අරුණි ශපීරෝ‍ වෙතින්

ජපන් ජනතාව සහ තායි ජනතාව

Posted in Uncategorized by arunishapiro on ජූලි 11, 2018

ජූලි 10 වැනිදා, දින 18 ක් තුල “නිදා සිටින ආර්යාවගේ ශ්‍රේෂ්ඨ ගුහාව” ඇතුලේ අතරමං වූ පිරිමි ළමුන් 12 ක් සහ ඔවුන්ගේ 25 වියැති සහාය ෆුට්බෝල් පුහුණුකරුව ගලවාගන්නට ලොව නන් දෙසින් පැමිණි දහසකට අධික පිරිසක් සමත් වූහ.

අනාථ ළමුන් සහ ඉතා දුප්පත් පවුල් වලින් එන පිරිමි ළමුන්ට ෆුට්බෝල් ක්‍රීඩා පුහුණු කඳවුරු පැවැත්වීමේ දී ඔවුන් අතර සහයෝගය වැඩි කිරීම මේ සංචාරයේ අරමුණ විය. ඔවුන් ගුහාවට පිවිස ඇත්තේ පා ගමනින්. හදිසියේ පාත් වූ මහ වැසි නිසා ඔවුන් ඇතුල් වූ මාර්ගය වතුරෙන් යට වෙද්දී ඔවුන් උස් බිමක් සොයා තවත් ගුහාවේ ඇතුලට ගියහ. අවසානයේ දී ආපසු යා නොහැකි තරමට වතුරෙන් වට වූ තැනකට ඔවුන් හිර වී සිටියහ.

පැය කිහිපයක දී ඔවුන් ආ ගිය තැන් ගැන හෝඩුවාවක් නැතැයි දැනගත්ත ද, සතියක් යන තුරු ඔවුන් සිටින තැන සොයාගන්නට කිසිවෙක් සමත් වූයේ නැත. ලෝකයේ නන් දෙසින් පැමිණි කිමිඳුම්කරුවන්, හමුදා භටයන් සහ තාක්ෂණික ශිල්පීන් මෙන්ම සෝදිසියේ මූලිකත්වය ගත් තායි නාවුක මුහුදු-ගුවන්-භූමි විශේෂ සටන් කණ්ඩායම සමඟ එක්ව කටයුතු කළහ.

බ්‍රිතාන්‍ය කිමිඳුම්කරුවන් දෙදෙනා ඔවුන්ව මුලින්ම සොයා ගනිද්දී, ඔවුන් ආවේ කොහෙන්දැයි දරුවන් විමසද්දී, ඔවුන් එංගලන්තයෙන් බව කියද්දී දරුවන් එකා මෙන් පුදුමය පළ කරන හැටි නරඹන්නට විඩියෝවකින් පුළුවනි. සමහර විට ඒ දරුවන් සිතුවේ ඔවුන් එංගලන්තයේ සිට පීනා ආවාදැයි කියාද කියා කවදා හෝ දවසක කවුරු හෝ ඔවුන් වෙතින් අසාවි ද?

කොමියුනිස්ට් ක්‍රමයට හසුවේවි යැයි කියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු තායිලන්තයට ඇමෙරිකන් ආර්ථික සහනාධාර ගලා ගියේය. ජපන් සහ යුරෝපීය කර්මාන්තකරුවන් වාහන සහ තාක්ෂණික නිර්මාණ සඳහා තායි සේවකයන්ට අවස්ථාව පාදා දීමත් සමඟ එරට ආර්ථිකය ශක්තිමත් විය. අද තායිලන්තය නූතන තාක්ෂණයෙන් යුතු කම්හල් සහිත, සංචාරකයන් බහුලව යන, දිනෙන් දිනම ජනතාවගේ ආදායම් වැඩිවෙමින් පවතින රටකි. ඒත් එහි ප්‍රජාතන්ත්‍රවාදයකට බැබලෙන්නට ඉඩක් ලැබී නැත.

1932 දී ශතක 7 ක් පුරා රජවරුන් රට පාලනය කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාදයක රාජාණ්ඩුවක් ලේ හැලීමකින් තොරව පිහිටුවා ගන්නට තායිලන්තය සමත් වූහ. ඒත් එතැන් පටන් බලයට පත් වූවන්ට බලයේ ඉන්නට ඉඩ නොදීමට කුමන්ත්‍රණකරුවන් සමත් වී සිටිති. ජනතාවගේ චන්දයෙන් පත්වෙන රජයට පාලනයට ඉඩක් නොලැබී යාම 12 වතාවක් පමණ සිද්ධ විය. ඒ කුමන්ත්‍රණ වැඩියෙන්ම දකින්නට ලැබුණු පසුගිය දශක 8 ක කාලයට “කූ සීසන්” (coup season) හැටියට නම් වැටී ඇත.

හමුදාවේ අණසකට යට වී සිටින රජයකට පමණක් ඉඩ ඇති තායිලන්තයේ උතුරු පළාත් ඉතාමත්ම දුප්පත් ජනතාව වාසය කරන පැත්ත වේ. හමුදාවෙන් ඉවත් කළ තක්සින් ශිනවාත්‍රා සහ ඔහුගේ මිත්‍ර පක්ෂයන් 2001 සිට සෑම චන්දයක්ම ජයගෙන ඇත්තේ ඒ උතුරු පළාත්වල ජනතාවගේ වැඩි චන්ද වලිනි.

තායිලන්ත හමුදාව ප්‍රමුඛත්වය ගත් ගුහාවේ අතරමං වූ පිරිමි ළමුන් බේරා ගැනීමේ මෙහෙයුම සාර්ථක ලෙසින් අවසන්වීම නිසා එරට ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩකඩක් නොදෙන දේශපාලන වාතාවරණය තව දීර්ඝ කාලයක් යනතුරු වෙනස් නොවීමට දායක විය හැකියි.

රජය වනාහි ස්වභාවයෙන්ම කුරිරු වූ සංස්ථාවක් යැයි මා සලකන බව මෙහි එන පාඨකයන්ට දැන් හොඳට හුරු පුරුදු වූවකි. කුරිරු වූ ස්වභාවය අවබෝධ කරගත් පසු රජයට විසල් වෙන්නට ඉඩ නොදී, එහි කුරිරු බව පැතිර යන්නට ඉඩ නොදී, එය මෙල්ල කරගන්නට හැකි සෑම උත්සාහයකම නියැළීමේ වගකීම මෙන්ම බලය ද ඇත්තේ රටවැසියන් අතයි.

ප්‍රජාතන්ත්‍රවාදය ඉටු කරන එකම වැදගත් කාර්යය එයයි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බෝම්බ වැටීමෙන් කම්හල් විනාශයට පත්ව, ප්‍රවාහන පද්ධතිය සහ සංනිවේදනය ඇතුළු සියළු යටිතල පහසුකම් සුන්නත් දූලි වී ගිය දේශයකට හිමිකම් කියන්නට ජපානයේ වැසියන්ට සිද්ධ වූහ. ඔවුන්ගේ සීඝ්‍ර ආර්ථික සංවර්ධනයට හේතු වූ මූලික කරුණ වූයේ, තමනට රිසි සේ සංවර්ධනයට පිවිසීමට හැකි වූ වාතාවරණයක් ජපන් ජනතාවට ලැබීම යැයි කිව්වොත් කී දෙනෙක් එය පිළිගනීවි ද?

සුන්නත් දූලි වී ගිය රටක්, එහි ජනතාව අතර කැමැත්තෙන් සිද්ධ වෙන ගණුදෙනු වලට නිර්බාධ ඉඩකඩක් ලැබීම නිසා ආර්ථිකව ශක්තිමත් රටක් බවට පත්වීම කිසි සේත්ම “හාස්කමක්” නොවේ.

මධ්‍යම රජයකින් මෙහෙයවන ලද නීති රෙගුලාසි යුද්ධයෙන් පසුව ඇණ හිටිය දී, ඉතා සුළු කාලයකින් ජපනුන් සංවර්ධිත බටහිර රටවල් තරම් ආර්ථික සමෘද්ධියක් පාදා ගන්නට සමත් වූහ.

රටවැසියන්ට නිර්බාධ වෙළඳාමට ඉඩ ලැබෙද්දී ඒ දේශයේ ධනවස්තු වැඩිවෙන බව ඇඩම් ස්මිත් 1776 තරම් ඈත අතීතයක දී පැහැදිලි කරන ලදි. ඉතිහාසය එම සත්‍යය කොතරම් වතාවක් ඔප්පු කළ ද එය අවබෝධයට ‘මහජනතාව’ අසමත්වීම ඔවුන්ගේම ඛේදවාචකයයි.

ජපානයේ වැසියන්ට සිය සමෘද්ධිය පෑදුනේ කෙසේදැයි කියා අවබෝධයට ඉඩකඩක් නොලැබිණ. ඒකීය පුද්ගලයන්ගේ වෑයම් නිසා හටගත් දියුණුවත් සමඟ බැංකු සහ ආණ්ඩු සැලසුම් හදන්නට අවශ්‍ය යැයි කියාගත් දේශපාලකයන් කරලියට ආහ. “නව ලිබරල්වාදය” රටේ ආර්ථිකය හසුරුවන්නට යොදා ගැනිණ.

විදේශයන් හා තරඟ කරන්නට දේශීය වශයෙන් පහසු වාතාවරණයක් හදා දෙන්නට මූලිකත්වය ගත් දේශපාලකයන්ට හේත්තු වූ කර්මාන්ත අංශය දිනෙන් දින ඉහළ යන බදු මෙන්ම එන්න එන්නම දැඩි වූ නීති රෙගුලාසි ද කරපින්නා ගත්හ.

විසල් සමාගම් අල්ලා ගන්නට සමත් වූ වෙළඳපොල තුලට පහසුවෙන් පිවිසෙන්නට කුඩාවට පටන් ගන්නා ව්‍යවසායකයන්ට කිසිම හැකියාවක් නොලැබෙන තැනකට ජපන් ආර්ථිකය හැඩ ගැසුණි.

විදේශයන් වෙතින් ගෙන්වන භාණ්ඩ වලට තීරු බදු වැටීම හා ඒ තීරු බදු දිනෙන් දිනම ඉහළ යාම සේ ම, පිටරටට බඩු පටවන දේශීය නිෂ්පාදකයන්ට විශේෂ දීමනා ලැබීමත් පටන් ගැනුණි.

බොහෝ අයෙක් වරදවා අල්ලාගෙන සිටින්නේ, ජපානයේ ආර්ථික දියුණුව පෑදුනේ ජපන් බැංකුව (Bank of Japan) සහ ජාත්‍යන්තර වෙළඳාම සහ කර්මාන්ත පිණිස ඇති අමාත්‍යාංශය (MITI) නිසා කියායි. අධ්‍යාපන පද්ධති සහ ජනමාධ්‍ය තුලින් එසේ සිදු වූවා යැයි උලුප්පා දක්වන ලද නිසා ජනතාවට රටේ මූලික සීඝ්‍ර දියුණුව සිද්ධ වූ ආකාරය අවබෝධය මඟ හැරිණ.

ජපානයේ විසල් සමාගම් අයිති නිෂ්පාදකයන් ජපන් රජයේ දේශපාලකයන් හා ඍජුව ගණුදෙනු කරන අය බවට පත් වී සිටිති. පහසු ණය, තරඟයෙන් ගැලවිය හැකි රෙගුලාසි, සහතික කළ ලාබ, බංකොළොත් වෙද්දී මහජන මුදලින් ගලවා ගැනීම වැනි වැඩසටහන් වෙනුවෙන් ඔවුන් තමන්ගේ ස්වාධීනත්වය හිලව් කර ඇත.

අනෙක් පැත්තෙන් විසල් වූ රජයේ වියහියදම් පියවනු පිණිස මුල් කාලයේ දී ලාබ උපයන්නට සමත් වූ නිෂ්පාදන අංශයන් දැන් බදු බරින් පිරී සිටිති. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව සහ හොංකොං යන රටවල ඇති කොම්පැණි හා තරඟ කරන්නට නොහැකි තත්වයකට අද ජපන් කොම්පැණි වැටී ඇත. ජපානයේ ආර්ථිකය එන්න එන්නම හැකිළෙයි. අහිමි වූ දශකය නමින් හැඳින්වෙන ආර්ථික නිහ්චලනය මේ වෙද්දී දශක තුනකට වඩා පවතින බවත් එය අවසන් වෙන කාලයක් ගැන හිතාගන්නටවත් බැරි තැනකට වැටී ඇත.

ගංවතුර, සුනාමි සහ සුළි සුළං වැනි ස්වභාවික ව්‍යසන නිතර පැමිණෙන
රටවල් අතරට වැටෙන ජපානය සහ තායිලන්තය වෙනත් දියුණු වෙමින් පවතින රටවලට වඩා හොඳින් ඒ ව්‍යසන වලින් ගොඩ එන්නට සමත් වෙති. ඒත් ඔවුන් ඒවායේ දී මුහුණ දෙන මිනිස් සහ ආර්ථික අලාභ වල දී දියුණු රටවල් මට්ටමේ නැත. දෙරටේම වැසියන්ට සිය රජය ගැන ඇත්තේ බිඳ වැටුණු විශ්වාසයකි. ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදුව සහ විසල් සමාගම් හා අත්වැල් බැඳගත් රාජ්‍ය ප්‍රතිපත්ති යන කුරිරු උවදුරු දෙකෙන්ම ගැලවෙන්නට නිර්බාධ වෙළඳ ප්‍රතිපත්ති සඳහා ඉඩදීමෙන් හැකියි යන්න කවදා වැටහේවි ද?

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

%d bloggers like this: