අරුණි ශපීරෝ‍ වෙතින්

බංගලාදේශයේ වියවුල් තුලින් ලාංකිකයාට ඉගෙන ගත හැකි පාඩමක් ඇත්ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 5, 2018

අල්ලස් දූෂණ නිසා ප්‍රචණ්ඩත්වය හට ගනියි. වසංගත සේ අල්ලස් දූෂණ පැතිර යන අපිරිසිදු වාතාවරණය හැදෙන්නේ කෙසේදැයි අවබෝධය ප්‍රතික්ෂේප කරන්නේ ද, පිළියම වෙනුවට පැලැස්තර සෙවීම දිගින් දිගටම සිද්ධ වේ.

බංගලාදේශයේ ධකා නගරය එරට අගනුවරයි. මිලියන 18 කට මඳක් වැඩි ජනගහණයක් එහි මහ ධකා නගර සීමාවේ වාසය කරති. සමාජවාදී වූ ද, ජාතිකවාදී වූ ද, රාජ්‍ය ආගමක් ප්‍රධාන කර නොගත් රට පාලන ක්‍රමයක් මූලාරම්භයේ පටන් එරට පවතී.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් පත්වූ සමාජවාදී ආණ්ඩු ක්‍රමයේ නිලතල හොබවන රට පාලනය කරනවුන් අතර අල්ලස් දූෂණ එන්න එන්නම වැඩි වූවා මිසෙක කිසිදු අඩුවක් දකින්නට නැත. ඒත් හරි නොයන ක්‍රමය වෙනස් කරනවා වෙනුවට බංගලාදේශයේ වැසියන් අදත් වර්ජන තර්ජන හා පෙළපාලි කරන්නේ වැරදි ක්‍රමයෙන් නිවැරදි ප්‍රතිඵල ලබාගන්නට පුළුවන් නායකත්වයක් ඉල්ලමිනි.

රටට වාහන ගෙන්වීමට මෙන්ම රට තුල වාහන ප්‍රවාහනයට ද පනවා ඇති නීති රෙගුලාසි ද, ඒවා පිළිපදිනවාදැයි සෙවීමට යොදා ඇති නීති රෙගුලාසි හා රජයේ සේවකයන් ද එන්න එන්නම වැඩි වූවා මිසෙක අඩුවී නැත. ඒත් පොදු ප්‍රවාහන පහසුකම්වල තත්වය ඉහළ දමන්නට සහ මහා මාර්ග රිය අනතුරු අඩු කරන්නට ඔවුන් අසමත්ව සිටිති.

සමාජවාදී ක්‍රමයේ පොරොන්දුව දේශපාලන මැදිහත්වීමෙන් ජනතාවගේ සුබ සාධනය වැඩි කිරීමට හැකි බවයි. එවැනි ක්‍රමයක දේශපාලනඥයන්ගේ අල්ල පුරවන්නේ නැතිව පෞද්ගලික ව්‍යවසායකත්වයට කිසිදු නිෂ්පාදනයක් බිහිකරන්නට නොහැකියි. එහි දී භාණ්ඩ හා සේවා නිපැදවෙන්නේ සමාජයේ හිඟ වූ ඉල්ලුම යාන්තමින් පියවන්නට පමණි. අනගි භාණ්ඩයක් හෝ ඉහළ සේවාවක් සඳහා පෞද්ගලික ව්‍යවසායකයන් අතර තරඟයක් දකින්නට නැත. නවෝත්පාදන බිහි නොවේ.

ජූලි 29 වැනිදා ධකා ගුවන්තොටුපල පාරේ ධාවනය වූ ජබාල්-ඊ-නූර් පරිබාහාන් පෞද්ගලික බස් රථය රැඩිසන් හෝටලය අසල සිසුන් දෙදෙනක් යටකරගෙන ගියේ ඔවුන් මරුමුවට සහ තවත් කිහිපදෙනෙකුට තුවාල කරමිනි.

පසුගිය වසර තුල ධකා නගරයේ පදිකවේදිකාවේ ගමන් කළ 4,200 කට වඩා පිරිසක් රිය අනතුරු නිසා මරණයට ලක්වූවා යැයි වාර්තා වේ. මේ සිද්ධිය සමඟින් පාරට බහින සිසුන් යුක්තිය ඉටු කරන්නට යැයි ද, ගමනාගමනයේ දී ආරක්ෂාව ද ඉල්ලා සාමකාමී උද්ඝෝෂණයක් පටන් ගත්හ.

බංගලාදේශ් මහා මාර්ග ප්‍රවාහන සේවකයන්ගේ ෆෙඩරේෂන් හි විධායක සභාපති වූ ද, නැව් ඇමතිවරයා වූ ද, ෂාජහන් ඛාන්, ඉන්දියාවේ 33 දෙනෙක් මිය ගිය බස්රථ අනතුරක් දක්වමින් ඒ ගැන උද්ඝෝෂණයට පාසැල් ළමුන් පෙරට ආවේ නැත්තේ මන්දැයි විමසීමෙන් තත්වය තවත් වියවුල් කරන්නට සමත් වූයේය. ඔහු පසුව ඒ කතාව ගැන සමාව අයදන ලදි.

බංගලාදේශ් අවමි ලීග් යනු රටේ ආණ්ඩු පක්ෂයයි. බංග්ලාදේශ් චත්‍රා ලීග් යනු අවමි ලීග් යටතේ පවතින ශිෂ්‍ය දේශපාලන සංවිධානයයි.

අවමි ලීග් නිල කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වෙද්දී ආණ්ඩු පක්ෂයේ දේශපාලන ක්‍රියාකරුවන් සිසුන්ට පහර දෙන්නට පටන් ගත් බව එරට මාධ්‍ය වාර්තා කරන්නට පටන් ගත්හ. හෙල්මට් දමාගත්, මුගුරු සහ යකඩ පොළු රැගත්, හඳුනාගත නොහැකි මිනිසුන් ඒ සිසුන්ට පමණක් නොව කැමරා රැගත් වාර්තාකරුවන්ට ද පහර දී ඔවුන්ගේ ආම්පන්න කඩා බිඳ දමන ලදි.

අවමි ලීගයේ මහ ලේකම් වාර්තාකරුවන්ට කියා සිටියේ පක්ෂ ක්‍රියාකරුවන් ස්වයං ආරක්ෂාව සඳහා මුලින් පහර දුන්නේ සිසුන් නිසා ඔවුන් ආපහු පහර දුන් බවයි. සිසුන්ට උද්ඝෝෂණ නවත්වන්න යැයි රජය කියද්දී, මේ ආරංචි පැතිර යාම නිසා ඔවුන් නගරයේ නොයෙක් පැතිවලින් පාරට බහින්නට පටන් ගත්හ. එක පැත්තක වලි නවතිද්දී තවත් පැත්තකින් පටන් ගැනීම දිගින් දිගටම ඇදී යන්නට විය.

චත්‍රා ලීග් සහ උද්ඝෝෂණකරුවන් අතර ද සටන් හට ගති. චත්‍රා ලීගයේ මිනිසුන් 60 ක් පමණ පිරිසක් තමනට පහර දුන්නා යැයි University of Liberal Arts Bangladesh සිසුන් කියා ඇත. ඒ ඡායාරූප ඉන්ටනෙට් මාර්ගයෙන් බෙදා හරින්නට සිසුන් සමත් වූහ. ගැටුම් උණුසුම් වෙද්දී සිසුන් චත්‍රා ලීග් සාමාජිකයෙකුගේ මොටර් බයිසිකලයක් ගිනිබත් කරන ලදි.

සතියක් යද්දී වයස 13 දරුවන් පවා පාරේ වාහන බලහත්කාරයෙන් නවත්වා ඒවායේ අයිතිකරුවන්ගේ ලයිසැන් ඉල්ලා ඔවුන්ට රථ පදවන්නට අවසර ඇතිදැයි සොයන කලබලකාරී තත්වයකට නගරය පත්විණ.

තමන්ව කැම්පස් වලින් නෙරපන්නට හැකි යැයි සිතන සිසුන් ධකා ගුවන්තොටුපල පැත්තේ කිසිවෙකුට උද්ඝෝෂණ වල විඩියෝ ගැනීමට ඉඩ නොදෙන්නට ද පටන් ගත්හ.

ආණ්ඩු ප්‍රවාහන සේවා යුනියන් සේවකයන් ද කලබලවලට එකතු වූයේ සිසුන්ට එකතුවෙන්නට ඉඩ නොදෙමින් කණ්ඩායම් විසුරුවා හරින්නට පහර දෙන්නට පටන් ගනිමිනි.

සිකුරාදා වෙද්දී ධකා නගරයේ සහ රටේ සෙසු ප්‍රදේශ වලින් ධකා බලා එන මහජන ප්‍රවාහන සේවා ඇණ හිටියේය. පෞද්ගලික බස් රථ 500 කට වඩා ප්‍රමාණයකට හානි සිදු වී ඇතැයි මහා මාර්ග ප්‍රවාහන අයිතිකරුවන්ගේ සංවිධානයේ ලේකම්වරයෙක් පවසා ඇත. තමනට ආරක්ෂාව සපයන තෙක් ප්‍රවාහන සේවා පටන් ගන්නේ නැතැයි ඔවුන් කියා සිටිති.

ඇමෙරිකන් තානාපතිනියගේ නිල වාහන රථ පෙළට ද පහර වැදිණ. වාහන දෙකකට හානි වුවත් කිසිවෙකුට හානියක් නොවිණ.

ඉරිදා වෙද්දී ආණ්ඩුව පැය 24 ක කාලයකට මොබයිල් දුරකතන සඳහා ඉන්ටනෙට් සේවා නවතා දමන ලදි. ඒ සිසුන් උද්ඝෝෂණ වලට එකතු වෙන්නේ ඒ හරහා යැයි කියායි.

මේ වෙද්දී තවත් පුද්ගලයන් බස් රථ වලට යටවී මිය ගොස් ඇත. එසේම උද්ඝෝෂණය පටන් ගැනීමට පාදක වූ සිසුන් දෙදෙනා යටකරගෙන ගිය බස් රියැදුරා අත් අඩංගුවට ගෙන තිබේ. බස් කොම්පැණියේ අයිතිකරුවා ද දින හතක රිමාන්ඩ් භාරයට පත්වී ඇත.

රටේ අගමැතිවරිය විසින් සිසු නියෝජිතයන් හමුවීමෙන් සහ රියැදුරු අවසරපත් සඳහා තවත් නීති තද කිරීමෙන් මෙන්ම මහා මාර්ග ආරක්ෂාව සඳහා තවත් කමිටු පත් කිරීමෙන් ද පසුව තත්වය තවත් යම් කාලයක් යන තුරු සාමකාමී වනු ඇත.

අල්ලස් දූෂණ ඇතිවන ක්‍රමය නම් රජයේ නියෝජිතයෙක් මාර්ගයෙන් සහතිකයක්, අවසරයක් නොලැබ එදිනෙදා ජීවිතයේ කිසිත් කටයුත්තක් කරගෙන යාමට නොහැකි වීමයි.

බංගලාදේශයේ සිසුන් මෙන්ම ලංකාවේ බහුතරය ද වරද ඇත්තේ කොතැනදැයි ඇසුවොත් වංචනික ලෙස බස් රියැදුරු බලපත්‍රයක් හෝ පොදු ප්‍රවාහන සේවා බලපත්‍රයක් ගැනීමේ හැකියාව යැයි කියනු ඇත. තවත් විදියකින් කිව්වොත් සුදුස්සෙක් නොවන්නෙකුට වංචනික ලෙස අවසරයක් ලබාගත හැකි වීමයි.

රජයේ මැදිහත්වීම් වැඩිවෙද්දී නුසුදුස්සන් බංකොළොත් වී වෙළඳපොලෙන් ඉවත් වෙන්නේ නැත. අනගිත්වය හෝ ඉහළ සේවාවක් සඳහා තරඟ කරන ව්‍යවසායකත්වයක් බිහිවෙන්නේ නැත. රජයේ මැදිහත්වීම් වැඩිවෙද්දී ඉතිරි වෙන්නේ රාජ්‍ය නියෝජිතයන්ගේ අල්ලස් හා දූෂණ පෝෂණය කරන ගැත්තන් පමණකි. ඒත් අද බංගලාදේශ් සිසුන් මෙන්ම ලංකාවේ බහුතරය ද ඉල්ලා සිටින්නේ රජය මැදිහත්වී තවත් තද නීති රෙගුලාසි පනවන්න යැයි කියායි.

පෞද්ගලික ව්‍යවසායකය රාජ්‍ය මැදිහත්වීමෙන් මෙල්ල කරගෙන යා හැකි වූවක් විදියට දකින්නා, පෞද්ගලික ව්‍යවසායකත්වයේ මූලික වාසිය වූ පාරිභෝජිකයා අනගිත්වයෙන් සහ ඉහළ සේවාවෙන් තෘප්තිමත් කරන තරඟය එහි දී නැවතෙන බව නොදකියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: