ඇට්ලෑන්ටිස්
නෑසෝ,බහාමාස් හි පිහිටන ඇට්ලෑන්ටිස් වෙත අපි ගියේ එහි ඉදිරිපත් කරන ජල ක්‍රීඩා සඳහා නොවේ. එහි ඇති කැසිනෝ වල සෙල්ලම් කරන්නටත් නොවේ. අපට උවමනා වූයේ මිනිසා විසින් තැනූ ඒ අපූරු පරිසරයේ ඇතුලත සහ පිටත සිරි නරඹන්නටත් මෙන්ම විවිධ මුහුදු ජීවීන් දැකබලා ගන්නටයි.
ඉතින් ඒ නිසා ඩොලර් 74 ක ටිකට් එකට මොන දේවල් ලැබෙනවාදැයි යන්න ගැන අපි කතාබහ කළේ ඒ දූපතට යන බෝට්ටුවේ දී ය. බෝට්ටුවේ හැම විටම ස්වාධීන මඟපෙන්වන්නෙක් ද දාගෙන යන බවක් පෙනුණි. එන්ජින් සද්දයට වඩා හයියෙන් කෑ ගහන ඔහු සමහර කරුණු අතින් දා කියන බව ගූගල් සර්ච් පහසු යුගයක අපට හොයාගන්නට හැකියාව ලැබිණ. ඒත් ඉතින් ඔහුගේ ව්‍යවසායක වෑයමට සලකන්නට අපි දායක වූයෙමු.
ටිකට් විකුණපු කාන්තාව අප නැවතී සිටි මාර්ලෙ රිසෝට් එකේ කළින් සේවය කරන ලද්දියකි. අප නවාතැන් ගෙන සිටින්නේ එහි යැයි දැනගත් ඇය ඇට්ලෑන්ටිස් හි වැඩ කරන්නට පටන් ගත් පසුව මාර්ලෙ රිසෝට් වෙතින් පැමිණි මුල්ම සංචාරකයන් අප යැයි කීවාය. සමහර විට ඇයට සිය ගමේ කට්ටියක් ආවා මෙන් දැනුනා විය හැකියි. කෲස් නැව් වලින් එන සහ නෑසෝ සුපිරි හෝටල් කිහිපයක නවාතැන් ගත්තවුන්ට ලැබෙන ඩිස්කවුන්ට් ඇය අපිට දුන් නිසා ටිකට් පතක් ඩොලර් 40 කට ගන්නට ඉල්ලමක් අපිට පෑදුණි.
මුහුදු ජීවීන් රැගත් විශාල තටාක 3 ක් ඇත. ඒ හැරෙන්නට උන් දිහා වතුරට බැස බලන්නට හැකි පහසුකම් ද අමතර ගාස්තුවක් ගෙවා ලබාගත හැකියි.
ලොකු කුඩා මාළු වර්ග, දැවැන්ත පොකිරිස්සන්, ඉදිබුවන් මෙන්ම ස්ටින්ග් රේ සමූහයක් සිටියහ. ඩොල්ෆින් සමඟ වතුරට බැස සෙල්ලම් කළ හැකිය.
ජල ක්‍රීඩා පහසුකම් අතර, විනිවිද පෙනෙන ටියුබ් එකක පාවෙන ආසනවල රැඳී එයින් පිටත මාළු නරඹමින් යා හැකියි. ඒ යන අය දිහා බලාගෙන සිටීමත් විනෝදජනක විය.
පරිසරය ඉතා දැකුම්කළු ලෙසින් නිර්මාණය කර තිබේ. ස්වභාව දහමෙන් සපයන සුන්දරත්වයට ඉඩ තබමින් මිනිසා තැනූ දේවල් එකතුකරන්නට සමත් වූවා යන්න මගේ මතයයි.
කැසිනෝව මැදින් ගමන් කරන්නට හදා තිබීම නම් ව්‍යවසායක ප්‍රයෝගයකි. සමහර අය එතැනින් එහාට ගියේ නැතිවා විය හැකියි. එසේම කැසිනෝව ඇතුලේ ඡායාරූප ගන්නට එපා යැයි කිව්වත් එහි සිට සෙල්ෆි ගැසූ සූදු කෙළියේ නොයෙදුන අය බොහෝ සිටියහ.
කන්නට බොන්නට ඇති තැන් හරහා ද ඇතුල් වෙන පිටවෙන ලෙසින් ගමන් මාර්ග හදා තිබිණ. වෙරළක් ද සමඟ හැදූ පිහිනුම් තටාකයක් අසල අව්ව තපින්නට පුටු සිය ගණනින් වූහ. ඒ අසල ඇති ස්ටාර්බක්ස් කුටිය හොඳ ආදායමක් උපයන බව පෙනේ.
මුහුදු වෙරළෙ ජෙට්ස්කි හා වෙනත් මුහුදු ක්‍රීඩා සඳහා පහසුකම් සහ ආම්පන්න කුලියට ගත හැකියි. නැත්නම් සුදු වැල්ලෙ අව්ව තපින්නට හැකියි. එතැන කුටි කිහිපයක සංචාරක අරුමෝසම් බඩු අලෙවියට හඬ නඟමින් එන්න බලන්න යැයි කියන බහාමියන් වෙළෙන්ඳන් සිටිති. බඩු නොගෙන ගියත් ආශීර්වාද කිරීම ඔවුන්ගේ සිරිතයි.
ඇට්ලෑන්ටිස් ඇතුලත නවාතැන් පහසුකම් බොහොමයකි. එහි සති අන්තයක් ගෙවන්නෙකුට කම්මැලිකමක් නොදැනී ඉන්නට හැකි ලෙසින් සියල්ල නිර්මාණය කර තිබේ.
ඇවිදින්නට අපහසු අයට රෝද පුටු පහසුකම් ඇත. ඇවිද බලන්නට බොහෝ දෑ ඇති බැවින් පහසු පාවහන් පැළඳ, සිතියම බලා යා යුතු ස්ථාන හොයාගෙන සිරි නැරඹීමෙන් කාලයත් ඉතිරි කරගෙන වෙහෙසත් අඩුකර ගත හැකියි.
පින්තුර ටිකක් වැටුනා නම් අනගි
ඉඩක් ලැබුනම තව එකතු කරන්නම්.
හරිම සුන්දර සටහනක් .ඇත්ත පින්තූර ටිකක් ආවා නම් වටිනවා , නමුත් මුහුණු පොතෙන් විස්තර දැක්කා.