අරුණි ශපීරෝ‍ වෙතින්

නෑසෝ, බහාමාස්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 17, 2018

ඇමෙරිකාවේ මයාමි නගරයත්, ඊට කිලෝමීටර් 367 ක් දකුණතින් පිහිටන කියුබාවේ හවානා නගරයත් මැද්දේ, කැරිබීයන් මුහුදේ නැගෙනහිර පැත්තට වන්නට පිහිටා ඇත්තේ බහාමාස් නම් දූපත් වෙති. 700 කට වඩා දූපත් සංඛ්‍යාවක් ඊට අයත් යැයි කියද්දී ඒවා සියල්ලම පාහේ පුංචි දූපත් බව කිව යුතුමයි.

ඒ දුපත් මැද ඇති ඇබිත්තන්ම වූ නිව් ප්‍රොවිඩන්ස් හි නෑසෝ නගරයට මම පැමිණියෙමි.

බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් හැටියට 1718 සිට පැවති බහාමාස් දූපත් පොදුරාජ්‍යමණ්ඩලීය බහාමාස් නමෙන් ස්වාධීනත්වයක් අත්කරගන්නේ 1973 දී ය. ඔවුන් බ්‍රිතාන්‍යයේ දේශයකි. රටේ ප්‍රධානියා දෙවැනි එලිසබෙත් රැජිනයි. සංචාරක සහ මුල්‍ය ක්ෂේත්‍රයේ වැඩිමනක් ආදායම් උපයන බහාමාස් යනු ඇමෙරිකන් මහාද්වීපයන්හි ඇමෙරිකාව සහ කැනඩාව හැරුණු විට ඊ ළඟට ඇති ඉහළම ධනවත් රට යැයි සැලකේ.

බ්‍රිතාන්‍යයෙන් අයින්වෙන්නට ඇමෙරිකාව අරගල පටන් ගනිද්දී, බ්‍රිතාන්‍යය රජ ක්‍රමයට පාක්ෂික වූ අය බොහොමයක්, ඔවුන්ගේ වහලුන්ද රැගෙන බහාමාස් දූපත්හි පදිංචියට ගියහ. සුදු අයිතිකරුවන්ට වැඩියෙන් ඔවුන්ගේ කළු වහලුන් සිටි නිසා එහි මුල් ජනගහණයේ වැඩියෙන් වූයේ අප්‍රිකානු සම්භවයෙන් යුතු අයයි. 1834 දී වහල් වෙළඳාම අවලංගු කිරීමත් සමඟ එය නිදහස් වූ වහලුන්ගේ ක්ෂේම භූමියක් බවට පත්විය. නෑසෝ එහි අගනගරයයි.

රිය ධාවනය වම් පැත්තෙන් වුවත්, මග දෙපස ඇති කඩවල් නම් දුර බැහැර ඇමෙරිකන් නගරයක ස්වභාවයකින් යුතුයි. දූපත තුල වට රවුම් බොහොමයකි.

බහාමියන් මුදල් ඇමෙරිකන් මුදල හා සමානයි. ඉතිරි ලැබෙද්දී ඇමෙරිකන් ඩොලර් සහ කාසි එක්ක බහාමියන් ඩොලර් හා කාසි ලැබේ. ටැක්සියකින් නගරයට යන දුරට ඩොලර් 25 ක් ද, ගුවන් තොටුපොල සිට හෝටලයට ආ දුරටත් ඩොලර් 25 ක් වූ නිසා හැම තැනම යන්න ඒ ගාන වෙනු ඇතැයි අනුමාන කරමි. හවස 7 ට සේවාව නවතින, පැය බාගෙන් බාගෙට දිව්ව, ඕනම තැනක දී නතර කරන ප්‍රයිවට් වෑන් නම් අර දුරටම අය කළේ ඩොලර් 1.25 කි.

බොහෝ සේවකයන් කළු හමැති බහාමියන් වෙති. ඔවුන්ගේ ඉංග්‍රීසි උච්චාරණය ජැමෙයිකන් විලාසයෙන් නිසා අපිට වරක් දෙවරක් කිව්වේ කුමක්දැයි කියා නැවත අහන්නට සිද්ධ වුණි.

මුහුදු කොල්ලකරුවන් සිටි ඉතිහාසය අදත් ඔවුන් සංචාරකයන්ට විකිණීමට යොදා ගනිති. දැනුදු මුහුදු කොල්ලකරුවන් සිටින බවත්, කාන්තාවන්ට සහ දරුවන්‍ට පවා එල්ලවන අපරාධ බහුල යැයි විශේෂ දැන්වීමක් ද ඇමෙරිකන් වැසියන්ට පැවතිය ද, අපට මෙතෙක් හමුවූ වැසියන් සියළු දෙනාම ඉතා විනීත සහ සුහද අය වූහ. ටයි පටි හැඳගත් සේවකයන් සිටින ග්‍රොසරියකට සහ මත්පැන් අලෙවි හලකටත්, සංචාරකයන්ම සඳහා වූ කඩ කිහිපයකටත්, අවන්හලකටත් අපි හවස් වරුවේ දී ගොඩ වැදුනෙමු.

දැවැන්ත ඩිස්නි කෲස් නැවක් පිටත්වී ගියත් එතරම්ම දැවැන්ත වූ තවත් සංචාරක නැවක් වරායේ නැංගුරම් ලා සිටියි. සවස හය හත වෙද්දී සංචාරකයන් නැව්වලටත් සහ සූදු කෙළින්නට කැසිනෝ වලටත් ගියා වෙන්නට ඇති හිටිහැටියේ නගරය හිස්විය.

මෙය තවමත් සංචාරකයන් බහුලව ඇදෙන ගිම්හානය නොවේ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

%d bloggers like this: