අරුණි ශපීරෝ‍ වෙතින්

ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා

Posted in Uncategorized by arunishapiro on මැයි 9, 2018

අර්ථ ශාස්ත්‍රඥයන් අතර ප්‍රත්‍යක්ෂවාදී අදහස් ඉස්මතුව පැවතීම නිසා, අර්ථිකමිතික සමාජයේ උද්ධෘත පාඨයෙන් දක්වන සේ, “විද්‍යාව යනු අනාවැකි කීමයි” යන්නට ඔවුන් එකඟ වෙති. අනේක ආර්ථික දර්ශක ගැන අනාවැකි අප වටකරගෙන පවතී. හරියට දිවැස් කියන ලෙසින් එහෙමත් නැත්නම් කුකුල් බඩවැල් තුලින් අනාගතය දැකිය හැකි ලෙසින් ඔවුන් දශම එකක ප්‍රතිශතයක නිවැරදි බවකින් වර්ධනයේ අනුපාතිකය හෙළිකරන “විශේෂඥයන්” වෙති.

19 වැනි සියවසේ දී පුවත්පත්වල ලියන ලද සෑම දෙයක්ම විශ්වාස කරන්නට මිනිසුන් පුරැදු වී සිටියහ. කාලයාගේ ඇවෑමෙන් ඔවුන් සත්‍ය තොරතුරැ මූලාශ්‍ර යැයි සැලකෙන ලද ඒවා ගැන සැක කරමින් ප්‍රශ්න අහන්නට පටන් ගත්හ. අනතුරැව රෑපවාහිනිය පැමිණියේය. මනස් හසුරැවන සත්‍ය බලයක් පින්තූර වලට ඇත, නමුත් කාලයක් යද්දී, ප්‍රවෘත්ති අවිශ්වාස කරන්නට පටන් ගත් ජනතාව තමන්ගේ විවේචනාත්මක විනිශ්චයන්ට එළඹුනහ. රජයේ සංඛ්‍යාන සහ ආර්ථික අනාවැකි ඒවා ආරම්භයේ පටන් සත්‍යය ලෙසින් ජනතාවගේ පිළිගැනීමට පාත්‍ර වීමත් ජනතාව ඒ දත්ත ඉතා කලාතුරකින් පමණක් විමසීම තවමත් පැවතීම එහෙත් අසාමාන්‍ය වූවකි.

ආරක්ෂිත දුම්රිය ප්‍රවාහනය සහ වැය දරාගත හැකි වූ සෞඛ්‍ය සේවය සපයන්නට ආණ්ඩුවට හැකියාව ඇතැයි අප විශ්වාස නොකරනවා නම්, ඇයි අපි එයට වැඩියෙන් හොඳ ආර්ථික අනාවැකි පළකරන හැකියාව ඇතැයි විශ්වාස කරන්නේ? සංඛ්‍යාන සහ අනාවැකි සඳහා වෙනසක් සිදුවිය යුත්තේ ඇයි?

අපි සර්වශුභවාදී වෙමු!

මේ කාරණා සම්බන්ධයෙන් ප්‍රංශය අපට පාඩමක් ඉගෙන ගන්නට අවස්ථාවක් පාදා දෙයි. සෑම වසරකම ප්‍රකාශනය කරන, ප්‍රංශයේ වර්ධනය අනුපාතික අනාවැකි සැබැවින්ම දුර්වල වාර්තා කිරීමක් පෙන්නුම් කරන්නකි. ඊ ළඟ වසරේ රජයේ ආදායම ඇස්තමේන්තු කරන්නට භාවිතා කරන නිසා මේ අනාවැකි වැදගත්ය. සංඛ්‍යා හිතුමතයේ හදා ඇත්නම්, එවිට පාර්ලිමේන්තුව අයවැය සඳහා බුද්ධිමත්ව චන්දය ප්‍රකාශ කරන්නේ කෙසේද? 1999 සිට සෑම වසරක දී ම රජය අචලව අනාවැකි පළ කර ඇති ප්‍රංශ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශත ලක්ෂ්‍යය 1.03 ක වැරදි සාමාන්‍යයක් සටහන් වෙයි – එය දළ දේශීය නිෂ්පාදිතයේ සැලකිය යුතු වෙනසකි.

පසුගිය වසර 15 තුල දී ප්‍රංශ ආණ්ඩුව දහතුන් වතාවක් පමණට වඩා සර්වශුභවාදී වී ඇත. අනාවැකි නිතර පාහේ දේශපාලනඥයන්ගේ උවමනා අනුව හැඩගැසෙද්දී මෙය පුදුමයක් නොවේ. මුදල් අමාත්‍යාංශයේ ඉහළ තනතුරැ දරන නිලධාරීන්ට තවමත් මතක ශෝක සුඛාත්මක සිද්ධියක් මෙසේය. 2010 ගිම්හානයේ දී එවක මුදල් ඇමති වූ ෆ්‍රැන්සුවා බැරොයින් හට බ්‍රෙජාන්සොන් කොටුවේ දී ජනාධිපති නිකලොයි සාකෝසී හමුවන්නට සිද්ධ වුණි. 2011 වර්ධන අනුපාතික අනාවැකිය 1.2 ක ප්‍රතිශතයක් යැයි බැරොයින් විසින් වාර්තාව ඉදිරිපත් කරන ලදි. “අපිට 1.2% කියා දැනුම් දෙන්න බැහැ, එය අඩු වැඩියි, අපි කියමු එය 1.5% ක් කියලා,” සාකෝසි හමුවන්නට මඳකට කළින් මුදල් ඇමති සිය කණ්ඩායමට කියා සිටියේය. සංඛ්‍යා දැකි සාකෝසි ද එයින් අසතුටට පැමිණ “අපි එය 2% ක් කරමු!” යැයි පෑනෙන් වෙනස් කරන ලදි. ඔවුන්ගේ වාසනාවට ඒ වසරේ දී වර්ධන අනුපාතිකය 1.7% ක් වුණි. එහෙත් අනාවැකිය මහත් ලෙසින් වැරදුනු කල ද රජය හැම විටම දිනන්නේ සංඛ්‍යා තමනට වාසි පරිදි හැදීමෙනි. මාස කිහිපයක් ගෙවී ගිය පසු බොරැ අනාවැකි මතකයේ ඇත්තේ කාට ද?

ඍජු දේශපාලන බලපෑම් වලට අඩුවෙන් ලක්වන යුරෝපීය කොමිසම සහ පුද්ගලික සංවිධාන ප්‍රංශ දළ දේශීය නිෂ්පාදිතය ගැන අනාවැකි කියන්නට සමත් වෙන්නේ එයට වඩා මඳක් නිවැරදිතාවයකින් පමණි. උදාහරණයක් වශයෙන් “Centre de Prévision de l’Expansion” විසින් 1999 සිට 2014 කාලය තුල දී 0.75 ක ප්‍රතිශත ලක්ෂ්‍යයක මධ්‍යයක වැරදීමක් සිද්ධ කර ඇත.

ගණිතමය අකෘති වල ඇති ගැටළුව

රාජ්‍ය ආයතන වලට වඩා අනුමාන කරන දස්කමක් ඒ හා සමාන වූ පුද්ගලික ආයතන සමහරකට ඇතත්, “සංකීර්ණ ගණිතමය ආකෘතියකින්” අපිට අනාවැකි ගණනය කරත හැකියි යන අභ්‍යුපගමනය දෝෂ සහගත වූවකි. මුලින්ම, දෝෂ්‍ය සීමාන්තරය කිසිම විටෙක ප්‍රකාශනය නොකරන්නේ ඇයි? ඇත්ත වශයෙන්ම, ලක්ෂ්‍ය ඇස්තමේන්තුවක් දෙනවා වෙනුවට පරාසයක් ඉදිරිපත් කිරීම වැඩි සංසක්ත බැවින් යුතු නැද්ද? දෙවනුව, අනාවැකි කියන්නට නම් ආර්ථික වැඩ කරන ආකාරය ගැන ඔබ අභ්‍යුපගමනයන්ට එළඹිය යුතුයි. ඔබේ අභ්‍යුපගමනයන් වැරදි නම්, ඒවා “විදග්ධ ගණිතමය අකෘති” වලින් නිවැරදි කරන්නේ නැත.

මාර්ක් තෝර්න්ටන් දැක්වූ පරිද්දෙන්, “අර්ථ ශාස්ත්‍රීය විධික්‍රමයේ පවතින ධනීයවාදී සමාජවේදයේ ප්‍රමුඛත්වය නිසා සිය අකෘතිවල තාර්කික සංසක්ත බව ගැන අඩුවෙන් තකන්නට අර්ථ ශාස්ත්‍රඥයන්ව දිරිගැන්වේ. එසේම ඒ වෙනුවට අනාවැකි කියන්නට හැකි ඵෛතිහාසික දත්ත යොදාගන්නා ආකෘති සකස් කරන්නට ඔවුන් වැඩියෙන් අවධානය යොමු කරති.” තව දුරටත්, ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයන් අපට මතක් කරන්නේ අනාගතය සැම විටම අවිනිශ්චිත බවයි. අනාගතය නිශ්චිතව දැනගත හැකියාව අපට ඇත්තේ නම්, එවිට මිනිස් ක්‍රියාකාරකම් වලට තැනක් නොමැත. ඒ නිසා ඔස්ට්‍රියන් පාසැලේ අය අනාවැකි ගැන එතරම් විශ්වාසයක් තබාගන්නේ නැත. ආර්ථික න්‍යාය අපිට ගුණාත්මක අනාවැකි දක්වන්නට උදව් වූවත් එය ප්‍රමාණාත්මක අනාවැකි කියන්නට භාවිතා කළ නොහැකි බව ලුඩ්විග් වොන් මීසස් කියා සිටියේය:
පැහැදිලි ක්‍රියාමාර්ග වලින් ගැනෙන ආර්ථික ප්‍රතිපත්ති වල ඵලවිපාක ගැන අනාවැකි කියන්නට අර්ථ ශාස්ත්‍රයට හැකියි. යම් පැහැදිලි ප්‍රතිපත්තියකින් ලැබෙනවා යැයි කියන අවසන් ඵලය එයට සාක්ෂාත් කරගත හැකිදැයි යන ප්‍රශ්නයට එයට උත්තර දිය හැකියි. උත්තරය ඍනාත්මක වූවක් නම් සත්‍ය ඵලවිපාක ද එසේම වේ. නමුත්, මෙහි දී ඉදිරිපත් කළ හැක්කේ “ගුණාත්මක” අනාවැකි පමණකි. සාධක සහ ඒ හා බැඳුනු ඵලවිපාකයන් අතර නොනැවතෙන සබඳතාවයක් නැති බැවින් ඒවා “ප්‍රමාණාත්මක” විය නොහැකියි. පැහැදිලි ක්‍රියාමාර්ග වලින් ලැබෙන ප්‍රතිඵලය ගැන අනාවැකි කියත හැකි සුකෘත පරිගත බලය දැකිය හැකියාව අර්ථ ශාස්ත්‍රයේ ප්‍රායෝගික අගයයි.

නිව්ස්වීක් හි තීරැ ලිපියක 1948 නොවැම්බර් 22 වැනිදා හැස්ලිට් මෙසේ ලීවේය:
දේශපාලන අනාගතය මෙන්, ආර්ථික අනාගතය ද, තීරණය වෙන්නේ අනාගත මිනිස් හැදියාව සහ තීරණ අනුවයි. ඒ නිසයි එය අවිනිශ්චිත. ව්‍යාපාර චක්‍රය ගැන නිතර පාහේ වර්ධනය වෙන ලියකියැවිලි විශාල වූවත්, ව්‍යාපාර අනාවැකි කීම, ජනමත විමසුම් වලට වැඩියෙන් වූ නිවැරදි විද්‍යාවක් බවට කිසිදින පත් නොවේ.

එහෙත් අනාවැකි පිළිබඳ කිසිත් වරදක් නැත

පරිසිද්ධි විශ්ලේෂණයෙන් වලංගු අනාවැකි කියන්නට අපට උදව් වෙන්නේ හොඳ ආර්ථික න්‍යායයි. නිවැරදි ආර්ථික න්‍යාය මත පදනම් කරගෙන ජෝන් ලෝ ගේ මිසිසිපි බුබ්බුල පද්ධතිය ගැන නිවැරදි අනාවැකි කියුවේ රිචඩ් කැන්ටිලියන් විසිනි. එහි ප්‍රතිඵලයක් හැටියට ඔහු මහත් ධනවස්තුවක් උපයා ගන්නට සමත් විය. එහෙත් හොඳ අර්ථ ශාස්ත්‍රයට සංකීර්ණ ගණිතමය අකෘති අවශ්‍ය නැත. අර්ථ ශාස්ත්‍ර විද්‍යාවේ ගණිත භාවිතය ගැන විවේචනය කළ අර්ථ ශාස්ත්‍රඥයන් බොහෝ විට දක්ෂ අනාවැකිකරැවන් වූහ. උදාහරණයක් හැටියට, ශ්‍රේෂ්ඨ සම්භව්‍ය අර්ථ ශාස්ත්‍රඥයෙක් වූ යිව ගුයො ආර්ථික විද්‍යාව ගණිතමය කිරීමට දැඩි සේ විරෝධය පෑවෙකි. ඒ ගැන හේ ලියොන් වොල්රාස්ව විවේචනය කළේය. කෙසේ වෙතත්, ඔහු ආර්ථික අනාවැකි කියූ හොඳම දක්ෂයා වූයේය. අර්ථ ශාස්ත්‍ර විමර්ශන ඉතිහාසය හි එය පිළිගන්නට ෂුම්පිටර්ට පවා සිද්ධ විය:
ඊ ළඟ මාස හයේ දී ලෝහ මිල ගණන් හෝ රක්ෂා අපේක්ෂාවන් සම්බන්ධයෙන්, ව්‍යාපාරිකයෙක් හෝ දේශපාලනඥයෙක් හැටියට පැහැදිලි අවබෝධයක් ලබනු පිණිස පරේටෝ සැලකිල්ලට ගන්නවාට වඩා මම ගුයෝ කියූ උපදෙස් සලකා බැලිය යුතු වූවා, -ඔහු ප්‍රායෝගික විනිශ්චයට අතිදක්ෂයෙක් විය.

ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර පාසැල හා ළඟින් යන ප්‍රංශ සම්භව්‍ය අර්ථ ශාස්ත්‍ර පාසැලේ “විද්‍යාත්මක අනුප්‍රාණයක් නැතිකම” යැයි සැලකෙන ලද්ද ෂුම්පිටර් විසින් අවමානයට ලක් කරන ලද බව සැබෑයි. එහෙත් “හොඳ අර්ථ ශාස්ත්‍රඥයන්” යැයි ෂුම්පිටර් කියන -උදා., පරේටෝ සහ ලියොන් වොල්රාස්- යනු ඉතා මනරම් වූ ගණිතමය අකෘති නිර්මාණ කළ අර්ථ ශාස්ත්‍රඥයන් වීමත්, සත්‍ය ලෝකයේ කුමක් වෙන්නේ දැයි කියා ප්‍රායෝගික දැනුමක් ඒවායෙන් සපයන්නට සම්පූර්ණයෙන් අසමත් වීමත් උපාහාසාත්මක කරැණකි. ඒකීය පුද්ගලයෙක් කටයුතු කරන්නේ කෙසේදැයි කියා අපට සමීකරණ වලින් පෙන්වා දෙන්නේ නැත. ඒ නිසා ආර්ථිකය වැඩ කරන්නේ කෙසේදැයි කියා දැනගන්නටත් නොහැකියි. අයෙකුට හොඳ අනාවැකි කියන්නට උවමනා නම්, මිනිස් ක්‍රියාකාරකම් වල මූලික නීතීන් ගැන පුළුල් දැනුමක් අයෙක් වර්ධනය කරගත යුතුයි. අනුභූතික පරිසිද්ධි සහ සංඛ්‍යා නිවැරදිව පැහැදිලි කරගත හැකියාව ලැබෙන්නේ එවිට පමණකි.

“ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා,” (Don’t Trust the Economics Oracles) සිරස්තලයෙන් ලුවි රැවානෙට් විසින් 2015 ජූනි 4 වැනිදා මීසස් ඩේලි සඳහා ලියන ලද ඉංග්‍රීසි සටහනේ සරල පරිවර්තනයයි.

One Response

Subscribe to comments with RSS.

  1. krishramanayaka71 said, on මැයි 14, 2018 at 3:01 පෙ.ව.

    //ඒකීය පුද්ගලයෙක් කටයුතු කරන්නේ කෙසේදැයි කියා අපට සමීකරණ වලින් පෙන්වා දෙන්නේ නැත. ඒ නිසා ආර්ථිකය වැඩ කරන්නේ කෙසේදැයි කියා දැනගන්නටත් නොහැකියි. අයෙකුට හොඳ අනාවැකි කියන්නට උවමනා නම්, මිනිස් ක්‍රියාකාරකම් වල මූලික නීතීන් ගැන පුළුල් දැනුමක් අයෙක් වර්ධනය කරගත යුතුයි. අනුභූතික පරිසිද්ධි සහ සංඛ්‍යා නිවැරදිව පැහැදිලි කරගත හැකියාව ලැබෙන්නේ එවිට පමණකි.///


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: