අරුණි ශපීරෝ‍ වෙතින්

චීන ලොන්ඩරි සහ මෙක්සිකන් මායිම්

Posted in Uncategorized by arunishapiro on ජූලි 2, 2018

දෙමව්පියන් වෙතින් වෙන්කළ දරුවන් ගැන ආන්දෝලනයක් පසුගියදා ඇමෙරිකාවේ හදිසියේ ඇතිවූයේ හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ කාලය තිස්සේ පැවති නීතියක් තවම පවතින බව නොදත් මහජනතාව එයින් කැළඹීමට පත්වීම නිසයි. රටට අනවසරයෙන් ඇතුල් වීමෙන් නීතිය කැඩූ දෙමව්පියන් වෙතින් වෙන්කළ දරුවන් සඳහා ඩොලර් මිලියන 3 කටත් වැඩියෙන් මහජන පරිත්‍යාග මුදල් දින කිහිපයක දී එකතු කරන්නට ඒ සඳහා අලුතින් හැදූ ස්වේච්ඡා සංවිධානයක් ද සමත්වී තිබිණ.

දේශ සීමා මායිම් හරහා යන්නට පාස්පෝට් අවශ්‍ය නැති කාලයක් ලොව පැවතිණ. සරුසාර භූමි සොයා, ආදායම් උපයන රැකියා සොයා, අන්ඩතේට්ටම් සහ කුඩුකේඩුකම් වලින් ගැලවීමටත් මෙන්ම රට තොට නරඹනු පිණිසත් මිනිසා උන්හිටි තැන් අත්හැර වෙනතක ගියහ.

අයෙක් තමන් උපන් බිම හැර දා යන්නේ ඇයි? යන්න වෙනුවට, යම් දේශ සීමාවකට ඇතුල් කරගත යුත්තේ කුමන ජනකොට්ඨාශයක් ද? යන්නට වැඩි අවධානයක් යොමු වෙන්න පටන් ගැනෙනුයේ රජය වනාහී සියල්ලන්ගේම පැතුම් ඉටුකරන්නට සමත්වෙන්නා වූ යාන්ත්‍රණයක් යැයි විශ්වාස කරන්නට ජනතාව පටන් ගැනීමත් සමඟයි.

පුද්ගලයෙක් තම ජීවිකාව උපයන විදිය කෙසේ විය යුතුදැයි කියා නීති ගෙනෙන්නට රජය මැදිහත්වෙද්දී, රජය ලවා තමන්ගේ කල්ලියට වාසි වැඩියෙන් ලබාගන්නට සියල්ලන්ම පොරකෑම ආරම්භ විය. ඒත්, ආර්ථිකයක් සරුවෙන හැටි අවබෝධ කරගත් ලොව අතලොස්සක් පමණක් අපේ පාඩුවේ ඉන්න දෙන්න යැයි කීම තවමත් නවත්වා නැත.

රජයේ මැදිහත්වීම් වැඩිවෙද්දී ඒ රටවල් වලින් ජනතාව ඉවත්වී යෑම නොනවතින ප්‍රවණතාවයකි. තමන්ගේ ආර්ථිකය යහපත් කරගන්නට ඔවුන් ඇදෙන්නේ ඊට ඉඩක් පවතින රජයේ මැදිහත්වීම් අඩු රටවල් වලට වීම කිසිවෙකුට පුදුමයක් විය යුතු නැත.

චීනයේ සිවිල් යුද්ධ පැතිර යද්දී, ඇමෙරිකාවේ රේල් පාරවල් හදන රස්සා සඳහා පැමිණි චීන්නු මෙරට ඔවුන්ගේ වාසස්ථානය කරගත්හ. සිල්ලර කඩ, සම්ප්‍රදායික වෙදකම් සහ ලොන්ඩරි දැමීමෙන් ඔවුන් වෙළඳපොල අඩුපාඩු පියවන්නට සමත් වූහ.

වෙහෙසෙන්නට අකමැති මිනිස් ස්වභාවය නිසා, තමන් මෙතෙක් කාලයක් නියැළුණු රස්සා උදුරා ගන්නවා යැයි කියා ඒ පිටදේශක්කාරයන්ට එරෙහිව දේශපාලකයන් ලවා නීති ගෙනෙන්නට පියවර ගැනීම සිද්ධ වේ.

1880 ගණන්වල දී වයඹ දිග ප්‍රාන්තවල (සැන් ෆ්‍රැන්සිස්කෝ සිට සියෑටල් දක්වා) චීන්නු පළවා හැරීමේ දේශපාලන මෙහෙයුම් ගණනාවක් හට ගැනිණ. රට මැද ප්‍රාන්තවල එතෙක් කළු හමැති අය පවත්වාගෙන ගිය රෙදි සෝදන ලොන්ඩරි ව්‍යාපාරයට චීන්නු පිවිසුනහ. වෙළඳපොල නිෂ්පාදන දැන්වීම් සහ කාටූන් තුලින් බලද්දී ඇමෙරිකාව චීන ලොන්ඩරි ව්‍යාපාරිකයන්ට දුන් සැලකිලි වෙනස් වී ගිය ආකාරය අපූරු වූවකි. “පිග් ටේල්” කොණ්ඩය හා “වොෂි වොෂි” ලොන්ඩරි අපිරිසිදු යැයි ප්‍රසිද්ධියේ කීම සාමාන්‍යයක් විය.

ඒත් ගෙදර දී ම රෙදි හෝදා ගන්නට හැකියාව ලැබෙන වොෂින් මැෂින් වෙළඳපොලට ඒමත් සමඟ කළු, සුදු හා චීන යන සියල්ලන්ටම අලුත් තරඟයකට මුහුණ දෙන්නට සිද්ධ විය. චීන නිසා හෑල්ලු කිරීම් කෙමෙන් නැවතී යන ලදි. 1950-60 ගණන් වල දී Hoover කොම්පැණිය හැදූ ගෙදර දීම රෙදි සෝදන යන්ත්‍ර සඳහා දැන්වීම් පළවෙද්දී ඒ මැෂිමක් වටා පුදුමයෙන් බලා සිටින චීන්නු දිස් වීමෙන් චීන ලොන්ඩරි ප්‍රවීණත්වය අගැයීමක් සිදුවිණ. චීන ලොන්ඩරි ඉතිහාසය සමරමින් 2008 බෙයිජින් ඔලිම්පික් ගැන ඇහෙද්දී පුවත්පත්වල හාස්‍යජනක පුවත් ද පළවූයේ එය ද ඔලිම්පික් ක්‍රීඩාවක් විය යුතු යැයි කියමිනි.

වර්තමානයේ ඇමෙරිකාවට වීසා නොමැතිව පිවිසෙන බොහෝ ලතින් ඇමෙරිකන් ජනතාව නියැළෙනුයේ ගොවිතැන්, වතු පිරිසිදු කිරීම් සහ ගොඩනැඟිලි ඉදිකිරීම් වැනි කය වෙහෙසන රැකියාවලයි. ඒවායේ යෙදෙන්නට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ දැනුම අවශ්‍ය නැති වීමත් ඒවාට ඔවුන් වැඩියෙන් ඇදී යාමට හේතුවකි.

මේ දිනවල ඇමෙරිකාවේ සේවා සපයන ආයතන සඳහා උග්‍ර සේවක හිඟයක් පවතී. සමහරු හිතන්නේ සේවක හිඟය නිසා වේතන ඉහළ යාවි කියායි. ඒත් ඒ බොහෝ ව්‍යාපාර පවතින්නේ ද ඉතා සුළු ලාබ මට්ටම් උපයමිනි. සේවක හිඟය පිරිමසා ගන්නට නොහැකි වූවහොත් ඒ ව්‍යාපාර වැසී යනු ඇතැයි දකින අය අඩුයි.

සියල්ලන්ටම උවමනා අඩුවෙන් ගෙවා වැඩියෙන් හොඳ දෙයකට අයිතිය කියන්නටයි. සියල්ලන්ටම උවමනා අඩුවෙන් වෙහෙසී වැඩියෙන් ආදායම් ලබන්නටයි. නිර්බාධ වෙළඳපොල පමණක් මේ උවමනා සපුරා ගන්නට සියල්ලන්ටම යුක්ති සහගත වූ විසඳුමක් සපයන්නට සමත් වෙන්නේ අපිට කළින් සිතාගත නොහැකි ආකාරයටයි. ඒ නිසා එය අවහිර කරනවා වෙනුවට කළ යුත්තේ ඊට ඉඩක් දීමයි.

කොමියුනිස්ට් පාලකයන් සහ සමාජවාදී හිට්ලර් මෙන් උපන් බිමෙන් පළා යන මිනිසුන්ට වෙඩි තියනවා වෙනුවට කළ යුත්තේ ඔවුන් එසේ පිටවී යන්නට පොරකන්නේ නැති වෙන්නට තමන්ගේම රටේ නිර්බාධ වෙළඳපොලකට ඉඩදීමයි.

ෆුට්බෝල් දිනුවාට අද මෙක්සිකෝව ඊට සමත්වේවි යැයි කියා අපේක්ෂා කළ හැකිද!!!!

2 Responses

Subscribe to comments with RSS.

  1. sunilrdblog said, on ජූලි 3, 2018 at 7:39 ප.ව.

    There is some truth in it. But most of demand and supply method is being misused by multi national conglomerates who throw money on advertising low quality foods etc.

    • arunishapiro said, on ජූලි 11, 2018 at 8:31 පෙ.ව.

      sunilrdblog,

      ඉල්ලුම සහ සැපයුම ක්‍රමය නෙමෙයි උදව් වෙන්නෙ ඔය කියන වැඩේට. රාජ්‍ය මැදිහත්වීම් වලින් ඒ විසල් බහු ජාතික සමාගම් වලට ලැබෙන විශේෂ වරප්‍රසාද.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: