අරුණි ශපීරෝ‍ වෙතින්

වික්ටෝරියන් කියා හෑල්ලුවට ලක් කරන්නට පෙර මෙය කියවා බලන්න

Posted in Uncategorized by arunishapiro on මැයි 19, 2018

යල්පැන ගිය ලද්දක් යැයි හඳුන්වන්නට “වික්ටෝරියන්” යන්න යොදා ගැනීම නිරතුරුවම දකින්නට ලැබෙන්නකි. තද රීති වලින් යුතු ශිෂ්ට සම්පන්න හැදියාව, දරදඬු ගතිපැවතුම්, ගෞරවය ගැන තීව්‍ර ආකල්ප, වෙනස් කරත නොහැකි සමාජ තත්වයන්, පැහැර හැරිය නොහැකි වගකීම්, මෙම සටහනට එකතු කර ඇති ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයෙන් හැදෙන නිවාස මෙන්ම ලැජ්ජාබයෙන් යුතු වූ ලිංගිකත්වය ද ඒ “වික්ටෝරියන්” යන හැඳින්වීමට අයිති වෙති. ඉහත සියල්ල ගැන වූ නීති රීති හා චාරිත්‍ර වාරිත්‍ර එවක පැවතිණ. ඒත් ඒවා සියල්ල පාහේ වෙනස් වීම පටන් ගත්තේ ද ඒ කාලයේම බව බොහෝ අය නොදන්නා බව පෙනී යයි.

හැරී කුමරා සහ මේගන් මාකල් විවාහයේ දී “වික්ටෝරියන් සම්ප්‍රදායන්” අත්හැරලා අද එංගලන්තයේ රජ පවුල පවා කොතරම් ප්‍රගතිශීලී වී ඇත්දැයි කියන අය ලාංකිකයන් අතර දකින්නට ලැබුණි. ඇය මව් පාර්ශවයෙන් අප්‍රිකන් සම්භවයෙන් යුතු නිසා වහලුන් විකුණූ යටත්විජිත පාලකයන්ගේ රජකුමරෙක් හා විවාහ වන්නට ලැබීම වාසනාවක්, ප්‍රගතියක් හැටියට දකින අය ද සිටිති. මාකල්ගේ තාත්තා ස්කොට්ලන්තයේ පළමු රොබට් රජු සහ එංගලන්තයේ තුන්වැනි එඩ්වඩ් රජු වෙතින් පැවත එන්නෙක් බව මේ අය සමහර විට නොදන්නවා ඇති. ඩයානා ස්පෙන්සර්ගේ ආච්චිලා දෙන්නාම දෙවැනි එලිසබෙත් රැජිනගේ මව්රැජින වූ එලිසබෙත් රැජිනගේ අත්උදව්වට සිටි ප්‍රභූ කාන්තාවන් වූහ.

වික්ටෝරියන් සදාචාරය, වික්ටෝරියන් ගතානුගතිකත්වය, වික්ටෝරියන් සම්ප්‍රදාය යනාදී වදන් දරදඬු නීති වලින් යුතු බාධක පිරි සමාජයක් දක්වන්නට යොදා ගැනුනාට වික්ටෝරියන් යන වචනය හටගත් වික්ටෝරියන් යුගය සැබැවින් කුමන ලෙසකින් වූයේ දැයි ඔබ නිකමට සිතා බලා ඇත්ද?

වික්ටෝරියන් යන හැඳින්වීම ලැබෙන්නේ වික්ටෝරියන් යුගය යැයි හැඳින්වෙන කාලයෙනි. එනම් එය 1837 ජූනි මාසයේ 20 වෙනිදා එංගලන්තයේ වික්ටෝරියා රැජින ඔටුණු පැළඳි දා පටන් ගෙන 1901 ජනවාරි 22 වැනිදා ඇය මියගිය දිනය දක්වා වූ වසර 63 කුත් මාස 7 කුත් දින 2 කුත් වූ කාලයයි.

මේ කාලය එංගලන්තයේ සැබෑ දියුණුවක් හටගත් කාලයයි. දේශීය ගොවියාගේ ආරක්ෂණයට පැනවී තිබූ තිරිඟු නීති ඉවත්කළාට පසුව හුවමාරුවට අවස්ථාව පාදා දුන් නිදහස් වෙළඳපොල තුලින් සශ්‍රීක වූ දේශීය ආර්ථිකය ඉතාමත් වේගයෙන් දියුණු වූ කාලයයි. දේශපාලන වශයෙන් ලිබරල් ප්‍රතිපත්ති වැඩි වී සාමාන්‍ය ජනතාවට ද චන්ද ප්‍රකාශයට අයිතියක් ප්‍රදානය වූ කාලයයි.

වික්ටෝරියන් යුගය එංගලන්ත පල්ලිය කොටස් තුනකට බෙදී ගිය කාලයකි. වික්ටෝරියා රැජිනගේ සහායෙන් 1874 මහජන වන්දනාමාන රෙගුලාසි පනත තුලින් ඇන්ගලිකන් වතාවත්හි අඩංගු වූ සියළු කතෝලික පූජාවිධි අයින් කරන ලදි. ඇය සරල සහ කෙටි දේව මෙහෙයන්ට වැඩියෙන් කැමති වූවාය. ඒ නිසා එංගලන්ත පල්ලියටත් වඩා ඇය පාක්ෂපාතී වූයේ ප්‍රෙස්බටේරියන් පල්ලියේ දැක්ම වෙතටයි. එංගලන්තයේ කතෝලිකයන්ට වතාවත් කිරීම සඳහා පැවති තහනම් 1829 දී අයින් කරන ලදි. වික්ටෝරියන් යුගයේ දී ඒ බාධක යළි පැනවුනේ නැත. ආගමික නිදහසත් සමඟ වික්ටෝරියන් යුගයේ එංගලන්තයේ දේවස්ථාන ඉදිකිරීම් බහුල විය. කතෝලික පල්ලි යළි ප්‍රතිසංස්කරණ වී වික්ටෝරියන් ගෘහ නිර්මාණ ශිල්පයෙන් ද අලංකාර විය. Hereforshire හිපිහිටන Rotherwas Chapel නම් වූව එසේ ඇතුලත වික්ටෝරියන් අලංකාරයන්ට හසු වූ කතෝලික දේවස්ථානයකට උදාහරණයකි.

චාල්ස් ඩාවින් විසින් “ජීවීන්ගේ මූලාරම්භය ගැන” (On the Origin of Species) ප්‍රකාශ කළේ වික්ටෝරියන් යුගයේ දී ය. ඒත් ඊටත් වඩා ලෝකය පුරාම මිනිසාගේ නිදහසට අතිශයෙන් වැදගත් වූ පොත ඒ 1859 වසරේ දී ම ප්‍රකාශනය විය. ඒ ජෝන් ස්ටුවර්ට් මිල් ලියූ “නිදහස ගැන” (On Liberty) නම් වූවයි. දැනුම සියළු ජනතාවට ලබාගත හැකි වූවක් යැයි ද, සෑම මතයක්ම යුක්ති සහගත දැයි බැලීමටත්, අභියෝගයටත් ඉදිරිපත් කළ යුතු යැයි ද එහි විස්තර කෙරුණි. වැරදි මත සහ නිවැරදි මත කියා දෙකක් තිබුණ ද, කිසිම මතයක් බලහත්කාරයෙන් නිහඬ කළ යුතු නොවේ යැයි මිල් තර්ක කළේ ද මේ වික්ටෝරියන් යුගයේ දී ම ය.

මේ කාලය ලැජ්ජා බය ඇතැයි පෙන්වන්නට මේස සහ පුටුවල “කකුල්” සඳහා පවා ගෙත්තම් කරන ලද “මේස්” අන්ඳවන ලද කාලයක් විය. පිවිතුරු, පතිවත රකින, සුවිනීත, චාම් යනාදී ලක්ෂණ වලින් වික්ටෝරියන් කාන්තා පරමාදර්ශය දැක්වුණි. ඒ නිසා කතාබහේ දී ඒ කාන්තා පරමාදර්ශය රකින්නට ඔවුන්ගේ යට ඇඳුම් යනු “සඳහන් කළ නොහැකි දෑ” (unmentionables) ලෙසින් සඳහන් කළහ. නමුත් මේ කාලය බොහෝ කාන්තාවන්ට යට ඇඳුම් මිල දී ගන්නට අවස්ථාව පෑදුන කාලයයි. තිරිඟු නීති අහෝසිය සමඟින් නිර්බාධ වෙළඳාමට ඉඩ ලැබී කපු රෙද්දෙන් සහ ලේස් වලින් නිමැවූ යට ඇඳුම් මිල දී ගැනීමේ හැකියාව ප්‍රභූ නොවන කාන්තාවන්ට ද ඉඩ පෑදී තිබිණ. දිග යට සායක් සහ යටට අඳින හැට්ටයක් පමණක් තිබුණ අයට Knickers නමින් ලිහිල් යට කලිසම් අඳින්නට හැකියාව පෑදිණ. සිරුරේ යට භාගය අධික ශීතලට හසු නොවී තබාගන්නට නම් යට සායට උඩින් අඳින වස්ත්‍ර ඝනකමෙන් හදාගන්නට එතෙක් කාන්තාවන්ට සිද්ධ වී තිබිණ. ඒත් නිර්බාධ වෙළඳාමත් සමඟ සුමට සහ බරෙන් අඩු සිල්ක් සහ තුනී කපු රෙදි (බටීස්ට් = batiste) වෙළඳපොලට ඒමත් සමඟ වික්ටෝරියන් යුගයේ දී යටසායවල් පිම්බෙන්නේ නැතිව ඒ සිනිඳු යට කලිසම් සහ යට කමිස වලින් සැරසී ගත් සාමාන්‍ය කාන්තාවන්ට සීතලෙන් ගැලවෙන්නට හැකියාව පෑදිණ. වික්ටෝරියන් යුගය යනු සෑම කාන්තාවකටම යට කලිසම් අඳින්නට සිද්ධ වූ යුගයක් යැයි අවලාද කියනවා ද? නැත්නම් සෑම කාන්තාවකටම සීතලෙන් ගැලවෙන්නට හැකි වූ යුගය යැයි කියනවා ද? වික්ටෝරියන් යුගය අවසන් වෙද්දී ඉතාමත් දුප්පත්ම කාන්තාවන් පමණක් මිල දරාගත නොහැකි වූ බැවින් යට ඇඳුම් වලට අයිතිය කියුවේ නැත. නමින් සඳහන් නොකළාට යට ඇඳුම් සමාජයේ කාන්තාවන් බහුතරයක් විසින් භාවිතයට ඉදිරිපත් වූයේ වික්ටෝරියා රැජින එය ස්ත්‍රී පරමාදර්ශය නිසා යැයි පෙන්වා පෙරැත්ත කළ නිසා නම් නොවේ. තනපට පුළුස්සන ලද කාන්තා නිදහස් රැළි නැවතී ගොස් මිල අධික ‘වික්ටෝරියාස් ස්ක්‍රීට්’ නිෂ්පාදන අලෙවි වෙන හේතුවක් ඇත.

රේල් මාර්ග ඉදිවීමත් සමඟ අශ්වයන්ට හා අශ්ව කරත්ත පවත්වාගත නොහැකි වූ සාමාන්‍ය ජනතාවට ද ගමන්බිමන් යන අවස්ථාව පෑදිණ. එතෙක් කාලයක් විවාහයක් නොමැති නම් ගෙදරට වී සිටි කාන්තාවන් සහ අනුන්ගේ ඉඩම්වල අඳේට කළ වගා කටයුතු වලින් හෙම්බත් වී සිටි පිරිමි, කර්මාන්ත රැකියා සොයාගෙන ගම්බිම් හැරදා පිටත්ව ගියහ.

ඉරිදා දවස ගමන් බිමන් නොයා යුතු වූ ද, රැකියා කළ නොයුතු වූ ද දවසක් හැටියට නීති පනවන්නට වෑයම් කළ ආගමික ප්‍රතිසංස්කරණවාදීන්ට එරෙහිව චාල්ස් ඩිකන්ස් වැනි කතුවරුන් ප්‍රසිද්ධියේ එරෙහි වූහ. එය දුප්පතුන්ට කරන අසාධාරණයක් යැයි පෙන්වීම නිසා එවැනි නීති පනවන්නට හැකියාව නොලැබුණි.

වික්ටෝරියන් යුගය බ්‍රිතාන්‍යය විසින් ලෝකය පුරා යටත්විජිත ඉදිකළ කාලය විය. එසේම එය යටත්විජිත ගැන අදහස් වෙනස් කරගත් කාලය ද විය. ජෝන් ස්ටුවර්ට් මිල් ලියූ අදහස් තුලින් නිදහස ගැන අලුත් දැක්මක් බුද්ධිමත් අයට ලැබුණි. අනිත් පැත්තෙන් ලෙනාඩ් වුල්ෆ් වැනි අයගෙන් ද යටත්විජිත නිදහස ගැන තවත් මතයක් ලැබුණි. මතවාද දෙකම යටත්විජිත නිදහසට බලපෑහ.

වික්ටෝරියන් යුගය ආතර් කොනන් ඩොයිල් විසින් ශර්ලොක් හෝම්ස් ප්‍රබන්ධ ලියූ කාලයයි. ස්කොට්ලන්ඩ් යාඩ් හෙවත් පොලීසියටත් විසඳාගන්නට නොහැකි අපරාධ විසඳන්නට සහාය වෙන අමුතු චරිතයක් ඇති රහස් පරීක්ෂකයා ගැන කෙටිකතා ප්‍රබන්ධ සඟරාවක කොටස් වශයෙන් පළ වූ සැනින් ජනප්‍රිය වූ කාලයයි.Asa Briggs නමැති වික්ටෝරියන් යුගය පිළිබඳ විශේෂඥයෙක් හැටියට සැලකෙන බ්‍රිතාන්‍ය ඉතිහාසඥයා එය “අභිවෘද්ධියේ යුගය” (The Age of Improvement) යැයි නම් කරයි.

වික්ටෝරියන් යනු තනිකරම හෑල්ලුවට ලක් කළ යුතු සම්ප්‍රදායයන් සහිත යුගයක් පමණක් නොවේ. එය ලෝකයම වෙනස් කරන ලද නිදහස් චින්තනයක් ද පැතිර ගිය කාලයකි.

4 Responses

Subscribe to comments with RSS.

  1. ravi said, on මැයි 20, 2018 at 12:58 ප.ව.

    Aruni,

    /ඩයානා ස්පෙන්සර්ගේ ආච්චිලා දෙන්නාම රැජිනගේ මව වූ පළමු එලිසබෙත් රැජිනගේ අත්උදව්වට සිටි කාන්තාවන් වූහ./

    රැජිනගේ මව පළමු එළිසබෙත් රැජින නෙවෙයි නේද? ඇය හැඳින්වුනේ එළිසබෙත් මව් රැජින (Queen Elizabeth The Queen Mother ) නමින්…

  2. තිළිණ මධුශංඛ said, on ජූනි 23, 2018 at 3:23 පෙ.ව.

    මෑතකදී, “Elizabeth I” ගැන නිමැවුනු “Elizabeth [1999] චිත්‍රපටය නැරඹුවා. එයත් පල්ලිය එක්ක ගැටුනු කෙනෙක් නේද?.

    • arunishapiro said, on ජූනි 26, 2018 at 10:58 ප.ව.

      ඔව්. බුද්ධාගමේ නිකාය භේද පටන් ගන්න වැඩිකල් ගියෙ නෑනේ. ඒ වගේම තමයි ක්‍රිස්තියානි ආගමත්. රෝමන් කතෝලික ද ඇන්ග්ලිකන් ද මෙතඩිස්ට් ද … ආගමික නායකයන් බෙදිල මදිවට ඔවුන් අතර ගැටුම් ගොඩක් රටේ පාලකයාව තමන්ගෙ පැත්තට ගන්න. ඒකයි ඇමෙරිකන් ව්‍යවස්ථාව ලියද්දි ඒ අය රජයෙන් ආගම අයින් කරල දැම්මෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: