අරුණි ශපීරෝ‍ වෙතින්

මැද මැතිවරණයෙන් ආණ්ඩු බලය නැවතත් බෙදී ගියේය

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 7, 2018

ඇමෙරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදූ අයගේ දූරදර්ශී දැක්ම ප්‍රංශසා කරත හැකි තවත් මැතිවරණයක් ඊයේ නිමා විය. ජනතාව විසින් ජනතාව පාලනය කරගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඒ ආදී පීතෘවරුන් යැයි අද හැඳින්වෙන පිරිස හදද්දී එවැන්නක් ලොව කොතැනකවත් නොවීය.

රජෙකු නොවන ලෙසින් අඩු බලතල සහිතව පාලනයේ මුලසුනට පත්වන ජනාධිපතිවරයා මෙන්ම මෙතෙක් කාලයක් ඉතාමත් සුළු වෙනස්කම් වලට භාජනය වූ ඇමෙරිකන් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ගත්කළ උලුප්පා පෙන්වන ලක්ෂණය නම් ජනතාවගේ ජීවිතයට බලපෑම් එල්ල කරන්නට රජය සතු අඩු බලයයි.

ව්‍යවස්ථාව සම්මතයේ දී ඇමෙරිකාවේ දේශපාලන පක්ෂ නොතිබුණි. දේශපාලන පක්ෂ ගැන කිසිදු සඳහනක් එහි නොමැත. දේශපාලන පක්ෂ නිසා සිද්ධ වන හානිය ගැන ජේම්ස් මැඩිසන් මෙන්ම ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ද ෆෙඩරලිස්ට් පත්‍රිකා වලින් සිය මත දක්වන ලදහ. ආරවුල් සහ වැඩ ඇණහිටුවන තත්වයන් ඇති කරවන දේශපාලන පක්ෂ බිහි නොවේවා යැයි ප්‍රථම ජනාධිපතිවරයා හැටියට පත්වූ ජෝර්ජ් වොෂිංටන් සිය සමුගැනීමේ ඇමතුමේ දී සඳහන් කළේය. ඒත් ඊ ළඟට පත්වූ ජනාධිපතිවරයාට දේශපාලන පක්ෂයක් තිබුණි.

දේශපාලන පක්ෂ බිහි වූවද ඇමෙරිකන් ව්‍යවස්ථාවේ ප්‍රධාන අරමුණ වූ රාජ්‍ය බලය අවම ලෙසින් භාවිතයට සීමා කිරීමට ව්‍යවස්ථාව තවමත් සමත්වේ. තවත් විදියකින් කිව්වොත් ඇමෙරිකාවේ විධායක, නියෝජිත සහ අධිකරණ බලය එක දේශපාලන පක්ෂයක වාසියට හසු වූ සියළු අවස්ථා ඉතා සීමිත වූහ.

2017 දී ජනාධිපතිවරයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මැද මැතිවරණයට මුහුණ දෙන්නේ විධායක, අධිකරණ සහ නියෝජිත යන අංශ තුනේම වාසිය රිපබ්ලිකන් පක්ෂයට තිබිය දී ය. ඒත් ඊයේ පැවති මැද මැතිවරණයෙන් පසුව නියෝජිත සභාවේ බලය ඩෙමොක්‍රැටික් පක්ෂයට ලැබිණ. ඉතින් නැවතත් සෙනෙට් සභාව සහ නියෝජිත සභාව පක්ෂ දෙකක් විසින් මෙහෙයවද්දී රාජ්‍ය බලය බෙදී යෑම සිදුවේ.

අද උදෑසන විවිධ ඇමෙරිකන් මාධ්‍ය තුලින් ජනතාව විසින් තමන්ව නියෝජනය කරන්නට මෙපමණක් කාන්තාවන්, මෙපමණක් ජනවාර්ගිකයන්, මෙපමණක් සමරිසියන් තෝරාපත් කරගෙන ඇතැයි කියන වාර්තා අහන්නට ලැබිණ. ඒ අය පත් වූ පමණින් එදිනෙදා ජීවිතයේ පුරවැසියෙක් මුහුණ දෙන ගැටළු විසඳී යනු ඇතැයි සිතන අය විශාල සංඛ්‍යාවක් සිටිනවා ද නැත්නම් එසේ පෙන්වන්නට තෝරාපත්වන්නට දඟලන අය උත්සාහ කරනවාද?

කවුද පාලන බලයට තෝරා පත්වෙන්නේ යන්න ගැන හිතන්නට යන කාලය සහ ජවය තමන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු කාර්යක්ෂම කරගන්නට යොදවන්නේ නම් එයාගේ අනාගතය කොතරම් දියුණුවේදැයි සිතන්න.

ඔබ දන්නා හඳුනන අය මුහුණ දෙන ගැටළු විසඳන්නට “පමණට වැඩියෙන් ඇති අයෙකුගෙන් සොරකම් කළ මුදල් බෙදන්න,” යැයි දේශපාලනඥයෙකු වෙතින් ඉල්ලා සිටිනවා වෙනුවට ඔවුන්ගේ සහායට හැකි පමණින් ඔබ ඉදිරිපත් වෙන්නේ නම් සියල්ලන්ගේම අනාගතය කොතරම් දියුණුවේදැයි සිතන්න.

“ආහ් .. දොම්නසින් ඉන්නා සත්වයෙනි! ඉතා ශ්‍රේෂ්ඨ යැයි සිතාගෙන ඉන්නා ඔබටයි! මිනිස් සංහතිය ඉතා පහත් වූ ලෙසින් සලකන ඔබටයි! සියල්ල ප්‍රතිසංස්කරණය කරන්නට දැඩි කැමැත්තක් ඇති ඔබටයි! ඇයි ඔබ ඔබව ප්‍රතිසංස්කරණය කරගන්නේ නැත්තේ? ඒ වෑයම පමණක් සෑහෙන්නට ප්‍රමාණවත්ය.”

ඉතින්, නීතිය නම් සටහනේ ඉහත වගන්තිය ලියූ ෆෙඩරික් බැස්ටියාට් රසිකයෙක් වූ ද, ඇමෙරිකන් ව්‍යවස්ථාව ලොව අගනා ලියැවිල්ලක් යැයි විශ්වාස කරන්නා වූ ද, මගේ සිත අද සතුටින් උද්දාමයට පත් කරන්නේ ඊයේ ඇමෙරිකන් මැද මැතිවරණයෙන් නැවතත් වරක් රාජ්‍ය බලය බෙදී යෑමයි.

5 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on නොවැම්බර් 7, 2018 at 8:11 ප.ව.

    Great!

  2. kudagesithuvili said, on නොවැම්බර් 10, 2018 at 8:34 පෙ.ව.

    ඔබේ අදහස් දැක්වීම හොඳයි. ගෝලීය දේශපාලනය අද කාලගුණය සේ ඉතා ඉක්මනින් වෙනස් වෙමින් පවතියි…..ඇමරිකාව, පාකිස්ථානය, ප්‍රංශය, ශ්‍රී ලංකාව, බ්‍රීතාන්‍ය වැනි රටවල සිදු වු වත්මන් දේශපාලන වෙනස්කම් විග්‍රාහා කර ගැනීම මේ පිළිබඳව උනන්දු වන අයට ඉතා වැදගත්….

    • arunishapiro said, on නොවැම්බර් 12, 2018 at 7:04 පෙ.ව.

      දේශපාලනය නිරන්තරයෙන් වෙනස්වීම් වලට ලක්වෙනව. සමහර රටවල් පෙලපාලි උද්ඝෝෂණ වලින් නිතර කැළඹුණත් ආර්ථික දියුණුවෙන් හැමදාම එකතැන ලැගල. දියුණු රටවල වෙනස්කම් සමාජයීය ගැටළු විසඳගෙන වගේම කළින් රජයෙ වැරදි ආර්ථික පියවර හරිගස්සාගෙන ඉදිරියට යනව.

  3. Chatura Wijekoon said, on නොවැම්බර් 11, 2018 at 9:23 ප.ව.

    අපේ රටේ නම්.. ජන මතයට ගරු කරන්න යැයි .. පවසා ට්‍රම්ප් ට ජනපතිවරණයක් කැඳවන්නට යැයි බලකරණ උද්ඝෝෂණ ඇරඹේවි.. 😀

    • arunishapiro said, on නොවැම්බර් 12, 2018 at 7:15 පෙ.ව.

      ට්‍රම්ප් ජනාධිපති වුනාම එයා මගෙ ජනාධිපති නෙමෙ කියල පෝස්ටර් ගහපු අය හිටිය. ඒත් මෙවර කොංග්‍රසයේ නියෝජිත සභාව වෙනස් වුනාම ඒ ගැන රිපබ්ලිකන් පක්ෂයේ කිසිවෙක් ඒ වගෙ පෝස්ටර් ගැහුවෙ නෑ. කෑ ගහන අය හිටියට කවුරු ආවත් ව්‍යවස්ථානාකූල නීතිය වෙනස් නොවීම ලොකු දෙයක්. ඇමෙරිකාවේ මම අගයන තවත් කරුණක් තමයි මැතිවරණ නිසි කලට පමණක් පැවැත්වීම. මෙහෙ ඉතින් ස්වේච්ඡා සේවයෙන් ඒවයෙ වැඩට යන රජයේ සේවය නොකරන අපි ඉන්න නිසා වියදම් අඩු වුනත් මැතිවරණ දින වෙනස්නොවී කළින් දැනගන්න ලැබීම නිසා ආර්ථිකය දියුණු කරන අයට ලොකු පහසුවක් ඒක.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: