අරුණි ශපීරෝ‍ වෙතින්

බොබ් මාලේ නිවාඩුවට ගිය නිවසේ සිට ලියමි

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 18, 2018

බොබ් මාලේ සිය පවුලේ අය සමඟ නිවාඩු ගත් නිකේතනයට ඇතුල් වෙන ගේට්ටුවේ, නැඟ එන හිරු පසුබිම් කරගෙන, කිරුළු පැළඳගත් සිංහයෙක් සහ සිංහ ධෙනුවක් ඔබ එනතුරු බලා සිටියි. මේ මාලේ රිසෝට් ඇන්ඩ් ස්පා නිවාඩු නිකේතනය ඇත්තේ බහාමාස් දූපත්හි නිව් ප්‍රොවිඩන්ස් දූපතේ කේබල් බීච් නම් මුහුදුවෙරළේය. වර්තමාන අයිතිකරුවන් රීටා මාලේ වෙතින් නිවහන මිල දී ගෙන ඇත.

බහාමාස් වෙත නිවාඩු ගන්නට ගිය බොබ් මාලේ සහ ඔහුගේ විශාල පවුල එහි නිතර පාහේ නිවාඩුවට යා හැකි නිවහනක් තැනූහ. ඒ කාමර 16 ක් සහිත නිවහන සහ ඊට යාබදව පැවති ආණ්ඩුකාරයාගේ නිවහනද ඈඳා මෙතන අද සංචාරකයන්ට විවෘත වූ කුඩා හෝටලයකි.

පහළ මාලයේ පුංචි කාමරයක, බොබ් මාලේ සිහිවටන සහ පවුලේ දුලබ ඡායාරූප රාශියකි. ඔහුගේ ගිටාර් දෙකක් ප්‍රදර්ශනයට තබා ඇත. එහි හිඳගෙන බෆලෝ සෝල්ජර් සිංදුව ඇතුළුව තවත් සංගීත විඩියෝ කිහිපයක් රසවින්ඳෙමි. එහි දී ඡායාරූප ගන්නට එපා යැයි සඳහනක් ඇත.

මුහුදු වෙරළ පෙනෙන ලෙස ඉදිකර ඇති කෑම කාමරයේ දැවැන්ත කෑම මේසය සහ එහි ඇති සිංහ කැටයම් රැගත් ලී පුටු ජැමෙයිකාවෙන් පැමිණි වඩුවැඩ ශිල්පීන් නිමකරන ලදැයි අහන්නට ලැබුණි.

මට නිදාගන්නට ලැබුනේ මුහුදු වෙරළට මුහුණ ලා ඇති, ඉහළ මාලයේ රාජකීය රීටා කාමරයේය. කාමර අංක වෙනුවට මාලේ පවුලේ අයගේ නම් වලින් දැක්වේ. රීටාගේ ඇඳට නඟින්නට බංකුවක් තිබුණා නම් පහසුයි. හොඳ වෙලාවට රෑ බහින්න ගිහින් පය ගහන්න බිම හොයාගන්න බැරුව වැටුනෙ නැත්තෙ!

ඉතින් දවස් කිහිපයකට මෙහි ඇවිත් ඉන්න මට බොබ් මාලේ ගැන සටහනක් එකතු නොකර යන්නට පුළුවන් ද?!

නෙස්ටා රොබට් මාලේ යන්න ඔහුට උපත්තියේ ලැබුණ නම වූවද, නෙස්ටා යන්න ජැමෙයිකන් හුරුවට ඇල්ලුවේ නැති නිසා ඔහුව ලෙස්ට යැයි හැඳින්විණ. ඔහුගේ පියා එංගලන්තයේ උපන් සුදු ජාතිකයෙකි. පළමු ලෝක යුද්ධයේ හමුදා කැප්ටන්වරයෙක් ලෙසින් ද, පසුව නයිජීරියාවේ පොලිස් නිලධාරියෙක් ලෙසින් ද සේවය කළ නෝර්වල් මාලේ ජැමෙයිකාවේ වතුයායක ඕවර්සියර් කෙනෙක් හැටියට සේවය කළේය.

1945 දී ජැමෙයිකාවේ උපදින බොබ් මාලේ කඳුකර පෙදෙසක පිහිටි කුඩා ගම්මානයක සිය ළමා කාලය ගෙවන ලද්දෙකි. අප්‍රිකානු සම්භවයෙන් දායාද වූ චාරිත්‍ර වාරිත්‍ර බොහොමයක් ඒ ජැමෙයිකන් දුරබැහැර ගමේ පදිංචි අය විසින් පවත්වාගෙන යන ලදි. ඉතිහාසය බෙදාගන්නට කතන්දර කලාව යොදා ගැනීම නිසා නිල වශයෙන් ලැබුණු ඉතිහාස පොත් වලට වඩා දැනුමක් ඔවුන් සතු වූවා යැයි කියැවේ. ජනප්‍රවාද, උපමා කතා සහ ගම්බද ජීවිතය හා ඈදී පැවති අනේක විධ චාරිත්‍ර ද බොබ් මාලේ ගේ දුප්පත් ළමා කාලය පෝෂණය කරන ලදි.

බොබ් මාලේට වයස 6 ක් වෙද්දී, පුතාට හොඳ අධ්‍යාපනයක් දීම සඳහා යැයි මව රැවටූ පියා ඔහුව නගරයේ වයසක ජෝඩුවකගේ නිවසක රඳවන ලදි. ගමෙන් ගිය අයෙක් වෙතින් ඔහු පාසැල් යන්නේ නැතැයි මවට ආරංචි වීම නිසා පුතාව ගෙදර ගෙන්නා ගන්නට මව සමත්විය.

බොබ් මාලේගේ හොඳම යාළුවා වූයේ ඔහු සමඟ වේලර්ස් (Wailers) නමින් සංගීත කණ්ඩායම පටන්ගත් නෙවිල් ‘බනි’ ලිවින්ග්ස්ටන් ය. පසු කාලයේ දී නෙවිල්ගේ පියා සමඟ සම්බන්ධයක් පටන් ගන්න බොබ්ගේ මව, යහළුවන් දෙදෙනාව ඥාතීන් කරවන්නට පර්ල් නමින් සහෝදරියක් තුලින් සමත් වූවාය!

වයස 15 දී පාසැල් අධ්‍යාපනය අත්හරින බොබ් මාලේ ආධුනික වැල්ඩර් කෙනෙක් හැටියට රස්සාවක් අරඹයි. ඒත් රස්සාවේ දී ඇසක් තුවාල වීමෙන් ඔහු එය අත්හැර දමා මුළුමනින්ම සංගීතයට පිවිසේ.

බොබ් මාලේගේ පළමු දරුවා ඉමානි කැරල් නම් 1963 දී උපදින දියණියයි. එවිට ඔහුගේ වයස අවුරුදු 18 කි. ඉමානිගේ මව ෂෙරිල් මුරේ නම් විය. 1966 දී බොබ් මාලේ ඇල්වරීටා ‘රීටා’ ඇන්ඩර්සන් නම් කාන්තාවක් හා විවාහ වූවත් විවාහය තම හොඳම යාළුවාගෙන් පවා වසන් කරගෙන සිටියේය. බොබ් සහ රීටා වෙතින් දරුවන් 3 දෙනෙක් ද, රීටාගේ කළින් දරුවෙක් සහ රීටා අනියම් සබඳතාවයකින් වැදූ දරුවෙක් ද සමඟින් වෙනත් කාන්තාවන් හය දෙනෙකු වෙතින් ලැබූ දරුවන් ද බොබ් මාලේ පවුලේ අය වෙති. බොබ් මාලේ මිය ගිය පසු යිවෙට් ක්‍රික්ටන්ට උපදින මකේඩා ද බොබ් මාලේ ගේ දරුවෙකි.

විවාහ වී දින දෙකකට පසුව ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ටන් නගරය බලා යන බොබ් මාලේ එහි ක්‍රයිස්ලර් කර්මාන්තශාලාවේ කරුඔසවන යන්ත්‍රයක් මෙහෙයවන රස්සාවක නියැළෙයි. මාස කිහිපයක දී ඇමෙරිකන් ඩොලර් 700 ක් උපයාගන්නා ඔහු ආපසු ජැමෙයිකාවට පැමිණ තමන්ගේම රෙකෝඩ් නිෂ්පාදන ව්‍යාපාරය පටන් ගනියි.

ඔහුගේ මරණය කැඳවන දකුණ කකුලේ මහපටැඟිල්ලේ පළහිලව්ව ගැටවර වියේ දී සංගීත වාදනයේ යෙදෙමින් සිටිය දී තැල්මකින් කළු වී පටන් ගත්තකි. පසුව දකුණු කකුල නැවතත් උදැල්ලකට හසුවී තුවාල විය. එපමණක් නොව පසුකාලයක දී ෆුට්බෝල් සෙල්ලම් කරද්දී ඒ මහපටැඟිල්ලම යළිත් වෙන ක්‍රීඩකයෙකුගේ සපත්තුවේ ස්පයික් වලට හසුවී තුවාල විය.

සංගීත සංදර්ශන වලින් පසුව එයින් ලේ ගැලීම නිසා තුවාලය සුව නොවී වසර දෙකක් පුරා ඇදී ගිහින් ඔහුට පිළිකා රෝගය හැදී ඇතැයි දැනගන්නට ලැබිණ. මහපටැඟිල්ල ඉවත් කරන්නට වෛද්‍යවරුන් නිර්දේශ කළ ද ඔහු ඒ වෙන විට රස්ටා ආගමට බරවී සිටි බැවින් ඔහු එය නොකළේය.

1920 හා 30 ගණන්වල පටන් ගත්, ජැමෙයිකාවේ බෙහෙවින් ජනප්‍රිය වූ රස්ටාෆාරියන්වාදය කළු හමැති අයගේ දේශපාලන ව්‍යාපාරයක් ලෙසින් මුලින් පටන් ගත්තකි. නිව්යෝර්ක් විසූ මාකස් ගාර්වෙ නැමැත්තා එය ප්‍රචලිත කරන්නට දායක වූයේ කළු හමැති වූවෙක් අප්‍රිකාවේ රජවෙමින් කළු හමැති අයව මෝක්ෂය වෙත ගෙන යනවා යැයි පැවසීමෙනි.

1930 දී රාස් ටෆාරි මැකොනෙන් ඉතියෝපියාවේ එම්ප්‍රදෝරුවා ලෙසට කිරුළු පැළඳීය. ත්‍රිත්වයේ බලය යන අර්ථයෙන් යුතු හයිලි සෙලාසී නම තමන්ට යොදාගත් ඔහුගේ අනුගාමිකයන් බවට පත්වෙන්නේ මේ කළු රජෙක් එනතුරු මඟ බලාගෙන සිටි, රජුගේ නමෙන් සිය නම හදාගත් රස්ටා ජනකොට්ඨාශයයි. සෙලාසී ඒත් කිසිවිටෙක රස්ටාෆාරියන් වූයේ නැත.

70 ගණන්වල දී චේගුවේරා සහ බ්ලැක් පැන්තර් කල්ලියේ රසිකයෙක් වූ ජැමෙයිකාවේ බොබ් මාලේ රස්ටාෆාරියන්වාදය ලොව පුරා ප්‍රචලිත කරන්නට සහාය දුන්නේය. ඔහුගේ ‘ඩ්‍රෙඩ්ලොක්ස්’ නම් පළු කැරලි කොණ්ඩය ද කළු හමැති අයගේ ‘වර්ගවාදී ස්වාත්ම්‍යය’ කියාපෑම සඳහාත්, හිඟන පෙනුම නිසා එල්ලවන අවඥාවට එරෙහිවත් ගන්නා ලද රස්ටා වෑයමයි. එසේම, රස්ටා ඇදහිලි අනුව මහපටැඟිල්ල සැත්කමකින් ඉවත් කරන්නට බොබ් මාලේ අකමැති විය. 1981 දී වයස 36 දී ඔහු පිළිකා රෝගයෙන් මිය යද්දී ඔහුගේ අවසන් වචන හැටියට සැලකෙන්නේ “මුදල් වලට ජීවිතය මිල දී ගන්න බැහැ” යන්නයි. ඒත් මුදල් තිබූ නිසා ඔහුට මහපටැඟිල්ල ඉවත් කරන සැත්කම කරනවාද නැද්ද යන්න තෝරාගැනීමට හැකියාව තිබුණ බව අපි අමතක නොකළ යුතුයි.

One Response

Subscribe to comments with RSS.

  1. Lakmal Kandevidane said, on අප්‍රේල් 18, 2018 at 2:16 ප.ව.

    පර්ල් ගේ පළහිලව්ව ගැන දැනගන උන්නේ නැ


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: