අරුණි ශපීරෝ‍ වෙතින්

සමාජවාදී වෙළඳපොල ක්‍රමය – කරාකස් නගරයේ පහන් නිවී ගිය ක්‍රමයයි

Posted in Uncategorized by arunishapiro on මැයි 15, 2018

කරාකස් වෙතින් ආලෝකය මැකී ගිහින්” යැයි කියන 2018, මැයි 13 වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත ඊට පහළින් මෙසේ ද ලියයි -කලෙක ජවය පිරී තිබුණා වූ නගරය අති උද්ධමනයත්, නැවතෙන සේවාවන් සහ වැඩිවෙන අපරාධ හමුවේ ජරාවට පත්වී ව්‍යාධියට වැටී ඇත. ‘හැමෝටම පිටවී යන්නට උවමනායි.’

බොහෝ නිවහන්වලට වතුර නැත. සල්ලි මුදල් (කෑෂ්) කොතරම් හිඟදැයි කිව්වොත් බස් වියදමට පවා මිනිසුන් අත මුදල් නැත. ඉතින් මහජන ප්‍රවාහන පහසුකම් නැවතෙමින් යයි. මේ වසරේ 13,000% ක් ඉහළට ඇදෙන අති උද්ධමනය අපේක්ෂාවෙන් බොහෝ ව්‍යාපාර වැසී යමින් පවතී. නර්තන ශාලාවන් පාළුවට යද්දී සමාජවාදී පක්ෂ රැලි සඳහා ඒවා යොදා ගැනේ. ජාත්‍යන්තර සමාගම් ඉවත්ව ගියේ කලකට පෙරයි. බහුතර ජාත්‍යන්තර ගුවන් සේවා ඇණ හිටීම නිසා ගුවන් තොටුපල හිස් ව ගොසිනි.

තුවක්කු ළඟ තබා ගැනීමේ අයිතියක් මහජනතාවට නැත. කැමොෆ්ලාජ් හැඳගත් හමුදා භටයන් සෝදිසි මෙහෙයුම් ස්ථාන පවත්වාගෙන යති. ළමා වියේ හොර කල්ලි හොරකමෙන් සහ අපරාධයෙන් ජීවිතය ඇදගෙන යන්නට හුරුවෙමින් සිටිති. අද එය ලෝකයේ මිනීමැරුම් මට්ටම ඉහළින්ම ඇති නගරයකි.

කුණු කසල අවුස්සමින් බඩගින්නට යමක් හොයන මන්දපෝෂණයෙන් පෙළෙන පවුල් කරාකස් නගරයේ දකින්නට ලැබේ. එදා දඩාවතේ ගිය සතුන් පවා අද නගරයේ දකින්නට නැත. උන් හාමතේ සිටින මිනිසුන්ගේ කුසගිනි නිවන්නට පින්කර ඇත්තහ. එපමණක් නොව සත්ව උද්‍යානයෙන් ද සතුන් අතුරුදහන් වෙමින් යයි.

ඇතුල්වෙන්නට ඉඩ දෙන යාබද කොලොම්බියාවට දහස් ගණනින් ජනතාව ඇදෙති. සමහර කාන්තාවන් පවුල රකින්නට කොලොම්බියාවේ නීත්‍යානුකූල ගණිකා වෘත්තියට පිවිසී ඇත.

ඇඟිල්ලක් උල්කර පාන්නට බටහිර රටක් පෙන්විය නොහැකි නිසා වෙන්නැති වෙනදා මානව අයිතිවාසිකම් ගැන කතා කරන අය මෙදා වෙනිසියුලාව හැරදා ඇදෙන සරණාගත පෝලිම් නොදුටු ලෙසින් සිටිති.

ලෝක සත්ව අවිහිංසාවාදීන් අපූරු මුනිවතක් රකිති.

කිසිත් වරදක් නොකර, පවතින නීතියෙන් ළඟ තබාගන්නට හැකි තුවක්කු අයින් කරන්නට යැයි කියන්නට යාන්තම් හෝ ඉඩක් ලදොත් ක්ෂණයෙන් එළියට ඇදෙන ගුල්ලන් මෙන් වූ නීත්‍යානුකූල තුවක්කු අයිතියට එරෙහි වූවන් ද වෙනිසියුලාවේ ඉහළ යන මිනීමැරුම් ගැන නිශ්ශබ්ද වෙති. ඒ, අපරාධ මට්ටම් ඉහළ යෑමත් මහජනතාවට තුවක්කු නීත්‍යානුකූලව ළඟ තබාගත නොහැකිවීමත් අතර සම්බන්ධය පහදා ගන්නට නොහැකි නිසා වෙන්නැති.

සමාජවාදී වෙළඳපොල ක්‍රමය – ඔක්සිමොරොනයකි! තමන් කියන්නට පටහැණි වූ යමක් කීමකි. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගනිද්දී ඔක්සිමොරොන් සඳහා කදිම උදාහරණයක් අපිට සපයන්නේ විලියම් ශේක්ස්පියර් විසිනි. රෝමියෝ සහ ජුලියට් නාට්‍යය තුල එක දිගට ඔක්සිමොරොන් 13 ක් ඔහු දක්වයි.

O brawling love! O loving hate!

O anything of nothing first create!

O heavy lightness, serious vanity!

Misshapen chaos of well-seeming forms!

Feather of lead, bright smoke, cold fire, sick health!

Still-waking sleep, that is not what it is!

This love feel I, that feel no love in this.

ඒ කලහ ආදරය! ඒ ආදර ද්වේශය!

ඒ කිසිත් නැතිව යමක් මුලින්ම නිර්මාණය කරන්න!

ඒ බර සැහැල්ලුබව, වැදගත් ගර්වය!

හොඳින් යැයි පෙනෙන හැඩවල ඇති අබග්ග අවුල!

ඊයම් පිහාටුව, දීප්තිමත් දුම, සීතල ගින්න, ගිලන් නිරෝගීබව!

තාම-ඇහැරෙන නින්ද, ඒක නම් නෙමෙයි එය!

මේ ආදරය දැනෙන මට, ඒ දැනෙන්නේ මෙහි ආදරයක් නොවේ.

අද ලොව උගතුන් යැයි කියාගන්නා අය, බටහිර ගැත්තන් නොවන්නට, ශේක්ස්පියර් කියැවීම අත්හැර ෆූකාල්ට් කියැවීමේ නිරත වූ නිසා මේ කියන්නේ මොකක්දැයි කල්පනා කරයි ද!!!

වෙළඳපොල යනු තමන්ට අවශ්‍ය සියල්ලම තමන් විසින් නිපදවා ගත නොහැකි වූ ලෝකයක සියල්ලන්ටම උවමනා ඒ ඒ දේවල් පිරිමසා ගන්නට හැකියාව ලැබෙන ඉබේම බිහි වූවයි. වෙළඳපොල හැසිරෙන්නේ සහ මෙහෙයවෙන්නේ අපි සැවොම ගන්නා තීරණ වලින්.

සමාජවාදය යනු ඉහළින් සැලසුම් කරන අයෙක්/පිරිසක් සමාජයේ සියල්ලන්ගේම උවමනා පිරිමහන දැනුම සතුව සිටිනවා යැයි, කාල් මාක්ස්ටත් පෙර පැවති අදහසකි. අවශ්‍යතාවයට අනුව බෙදන්නට අත්හදා බැලූ සෑම අවස්ථාවේ දී ම ලොව අසාර්ථක වූ ක්‍රමයයි.

මේ දෙක එකිනෙකට පටහැනිය.

මිනිසා නියැළෙන අතිශය පෞද්ගලික වූ ද, ඒක පුද්ගල වූ ද, මනරම් ලෙසින් විවිධාකාර වූ ද තෝරාගැනීම් නවතා දමන්නට සමත් වූ පුද්ගලයෙක්, පිරිසක් ලොව කිසිදා නොවූහ. මිනිස් ස්වභාවය අනුව දුවන නිදහස් වෙළඳපොල ක්‍රමය මිනිස් ස්වභාවයට යදම් ලමින් ගෙනෙන සමාජවාදී ක්‍රමයට යා කළ නොහැක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: