අරුණි ශපීරෝ‍ වෙතින්

ඉල්ලුම නවත්තන්න පුළුවන් ද?

Posted in Uncategorized by arunishapiro on මැයි 30, 2018

රයිනෝසිරස්, (Rhinocerotidae), නැත්නම් කෙටියෙන් රයිනෝ හැටියට හැඳින්වෙන සත්ව වර්ගයේ සුදු රයිනෝ, කළු රයිනෝ සහ ඉන්දීය රයිනෝ ලෙස උප වර්ග තුනකි. ජීවත්වන්නට හුරු පුරුදු වූ පරිසරය ක්‍රමයෙන් නැතිවී යාම නිසාත් නීතිවිරෝධීව අං දඩයමටත් ගොදුරුවීම නිසාත් උන් පැවැත්ම ඉතාමත් අවදානම් තත්වයකට වැටී ඇති සත්ව කොට්ඨාශයක් හැටියට සැලකේ.

ලෝක වනජීවි සංවිධානය දක්වන දත්ත අනුව කළු රයිනෝ ගහණය පන්දාහක් ද, එක අඟක් පමණක් ඇති රයිනෝ තුන්දාහක් ද, ජාවා රයිනෝ 60 ක් ද, සුමාත්‍රා රයිනෝ 100 ක් පමණ ද, සුදු රයිනෝ විසිදාහකට වැඩි සංඛ්‍යාවක් ද සිටිති.

චීනය ප්‍රමුඛ ආසියාවේ ජනතාව රයිනෝ අඟක් කුඩුකර එය නටන වතුරේ දියකර පානය කිරීමෙන් රෝගාබාධ සුව වේ යැයි විශ්වාස කරති. එය වසර දෙදහසකට වැඩි ඉතිහාසයක් ඇති සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමයේ සඳහන් වූවකි. මින්ග් රාජවංශය කාලයේ Pen Ts’ ao Kang Mu නමින් මුලින්ම ලියන ලද චීන වෛද්‍ය අත්පොතක 1578 දී මේ රයිනෝ අං කුඩු කර පානය කිරීම ගැන සඳහනක් ලියා ඇත්තේ Li Shih-chen නැමැත්තා යැයි කියැවේ. මෙම රයිනෝ අං කුඩු වලින් උණ, හන්දි රුදාව, නයි විෂ, උණසන්නිපාතය, හිසරදය, පාචනය යනාදී වශයෙන් රෝග ගණනාවක් සඳහා ප්‍රතිකාර වශයෙන් යොදාගැනීම එකල පටන් සිද්ධ වූවකි.

රයිනෝ අං ප්‍රධාන වශයෙන් කෙරටින් වලින් නිමැවූවකි. අශ්වයන්ගේ කුර, ඉබ්බන්ගේ මුඛය, කොකැටූ කුරුල්ලන්ගේ හොට මෙන්ම අපේ නියපොතු ද සැදී ඇත්තේ එලෙසින්මයි. රයිනෝ අං සැදෙන්නේ කෙරටින් වලට අමතර තවත් සංකීර්ණ රසායන කිහිපයකිනි.

විද්‍යාත්මක අධ්‍යයන තුලින් මේ රයිනෝ අං වල ඇති මිනිස් රෝග සුව කරන ඖෂධීය වටිනාකමක් සොයාගත නොහැකි වී තිබේ.

ඒත් දෙදහස් වසරක් ඉක්ම ගිය සම්ප්‍රදාය ලොව බිලියනයකට අධික ජනගහණයක් විශ්වාසය කිරීම නිසා විද්‍යාවෙන් ඔප්පු කරන සත්‍යය පැත්තකට විසි වී ඇත. මේ රයිනෝ අං කුඩු දියකර පානය කිරීම නිසා රෝගයෙන් සුවය ලැබේ යැයි සම්ප්‍රදාය අදහන්නෝ සැබැවින්ම විශ්වාස කරති.

රයිනෝ අං කාමය වඩවන ඖෂධයක් ලෙස සැලකිල්ලට ලක්වීම බටහිර රටවල මාධ්‍යවේදීන් ඔවුන් ආසියාවේ දී දුටු පිළිවෙත් වැරදියට අල්ලාගෙන කළ වාර්තා නිසා සිද්ධ වූවක් යැයි ද සැලකේ. ඒ කෙසේ වෙතත්, මෑතක දී වියට්නාමයේ ජනතාව මේ ඕපාදූපයට රැවටීමත්, මත්පැන් බීම නිසා පසුදිනයේ හැදෙන හිස රුදාවෙන් මිදෙන්නට හැකියාව ඇතැයි විශ්වාසයත්, මරණය කැඳවන රෝග වලින් සුවය ලබත හැකි ප්‍රතිකාරයක් යැයි සැලකීමත් නිසා රයිනෝ අං ඉල්ලුම වර්තමාන වියට්නාමයේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

එපමණක් නොව ආසියානුවන් අතර තම වත්කම පෙන්වන ලක්ෂණයක් හැටියට රයිනෝ අඟකට හෝ අං කිහිපයකට අයිතිය කීමත් ක්‍රමයෙන් පැතිර යන විලාසිතාවක් බවට පත්වී ඇත. රාජ්‍ය මැදිහත්වීමෙන් ව්‍යවහාර මුදල් අගය නිතරම හෑල්ලුවට ලක්වෙද්දී, වත්කම් ආරක්ෂාවට වෙනත් දේ තබාගැනීමත් මුළු ලෝකය පුරාම කළින් කලට දකින්නට ලැබෙන දෙදහස් වසරකට වැඩියෙන් ඉක්ම ගිය සම්ප්‍රදායකි.

ඉතින් මෙයාකාර වලින් ඉල්ලුම වැඩිවී යද්දී රයිනෝ අං හොරෙන් ගලවා විකුණා ආදායම් උපයන්නට නීතිවිරෝධී දඩයක්කරුවන් ද ලොව සීඝ්‍රයෙන් වැඩි වීම දකින්නට ලැබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැත්ම වඳවී යන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වූ සම්මුතියකින් විදේශයකට රයිනෝ අං පැටවීම හා වෙළඳාම 1970 ගණන් සිට තහනම් වැටී තිබෙන්නකි. වියට්නාමයට සහ චීනයට යැවෙන රයිනෝ අං කිලෝග්‍රෑමයක් ඇමෙරිකන් ඩොලර් 9,500 ක් පමණකට කළුකඩයේ අලෙවි වෙතැයි සැලකේ.

ලෝකයේ වාසය කරන සුදු රයිනෝ ගහණයෙන් 80% ක් දකුණු අප්‍රිකාව තුල ජීවත්වනවා යැයි සැලකේ. ඒත් එහි අං සඳහා උන් මරා දැමීම, 2008 වසරේ දී 83 ක් මරා දැමීමෙන් අපරාධ අර්බූදය ඉහළ යන්නක් බවට පත්වී තිබුණි.

සුපුරුදු පරිද්දෙන් රාජ්‍යය මැදිහත්වීම් ඉල්ලා සිටිනවුන්, වෙනස්කළ නොහැකි මිනිස් ස්වභාවය සැලකිල්ලකට ගැනීම පැත්තකට දමා රයිනෝ අං වෙළඳාමට තහනම් පැනවූහ. ජනතාවගේ බදු මුදල් යට කරමින් රයිනෝ පැවැත්මේ ආරක්ෂාවටත් අං වෙළඳාම නවතන්නටත් පිළිවෙත් ගණනාවක් දියත් කළහ. ඒත් ඒවා අවසානයේ හොර මාර්ග වලින් නීතිය උල්ලංඝණය කරනවුන් නවත්වන්නට නොහැකි විය. රයිනෝ ගහණය ක්‍රමයෙන් තවත් හිඟ වූවා මිසෙක වැඩි වූයේ නැත. හොරෙන් මැරීම ඉහළ ගියා මිසෙක පහළ ගියේ නැත. පසුගිය වසර 5 තුල රයිනෝ දහසක් පමණ සෑම වසරකදීම එසේ හොරෙන් මරා දැමේ යැයි කියැවේ.

දකුණු අප්‍රිකාවේ ජෝන් හියුම් නැමති සංචාරක හෝටල් වලින් ධනවත් වූවෙක් තනි උත්සාහයක් අත්හදා බැලීය. ඒ රයිනෝ ගොවිපොළක් පවත්වාගෙන යෑමටයි. වසර 25 කට පෙර එක රයිනෝ සත්වයෙකුගෙන් ගොවිපොළ පටන් ගත් ඔහුට දැන් රයිනෝලා 1,500 ක් පමණ අයිතියි. ඔහුගේ පෞද්ගලික රයිනෝ ගොවිපොළ ලොව විශාලතම රයිනෝ ගොවිපළයි. කළු සහ සුදු රයිනෝ දෙවර්ගයම ඔහුගේ ගොවිපොලේ සිටිති.

ඔහුගේ ගොවිපොළේ සිටින රයිනෝලාට වේදනාව නොදැනෙන සේ මුර්ඡාවට පත්කර අං ඉවත් කිරීම සිද්ධ වේ. වැඩෙන අං එසේ ඉවත් කිරීමෙන් ලොව විශාලතම රයිනෝ අං කුට්ටිය, එනම් ටොන් 6 කට අයිතිය කියන්නට ඔහු සමත් වී සිටියි. රයිනෝ ගොවිපළේ ආරක්ෂාවට හේ නවීන තාක්ෂණය යොදා ගනියි.

පසුගිය වසරේ දී ජෝන් හියුම් වෙන්දේසියකින් අං වෙළඳාම සඳහා ආණ්ඩුවට එරෙහිව දැමූ නඩුවෙන් ජයගෙන අවසර ලබාගත්තේය. එහි දී කොපමණක් අලෙවි වූවාදැයි හේ වාර්තා නොකළේය. දැන් දකුණු අප්‍රිකාවේ අවසරපතක් ලබාගෙන රයිනෝ අං වෙළඳාමට ඉඩක් පෑදීම නිසා හොරෙන් අං කැපීමට රයිනෝ දඩයම මඳක් පහළ බැස ගිහින් යැයි කියැවේ.

රයිනෝ අං වෙළඳාම නීත්‍යානුකූල කිරීමෙන් රයිනෝ ගහණය බේරාගැනීමට පමණක් නොව ඔවුන්ගේ ජීවිතය ද සුවපහසු බවට පත්කරත හැකි යැයි කීම ඒත් සත්ව ආරක්ෂාවට ජනතා බදු යටකරමින් රාජ්‍ය මැදිහත්වීම් ඉල්ලන, පෞද්ගලික ව්‍යවසායකත්වයෙන් එය පහසුවෙන් සිද්ධ වෙන බව පිළිනොගන්නා අයගේ හැදියාවයයි.

ලෝක වනජීවි සංවිධානයේ ජාක් ෆ්ලැමන්ඩ් රයිනෝ පැවැත්ම ආරක්ෂ කිරීම සඳහා රයිනෝ අං වෙළඳාමට තදින් එරෙහි වූවෙකි. හරක් වෙළඳාම නීත්‍යානුකූල කළත් හරක් හොරකම නවත්වන්නට නොහැකි වූවා යැයි පෙන්වමින් ඔහු කියන්නේ “අපි ඉල්ලුම නැවැත්විය යුතුයි” කියායි.

ලෝක ඉතිහාසය පුරා කිසිම විටෙක කළ නොහැකි වූවක් විසඳුම හැටියට ප්‍රසිද්ධියේ කියන්නට කුමන ගටක් තිබිය යුතුද?!!!!!

දකුණු අප්‍රිකාවේ රජය විසින් කපා දමන රයිනෝ අං වලට කුමක්වෙනවා දැයි ලියූ සත්‍ය වාර්තාකරණයක් කියවන්නට මම ආශාවෙන් සිටිමි.

ඒ අතරතුර, මේ දිනවල බ්‍රසීලයේ සාවෝ පාවුලෝ නගරයේ සිද්ධවෙන ට්‍රක්රථ රියැදුරන්ගේ වැඩ වර්ජනය නිසා මිලියන 12 ක් පමණ ජනතාවක් අසරණ වී සිටිති. එපමණක් නොව මේ දවස් පහේ වැඩ වර්ජනයෙන් ආහාර නොලැබීම නිසා බිලියනයක් කුකුලන් ද, මිලියන 20 ක ඌරන් ද මරණයට පත්වීම පත්වීම වළක්වන්නට නොහැකි වීමත් කණගාටුවට කාරණයකි. ඒත් කර්මාන්ත ගොවිපොළ කුකුලා ගැන නිතර අවධානයෙන් සිටින, සත්ව අයිතීන් සඳහා පෙනී සිටිනවුන් බ්‍රසීලයේ ගොවිපොළ සත්වයන් මේ වැඩ වර්ජනය හේතුවෙන් හාමතෙන් සිද්ධවෙන මරණයට මූණ දී සිටිය දී දැඩි නිහඬතාවයක නියැළෙති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: