අරුණි ශපීරෝ‍ වෙතින්

මම දන්නෙ නෑ කියල මම දන්නෙ නෑ

Posted in Uncategorized by arunishapiro on මැයි 5, 2018

පහුගිය දවසක තියන රස්සාවට වැඩියෙන් හොඳ රස්සාවක් සොයන අපේ ගමේ තරුණියක් සමඟ දීර්ඝ කතාබහක් කරන්නට මට සිදුවිණ. මගේ දියණිය සමඟ කලකට පෙර ඒ හා සමාන මාතෘකා ගැන ඇති තරමින් සංවාද කර තිබූ බැවින් මෙයාට යම් මගපෙන්වීමක් ලබාදෙන්නට හැකි යැයි සිතූ නිසා අපි දෙදෙනා කෝපි කඩයක දී හමුවීමු.

කතාබහ පටන් ගනිද්දීම මට පසක් වූයේ ඇය සිතට බරක් කරගෙන සිටින යමක් ඇති බවයි. ඇයට උවමනා වූයේ ඥාති නොවන වැඩිහිටියෙක් සමඟ ඒ ගැන කතා කරන්නටයි. කුමක් වුවත් කාරණය අතිශය පෞද්ගලික වූවක් යැයි මම අපේක්ෂා කරද්දී, කතාවෙන් හෙළිවූයේ ඇය තමාට ඇති අඩුවක් යැයි අල්ලාගත්තක් ගැන තැවෙන බවයි. නමුත් එය කුමක්දැයි ඇය දැන සිටියේ නැත.

ඇය පරිපාලන තනතුරක් දරන්නියකි. එහි ඒ ඒ අංශ ගැන අපි කතාබස් කරද්දී ඒවා එකක් හෝ ගැන ඇයට විශේෂ චකිතයක් නැති බව වැටහිණ. ඒත් ඇය සවස ගෙදර ගියාම ඇයගේ සිතට මහත් විඩාවක් දැනෙන බව ඇය කීවාය.

තමන්ගේ කුසලතාවයන් මොනවාදැයි අහද්දී, වැදගත් යැයි සැලකෙන ඒවා නම් කරන්නට ඕනෑම අයෙකුගේ හිත හනිකට ඇදී ගියත්, ඒවා සැබැවින්ම තමන්ගේ කුසලතා දැයි විමසා බැලීම අයෙක් කරනවා ද?

සමහර අයට නිර්මාණාත්මක කුසලතා ඇත. කාමරයක බඩු මුට්ටු එහා මෙහා කර තිබුණාට වැඩියෙන් අපූරු ලෙසකින් ඉදිරිපත් කරන්නට හැකියි. තවත් අය අනුන්ට උදව් කරන්නට ඉතා සමත් වෙති. තව කෙනෙකු සහයෝගයෙන් කණ්ඩායමක් සමඟ කටයුතු කරන කුසලතාවයෙන් යුතුයි. තවත් අයට අනුන් කියන දේ අහගෙන ඉන්නට පුදුම ඉවසීමක් ඇත. ගණන් කරන්නට, වර්ග කරන්නට සහ නැවත සොයාබලා අඩුපාඩු දකින දක්ෂයන් සිටිති. එසේම තවත් අයෙක් උපදෙස් නැතිවම කැඩුණු බඩුවක් අලුත්වැඩියාවට හෝ කොටස් එකතු කර යමක් නිමකිරීමට සහජ දක්ෂයෙක් වේ.

මේ අයට ඒ තමන් සතු වූ කුසලතාවයේ යෙදීමෙන් සිත පිරී යනවා මිසක සිතට වෙහෙසක් දැනෙන්නේ නැත. නිදිමරාගෙන චිත්‍ර අඳින්නාට, පිරිත් මණ්ඩප හදන්නාට හෝ ලී බඩුවක් කැටයම් කරන්නාට ගතේ වෙහෙස වැඩි වී විවේක ගන්නට සිද්ධ වූවත් ඒ කටයුතුවල නියැළීම සිතට පීඩාවක් නොවේ.

තමන් ප්‍රිය කරනවා යැයි ද, තමනට ඉතා පහසු යැයි ද දැනෙන යමක නියැළෙද්දී ඉතා ඉක්මණින් එයින් විඩාවට පත්වෙනවා නම් එයින් හැඟෙන්නේ ඒ කටයුත්තට තමන් යටි හිතෙන් අකමැති බව ද, නුසුදුසු බව ද?

ඉතා ප්‍රියමනාප පෙනුමින් වූවත්, දන්න කියන අය සමඟ සුහද ලෙසින් සතුටු සාමීචියට හැකියාව තිබුණත්, ආගන්තුකයන් ඉදිරියේ කුලෑටි නොවී, ඔවුන්ව පහසුවෙන් කතාවට එකතු කර ගැනීමේ කුසලතාවය බොහෝ අයට නැත. සමහර අයට ඒ හැකියාව තිබුණ ද, එයින් ප්‍රයෝජනයක් ගනිද්දී ඔවුන් මානසිකව ඉතා වෙහෙසකට පත්වෙති. එනම්, එම හැකියාව යොදවන්නට සිද්ධ වෙන රස්සාවක නියැළීම නිසා ඔවුන් දවස අවසානයේ ගෙදර යන්නේ මහත් විඩාවකිනි.

මැයට ආගන්තුකයන් හා කතාබහ ඇරඹීම පහසුය. ඔවුන් ගැන හාරා අවුස්සා අහන බවක් ඔවුන්ට දැනෙන්නේ නැතිව ඔවුන්ගේ තොරතුරු ලබාගැනීමට පුදුම වූ හැකියාවක් ඇත. විහිළුව හා හාස්‍යය රැගත් වචන කිහිපයකින් ඉතා සුළු කාලයකින් කතාබහේ යෙදෙන්නාව කාලයක් දැන සිටි අයෙක් බවට හරවන කුසලතාවයෙන් යුතුය.

ඒත් මුල් වදන් එසේ උද්‍යෝගයෙන් සිදු වූ පසුව කතාබහ මැද හිටිහැටියේ ඇය දැඩි නිහඬතාවයකින් පසුවෙයි.

ඇය තමන්ව පුද්ගලයන් හා කටයුතු කරන්නට කැමති, ඊට ඉතා හුරු පුරුදු තැනැත්තියක් ලෙසින් හඳුන්වා දුන්නත්, තමා විගසින් විඩාවට පත්වන්නෙ එයින් බව නොදැන සිටියාය. ඇය ඉතා දක්ෂ වූයේ සංවාදයක ආරම්භය සුමට ලෙසින් ඉටුකරන්නටයි. එය ඇය සිතා නොබලා සාර්ථකව කරන නිසා එය ඇයගේ සැබෑ කුසලතාවයයි.

සංවාදය දුර දිග ගියහොත් ඇය නිහඬ වන බව ඇයට නිනව් වී නොතිබුණි.

එය පෙන්වා දුන්විට ඇයගේ දෑස් පුදුමයෙන් විසල් විය. තමන් ආගන්තුකයන් හා කතාබහට සහජයෙන් දක්ෂ යැයි දැන සිටියත්, ඊට කැමති යැයි සිතාගෙන සිටියත්, බොහෝ අය හා කතාබහ කරන රැකියාව නිසා දවස අවසන් වෙද්දී දැඩි මානසික විඩාවක් දැනෙන්නේ මන්දැයි ඇය දැන සිටියේ නැත.

එසේම, ඔවුන් හා ආචාරශීලීව, ප්‍රියමනාපව සහ බුද්ධිමත් ලෙසින් ගණුදෙනු කිරීමෙන් පසුව හිටිහැටියේ නිහඬ වීම නිසා ඇයව නොසැලකිලිවන්ත අයෙක් මෙන් ඔවුනට පෙනී යනු ඇතැයි ද කියා ඇය සිතා තිබුණේ නැත.

ඇය සංවාදයක් අවසන් කරන ආකාරය නොදැන සිටීම නිසා දිගින් දිගට ඇදෙන කතාව මැද්දේ තමන්ද නොදැනුවත්වම නිහඬ වෙන්නට පටන් ගනියි.

එයට කළ යුතු වූ පිළියම් ගැන අපි දෙදෙනා විමසා බැලුවෙමු. ජවයෙන් පටන්ගෙන හුලං බැස්සා මෙන් අවසන් නොවෙන ආකාරයෙන් සංවාද ගෙනියන්නට ඇය මනාව පුරුදු පුහුණු විය යුතු බව ඇයට පසක් විය. කතාබහ දුරදිග යන්නට නොදී, එසේම අතරමග ඇන හිටින්නටත් පෙර, සංවාදය අවසන් කරන්නට හැකි වදන් සමූහයක් තෝරාගෙන, ඉදිරියේ දී ඒවා අත්හදා බලන්නට ඇය තීරණය කළාය.

කළ යුත්තේ එයැයි කියා අපි නිගමනයට කරද්දී, එවැනි හදාගත හැකි වූ සුළු දෙයක් “මම දන්නෙ නෑ කියල මම දන්නෙ නෑ,” යැයි ඇය කීවේ සිනාසෙමිනි.

ඇය දැනට රස්සාව කරන්නේ ව්‍යාපාරික කටයුතුවල යෙදෙන බොහෝ අයිතිකරුවන් නිතර පැමිණෙන තැනකයි. තමන්ගේ මානසික සුවය පිණිස තමන් සතු කුසලතාවය මනා ලෙසින් හසුරවන්නට උවමනාවක් ඇය තුල ඇති නිසා වැඩිකල් නොගිහින් මීට වැඩියෙන් හොඳ රස්සාවක් ඇයට ලැබෙන බව මට හොඳටම විශ්වාසයි.

One Response

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on මැයි 9, 2018 at 4:24 පෙ.ව.

    නිදහස අහුරල ඇති විටෙක .අපි දක්ෂ කුමකදට කියල අපිටම හොයා ගන්න බෑ. හුවමාරු නිදහස්ව සිද්ධ වෙන විට ඒක සඵල වෙනව. එතකොට මම දන්නෙ නෑ කියල දන්නෙ නැති එකට පිලියමක් ඇති වෙනව


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: