අරුණි ශපීරෝ‍ වෙතින්

ආර්ටෙමීසියාගේ ලාලසාව

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 10, 2018

තේමාව ගැන හැඟීමක් නොදැනෙන හදවතකින් රස විඳිය හැකි කලා නිර්මාණයක් නිමැවේදැයි අහන්නේ “ආර්ටෙමීසියාගේ ලාලසාව” නමින් සූසන් ව්‍රීලන්ඩ් ලියූ ප්‍රබන්ධයේය.

කලාව තුල බලයක් ඇත. අරමුණු කරගත් සේ ම, අරමුණු කර නොගත්තා වූ ද අදහස් කන්දරාවක්, ඒ ඒ ඒකීය පුද්ගල සිතට දැනෙන ලෙසින් බෙදාහරින බලයක් අනගි කලා කෘතියක අඩංගුයි. බොහෝ දෙනෙක් අගයන කෘතියක ගැබ්වී ඇත්තේ ඔවුන් එකා මෙන් පිළිගත් අදහසක් හෝ අදහස් ගණනාවක් යැයි මතයක් සමාජගත වී තිබුණත්, සැබැවින්ම ඇත්තේ ඒ ඒ පුද්ගලයන් එහි යම් යම් කොටස් තමන්ගේම වූ අගැයුමකට භාජනය කරගෙන තිබෙන බවයි. තවත් විදියකින් කිව්වොත් සමස්ත සමාජයක් එකම කලාකෘතිය එකම ආකාරයෙන් අගයමින් රසවින්ඳනය නොකරති. අයෙක් එහි යම් කොටසකට දැඩි සේ ආශා කරද්දී තවත් අයෙකු එහි වෙනත් කොටසක් දැඩි සේ අගයයි. බොහෝ දෙනෙක් විවිධාකාරයෙන් අගැයුම් කරද්දී එය බලයක් සහිත වූ කලා නිර්මාණයක් බවට පත්වේ.

කලා නිර්මාණයක් ඉදිරිපත් කරන්නා මෙන්ම එය රසවිඳින්නා ද ඒ තුලින් තම තමන් සතු බලයක් නිදහසේ හුවමාරු කරගනිති. එය එකම ආකාරයේ බලයක් යැයි වරදවා වටහා ගන්නා අය බොහෝය. මෙසේ වරදවා වටහාගත්තවුන් අනුන් සඳහා ඉදිරිපත් කළ යුතු කලා නිර්මාණ මේ මේ ආකාරයෙන් වූ ඒවා යැයි නිර්දේශ කරන්නට තමන් දන්නවා යැයි උපකල්පනයක හිර වී සිටිති. ඒ සඳහා රජයේ මැදිහත්වීම (නොහොත් රාජ්‍ය බලය) යොදාගන්නට නිති පෙළඹෙති.

“ආර්ටෙමීසියාගේ ලාලසාව” නම් වූ කලාවේ බලය විමර්ශනය කරන ප්‍රබන්ධය, ඉතාලියේ ෆ්ලොරන්ස් හි චිත්‍ර ශිල්පීන්ගේ ඇකඩමියේ සාමාජිකත්වය ලබන්නට සමත් ප්‍රථම කාන්තාව වූ ද, එවක නිපුණ චිත්‍ර ශිල්පීන් අතරේ මූලික තැනක් හොබවන්නට සමත් වෙන, බැරොක් යුගයේ චිත්‍ර ශිල්පිණියක් ලෙස සැලකෙන ආර්ටෙමීසියා ජෙන්ටිලේෂ්කි (1593-1653) නමැති චරිතය ආශ්‍රයෙනි.

ඇය දාහත්වැනි සියවසේ දී චිත්‍ර ශිල්පිණියක් ලෙසින් ජීවිකාව ඉපැයූ කාන්තාවක් වීම සැබෑ හාස්කමකි. ඊටත් වැඩියෙන් ඇයගේ සැබෑ චරිතය ගැන අහන අයෙක්ව පුදුමයට පත්කරන කාරණාවක් ඇත. යෞවන ආර්ටෙමීසියා ලිංගිකව දූෂණය වීමත් ඒ හා ඇදී ගිය නඩු විභාගයත් නිසා ඇයගේ දස්කම් පිළිගැනීමට පාත්‍ර වන්නට දීර්ඝ කාලයක් ගතවුණි. ඒත් ඒ කාලය තුල ඇය කුසලතාවයේ යෙදීම අත්හරින්නේ නැතිව අභියෝග ජයගත් චරිතයක් බවට පත්වීම ඇයගේ මිනිස් සිතේ හාස්කමකි.

ආර්ටෙමීසියා ගැන ලියැවුණ ප්‍රබන්ධ සහ නිමවූ සිනමා කෘති බොහොමයකි.

ලිංගික දූෂණයට ලක්වූ අයෙක් සැබෑ ආර්ටෙමීසියාගේ චිත්‍ර දැක ඇයගෙ චරිතයෙන් සිය හැකියාවන් උරගා බලන්නට සහ සමාජයට මුහුණ දෙන්නට යම් ධෛර්යයක් උපදවා ගන්නට ඉඩක් ඇත. ලිංගික දූෂණයට පත් නොවූ අයෙකු, ඇයගේ උත්සාහවන්ත ශක්තිය සහ නොපසුබසින වෑයමේ ප්‍රතිඵල දැක තමන් ඉදිරියේ ඇති බාධක කොතරම් සුළු ඒවාදැයි සිතන්නට පුළුවනි. අනුන්ගේ අවාසනාවක්, අභාග්‍යයක් ගැන හැඟීම් අවදිවන්නට ඒවා තමන් එලෙසින්ම අත්විඳිය යුතු නැත. එලෙසින්ම අනෙකෙකු ලද ජයග්‍රහණයක්, ආදරයක් හෝ වික්‍රමාවින්ත අත්දැකීමක් ගැන සිත පිරී යන්නට එවැන්නක් තමන් එලෙසින්ම අත්විඳින්නට අවශ්‍ය නොවේ.

මිනිස් සිත යනු නිමිත්තක් නිසා අපූරු හා විවිධාකාරයෙන් වෙනස් වූ හැඟීම් නිතැතයෙන්ම හටගන්නා අවයවයකි. ඒවා බෙදාහදා ගන්නට අවශ්‍ය තරම් වචන, රූප හෝ වෙනත් මාධ්‍යයක් අප බොහෝ දෙනෙකුට නැත.

කලා නිර්මාණයක් හදන්නට මෙන්ම එයින් රසයක් විඳින්නටත් සිතුවිලි, ආවේග, ප්‍රතිභානය (intuition), සහ අභිලාෂය දැනෙන හදවතක් අවශ්‍යයයි. කලා නිර්මාණය (සාහිත්‍ය ද ඇතුළුව) යනු ඒවායේ පිළිබිඹුවකි. මිනිස් හැඟීම් අවබෝධ කරනොගත් අයෙකුට ඒවා කලා නිර්මාණ තුලින් එළිදක්වන්නට නොහැකියි. එසේම රසවින්ඳනයට ද නොහැකියි. සාහිත්‍ය, චිත්‍ර, රංගන, නර්තන, සංගීතය යනාදී වශයෙන් විවිධ ක්‍රමවේද වලින් තමන් තුල නළියන අදහස් අනුන් හා බෙදාගන්නට අඩු වැඩි වශයෙන් සිත් ඇදී යන්නක් බිහිකරන්නට ඊට ගැලපෙන සිතුවිලි නළියන හදවතක් උවමනායි.

කලා නිර්මාණයක් තුලින් අයෙක් ලෝකය අත්දකින ආකාරය බෙදා ගැනීමක් සිද්ධ වේ. ඒ නිසා අයෙක් ඉදිරිපත් කරන කලා නිර්මාණය යනු ඒ නිර්මාණකරුවාගේ පෞරුෂයේ දිගුවක් ලෙස සැලකීමට පුළුවනි. ප්‍රබන්ධය ගොතන්නාගේ සැබෑ ජීවිතය ගැන ඒ අය ඉදිරිපත් කරන කලා නිර්මාණයෙන් කියැවේ යැයි මෙහි දී වැරදියට වටහා නොගන්න. එහි දී සිද්ධ වෙන්නේ නිර්මාණය කරන්නාගේ අදහස්, දරන සංකල්ප, දැනෙන සිතුවිලි, විඳින හැඟීම් යනාදී මානසික වූ නිපැයුම් මහත් රාශියක් එයාගේ කලා නිර්මාණයට එකතු වීමයි.

කලා නිර්මාණයක ඇති සෞන්දර්යය යනු එහි ලස්සන පෙනුම ගැන පමණක් නොවූවකි. අපි ලස්සනයි කියන බොහෝ දේවල් ඇත. නමුත් කලා නිර්මාණයක් සිතට ඇල්ලීම නිසා දැනෙන හැඟීම් තුලින් අගැයෙන සෞන්දර්යය ඊට වෙනස්ය. මෙහි දී ‘මාර ලස්සනයි’ යැයි කියද්දී ඒ කලාවේ නිර්මාණකරුවා සහ එහි රසවිඳින්නා අතර සාර්ථක සංනිවේදනයක්, එනම් යම් ප්‍රමාණයකට මැනීමට හැකි වූ ආවේගයක හුවමාරු වීමක් සිද්ධ වී ඇත. ඒත් නිර්මාණකරුවා අරමුණු කරගත් ආවේගය හෝ සංකල්පය ඒ ආකාරයෙන්ම රසවිඳින්නාට ලබා දීමක් සිද්ධ වූවා යැයි කියන්නට නොහැකියි.

ඉතින්, කලා නිර්මාණයකින් විඳින රසය පුද්ගල නිහ්ශ්‍රිත වූවකි.

නමුත්, රාජ්‍ය මැදිහත්වීම් බහුලව පවතින සමාජයක කලා නිර්මාණ ඒකාකාරී බවකින් යුක්ත වේ. වෙනස් යැයි හඟවන ඒත් වෙනස් නොවන නිර්මාණ කාලයෙන් කාලයට රැල්ලක් මෙන් ඇවිත් යති. ඒවායෙන් පාඨකයන්, ප්‍රෙක්ෂකයන් විසින් කලාව යැයි කියමින් රසවින්ඳනය ලබන දැය සීමිත රාමුවකට හිර කර තැබීමක් සිදුවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: