අරුණි ශපීරෝ‍ වෙතින්

සෙවිය යුත්තේ කවුරුන්ගේ දියුණුව ගැන ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 15, 2018

ලංකාවේ දී තම නිවහනේ දී ආප්ප, ඉඳිආප්ප වැනි ආහාර උයාගෙන නිවහන අවට පාරවල් දිගේ ගෙනිහින් විකුණන අය මම කුඩා කාලයේ පටන් සිටියහ. එසේම පාසැල් ගේට්ටු අසල වට්ටියකින් රස අච්චාරු විකුණන අය කවුරුන්දැයි මෙන්ම උපන්දිනයකට කේක් ගෙඩියක් හදාගන්නේ හෝ පුංචි පහේ සාදයකට පැටිස් කට්ලට් ඇණවුමක් දෙන්නේ කාටදැයි අපි දැන සිටියෙමු. ඒ අය බොහොමයකට ලියාපදිංචි කරන ලද ව්‍යාපාරයක් නොතිබුණි. මෙවැනි ආහාර පිළියෙල කිරීම ඒ අය බොහොමයකගේ මූලික ආදායම් මාර්ගය ද නොවිණ.

මගේ බාල කාලය ගෙවුනේ ලංකාවේ දැඩි සේ ආහාර හිඟ වූ සමයක දී ය. ගුල්ලෝ පිරි පාන්, ගස්ලබු ඇට සහිත ගම්මිරිස්, ගඩොල් කුඩු සමඟ එක් වූ මිරිස් කුඩු එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න වූ කාලයයි ඒ. රටේ පාලකයන්ගේ ජාතිකවාදී සමාජවාදය නිසා දුප්පත්ව සහ දුකට පත්ව සිටි ජනතාව පසුව යාන්තමකට විවෘත වූ ආර්ථික පිළිවෙත් තුලින් ඉතාමත් වේගයෙන් මෙවැනි ප්‍රශ්න වලින් ගැලවූනහ.

අද ගෙදර පාන් බනිස් හදාගන්නට හැකි විදුලි බලයෙන් ක්‍රියාකරන උදුන් මිල දී ගන්නට හැකියාව ලංකාවේ ජනතාවට ලැබී ඇත. ගෙදර දී ම තුනපහ පහසුවෙන් කුඩුකරගත හැකි කුඩා යාන්ත්‍රික ආම්පන්න ඇති අය බොහෝ වෙති. මහජනතාවගේ වෙහෙසේ ඵලදාව පාලකයන් මැදිහත්වී තීරු බදු වලින් සොරකම් කළත්, සාමාන්‍ය රටවැසියාට ගෙදර වැඩ පහසු කරන යන්ත්‍රයක් දෙකක් මිල දී ගන්නට හැකියාව පෑදී ඇත.

රෙසිපිය තමන් ඉදිරියෙන් තියාගෙන පවා කෑමක් නිසි සේ හදන්නට බැරි අය සිටිති. එසේම හැදූ කෑම ගිලින්නට සමත් වූවාට කෑම හදන්නට කිසිම ආශාවක් නැති අය බොහොමයකි. අනෙක් පැත්තෙන් රෙසිපියක් දිහා බලා මේක හරියන්නේ නැතැයි කියන්නට වෘත්තියෙන් කෝකියන් නොවන දක්ෂයන් සිටිති. ඕනෑම රෙසිපියක් එහෙන් මෙහෙන් වෙනස් කරගෙන තමන්ගේම කරගන්නට සමත් අය ද බොහෝ වෙති.

මේ දෙකොට්ඨාශය එකිනෙකා සමඟ හුවමාරුවෙන් සිය අපේක්ෂාවන් සපුරාගැනීමට හැකි ඉඩකඩ මෑත කාලයේ දී ඉතාමත් පහසු වී ඇත. කෑම හැදීමේ වෑයම් සඳහා, නොයෙකුත් කුළුබඩු සහ උපකරණ සොයා ගැනීමට මෙන්ම ඒවා විකුණාගන්නට ද එකිනෙකාට සහයෝගය දෙන කණ්ඩායම් ඉන්ටනෙට් මාර්ගයෙන් ඔවුනොවුන් සොයාගන්නට සමත් වෙති.

දරීද්‍රතාවය නැතිවී යද්දී, ආර්ථික මට්ටම් ඉහළ යද්දී, තමන්ගේ නිවහනේ දී රස ආහාර හදාගැනීමටත් සේ ම අනුන්ගේ නිවහන් තුල හදන කෑම මිල දී ගන්නට ඉදිරිපත්වන අයත් ලංකාවේ වැඩිවෙමින් පවතින බව පෙනී යයි.

ලංකාවේ පාලකයන් එය අතිශය දුෂ්කර ක්‍රියාවක් බවට හරවා ඇති බැවින්, ලියාපදිංචි කරන ලද ව්‍යාපාරයක් නොමැතිව, අනුන් වෙනුවෙන් සිය නිවහනේ ආහාර පිළියෙල කිරීම අමතර ආදායම් මාර්ග කරගත් අය බොහෝ සිටිති.

තම නිවහනේ සිට පිළියෙල කරන ආහාර තම අසල්වැසියන්ට විකුණන අය ගැන අපූරු වාර්තාවක් ඉදිරිපත් කර ඇත්තේ ජෙනිෆර් මැක්ඩොනල්ඩ් විසිනි. ඒ වාර්තාව ඇමෙරිකාවේ විවිධ ප්‍රාන්තවල නිවහනේ සිට ආහාර නිෂ්පාදනයේ යෙදෙන අය ගැනයි. එය ඉංග්‍රීසියෙන් කියවන්නට කැමති අයට මෙතැනින් පුළුවනි.

එම වාර්තාව විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ මේ ආහාර පිළියෙල කරන අය කවුරුන්දැයි සෙවීමටයි. මේ අය වැඩියෙන්ම කාන්තාවන් බවත්, බොහෝ විට ඔවුන්ගේ වාසය දුර බැහැර පළාත්වල බවත්, ඔවුන්ගේ ආදායම ජාතික සාමාන්‍යයට වඩා අඩුවෙන් වූවක් බවත් සොයාගෙන ඇත. මෙසේ ආහාර පිළියෙල කර විකිණීම ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය හෝ විනෝදයට කරන ප්‍රධාන කටයුත්ත ද නොවීමත් එහි නියැළෙන බොහොමය වෙනත් රැකියාවල නියුතු බවත් සොයා ගැනිණ.

ඒ වෑයම්වල අයිතිකරුවන්ට එමඟින් උපයන ආදායම තමනට වැදගත් බවත්, කිසිවෙක් යටතේ වැඩ කරන්නට සිද්ධ නොවීම අගයන අය වීමත්, තමනට රිසි සේ සිය කුසලතාවයන් තුලින් නිර්මාණශීලීවීමේ හැකියාවෙන් ඔවුන් දැඩි සේ ආශ්වාදයක් ලබන බවත් දැනගන්නට හැකිවී තිබේ.

ඇමෙරිකාවේ දැඩි නීති ඇති සහ ලිහිල් නීති ඇති ප්‍රාන්ත සලකා බැලීමේ දී පාලකයන් මහජනතාවගේ ආරක්ෂාව පිණිස යැයි කියා මෙවැනි වෑයම් සඳහා පනවන බොහෝ නීති රෙගුලාසි වලින් හානියක් මිසෙක වාසියක් නැතැයි ඔප්පු කරයි.

තමන්ගේ ආහාර එන්නේ කොහෙන්දැයි සහ එය පිළියෙල වෙන්නේ කෙසේදැයි සොයා බලන්නට වැඩියෙන්ම උවමනාවක් ඇත්තේ එය මිල දී ගෙන අනුභව කරන පාරිභෝගිකයාටයි. ගෙදර පිළියෙල කරන ආහාර විකුණත හැකියාව පහසු කරන ලෙසින් පළාතේ නීති වෙනස් වෙද්දී මිල දී ගන්නා අයව සහ නිපදවන්නා යන දෙගොල්ලන්ම අනගිත්වය සොයන නිසා ඒ ක්ෂේත්‍රයේ දියුණුවක් ද ඇතිවේ. ප්‍රගතිය දැකීම නිසා බොහෝ ඇමෙරිකන් ප්‍රාන්ත තුල නීති රෙගුලාසි වෙනස් කරගැනීමේ ප්‍රවණතාවයක් දකින්නට ඇතැයි මේ වාර්තාව පෙන්වා දෙයි.

මෙවැනි වෑයම් ගැන සොයා බලා ඒවායේ යෙදෙන අයගේ ජීවිත පහසු කරන්නට ඇප කැප වූ රජයේ නොවන Institute for Justice වැනි ආයතන ඇමෙරිකාවේ ඇත. ලංකාවේ කවුරු හරි මෙවැනි වාර්තාවක් හැදුවොත් මේ සමාජයට අගයක් එකතු කරන රටවැසියන්ගේ වෑයම් පහසු කරන එක කෙසේ වෙතත්, ඒවාට මැදිහත්වෙන නීති තවත් රාශියක් දකින්නට ලැබේවි යැයි එය කියවද්දී මට සිතුණි.

රටක් දියුණුවෙන්නේ එහි ජනතාවට ඔවුන්ගේ අපේක්ෂාවන් හඹා යන්නට පහසු ඉඩකඩක් පෑදෙන විටයි. රටක් පරිහානියට යන්නේ එහි ජනතාවට හොඳ කුමක්දැයි කියා රජය කියන විටයි.

2 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on සැප්තැම්බර් 13, 2018 at 9:28 ප.ව.

    හැකියාවන් ඇති අයට තමන්ගේම ව්‍යාපාරයක් ලියාපදිංචි කරගැනීම පමණක් නොව එය පවත්වාගෙන යාමත් අතිශය දුෂ්කර කටයුත්තක් වී ඇති අන්දම තමන් විසින් ලීබඩු නිපදවන පුංචි වඩුමඩුවක් පවත්වා ගන්නට තැත් කළ තරුණයකු මුහුණ දී තිබෙන ගැටළුව, මගේ බ්ලාග් එකට අදාලව ලියවෙන හටන්පල ගම්මානයේ සාම්ප්‍රදායික යකඩ වානේ නිපදවන මිනිසුන් මුහණ දෙන ඉතා සරළ ක්‍රියාමාර්ග මගින් විසඳා දියහැකි ගැටළු සිහිපත් වුනා. එහිම ලියන ලද සාම්ප්‍රදායික මැටි කර්මාන්තයට අදාල කම්හලක් ද ඉදි වුනත් දැන් ඒ සඳහා මැටි ලබාගැනීමේ දුෂ්කරතාව නිසා (එය ද ඛනිජ සම්බපත් සම්බන්ධ නීති හරස්වීමක් විය හැකියයි සිතමි) නැවතී යමින් පවතින බව ආරංචියත් කදිම නිදසුන් බව පසක් වුනා

    • arunishapiro said, on සැප්තැම්බර් 14, 2018 at 6:01 පෙ.ව.

      රජය මැදිහත් වෙන්න ඕන කියල බලාපොරොත්තු වෙන හැදියාවෙන් අයින් වෙන්න නම් ඒ නිසා නැතිවෙන දේ ගැන දැනුමක් ඕන. උදා: මැටි ලබා ගැනීම සාම්ප්‍රදායික ශිල්පියාට දුෂ්කර වෙලා තියෙන්නෙ පරිසර ආරක්ෂාවට කියල දාල තියන නීති නිසා. ඒත් ඒවායෙන් ගැලවිලා පෝට් සිටී වගේ ඒවා හදන්න වැලි ගොඩගහද්දී පරිසරය ගැන කතා කරන්න රජය ඉඩක් දෙන්නෙ නෑ. වරද තියන්නෙ පරිසරයෙ ආරක්ෂාව රජය හරහා ලැබෙනව කියන දුර්මතයෙ. ව්‍යාපාරයක් ලියාපදිංචි කළාම ඒක නිතැතයෙන්ම නියාමනය වෙලා හොඳ ව්‍යාපාරයක් වෙනවා යැයි හිතන දුර්මතය වගේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: