අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රංශ උපාධි හෑල්ලූ කළේ නැපෝලියන් බොනපාට්

Posted in Uncategorized by arunishapiro on මැයි 11, 2018

තමා වාසය කරන පළාතේ දී ම ලබන ඉහළ අධ්‍යාපනයට වැඩියෙන් දුර බැහැරක ගිහින් ලබාගෙන එන උපාධියකට විශේෂ තැනක් ලැබීම යනු අලුත් දැනුමක් ඒ පළාතට එකතු වෙනවා යන්න අගය කිරීමේ හැදියාවකි. එකම විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම සහ ඉහළ උපාධි සියල්ලම ලබාගත් අයෙකුට වැඩියෙන් විවිධ රටවල විශ්වවිද්‍යාල වලින් දැනුම උකහා ගත් අයෙකුට පුළුල් දැනුමක් ඇත. පිළිගත් විශ්වවිද්‍යාල වලට ඇතුල්වෙන්නට පොරකන බුද්ධිමත් සිසුන් නිසා, තරඟකාරී බුද්ධිමත් පිරිසක් ඇසුරු කිරීමේ දී ද ඒ සියල්ලන්ගේම දැනුම ඉහළ යයි. ඒ නිසා විදේශයකින් ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබාගැනීම ගැන කැමැත්තක් මෙන්ම දිරිගැන්වීමක් ද උසස් අධ්‍යාපන ආයතන තුල දකින්නට ලැබේ.

ඒත්, තමන් අධ්‍යාපනය ලබන්නට යන රටේ, 1808 දී පටන් ගත් ප්‍රතිපත්තියක් නිසා, එහි පැමිණෙන බහුතර සිසුවන්ගේ මට්ටම ඉතා පහළ තත්වයකින් පැවතෙන්නේ නම්, එවිට ඔබේ උපාධියේ තත්වය ද කොතරම් පහළ මට්ටමකින් යුතුවේ ද?

විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා පෙනී සිටිය යුතු විභාගය Baccalauréat නම් වූව හඳුන්වා දෙන ලද්දේ නැපෝලියන් බොනපාට් විසිනි. එය සමත් වෙන ඕනෑම අයෙකුට විශ්ව විද්‍යාලීය අධ්‍යාපනය සඳහා ඉඩක් ලැබෙන පොරොන්දුවක් සමඟින් එය පටන් ගැනිණ. 1808 මාර්තු 7 වැනිදා Organic Decree හි ‘විශ්වවිද්‍යාල ලකුණු සහ එය ලබාගන්නේ කෙසේද’ යන කොටසේ එය නිර්මාණය කෙරිණ. අයැදුම්කරුවාට වයස 16 ක් පිරී තිබිය යුතු විය. ග්‍රීක සහ ලතින් රචකයන් ගැන, වාගලංකාරය, ඉතිහාසය, භූගෝලය සහ දර්ශනය යන විෂය ගැන දැනුම viva voce ආකාරයෙන් විභාග කෙරිණ. 1809 දී එය සමත් වූ 31 දෙනෙක් සිටියහ. ඉහළ අධ්‍යාපනය සඳහා ඔවුන්ට ඇතුල්වෙන්නට අලුතින් විශ්ව විද්‍යාල හදන්නට අවශ්‍ය නොවිණ.

1950 වෙද්දී පවා සමස්ත පාසැල් දරුවන් අතරින් bac විභාගයට පෙනී සිටින්නට වෑයම් කළේ 5% ක් පමණි. ඒත් එන්න එන්නම ඊට පෙනී සිටින සංඛ්‍යාව සහ ඉන් සමත්වෙන සංඛ්‍යාව ද ඉහළ ගියහ. 2000 වසරේ ජූනි මාසයේ දී ඊට 644,128 අයැදුම්කරුවන් පෙනී සිටියහ. 2016 වෙද්දී රටේ සෑම සිසුවෙක්ම වාගේ විභාගය ගන්නා අතර 80% ක් පමණ එයින් සමත්වෙති.

රටේ බහුතරය විසින් ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලැබීමට සමත්වීම යනු ප්‍රංශ සමාජයේ සියල්ලන්ගේම අධ්‍යාපනික දැනුම මට්ටම වැඩි වී ඇතැයි කියා සතුටු වෙන කාරණයක් බවට මෙය පත්වී ඇත.

මේ bac විභාගය ලංකාවේ උසස්පෙළ හා සමාන නැත. එය සමත් වීම පමණින් ඔවුන් කැමති ඉහළ අධ්‍යාපන ආයතනයට යන අයිතිය පවතී. එසේම ඔවුන් කැමති ඕනෑම විෂයයක් ඉගෙන ගන්නට එය සමත්වීම නිසා ඉඩකඩ ලැබේ.

1967-68 වසර වල දී අධ්‍යාපන ඇමතිවරයා ලෙසින් කටයුතු කළ Alain Peyrefitte මේ විභාගය ගැන, “ඒක හරියට පීනන්න පුළුවන් කවුරුන්ටදැයි බලන්න නැවක් මුහුදුබත් කිරීමක් සංවිධානය කරනවා වගේ,” යැයි කියූ ප්‍රකාශය දැඩි විවේචනයට ලක්විණ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සිසුන් තෝරාගැනීමේ පිළිවෙතක් හඳුන්වා දෙන්නට ගිය ඔහුට එරෙහිව සිසු උද්ඝෝෂණයක් 1968 මැයි මාසයේ හටගති.

ඒත් එහි ඇති අඩුපාඩු දකිද්දී, ප්‍රංශ උපාධි සඳහා ලෝක පිළිගැනීම ක්‍රමයෙන් තවත් අඩුවෙමින් යද්දී, bac විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ දැනුම පුළුල් කිරීමේ වෑයම් ද සිදුවිණ. 1993 ගණන් හි දී සාමාන්‍ය bac විභාගයක් සඳහා ප්‍රශ්න පත්‍ර 800 කට පමණ උත්තර ලිවිය යුතු විය. සාමාන්‍ය විෂයයන් තුලින් පෙනී සිටිය හැකි bac විභාග 16 ක් ද, තාක්ෂණික අංශයේ 17 ක් ද, වෘත්තීය අංශයේ 29 ක් ද වශයෙන් වෙන් වී යන්නට පටන් ගැනිණ. සිලබස් සහ විභාග සංඛ්‍යාව සමඟ හෙට්ටු වීම වැය අධික වෙද්දී, ප්‍රධාන අංශ දෙකකට බෙදන්නට පාලකයන් තීරණය කළහ. අර්ථශාස්ත්‍රය සහ සමාජ විද්‍යා රැගත් ES bac ධාරාව ද, විද්‍යාව සඳහා වෙන් වූ S bac ධාරාව ද, සාහිත්‍ය සඳහා වෙන් වූ L bac ධාරාව ද වශයෙන් සාමාන්‍ය bac විභාගයේ මුල් අංශය වෙනස් කරන ලදි. ඉතිරි සියල්ලම තාක්ෂණික ධාරා 4 කින් පිළිගැන්වෙන දෙවැනි අංශයට පැටවිණ.

ගණිතයට හෝ විද්‍යාවට එතරම් හපන් නොවූවෙකුට ගණිත හෝ විද්‍යා උපාධියක් ද, එසේත් නැත්නම් ඉතිහාසය ගැන යාන්තමින් කියවා ඇති අයෙකුට ඉහළ ඉතිහාස උපාධියකට ද හැකියාව පෑදේ.

ඒත් මෙතැන ඇති ගැටළුව, මේ හැකියාව ලබා දීම නිසා හටගන්නක් නොවේ.

ඒ මහජන විශ්ව විද්‍යාල සඳහා යන වැය මහජන බදු මුදලින් පියවීමයි.

රජය මාර්ගයෙන් මෙහෙයවන ඕනෑම කටයුත්තක් ඊට වඩා අඩු මුදලකින්, ඊට වඩා කාර්යක්ෂම ලෙසින්, ඊට වඩා උසස් ප්‍රතිඵල වලින්, ඊට වඩා ආචාර ධාර්මික ලෙසින් කරන්නට පෞද්ගලික අංශයට හැකියි යන සත්‍යය නොදන්නා අයට මේ ගැන පහදා දීම ඉතා අසීරුයි.

මහජන බදු මුදලින් මේ වැය පියවීම නිසා, ඉහළ අධ්‍යාපනය සඳහා සාමාන්‍ය සිසුවෙකුට දරන්නට සිදුවෙන වැය ඉතා අඩුයි. 2017 වසරේ දී යුරෝ 189 ක් සාමාන්‍ය ගාස්තුව ලෙසින් දැක්වේ. පළමු අවුරුද්ද තුල දහස් ගණනින් සිසුන් පාඨමාලා අරඹති. දේශන ශාලාවල ඉඩකඩ නැති තරම් තදබදයකින් යුතුයි. එසේම ආචාර්යවරුන්ට ඒ අලුත් සිසුන් සඳහා කිසි ලෙසකින් ඒකීයපුද්ගල අවධානයක් දිය නොහැකියි. වසර 3 ක දී ලබන ප්‍රථම උපාධිය ගන්නට එන අයගෙන් 70% ක් අසමත් වෙන බව කියැවේ.

මේ තත්වය ප්‍රංශයේ පමණක් නොව ඉතාලියේ සහ ලතින් ඇමෙරිකන් රටවල් හි ද දකින්නට ලැබෙන්නකි. ජනාධිපති ඔබාමා පාලනයේ සිටිය දී ඇමෙරිකාවේ ද එවැනි ක්‍රමයක් පටන් ගැනුණි. කිසිදා ඉහළ අධ්‍යාපනයක් ලබා නොමැති පවුල්වල අයට, අඩු ආදායම් ඇති පවුල්වල අයට යනාදී වශයෙන් අධ්‍යාපන සුදුසුකම් වලින් පිටත වූ කොන්දේසි අනුව ඉහළ අධ්‍යාපනයට ඉඩකඩ ලබා දී ශිෂ්‍යත්ව ද ප්‍රදානය කෙරිණ. මුල් වසර අවසානයේ දී ඒ අය අතරින් අධ්‍යාපනය දිගටම කරගෙන යාම සඳහා ආපහු ආවේ 1% ක් තරම් සුළු පිරිසකි. ඉතා ඉක්මණින් ඒ ක්‍රමවේදය නැවතිණ.

වෙළඳපොලට බැන්නාට එය වෙනුවෙන් ගෙනෙත හැකි වෙනස් ක්‍රමය කුමක්දැයි කියන්නට තවමත් ලොව කිසිවෙක් සමත් නොවූ නිසා, ප්‍රංශයේ ද ධනවත් සහ දක්ෂ අයට යන්නට එලීට් අධ්‍යාපන ආයතන පවතී. එලීට් පාසැල් වලින් 8% ක් පමණ සිසුන් අධ්‍යාපනය ලබති. ඇතුල්වීම අතිශය තරඟකාරී වූ පෞද්ගලික එලීට් විශ්වවිද්‍යාල වලින් 18% ක් පමණ සිසුන් අධ්‍යාපනය ලබති. සාමානාත්මතාවය අගයන ප්‍රංශ වැසියන් ඒ වෙනස ගැන නිහඬව සිටිනවා මිසෙක වෙන කුමක් කරන්නද?

එසේම ධනවත් රටවල් වලින් අධ්‍යාපනය ලබන්නට විදේශගත වෙන වැඩිම සිසුන් සංඛ්‍යාවක් සිටින රටක් වනුයේ ද ප්‍රංශයයි. වෙනත් යුරෝපීය රටවල සිසුන්ට වඩා ප්‍රංශ සිසුන් සිය විදේශගත අධ්‍යාපනය අගය කරති. එසේම විදේශ අධ්‍යාපනය ලබන සිසුන් අතර ප්‍රංශයේ අධ්‍යාපනය ලබාගන්නට ගිය අය ඒ ගැන දැඩි තෘප්තියක් නොමැති බව Studyportals.com හි survey න් පෙනී ගියා යැයි ද ඉකොනොමිස් සඟරාව වාර්තා කරයි.

වර්තමාන ප්‍රංශ ජනාධිපති එමැනුඑල් මැක්‍රොන් යළිත් මේ bac අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට ලකලැහැස්ති වී සිටියි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

%d bloggers like this: