔහු එහි ඉදිරිපත් කරයි. මෙය ඔහු කොටස් දෙකකින් පැහැදිලි කරයි. මුලින්ම, ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන්ට මෙන් නොව රජවරුන්ට ඇත්තේ කෙටි කාල වරණයකි (low time preference) යැයි ඔහු කියයි. ඒ නිසා, රටේ දීර්ඝ-කාලීන ප්‍රාග්ධන අගයට හානි වෙතැයි බියෙන් රජවරුන් හැකි තරමින් යුද්ධ සහ ඉහළ බදු වළින් වැළකී සිටිති. දෙවැනුව, රාජාණ්ඩුවක දී පාලකයා සහ පාලිතයා අතර පැහැදිලි වෙනසක් ඇතැයි ඔහු පෙන්වයි. මේ “පංති සවිඥානය” නිසා මහජනතාව ආණ්ඩුව වැඩියෙන් වියදම් කරද්දී ඊට විරෝධය දක්වයි.

හොපා දක්වන අන්දමේ ආරම්භයක් ලීෂ්ට්න්ස්ටයින් දේශයට ලැබී ඇත. සාමකාමී දේශපාලන මිල දී ගැනීමකින් දේශ දෙකක් එකතු කර ඒ රාජ්‍යය ආරම්භ විය. ලීෂ්ට්න්ස්ටයින් රජ පවුලේ Johann Adam Andreas von Leichtenstein විසින් Lordship of Schellenberg මිල දී ගැනීමත් සමඟ 1699 දී මේ වර්තමාන රට හැදෙන දේශ මිල දී ගැනීමේ යෙදිණ. Vaduz නරගය අලෙවියට ඉදිරිපත්වෙද්දී එය මුලින්ම මිල දී ගන්නට අවස්ථාව පෑදෙන්නා හැටියටත් ඔහු හැකියාව පාදාගෙන තිබිණ.

හමුදාවක් නඩත්තු කිරීම වැය අධික යැයි සැලකීම නිසා ලීෂ්ට්න්ස්ටයින් රජ කුමරා එතෙක් එම පළාත්වල පැවති හමුදාව අහෝසි කර දමන ලදි. ඔස්ට්‍රියන්-පෲසියන් යුද්ධයේ දී ඔවුන් අසල්වැසි රට වූ ඔස්ට්‍රියාවට සහාය දැක්වූහ. ලීෂ්ට්න්ස්ටයින් වැසියන් 80 දෙනෙකුගෙන් යුතු යුද හමුදාවක් සමඟ දෙවැනි යෝහාන් කුමරා යුද්ධයට ගියේය. එම හමුදාව සම්පූර්ණයෙන් නඩත්තු කරන ලද්දේ ඔහුගේම මුදල් වලිනි. යුද්ධය අවසන් වූ පසු ඒ වැය අනවශ්‍ය වියදමක් යැයි කියා හමුදාව 1868 දී විසුරුවා හරින ලදි.

ලීෂ්ට්න්ස්ටයින් ඉතිහාසය තුල මුල පටන්ම ව්‍යාපාර සහ පෞද්ගලික බදු අඩු මට්ටමකින් පවත්වා ගැනීමට දැඩි අවධානයක් යොමු වී තිබිණ. ලීෂ්ට්න්ස්ටයින් ආණ්ඩුව විසින් පවත්වාගෙන යන සර්ව සුබ සාධන පිළිවෙත් රැසක් තිබුණ ද, 2001 වසරේ දී ලීෂ්ට්න්ස්ටයින් රජය එහි අයවැයෙන් සුබසාධන සඳහා වැය කර ඇත්තේ 20% ක් පමණක් යැයි සඳහන්. ආණ්ඩුව මත දිගින් දිගට යැපෙන හැදියාවක් වර්ධනයට වඩා සුබ සාධන ලබන අයට වහාම නැවත රැකියා සොයා ගැනීමට දිරිගැන්වීමක් එහි සිදුවේ.

ලීෂ්ට්න්ස්ටයින් රටේ බදු ගෙවීම පැහැර හැරීම සිවිල් වරදක් වුවත් අපරාධයක් හැටියට සැලකෙන්නේ නැත. කුඩා වූ කාර්යක්ෂම ආණ්ඩුවක් කැමති ලීෂ්ට්න්ස්ටයින් වැසියන් ද, කෙටි කාල වරණයකට කැමති බව පෙන්වන අයයි. එසේම ඔවුන් බදු ගැන ඉතා සැකයෙන් බලන ජනතාවකි.

රටක් හැටියට ඔවුන් ණය නොවෙති. එසේම අධික ලෙසින් වැය කිරීමක් ද නැත. අයවැය පරතරයක් වසර ගණනාවක් තුල හටගෙන නැත.

ව්‍යාපාර සහ කර්මාන්ත රජයෙන් කිසිත් සහනාධාර ලබාගෙන නැත. බංකොළොත් වෙන්නේ නම් ඊට ඉඩ දෙන ප්‍රතිපත්තියක නියැළුන නිසා එහි කර්මාන්ත රජයේ ආධාර නොමැතිව ගොඩඑන්නට සමත් විය.

රජ කුමරාට ඇති බලතල අතර විනිසුරුවන් පත් කිරීම, නීති සම්පාදකයෙන් එන නීති නිශේධනය, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම යනාදිය අඩංගු වේ.

එසේම රජ පවුලට විවිධ ව්‍යාපාරයන් ද අයිතියි. ලීෂ්ට්න්ස්ටයින්හි පවතින LGT බැංකුව සහ සහල් තාක්ෂණය ගැන වූ කොම්පැණියක් ඔවුන්ගේ ව්‍යාපාර අතර වෙති. ඒ නිසා රජ පවුලේ වියදමට බදු වලින් ආදායමක් සොයාගන්නට අවශ්‍ය නොවේ. ලීෂ්ට්න්ස්ටයින් රජ පවුල කිසිත් බදු මුදලක් නොගෙන සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ මුදලින් යැපෙති.

ප්‍රංශ විප්ලවයෙන් දායාද වූ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අදහස් සහ ප්‍රචණ්ඩත්වය ලීෂ්ට්න්ස්ටයින් රටට ගොඩවැදුනේ නැති නිසා, ආණ්ඩුව සහ ජනතාව අතර සාමකාමීව කටයුතු කරන්නට ඉඩ පෑදුන බව ඉහත ලිපිය කියයි.

කුඩා රටක බංකොළොත්බවට යන මාර්ගය කැඳවන ආරක්ෂණවාදය ද එහි දකින්නට නැත.

එසේම දෙවැනි හාන්ස්-ඇඩම් කුමාරයා විසින් යම් ප්‍රදේශයක ජනතාවකට බෙදී වෙනත් රටක් හදාගන්නට උවමනා නම් එවිට රටෙන් අයින් වෙන්නට ද ක්‍රමයක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාදා දී ඇත.

සාර්ථක වෙනවා යැයි අල්ලාගෙන සිටින ජනප්‍රිය පිළිවෙත් බොහොමයක් හානිකර බව ඔප්පු කරමින්, නිදහස තුලින් සමෘද්ධිය ගෙනෙමින් සැබෑ ලිබටේරියන් රාජ්‍යයක් ගොඩනඟන්නට හැකියාව ඇතැයි ලීෂ්ට්න්ස්ටයින් රට ඔප්පු කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: