අරුණි ශපීරෝ‍ වෙතින්

ඔබ සතුට අත්විඳින්නේ කුමන ආකාරයකින්ද?

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 4, 2019

ඔබ සතුට අත්විඳින්නේ කුමන ආකාරයකින්දැයි අසමින් ඒ ගැන අපූරු අදහසක් ග්‍රෙචන් රූබින් (Gretchen Rubin) නැමති ජනප්‍රිය පොත් කර්තෘවරිය විසින් ඉදිරිපත් කරන ලද්දේ 2007 දී ය. “නැමියාවන් හතර” The Four Tendencies, “පෙරට වැඩියෙන් හොඳට” Better Than Before, සහ වසර දෙකක් පුරා වැඩියෙන්ම අලෙවි වෙන පොත් ලැයිස්තුවේ තිබි “සතුට ව්‍යාපෘතිය” The Happiness Project, ඇයගේ පොත් වල නම් වෙති. ඒ නම් වලින්ම ඇයගේ නැඹුරුව ඇත්තේ සොම්නස කේන්ද්‍රීය කරගෙන යැයි පැහැදිලියි.

වෙනත් අයෙක් සතුටින් සිනාසෙන අයුරු දැකීමෙන් තමන්ගේ සිත ද සතුටින් පිරී යන අවස්ථාවක් අප සියල්ලන් විසින්ම අත්විඳ ඇත්තහ. ඊට හේතුව නොදන්නා අවස්ථාවක දී වුවද සතුටින් පිරි මුහුණක් දැකීම නිසා අපගේ සිත් තුල ද ප්‍රසන්න බවක් හටගනියි. නොදන්නා වූ කණ්ඩායමක් සතුටින් සිටින ඡායාරූපයක් පවා අපගේ සිත් සන්තෝෂයෙන් පුරවන්නට සමත් අවස්ථා ඇත. සතුට දැනෙන්නට හේතුව තමන්ගේම වූවක් නම් ඔය සිද්ධීන් නිසා හටගන්නා ආකාරයෙන් වෙනස් වූ ලෙසකින් අපේ සිත වැඩ කරන බව ග්‍රෙචන් රූබින් පෙන්වයි.

ග්‍රෙචන් රූබින් දක්වන අන්දමට අපිට සතුට දැනෙන අවධි හතරකි.

යමක් බලාපොරොත්තුවෙන් සතුටින් පසුවීම
අත්විඳින විට එහි රසාස්වාදය විඳීම
මගේ සතුට ගැන මා වෙතම සහ අනුන්ට කීමෙන් සතුට ලැබීම
සතුටු මතකය ගැන ආවර්ජනය කරමින් තුටුවීම

සතුටුදායක මොහොතක් ගැන බලාපොරොත්තුවෙන් පසුවීම නිසා එම සතුටුදායක තත්වය නොලැබී යාවි යැයි කියා එසේ සිතීමෙන් අයින් වෙන්නට වගබලා ගෙන සිටියා යැයි ඇය කියයි. මෙසේ කරන අය ඔබ මෙන්ම මා ද ඕනෑතරම් දැක ඇත්තෙමු. ඒ ගැන කතා නොකර ඉම්මු, නැත්නම් දුක්වෙන්න වෙයි කියා සතුටින් බලාපොරොත්තු වීමෙන් ලබන ආශ්වාදය ඔවුන් අත්විඳින්නට පසුබට වෙති. එහෙත් එය මෝඩ ක්‍රියාකලාපයක් යැයි කල්පනා කරද්දී ඇයට පසක් විය. එතැන් පටන් ඒ සතියේ දී ඇය තමන්ට සතුට ගෙනෙන අවස්ථාවක් ගැන විශේෂයෙන් සිහි කරන්නට වෙහෙසක් ගත්තාය.

කැමත්තෙන් නරඹන්නට බලාගෙන සිටින රූපවාහිනි නාට්‍යයක් වැනි සතුට වඩවන්නා වූ සුළු දෙයක් ගැන බලාපොරොත්තු තැබීම පවා ඇයගේ සිතට ලැබුණ උද්දාමය වැඩි කරනවා යැයි ඇය දකින්නට වූවාය.

අප අතර සිටින සමහර අය මෙසේ යම් සතුටු සිද්ධියක් බලාපොරොත්තුවෙන් සිටීමේ දී ලබන සොම්නස ඉමහත්ය. ඔවුන්ට එයින් ලැබෙන ප්‍රියජනක ආශ්වාදය ඒ සිද්ධිය අත්විඳීමේ දී පවතිනවාටත් වැඩියෙන් ඉමහත් වූවකි. යම් ප්‍රීතිමත් අවස්ථාවක් ඉලක්ක කොටගෙන මනා ලෙසින් සැලසුම් හදන්නට උත්සුක වෙන්නෙ මෙවැනි අයයි. එසේ සූදානම් වීමෙන් ඔවුන් ලබන සතුට ගැන වෙනත් අයෙකුට වටහා ගැනීම අසීරු විය හැකියි. සමහර විට අනෙකුත් එසේ ලකලැහැස්තිය කරදරයක් ලෙසින් සලකන්නට හැකියි. නමුත් ඒ තැනැත්තා වැඩියෙන්ම ආශ්වාදයක් ලබන්නේ එම අවස්ථාවටත් වැඩියෙන් ඒ ගැන අපේක්ෂාවෙන් සිටීමෙන් බව වටහා ගැනීමෙන් එයාගේ වැඩිම සතුට ලබන අවධියට ඉඩදෙන්නට අපිට හැකියාව ලැබේ.

අත්විඳින විට එහි රසාස්වාදය විඳීම වැඩියෙන් ප්‍රියජනක වූ අය තවත් කොට්ඨාශයකි. ඔවුන් ඉහළ සඳහන් අනෙක් අවස්ථා තුන හමුවේ නොව වැඩියෙන්ම සතුට ලබන්නේ සතුට ලැබෙන කටයුත්තේ නියැළෙද්දීය. ඒ අයගේ මුහුණු සහ හැසිරීම ඒ අවස්ථාවේ දී දෝරගලන සතුටකින් පිරී තිබෙන ආකාරය පිටතින් නිරීක්ෂණය කළ හැකියි. සාදයක දී සියල්ලන්ගේම සිත් කුල්මත් කරන හැකියාව ඇති අය මේ අය විය හැකිද?

සතුටක් උපදවන සිද්ධියක් හමුවේ ඒ ගැන තමාටම කියාගන්නා මෙන්ම අනෙක් ඥාතී හිතවතුන්ට පමණක් නොව නොදන්නා නොහඳුනන අයට පවා ඒ ගැන කියමින් සතුටට පත්වන අය සිටිති. අනුන්ට කියන්නට සතුටු දේවල් තිබීම නිසාම ඔවුන් සතුට ලබන බවක් පෙනී යයි. විවිධ මාධ්‍යවලින් තම ක්‍රියාවන් අනෙකුත් අය සමඟ බෙදාගන්නට මාර්ග පෑදී ඇත්තේ මෙවැනි අය සිටින නිසා බව නිසැකයි. හිනා උපදවන තත්වයන් නිතර අහන්නට ලැබෙන්නේ මේ අය වෙතිනි. එයින් වැඩියෙන්ම සතුට අත්විඳින්නේ ඔවුන්ම වීම කොතරම් භාග්‍යයක් ද?

සතුට උපදවන ලද මතකයක් ගැන ආවර්ජනයෙන් වැඩියෙන්ම සතුටක් ලබන අය ද අප අතර සිටිති. ප්‍රීතිමත් දෙයක් බලාපොරොත්තුවෙන් සිටිනවාට වඩා, ප්‍රීතිමත් අවස්ථාවක දී එය අත්විඳිනවාට වඩා, ඒ ගැන අන්‍යයන්ට කියමින් සතුටු වෙනවාට වැඩියෙන් මේ පිරිස ඒ අවස්ථාව සිහිකිරීමෙන් වැඩියෙන් සතුටු වෙති. ඔවුන් සතුටු මතකයන් එකතු කරන්නට නිති වෙහෙසෙති.

මෙයින් කියන්නේ මේ අවධි හතර තුල දී යම් අයෙක් සතුටු වෙන්නේ එක් අවධියක දී පමණක් කියා යැයි වරදවා වටහා නොගන්න. අනික් අවධි තුල ලබන සතුටට වඩා වැඩියෙන් සතුටක් ලබන්නේ මෙයින් එක් අවධියක දී බවයි.

ඔබ තුල සතුට වැඩියෙන් ඇති කරන්නේ මේ අවධි හතරෙන් කුමන අවස්ථාව තුල දී දැයි නිරීක්ෂණය පිණිස ටික කාලයක් තුල තමන් ගැනම නිරීක්ෂණයේ යෙදී බලන්න. සමහර විට සතුට දැනෙනවා යැයි ඔබ මෙතෙක් සිතා සිටි අවධියේ දී නොව ඔබ හද පිරී යන සතුට දැනෙන්නේ වෙනත් අවධියක දී වෙන්නට පුළුවන.

One Response

Subscribe to comments with RSS.

  1. Balasooriya lansakara said, on ජනවාරි 5, 2019 at 4:41 පෙ.ව.

    ස්තුතියි. ඉතා වැදගත් ලිපියක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: