අරුණි ශපීරෝ‍ වෙතින්

ලෙල්ලාගේ කෑම

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 25, 2018

නිව් යෝර්ක් නගරයේ විලියම්ස්බර්ග්‍ නම් පෙදෙසේ එක් පැත්තක ඉතාලි ආහාර පාන පිරිනමන අවන්හල් කිහිපයක් පිහිටයි. “ද ගෝර්ඩ්ෆාදර්” චිත්‍රපටිය මතකයට නංවන්නට සමත්වනුයේ පාරේ යද්දී ඇහෙන ඉතාලි සහ එහි හුරුවට ඉංග්‍රීසි බසින් සිද්ධවෙන කතාබහ නොවේ. තඩි සුරුට්‍ටු මුව රඳවාගත් මාලන් බ්‍රැන්ඩෝ සහ රොබට් ඩුවාල් මෙන් පෙනුමැති වයසක ඇත්තෝ සිසිරයේ හමන සුළං මැද්දේ එළිමහනේ ඇති යකඩ පුටුවල වාඩිගෙන සිටිනු දකිද්දීය.

රාත්‍රියේ දී හමා එන බේකරි සුවඳ උදෑසනින් ඒ පැත්තට යා යුතු යැයි මට පමණක් දන්වා එවන රහස් පණිවිඩයක් වැනිය.

ලෙල්ලා එලිමෙන්ටේරි හෙවත් ලෙල්ලාගේ කෑම කඩය ඒ ඉතාලි කෑම කඩ අතර උදෑසන කෝපි සහ කෑම සොයා ජනතාව ඇදෙන ජනප්‍රිය ස්ථානයකි. ඉතා කුඩා වූ මෙහි විසිපහකට වඩා වැඩි දෙනෙකුට එකවර අසුන් ගන්නට ඉඩකඩක් නැත. කඩයේ පැත්තකින් පාරට විවෘතව ඇති කවුන්ටරයෙන් විකිණෙන ආහාර පාන ඔවුන්ගේ මුළු අලෙවියේ ලොකු කොටසක් යැයි පෙනී යයි.

තක්කාලි සෝස්, මැකරෝනි සහ පස්තා වැනි ටින් හා පැකට් කළ ආහාරවල සිල්ලර වෙළඳාම එක පැත්තකින් ද, කෝපි පාන හා බේකරි කෑම තවත් පැත්තකින්ද මෙන්ම ටී-ෂර්ට් ද විකුණන්නට තබා ඇත.

කඩයේ ජනප්‍රියතම වූව පැන්ඩියෙලා නම් ලෙල්ලිගෙ ඉතාලි ගමෙන්ම එන පාන් වර්ගයකි. තුන් හතර දෙනෙක් ඉදිරිපිට වූ පිඟන් ඒ පාන් තීරුවකින් සහ තම්බපු බිත්තර හෝ ස්මෝක් සැමන් සමඟ දකින්නට ලැබුණි.

නිව් යෝර්ක් නගරයේ හිඟන්නන් ගැන පසුගිය දවසක ෆේස්බුක් වලින් හුවමාරු වූවක් දැක්කෙමි. ලෝකයේ විවිධ රටවල් වලින් පැමිණි බහුතර ජනතාව තම බස සහ තමන්ගේ හුරුවට ආහාර පාන හුවමාරු කරගැනීම තුලින් ජීවිතය සතුටින් ගෙවනා අන්දම හිඟන්නන් දිහා පමණක් බලන අයට නොපෙනේ. එසේම, දේශපාලන බලය යොදා ඇති නැති පරතරය අඩු කරන්නටැයි මූලිකත්වය ගන්නා බිල් ඩ’බ්ලාසියෝ වැනි නගරාධිපතිවරුන් මැතිවරණය ජයගත් පසු ධන වස්තු වැඩි කරගන්‍නට සමත් වූයේ කෙසේදැයි කියා ද විමසන්නට ඒ අයට කිසිදු උවමනාවක් නැත. ඔවුන්ගේ අභිප්‍රාය වෙහෙස වී ධනය උපයන්නට සමත් වූ ලොකු සල්ලිකාරයාගේ සහ පාරේ හිඟන අයෙකුගේ නැතිකම ගැන හූල්ලන්ට පමණි.

දිනපතා වෙහෙස වීම නිසා කන්න අඳින්න හා දරුවන්ට උගන්වන්නට හැකියාවක් ලැබෙන ආකාරය ගැන පහදාගන්නට ඉඩක් ලැබෙන තුරු සමාජයක් හැටියට දියුණුවක් නොලැබේ. එවැනි සමාජයක තෙල් නිධි තිබුණත් ඔවුන්ගෙ දේශපාලනඥයන් සුපිරි සැප විඳිනා අතරේ බහුතර ජනතාව කුසගිනි නිසාම රට හැරදා යන අකාරය දකිද්දී ඊට හේතුව තමන් පෙනී සිටින ක්‍රමය නිසා නොවේ යැයි කියමින් සිටිති.

අවන්හලක් වූ පමණින් ආහාර පාන සොයා පාරිභෝගිකයා ඇදෙන්නේ නැත. තමන්ගේ අවන්‍හල අනිකුත් අවන්හල් අතර සුවිශේෂී වනුයේ මන්‍දැයි පැහැදිලි නම් ඊට කැමති අය එහි ඇදෙති. නොදන්නාකම නිසා මිල පමණක් අගය තීන්‍දු කරතැයි සිතන්නේ ද එහි දී ඒ පුද්ගලයාට තරඟකාරීත්වය යන්න වැටහෙන්නේ ද නැත.

ලෙල්ලාගේ කුඩා කඩය ජනප්‍රිය තැනක් බවට පත්ව ඇත්තේ ඒ අම්මා ඇයගේ ඉතාලියෙ කුඩා ගමේ පරිසරය නිව් යෝර්ක් නගරයට ගෙනෙන්නට සමත්වීම තුලිනි. එහි සේවය කරන අය කඩේ කවුන්ටරයෙන් බඩු ගන්න අය මෙන්ම එහි ඇතුලට එන සෑම අයෙකුවම ගමේ කෙනෙකු දැක්කා මෙන් සාදරයෙන් පිළිගැනීම බලා සිටිය දී සිත පිනවන්නකි. ගමක වාසයක් කිසිදා අත්විඳ නැති නිව් යෝර්ක් වැසියන් මේ ආශ්වාදය ලබන්නනටම එහි එනවා ඇත්දැයි මට සිතුණි.

One Response

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ඔක්තෝබර් 25, 2018 at 4:57 ප.ව.

    මැත දී අප සිටින ප්‍රදේශයට කිට්ටුව ඔබේ විස්තරයේ ආකෘතියට ගැලපිය හැකි කුඩා ඉන්දියානු අවන් හලක් විවෘතව පවතිනවා. එහි සංහල කළමනාකරුවෙක්ද සිටිනවා. පුංචිය එහෙත් සිත් ගන්නා කළමනාකරණයක පහස ලබන තැනක් බව පෙනුනා. සැ 40 ක මග ගෙවා නැවතත් එහ යාමට අප තුළ ද ආසාවක් ඇති වී තිබෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: