අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් සියදිවි නසා ගැනීම් ඉහළ ගිහින් ඇයි?

Posted in Uncategorized by arunishapiro on ජූනි 12, 2018

2018 වසර මැද වෙද්දී ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙක් මෙවසර සියදිවි නසා ගත් සංඛ්‍යා ලේඛන වලට එකතු වූහ. සියදිවි නසා ගැනීම පුරාතනයේ පටන් පැවතෙන ඒකීය පුද්ගල “තෝරාගැනීමකි”. ආගමික සහ සංස්කෘතික හේතු නිසා සත්‍ය වසන් කරන්නට සියදිවි නසාගත් අයගේ ජීවතුන් අතර සිටින ඥාතීන් හා හිතවතුන් ගන්නා පියවර නිසා තවමත් බොහෝ විට ඒ ගැන සැබෑ සංඛ්‍යා ලේඛන පවත්වා ගැනීම අසීරු වූවකි.

අර ප්‍රසිද්ධ පුද්ගලයන් නිසා ඇමෙරිකාව තුල සියදිවි නසා ගැනීම් ඉහළ යන අවදානමක් හටගෙන ඇතැයි ජනමාධ්‍ය කතාබහ යළිත් මතුව ඇත. රටේ ජනතාව අතර නම් එවැනි කතාබහක් ඇහෙන්නේ නැත. මේ දිනවල ඩොනල්ඩ් ට්‍රම්ප්ට චන්දය නොදුන් අය ද සිංගප්පූරුවේ දී උතුරු කොරියාවේ නායකයා සමඟ ඔහු අතට අත දීමට සමත්වීම ගැන ප්‍රසාදයෙන් කතාබහ කරති. කොරියාවේ අර්බූදය තේමාකරගෙන The Living Reed (1963) නවකතාව ලියූ පර්ල් එස්. බක් අද ජීවතුන් අතර සිටියා නම් මේ හමුව ගැන වැඩියෙන්ම ප්‍රසාදයට පත්වන පුද්ගලයා ඇය වෙනු ඇත.

වෙනදා මෙන්ම ධනවාදී ආර්ථික ක්‍රමය යාන්තමින් හෝ ක්‍රියාවට නැංවෙන රටක දකින්නට ලැබෙන්නා වූ හානිකර සමාජ තත්වයක් ‘ධනවාදී ක්‍රමයේ’ වැරැද්ද කියා ගලපන්නට හදන අය ද ඒ අස්සේ නොමඳ වෙති. ඔවුන් දත්ත, සාධක, හෝ තාර්කික විමර්ශන නොමැතිව බහුතරය කැමති පැහැදිලි කිරීමෙන් පමණක් ඒ අදහස ජනගත කරන්නට වෑයම් කරති. ඒ අය වර්තමානයේ ඉතා සීඝ්‍ර ලෙසින් ඉහළ යන වෙනිසියුලාවේ සියදිවි නසාගන්නා සංඛ්‍යාව ගැන නම් දැඩි සේ නිහඬව සිටින්නේ ඉතා අපූරු ලෙසකටයි.

ඇමෙරිකාවේ සියදිවි නසා ගැනීම් පසුගිය වසර විස්ස තුල ප්‍රාන්ත බාගයක පමණ 30% කින් ඉහළ ගිහින් ඇත. මේ සංඛ්‍යාව තුල වැඩියෙන්ම සියදිවි නසා ගැනීම් දකින්නට ලැබෙන්නේ යුද්ධයෙන් පසු ආපහු ගම්බිම් වෙත ගිය සොල්දාදුවන් අතරයි. බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්. බුෂ් සහ බරක් ඔබාමා පාලන කාලයන්හි ඇමෙරිකාව නියැළුන යුද්ධ වැඩිවීම රටේ සියදිවි නසා ගැනීම් වැඩිවීමට මූලික හේතුවයි.

ජාතික ආරක්ෂාව පිණිස යැයි කියා විදේශයන්හි යුදවැදීම ධනවාදී ක්‍රමය යැයි සිතන අය ලොව බහුල වෙති. ඒත් ධනවාදී ක්‍රමය කුමක්දැයි කියා දැනගන්නට සැබැවින්ම උවමනාවක් ඇත්නම් මේ බ්ලොග් පිටුවේ දකුණත පැත්තේ අමුණා ඇති බැස්ටියාට්ගේ නීතිය පටන් ඇඩම් ස්මිත්ගේ ජාතීන්ගේ ධනය දක්වා කියවන්නේ නම්, ධනවාදී ක්‍රමය යනු කුමක්දැයි හිතන්නට හැකියාව ඇති කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගත හැකියි.

සියදිවි නසා ගැනීම මානසික රෝගාබාධිත තත්වයක් නිසා ඇතිවන්නක් වුවත්, සෑම මානසික රෝගියෙක්ම සියදිවි නසාගන්නට සිත් ඇති අය නොවෙති.

ධනවාදී ක්‍රමයේ අඩුපාඩුවක් නිසා සියදිවි නසා ගැනීම් ඉහළ යනවා යැයි අදත් කියන්නට වාමාංශිකයාට ඉනිමඟක් සපයන ලද්දේ එමිල් ඩර්ක්හයිම් නැමති සමාජ විද්‍යාඥයායි. සමාජ ක්‍රමය නිසා පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පෙළඹෙන බව ඩර්ක්හයිම් පැවසීමත් සමඟ පුද්ගලයා වෙතින් ඔහු/ඇය කරන ඒ “තෝරාගැනීම” ද ඉවත් කරන ලදි. අනතුරුව පුද්ගලයාට තමාව පාලනය කරගත නොහැකි නිසා යැයි කියමින් සෑම මනුෂ්‍ය පංතියක්ම වෙනුවෙන් සමාජය සහ එහි ඒජන්තවරු ලවා සීමා පැනවිය යුතුයැයි නිර්දේශය ඩර්ක්හයිම් කරන ලද්දේය.

කෙටියෙන් කිව්වොත්, ඩර්ක්හයිම් නිගමනය කරන්නේ මෙසේය: සියදිවි නසා ගනිද්දී වැරැද්ද ඔබේ නෙමෙයි, වැරැද්ද ඇත්තේ මේ සමාජ ක්‍රමයේයි. ඉතින් ඔබව මේ අහිතකර වූ සමාජ ක්‍රමයෙන් බේරාගන්නට “සමාජය නියෝජනය කරන ඒජන්තවරුන් වන අපි” සීමා පැනවිය යුතු යැයි ඔහු නිර්දේශ කරයි.

මේ දැක්ම ලොව ජනප්‍රිය වීමත් සමඟ සියදිවි නසා ගන්නා ලද්දවුන් සමාජ ක්‍රමයේ උපහටයන් හැටියට හැඳින්වීම පටන් ගැනිණ.

ඒත්, උපහටයා (victim) යැයි නම් කෙරෙන්නේ ස්ව-කැමැත්තට කිසිත් ඉඩක් නොලැබී වෙන අයෙක් විසින් කරන ලද ක්‍රියාවක් නිසා ඇබැද්දියට පත්වූ පුද්ගලයාවයි. සියදිවි නසා ගැනීම පැහැදිලිවම වෙන අයෙක් කරන ලද ක්‍රියාවක් නිසා සිද්ධ නොවූවකි. එය සියදිවි නසා ගත් පුද්ගලයා විසින් කරන ලද තෝරාගැනීමකි.

ස්ටෙෆනි ඇඩම්ස් නැමති ඇමෙරිකන් විලාසිතා නිරූපිකාව මැයි 18 වැනිදා මෑන්හැටන් හි පිහිටන ගොතම් හෝටලයේ 25 වැනි තට්ටුවෙන් පැන සියදිවි නසා ගත්තාය. ඇය පනින්නට කළින් අවුරුදු 7 ක් වයසැති තම පුතාව ද එතැනින්ම තල්ලු කර මරණයට පත් කළාය. ඇයගේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙසත් පුතාගේ මරණය මිනීමැරීමක් ලෙසත් උසාවිය තීන්දු කෙරිණ. එහි දී උපහටයෙක් වනුයේ පුතා පමණි. ඇය “සමාජ ක්‍රමයක් නිසා බිහි වූ උපහටයෙක්” නොව ඇය කරන ලද තෝරාගැනීමක් නිසා තම ජීවිතය නැතිකරගත් පුද්ගලයෙකු මෙන්ම වෙනකෙකු ප්‍රාණ ඝාතනය කරන ලද තැනැත්තියකි.

ඉතා පහසුවෙන් ලබාගත හැකි මානසික වෛද්‍ය ප්‍රතිකාර සියල්ල “තමන්ගේ තෝරාගැනීම” අනුව ප්‍රතික්ෂේප කළේ බයිපෝලර් විෂාදයෙන් පෙළුන, ඇමෙරිකන් ඩොලර් මිලියන 200ක වත්කමක් තිබි කේට් ස්පේඩ් විසිනි. ඇය ධනවාදී සමාජ ක්‍රමය නිසා සියදිවි නසා ගැනීමට මුහුණ දුන් උපහටයෙක් නොවේ. ඇය තම මානසික සෞඛ්‍ය වෙනුවෙන් කිසිත් පියවරක් නොගත්, ජීවිතයේ ගැටළුවලට මුහුණ දීම වෙනුවට එයින් ඉවත්වීම තෝරාගත් තැනැත්තියකි.

ධනවත් හා සාර්ථක මෙන්ම ලෝකය පුරාම නමින් දන්නා පුද්ගලයන් වශයෙන් ද සැලකෙන විශාල සංඛ්‍යාවක් ඇමෙරිකාවේ වෙසෙති. වෙළඳපොල තරඟයේ යෙදීම සහ සුප්‍රසිද්ධ පුද්ගලයන් වීම නිසා මේ සෑම අයෙක්ම දුක්ඛිත ජීවිත ගෙවන අය නොවෙති. විෂාද රෝගවලින් පෙළෙන අය දුප්පත් සහ පෝසත් දෙගොල්ලන් අතරම සිටිති.

කෙනෙක් “උපහටයෙක්” වනුයේ කෙසේද යන්න අවබෝධයට අසමත්ව සිටින්නේ කවුද? සමාජ ක්‍රමය නිසා අත්විඳින්නට සිද්ධ වෙන තත්වයන් යැයි පෙන්වීමත්, “තමන්ගේ තෝරාගැනීම්” මොනවා දැයි පැහැදිලි කරගැනීමට නොහැකියාවත්, රටේ අධ්‍යාපන ක්‍රමයෙන් දායද වීම නිසා තනිවම හිතන්නට නොහැකි අයයි.

ඒ තත්වයට තමන් පත්වූයේ මහජන අධ්‍යාපනය තුලින් රටේ ජනතාව බුද්ධිමත් කරන්නට හැකි යැයි කියාගත් “සමාජය නියෝජනය කරන ඒජන්තවරුන්” නිසා යැයි පහදා ගන්නට ද ඔවුන් අසමත්ව සිටිති.

ඒ නිසා, වැඩියෙන්ම සියදිවි නසා ගත් සංඛ්‍යාව සිටින්නේ සොල්දාදුවන් අතර වීමත්, ඒ සොල්දාදුවන්ව යුද්ධ වලට යවන්නට තීරණ ගත්තේ “සමාජය නියෝජනය කරන ඒජන්තවරුන්ම” නේද යැයි ඔවුනට නොපෙනේ.

ඒ නිසා ඔවුන් පවතින තත්වයක් වැරදියට දැක, වැරදියට අර්ථ දක්වමින්, තත්වය වෙනස් කරන්නට යැයි වැරදි නිර්දේශයක් කිරීමේ නැවත නැවතත් නියැළෙති.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

%d bloggers like this: